Thursday, July 18, 2024

අන්තර්ජාල පාලන පනත:  රනිල් රාජපක්ෂ පස්වන මර්දනකාරී පනතත් ගැසට් කරයි – සුනන්ද දේශප්‍රිය

රනිල් රාජපක්ෂ ජනාධිපතිවීමෙන් පසු ගෙන එන පස්වන මර්දනකාරී පනත දැන් ගැසට් කර තිබේ. එය නම්කර ඇත්තේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් ලෙසය.  එය පළ කර ඇත්තේ මහජන ආරක්ෂක ඇමතිවරයාගේ නියමය පරිදිය.
මෙයට පෙර ගෙන එන ලද මර්දනකාරී වගන්ති අඩංගු එවැනි පනත් වනුයේ පුනරුත්ථාපන පනත, නව ත්‍රස්ත පනත, දූෂන විරෝධී පනත, විද්‍යුත් මාධ්‍ය නියාමන පනත යන ඒවාය.

ජනාධිපතිගේ තනි කැමැත්ත

මෙම පනත යටතේ පිහිටුවනු ලබන කොමිසම පත් කරනු ලබන්නේ ව්‍යාවස්ථා සභාව විසින් නොවේ. රනිල් රාජපක්ෂගේ තනි කැමැත්තට යටත්ව ඔහුම විසිනි.
ඒ මෙසේය:
“තොරතුරු තාක්ෂණය, නීතිය, පාලනය, සමාජ සේවා, පුවත්පත් කලාව, විද්‍යාව සහ තාක්ෂණය හෝ කළමනාකරණය යන ක්ෂේත්‍ර එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් සුදුසුකම් සහ පළපුරුද්ද සහිත, ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයන් පස්දෙනෙකුගෙන් කොමිෂන් සභාව, සමන්විත විය යුතු ය.”
ස්වාධීන යැයි කියන කොමිෂන් සභා පවා ජනාධිපතිවරයා විසින් නටවන කාලයක, හුදෙක් ඔහු විසින්ම පත් කරනු ලබව එවැනි කොමිසමක භයංකාරත්වය පෙනෙන්නේ එහි බලතල දෙස බලන විටය.
පනත් කෙටුම්පත මෙරටට පමණක් නොව එතෙර ජීවත්වන ශ්‍රී ලංකිකයන්ටද බලපවත්වන පරිදි සකස් කර තිබේ.
“මේ පනතේ විධිවිධාන(අ)ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත සිටිය දී යම් තැනැත්තකු විසින් මේ පනත යටතේ වූ වරදක්, ශ්‍රී ලංකාවේ පුරවැසියකු සම්බන්ධයෙන් සිදු කරනු ලබන අවස්ථාවක දී, (ආ)මේ පනත යටතේ වූ වරදක් සිදු කිරීම මගින්, රජයට හෝ ශ්‍රී ලංකාවේ පදිංචි තැනැත්තකුට හානියක් හෝ අලාභයක්  ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත සිදු කරනු ලබන අවස්ථාවක දී, (ඇ)මේ පනත යටතේ වූ වරදක්, කවර ස්ථානයක දී සිදු කරනු ලැබූව ද, එය ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන තැනැත්තකු විසින් සිදු කරනු ලබන අවස්ථාවක දී, අදාළ විය යුතු ය.
මේ පනතේ අරමුණු මගින් සමාජ ජාල මත පදනම්ව මුදල් උපයා ගැනීම රජයේ පාලනයට හමු කරයි. පසුගිය කාලයෙහි යූ ටියුබ් වේදිකාව මත ප්‍රහර්ශන සහ දේශපාලන විවේචන ඉදිරිපත් කළ අය වෙත එල්ල වූ මර්දනය දෙස බලන විට මෙම නීතිය කොපමන අවභාවිත විය හැකි ද යන්න සිතා ගැනීමටවත් නොහැකිය.
ඒ මෙසේය:
“(අ)අසත්‍ය ප්‍රකාශ හෝ තර්ජනාත්මක, බියගන්වනසුළු හෝ පීඩාකාරී ප්‍රකාශ සන්නිවේදනය කිරීම මගින් ඇති වන අලාභයකින් තැනැත්තන් ආරක්ෂා කිරීම,
(ආ) අධිකරණයට අපහාස වන්නා වූ හෝ අධිකරණයේ බලය සහ අපක්ෂපාතීත්වය පවත්වාගෙන යාමට අගතිගාමී වන්නා වූ ප්‍රකාශ සන්නිවේදනය කිරීමෙන් ආරක්ෂා වීම තහවුරු කිරීම,
(ඇ)මේ පනත යටතේ වූ වැරදි සිදු කිරීම සඳහා මාර්ගගත ගිණුම් සහ බොට් අවභාවිත කිරීම හඳුනාගැනීම, වැළැක්වීම සහ එයට එරෙහිව ආරක්ෂාව සැලසීම සඳහා වූ පියවර හඳුන්වා දීම, සහ
(ඈ)ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ නැවත නැවතත් සන්නිවේදනය කරන්නා වූ මාර්ගගත ස්ථාන සඳහා මුදල් සැපයීම, එකී ස්ථාන ප්‍රවර්ධනය කිරීම සහ එම ස්ථානවලට වෙනත් ආධාර ලබා දීම වැළැක්වීම.
මෙම වරදවල් කර ඇති බවට තීරණය කරන්නේ එකී ජනාධිපතිගේ කොමිසම විසින්ය. රාජපක්ෂ පාලනයන් යටතේ පත් කරන ලද සියලුම කොමසාරිස්වර්න් සහ වරියන් කොතරම් පක්ෂපාතී වූයේ ද යන්න අපි හොදින්ම දිනමු. ඊට අපූරු උදාහරණයන් වන්නේ නඩු පිට නඩු ඉල්ලා අස්කර ගත් අල්ලස් කොමිසමයි!

සමාජ ජාල තහනම් කිරීමේ බලය

මෙම පනතේ බලතල යටතේ මාර්ගගත සේවා සපයන්නන්ට නියෝග කිරීම මෙන්ම ඒවා තහනම් කිරීම ද ඇතුලත්ය.
ඒ මෙසේය:
“මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ  ප්‍රතිචාර දැක්වීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස නියම කරමින්,
“(අ)යම් තහනම් ප්‍රකාශයක් පළ කරනු ලැබ ඇති හෝ සන්නිවේදනය කරනු ලැබ ඇති හෝ යම් තහනම් ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම සඳහා ස්වකීය සේවාවන් භාවිත කරනු ලැබ ඇති තැනැත්තන්ට, සේවා සපයන්නන්ට හෝ අන්තර්ජාල අතරමැදියන්ට විධාන නිකුත් කිරීම,
 (ආ)මේ පනත යටතේ වරදක් සංයුක්ත වන අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කරන තැනැත්තන්ට, එකී ප්‍රකාශය සන්නිවේදනය කිරීම නතර කරන ලෙස දැන්වීම් නිකුත් කිරීම,
(ඇ)මේ පනත යටතේ වන තහනම් ප්‍රකාශ සන්නිවේදනය කරන තැනැත්තන්ට, එවැනි යම් ප්‍රකාශ සන්නිවේදනය කිරීම නතර කරන ලෙස විධාන නිකුත් කිරීම,
(ඈ)තහනම් ප්‍රකාශයක් ඇතුළත් මාර්ගගත ස්ථානයකට ශ්‍රී ලංකාව තුළ සිටින අවසාන පරිශීලකයන් ප්‍රවේශ වීම අක්‍රිය කරන ලෙස හෝ ඒ තහනම් ප්‍රකාශය ඒ මාර්ගගත ස්ථානයෙන් ඉවත් කරන ලෙස අන්තර්ජාල ප්‍රවේශ සේවා සපයන්නන්ට හෝ අන්තර්ජාල අතරමැදියන්ට දැන්වීම් නිකුත් කිරීම,
 (ඉ)අධිකරණයට අපහාස විය හැකි හෝ අධිකරණයේ  බලය සහ අපක්ෂපාතීත්වය පවත්වාගෙන යාමට අගතිගාමී විය හැකි යම් සන්නිවේදනයන් පිළිබඳ සලකා බැලීම සඳහා එකී සන්නිවේදනයන් උචිත අධිකරණයකට යොමු කිරීම සහ එසේ යම් අධිකරණයකට යොමු කරන ලද යම් කරුණක් සම්බන්ධයෙන් එකී අධිකරණයට අවශ්‍ය විය හැකි යම් සහායක් ලබා දීම,
(ඊ)තහනම් ප්‍රකාශ ඉවත් කිරීම සඳහා සේවා සපයන්නන්ට, අන්තර්ජාල අතරමැදියන්ට සහ අන්තර්ජාල ප්‍රවේශ සේවා සපයන්නන්ට නිර්දේශ ඉදිරිපත් කිරීම.
සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීමට ද කොමිසමට බලය ලැබේ.

හිරේ යවන බලය

කොමිසමට පුද්ගලයින්ට දඩුවම් කිරීමේ අධිකරණ බලය ද ලැබේ.
“අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම මගින් ජාතික ආරක්ෂාවට, මහජන සෞඛ්‍යයට හෝ මහජන සාමයට තර්ජනයක් ඇති කරවන හෝ විවිධ පන්තිවලට අයත් තැනැත්තන් අතර එදිරිවාදී සහ වෛරී හැඟීම් ප්‍රවර්ධනය කරන, ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත සිටින යම් තැනැත්තකු වරදක් සිදු කරනු ලබන අතර වරදකරු කරනු ලැබූ විට වසර පහක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට යටත් විය යුතු අතර, දෙවන වරට හෝ තදනන්තරව වරදකරු කරනු ලැබූ විට ඒ බන්ධනාගාරගත කිරීමේ කාලය හෝ දඩය හෝ ඒ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙක ම හෝ දෙගුණයක් කරනු ලැබිය හැකි ය.”
ඉහත කී වරදවල් නිර්වචනය කරන්නේ කොමිසම මගිනි. ජනමාධ්‍යවේදීන් මෙන්ම වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ත්‍රස්තවාදීන් ලෙස නම් කරන ආණ්ඩුවක් යටතේ ජනාධිපති හෙංචයියන් වීමට ඉඩ ඇති කොමසාරිස්වරුන් පස් දෙනෙකුට එවැනි බලයක් ලබා දුන් විට කොතරම් භයානක තත්වයක් ඇති විය හැකිද?
2022 වර්ශයේ මෙරට පැන නැගි මහජන කැරැල්ල වැනි අවස්ථාවන් සහ ඒවායේ ප්‍රධානීන් දඩුවම් ලැබිය හැකි බවට කොමිසමේ බලතල අනුව පෙනී යයි.
ඒ මෙසේය:
“ ප්‍රකෝප කරවීමෙන් කැරලි ගැසීමේ වරද සිදුවිය හැකි බවට වූ චේතනාවෙන් ම හෝ ඒ බව දැන දැන ම, ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත සිටින යම් තැනැත්තකු විසින්, ද්වේශ සහගතව හෝ නිකරුණේ අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීමෙන් යම් තැනැත්තකු ප්‍රකෝප කරනු ලැබූ අවස්ථාවක දී
(අ)ඒ ප්‍රකෝප කරවීමේ ප්‍රතිඵලයක් වශයෙන් කැරලි ගැසීමේ වරද සිදුකර ඇත්නම්, ප්‍රකෝප කළ තැනැත්තා අවුරුදු පහක් නොඉක්මවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට හෝ ඒ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකකටම යටත් විය යුතු ය, සහ
(ආ)කැරලි ගැසීමේ වරද සිදු නොකළහොත්,  ප්‍රකෝප කළ තැනැත්තාට අවුරුදු තුනක් නොඉක්මවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට හෝ ඒ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකටම හෝ යටත් විය යුතු ය.”
මතක තබා ගත යුත්තේ ගෝටා ගෝ හෝම් අරගලය රනිල් රාජපක්ෂට සහ රාජපක්ෂ අනුගාමිකයිනට අනුව ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි!
වෙනත් නම් වලින් සමාජ ජාල ගිනුම් පවත්වා ගෙන යෑම දඩුවම් ලබා දිය හැකි වරදක් ලෙස කෙටුම්පත් පනත දක්වයි.
“මාර්ගගත ගිණුමක් මගින්(අ)තමා වෙනත් තැනැත්තකු ලෙස අඟවනත (ආ) එක් තැනැත්තකු වෙනුවට තවත් තැනැත්තකු දැන දැනම ආදේශ කරනත හෝ (ඇ) තමා හෝ වෙනත් යම් තැනැත්තකු සත්‍ය වශයෙන් ම තමා හෝ එකී වෙනත් යම් තැනැත්තා නොවන අන් තැනැත්තකු ලෙස ඉදිරිපත් කරන, ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත සිටින යම් තැනැත්තකු, “අනෙකකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීමේ” වරද සිදු කරන අතර, වරදකරු කරනු ලැබූ විට වසර පහක් නොඉක්මවන කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට හෝ ඒ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකට ම හෝ යටත් විය යුතු අතර, දෙවන වර හෝ තදනන්තරව වරදකරු කරනු ලැබූ විට ඒ බන්ධනාගාරගත කිරීමේ කාලය හෝ දඩය හෝ ඒ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙක ම හෝ දෙගුණයක් කරනු ලැබිය හැකි ය.
මෙම කෙටුම්පත් පනතෙහි ඇති තවත් හානිදායක සහ ශ්‍රී ලංකාවට ඉතා අවාසි සහගත කාරනයක් වන්නේ මේටා නොහොත් පේස්බුක්, ටික් ටොක්, ඉන්ස්ටග්‍රෑම්, එක්ස් වැනි සමාජ ජාල ආයතන පවා මර්දනයට ලක් කිරීමට කොමිසමට දී ඇති බලයයි. මෙම කොන්දේසිය යටතේ එවැනි සමාජ ජාල ආයතන ශ්‍රී ලංකාව හැර යාමට පවා ඉඩ ඇති බව විපක්ෂ මංත්‍රීවරයකු වන ආචාර්ය හර්ශ ද සිල්වා විසින් පෙන්වා  දී තිබේ.
ඒ මෙසේය:
“තහනම් ප්‍රකාශයක් සන්නිවේදනය කර ඇති බවට ප්‍රමාණවත් කරුණු ඇති බව කොමිෂන් සභාවේ මතය වන අවස්ථාවක දී, කොමිෂන් සභාව විසින්, කොමිෂන් සභාවේ නිලධරයන් මගින් පරීක්ෂණයක් සිදු කළ යුතු ය.
“ (අ) තහනම් ප්‍රකාශයක් සිදු කර ඇති බවට ප්‍රමාණවත් කරුණු ඇති බවට කොමිෂන් සභාව සෑහීමකට පත් වන අවස්ථාවක දී, කොමිෂන් සභාව විසින්, ඒ කාරණයෙහි බැරෑරුම්කම සහ එකී තහනම් ප්‍රකාශයෙන් අලාභයක් හෝ අගතියක් සිදු වීමට ඇති හැකියාව සැලකිල්ලට ගනිමින්, එකී තහනම් ප්‍රකාශය සංසරණය වීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස, එකී ප්‍රකාශය සන්නිවේදනය කරන ලද තැනැත්තාට දැන්වීමක් නිකුත් කරනු ලැබිය හැකි ය.
“(ආ) (අ) ඡේදය යටතේ දැන්වීමක් නිකුත් කරනු ලබන්නේ යම් තැනැත්තකුට ද, ඒ තැනැත්තා විසින්, වහාම, එහෙත් ඒ දැන්වීම නිකුත් කිරීමෙන් පැය විසි හතරක් පසු නොවන පරිදි ඒ විධානයට අනුකූලව කටයුතු කරනු ලැබිය යුතු ය.
“(ඇ) (අ) ඡේදයේ සඳහන් දැන්වීම, පුද්ගලිකව භාරදෙනු ලැබුවහොත්, එකී තහනම් ප්‍රකාශය සන්නිවේදනය කළ තැනැත්තාගේ අවසන්වරට සිටි බවට සැලකෙන ලිපිනයට තැපැල් මාර්ගයෙන් යවනු ලැබුවහොත් හෝ එකී තැනැත්තා වෙත ඉලෙක්ට්‍රොනික මාර්ගයෙන් භාරදෙනු ලැබුවහොත් හෝ සිදුවීමේ ස්වභාවය මත පදනම්ව, කොමිෂන් සභාව විසින් යොදාගනු ලබන වෙනත් යම් උචිත ක්‍රමයකින් භාරදෙනු ලැබුවහොත්, ඒ දැන්වීම භාර දෙනු ලැබූ බවට සලකනු ලැබිය යුතු ය.
(ඈ) (අ) ඡේදයේ සඳහන් දැන්වීම, ඒ තැනැත්තාගේ විද්‍යුත් තැපැල් ලිපිනය වෙත හෝ සමාජ මාධ්‍ය ගිණුම වෙත හෝ ඒ තහනම් ප්‍රකාශය සන්නිවේදනය කරන ලද්දේ කවර අන්තර්ජාල ප්‍රවේශ සේවා සපයන්නකුගේ හෝ අන්තර්ජාල අතරමැදියකුගේ මාර්ගගත ස්ථානයක ද ඒ අන්තර්ජාල ප්‍රවේශ සේවා සපයන්නාගේ හෝ අන්තර්ජාල අතරමැදියාගේ විද්‍යුත් තැපැල් ලිපිනය වෙත හෝ සමාජ මාධ්‍ය ගිණුම වෙත යවනු ලැබීමෙන්, ඒ දැන්වීම ඉලෙක්ට්‍රොනික මාර්ගයෙන් භාරදෙනු ලැබූ බවට සලකනු ලැබිය යුතු ය.

පනත සිංහල බසින්: Online Safety bill 284-2023_S (1)


නව පනත් කෙටුම්පතේ අරමුණ සමාජ මාධ්‍ය පාලනය කිරීමයි – සාලිය පීරිස්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ අරමුණ වන්නේ සමාජ මාධ්‍ය පාලනය කිරීම බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පවසයි.
මෙම නව පනත් කෙටුම්පතේ අරමුණ අන්තර්ජාලයේ සහ Online ක්‍රමවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම ලෙස රජය පවසා සිටියද, මෙහි සැබෑ අරමුණ එය නොවන බව නීතීඥවරයා පෙන්වා දෙයි.
නව පනත් කෙටුම්පත හරහා සමාජ මාධ්‍ය තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට විශාල ගැටලුකාරී තත්වයක් ඇති වන බවද, එබැවින් මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු ශ්‍රේෂ්ඨාධිකරණය තුළ අභියෝගයට ලක් කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.

ලංකා ට්රුත් අඩවියෙනි

 

Archive

Latest news

Related news