Sunday, April 28, 2024

දිල්රුක්ෂිට විරුද්ධව හඬ පටයක් කියා මඩ පටයක් බෙදූ සේනාධිපති ගැන නීතිපති නිහඬයි.

රූපය බීබීසී  සිංහල සේවයෙනි.
සොලිසිටර් ජෙනරාල්වරියක වූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව 2019 සැප්තැම්බර් 24 දින තීරණය කළේ ඇය සහ ඇවන්ගාඩ් ව්‍යාපාරය හිමි මේජර් නිශ්ශංක සේනාධිපති අතර වී යැයි පැවසෙන දුරකතන සංවාදයක හඬ පටයක්  සමාජ ජාල වෙත මුදා හැරීමෙන් පසුය.
ඇවන්ගාඩ් ව්‍යාපාරික මේජර් නිශ්ශංක සේනාධිපති විසින්, අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය ද වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සමග කළ එම දුරකතන සංවාදය මුදා හැරියේ සිංගප්පුරුවේ සිටය.
එම හඩ පටය මුදා හරිමින්  නිශ්ශංක සේනාධිපති පැවසූයේ තමන්ට අල්ලස් කොමිසම නඩු පැවරුවේ දේශපාලන හේතුන් මත බවය.
දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා කියා සිටියේ තමන් සමග කළ සංවාදය බවට සේනාධිපති මුදා හැරි හඬ පටය විකෘති කළ එකක් බවය. සම්පූර්ණ සංවාදයම ප්‍රසිද්ධ කරන ලෙස ඇය අභියෝග කළේය.
සේනාධිපති මෙම චෝදනාවට පිළිතුරු දුන්නේ නැත.
ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවෙකු වන නිශ්ශංක සේනාධිපති සමග දුරකතන සංවාදයක යෙදීමෙන් වෘත්තිය ආචාර ධර්ම කඩ කළේ යැයි නීතිපතිවරයා ඇයට චෝදනා එල්ල කරන ලදී.
මෙම හඬ පටය පෙන්වන්නේ ආණ්ඩුව රාජපක්ෂ පවුලෙන් හා එම පවුලට සම්බන්ධ අයගෙන් දේශපාලන වශයෙන් පළිගැනීම් කරන බව යැයි රාජපක්ෂවරු කෑ ගැසූහ
බොරු කීමේ අතිදක්ෂයකු වන එවකට ජනාධිපති වූ සිරිසේන ද  උම්බෑ ගෑවේ මෙසේය:
“මේ දවස්වල අල්ලස් හා දුෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ නෝනගේ හඬ පටයක් යනවා හැමතැනම. තමුන්නාන්සෙලාට මතකද මම දන්නේ නැහැ අපේ ත‍්‍රිවිධ හමුදාපතිවරු උසාවියට ගෙනිච්ච වෙලාවේ, ආරක්ෂක ඇමති විදියට මගේ අනුදැනුමකින් තොරව. ඒ ගැන මම කරපු කතාවකින් තමයි දිල්රුක්ෂි ඩයස් අධ්‍යක්ෂ ජනරාල් ධුරය දාලා ඉල්ලා අස්වෙලා යන්න ගියේ.”
වැඩි පුරම කතා කළේ සේනාධිපතිගේ සල්ලිය. කතා නොකළේ ද සේනාධිපතිගේ සල්ලිය.
අවසානයේදී  මහා ඝෝෂාවකට මඟ පෑදූ එම හඩ පටය ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද එකක් බවට අධිකරණය තීන්දු කළේය.
2021 වසරේ මොරටුව විශ්වවිද්‍යාලය හා රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශන දෙකක තීරණය වූයේ එම හඬපටයේ සම්පූර්ණ දුරකතන සංවාදය ම විකෘති කර සංස්කරණය කර ඇති බවයි.
එම දුෂ්ඨ ක්‍රියාව කරන ලද්දේ  සේනාධිපති විසිනි.
එය හඬ පටයක් නොව මඩ පටයක් බව අධිකරණය ද තීරණය කළේ ඒ අනුවය.
එම අධිකරණ තීන්දුවෙන් පසු  සේවා තහනමට ලක්ව සිටි අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සියලු චෝදනාවලින් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය සේවා කොමිෂන් සභාව  මෙම අගෝස්තු මුල්  සතියෙහි දී තීරණය කරන ලදී.
එම කතාබහ සිදු වුයේ වජිර අබේවර්ධනගේ දුරකථනයෙන් නිස්සංක සේනාධිපති සමඟය. එවකට ඇමතිවරයකු වූ වජිර අබේවර්ධන සමඟ භෝජනයකට එක්ව සිටි දිල්රුක්ෂි ඩයස් වෙත සිය දුරකථනය දුන් වජිර අබේවර්ධන අනෙක් කෙළවරෙහි සිටි නිස්සංක සේනාධිපති සමඟ කතා කරන ලෙස කියා සිටියේය.  පසුව ව්‍යාජ ලෙස සංස්කරණය කර මුදා හරින ලද්දේ එම කතා බහය.
එම කතා බහ පටි ගත කර ගත හැකිව තිබුණේ වජිර අබේවර්ධනට සහ නිස්සංක සේනාධිපතිට පමණය.
දිල්රුක්ෂි ඩයස් යටතෙහි පවරන ලද අල්ලස් දූෂණ නඩු රාජපක්ස පවුල විසින් පත් කරන ලද අල්ලස් කොමිසම ඉල්ලා අස් කර ගත්තේ දුසිම් ගණනිනි. මෙම හඬ පට ප්‍රහාරය ඇයට එල්ල කරන ලද්දේ රාජපක්ෂ පවුලේ සහ රනිල් වික්‍රමසිංහගේ අනුගාමිකයින් හවුලේය.
එසේ නම් දැන් පැන නගින ප්‍රශ්නයක වන්නේ එම හඬ පටය ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද්දේ රනිල් රාජපක්ෂගේ සභාපති සහ ඇමතිවරයකු වන වජිර අබේවර්ධන ද ගෝටා ගේ ගජ මිතුරකු වූ  නිස්සංක සේනාධිපති ද යන්න ය.
දැන් විශ්‍රාම ගොස් සිටින දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ හිඟ වැටුප් සහ  සියලු වරප්‍රසාද  රජයේ අරමුදල් වලින් ගෙවීමට සිදු වනු ඇත.
එම මුදල් ගෙවනු ඇත්තේ සේනාධිපතිගේ හෝ වජිර අබේවර්ධනගේ ධනයෙන් නොවේ.
ව්‍යාජ හඬ පටයක සකස් කර නීතිපති දෙපාර්තමේන්තුව පවා නො මඟ යැවූ වංචා කාරයන්ට විරුද්ධව කිසිදු පියවරක් නො ගැනෙනු ඇති බව සහතිකය.
මන්ද යත් ලංකාවෙහි රජ යන්නේ නීතියේ පාලනය නොව අව නීතියේ පාලනය සහ දණ්ඩ මුක්තිය නිසාය.

සේ. පියවර්ධන විසිනි.

Archive

Latest news

Related news