Saturday, April 27, 2024

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල: කෝකටත් තෛලයක්ද, වස විසක්ද? (03) – ලයනල් බෝපගේ

නවෝත්පාදන සංස්කෘතියක් වර්ධනය කිරීම මත ආයතනයක දිගුකාලීන පැවැත්ම රඳා පවතී. මෙය ආයතනික ප්‍රමුඛතාවයක් විය යුතුය. උපදේශනාත්මක ලෙසත්, සැවොම සහභාගි කර ගන්නා ලෙසත් එවැනි සංස්කෘතියක් පෝෂණය කිරීම සඳහා නිදහසේ තොරතුරු ගලා යෑම, සේවක සේවිකාවන් බල ගැන්වීම, සහයෝගයෙන් යුතුව ගැටළු විසඳා ගැනීම සහ ව්‍යාපාරික අරමුණු ඉටු කර ගැනීමේදී වටිනාකම්, ප්‍රතිපත්ති සහ ක්‍රියා පිළිවෙත් එකට පෙළගැස්වීම අවශ්‍ය වේ.

එපිට බලන (outward looking) ලෝක දැක්මක්, කුසලතා පාදක කර ගත් රැකියා අවස්ථා, සේවක කුසලතා හා දැනුම හඳුනා ගැනීම, ආයු කාලය පුරා ඉගෙනීමටත්, නිපුණතා අත් කර ගැනීමටත් අනුබල දීම, අනාගතය ගැන විසල් සිහින දකින්නට පෙළඹවීම, ධූරාවලි අඩු කර ලීම සහ සමස්ත සහයෝගීතාවය වැඩි දියුණු කිරීම, විවිධත්වය පිළි ගන්නා ඊට ගරු කරන වාතාවරණයක් දිරි ගැන්වීම සහ හිමිකම සම්බන්ධ හැඟීමට හා අළුත් මුල් පිරීම්වලට අනුබල දීම ඉතා වැදගත් වේ. මේවා නවෝත්පාදන සංස්කෘතියක තීරණාත්මක ගුණාංග වේ. ආයතනයක් ගතික බවට, ප්‍රතිචාරාත්මක බවට, නම්‍යශීලී බවට, ශක්තිමත් බවට පත් වන්නේ එසේ වූ විට පමණකි.

ව්‍යාපාරයක් යථා තත්වයට හැරවීම

ශ්‍රම බලකායේ ක්‍රියාකාරී මැදිහත්වීමකින් තොරව ව්‍යාපාරික ආයතනයක් යථා තත්වයට පත් කළ නොහැකිය. ලැබෙන ප්‍රතිලාභ සේවා ස්ථානයේ සියළු දෙනා සමඟ බෙදාහදා ගන්නා බව සහතික කරමින් හැම සේවකයෙකුටම අපේක්ෂා කරන ක්‍රියාකාරිත්වය පිළිබඳව ඒත්තු ගන්වා, ඒ වෙනුවෙන් ඔවුන් හැම කෙනෙක්ම වග වන බවට පත් කළ යුතුය.

ආයතනය දැනටමත් භංගත්වයට පත්ව ඇත්නම්, තත්වය වහාම යථා තත්වයට හැරවිය යුතුය. මේ වාතාවරනය තුළ බාහිර අරමුදල් ලබා ගැනීම ඉතා අසීරු බවට පත් වේ. ඒ නිසා, ආයතනය පටන් ගත යුත්තේ ගාස්තු, වියදම්, නාස්තිය සහ වැරදි කළමනාකරණය අවම කිරීමෙන්. ආයතනය වෙත අය විය යුතු දේ කඩිනමින් එකතු කර ගනිමින්, මුදල් උපයා ගැනීම සඳහා පවතින නිෂ්පාදන සහ සේවා හොඳම පාරිභෝගිකයින්ට අලෙවි කිරීමෙනි.

ප්‍රධාන ප්‍රතිඵල අපේක්ෂා කරන ක්ෂේත්‍ර මෙන්ම ඒ ක්ෂේත්‍රවල කාර්ය සාධන දර්ශක නොකඩවා අධීක්ෂණය කරන අතරතුර, ශ්‍රම බලකායේ පූර්ණ කැපවීම හා පොරොන්දුව සමඟින් ආයතනය යථා තත්වයට හරවන සැලැස්මේ අඩංගු දැඩි තීරණ ක්‍රියාත්මක කළ යුතුය. ඒ හා සමඟම, ඒ ක්‍රියාවලියේදී පැන නඟින අපේක්ෂා නොකළ ආකාරයේ ඕනෑම තත්ත්වයක් ගැන තීරණාත්මක ලෙස සිතා බලා, ඒවාට සුදුසු පිළියම් යෙදීමට අප්‍රමාදව ක්‍රියා කළ යුතුය.

අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම සඳහා තීරණාත්මක වන්නේ පවතින තත්වය විග්‍රහ කිරීමේදී සංයමයෙන් යුත් ප්‍රවේශයක් යොදා ගැනීමත්, ආයතනය යථා තත්වයට හැරවීමට සැලැස්මක් සකස් කිරීමත්, ඒ සැලැස්ම හැම කෙනෙකුගේම අත්දැකීම් හා ප්‍රවීණත්වය යොදා ගනිමින් ක්‍රියාත්මක කිරීමත් ය.

දේශ ව්‍යාප්ත ආර්ථික අර්බුදයකට මුහුණ දීම

දේශපාලනය විශාල භූමිකාවක් ඉටු කරන හෙයින්, දේශ ව්‍යාප්ත ආර්ථික අර්බුදයකට මුහුණ දීම අඩුවෙන් මුදල් වියදම් කරනවාට වඩා සංකීර්ණ වෙයි. ප්‍රධානතම නව ලිබරල් මෙවලම වන කප්පාදුව හුදෙක් වියදම් කපා හැරීම් පමණක් නියෝජනය නොකරයි. එය පරිභෝජනයෙන් සහ වැටුප් වෙතින් සමාජය ඈත් කර, ආයෝජනය හා ලාභය දෙසට ගමන් කරවන ක්‍රියාවලියකි. ජන ජීවිතවල සුරක්ෂිතතාව සහ ස්ථිර බව හිලව්වට තබා මූල්‍ය ප්‍රාග්ධනය ශක්තිමත් කරන එම ක්‍රියාවලිය, සමාජයේ සමාජ-ආර්ථික අසමානතාවය වැඩි කිරීමට හේතුකාරක වෙයි.

වැඩි වැඩියෙන් රාජ්‍යය වෙත කා වදින පුද්ගලික ව්‍යවසායය, අගහිඟකමෙන් පෙලෙන අය කෙරෙහි අනුකම්පා විරහිත බවත්, කෲරත්වයත් පළ කරන සංස්කෘතියක් ජනිත කරවමින් ද, සමාජ ධූරාවලියේ, පරාධීනත්වයේ සහ තරඟකාරිත්වයේ වටිනාකම් බලාත්මක කරවමින් ද රාජ්‍යය වඩාත් දණ්ඩනීය, බලහත්කාරය යොදවන සහ සුබසාධනය වෙත අඩු නැඹුරුවක් දක්වන එකක් බවට පත් කරයි. චිලී රාජ්‍යය විඳ දරා ගත් දේ මෙන්ම ජය ගත් දේ මගින් පෙන්වා දෙන අන්දමට ඊට වඩා යහපත් හා සාධාරණ විකල්ප පවතී.

චිලි රාජ්‍යය සහ නව ලිබරල් අත්දැකීම

ඇමරිකා එක්සත් ජනපදයේ අනුබලය ලැබ ඔගස්ටෝ පිනොචේ මෙහෙයවූ හමුදා පාලනය විසින් සැල්වදෝර් අයියන්ඩේ ගේ තේරි පත් වූ ආණ්ඩුව පෙරළා දමන ලද බව 1973 චිලී රාජ්‍යය ගැන අපේ මතකයේ පවතී. එවකට ලතින් ඇමරිකාවේ වඩා ජනප්‍රිය වෙමින් තිබුන වමේ ව්‍යාපාරයට එරෙහිව කටයුතු කිරීමටත්, චිලි රාජ්‍යයට නව ලිබරල්වාදය හදුන්වා දීමටත් ඇමරිකා එක්සත් ජනපදය ආර්ථික විශේෂඥයන් කණ්ඩායමක්[1] චිලී රාජ්‍යයට යැවීය. මෙසේ කරන ලද්දේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලනය යටතේ නව ලිබරල්වාදය ශ්‍රී ලංකාවට හදුන්වා දීමට පෙර යි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කළ පිනොචේ එහි කොන්දේසි වලට අනුගත වී කටයුතු කරමින් රටේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කළේය.

ඔවුහු ජනසතු කිරීම් ආපසු හරවා, පොදු වත්කම් පෞද්ගලීකරණය කොට, නියාමනයකින් තොරව ස්වභාවික සම්පත් සූරා කෑම හඳුන්වා දී, සමාජ ආරක්ෂණය පෞද්ගලීකරණය කොට, විදේශ සෘජු ආයෝජන සහ නිදහස් වෙළඳාම සඳහා පහසුකම් සළසා දුන්හ. එවැනි ව්‍යාපාරික කටයුතුවලින් විදේශ සමාගම් විසින් චිලි රාජ්‍යය තුළ උපයන ලද ලාභාංශ ආපසු සිය රටට ගෙන යෑමට තිබෙන අයිතිය සහතික කළ පාලන තන්ත්‍රය, ආනයන ආදේශනයට වඩා අපනයන මුල් කර ගත් ප්‍රතිසාධන ක්‍රියාවලිය (export-led recovery) කෙරෙහි අනුග්‍රහය දැක්වීය.

මෙම වර්ධනයන් එසේ සිදු වූවත්, චිලී රාජ්‍යයේ අයවැය සාර්ථක වීමේ හැකියාව රඳා පැවතුනේ රජය සතුව පැවති ස්වභාවික සම්පත වූ තඹ වලින් උපදවන ආදායම මත යි. තඹවලින් ලැබෙන සියලුම ආදායම් ගලා ගියේ ආණ්ඩුවේ භාණ්ඩාගාරය වෙත යි. වර්ධන අනුපාතත්, ප්‍රාග්ධනය රාශිභූත වීමත්, විදේශ ආයෝජනවලට ඉහළ ලාභ අනුපාත ලැබීමත් වැනි චිලි රාජ්‍යයේ කරන ලද ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල වැඩි කල් පැවතුනේ නැත. 1982 ලතින් ඇමරිකානු ණය අර්බුදයත් සමඟ හැම දෙයක්ම නරක අතට හැරුණි.

අයි.එම්.එෆ් පැකේජයක අඩංගු හා අඩංගු නොවන දේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගලවා ගැනීමේ පැකේජයක් ලබා දෙන්නේ ආණ්ඩුවලට තම ආදායම් වැඩි කර ගැනීමට සහ වියදම් අඩු කර ලීමට අවශ්‍ය කරන කොන්දේසි සහිතව යි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සපයන ණය සම්බන්ධයෙන් ගත් විට, මෙයින් අදහස් කරන්නේ ජාතික සම්පත් සහ රාජ්‍ය ව්‍යවසායන් සම්පූර්ණයෙන්ම හෝ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් මඟින් පුද්ගලීකරණය කරන බවයි. ආහාර, සෞඛ්‍ය, විදුලිය, ඉන්ධන, අධ්‍යාපනය සහ ජලය ඇතුළුව සියළුම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමත් සමඟ සෘජු හා වක්‍ර බදු ඉහළ යනවා ඇත. එසේ වුවද, එවැනි ජනප්‍රිය නොවන ප්‍රතිපත්තිවලට එරෙහිව නැඟෙන ජනතා ප්‍රතිචාරවලට පාලක පැලැන්ති ප්‍රතිචාර දක්වනු ඇත්තේ පුද්ගලික අංශය ජාතික සංවර්ධනයට ආධාර කිරීමත් සමඟ කෘෂිකර්මාන්තය හා කර්මාන්ත නංවා ලීමෙන් වැඩි රැකියා ප්‍රමාණයක් උත්පාදනය කරන බවට ප්‍රතිඥා දීමෙනි. ඒ සමඟම ඔව්හු , සම්පත් නාස්ති කිරීම, ඒවා අව කළමණාකරණය කිරීම නායකයින්ගේ දූෂණය හා අකාර්යක්ෂමතාවය වැනි අර්බුදයට බල පාන අත්‍යවශ්‍ය හේතූන් මඟ හැර යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පර්යේෂණ අංශය 2016 දී ‘නව ලිබරල්වාදය: අධි-අලෙවියක්?[2]’ නමැති මාතෘකාව යටතේ පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්වාධීන ඇගයීම් කාර්යාංශය මූල්‍ය කප්පාදුව අපේක්ෂිත ප්‍රතිඵල අත් කර දී නොමැති බව පිළිගෙන තිබේ. මෙසේ තිබියදීත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආර්ථික වර්ධනය ඉහල නැංවීම සඳහා ස්වෛරී ණය අඩු කර ලීම ප්‍රවර්ධනය නොකරන නමුත් මූල්‍ය වියදම් අඩු කිරීමත් කප්පාදු කිරීමත් අවධාරනය කර සිටියි. ශ්‍රී ලංකාව සහ ඝානාව වැනි රටවල් සම්බන්ධයෙන් ගත් විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමන්ගේම උපදෙස් නොසලකා හරින බව පෙනේ. තවමත් ආර්ථික වර්ධනය වළක්වන කප්පාදු කිරීමේ පියවරවලට ඇලී ගැලී සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එලෙසින් දළ දේශීය නිෂ්පාදිතයේ ණය අනුපාතය අඩු කිරීමේ ප්‍රයත්නයන් වළකා ලයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව, රාජ්‍ය ව්‍යවසායන් වෙත කරන ලද අපේක්ෂා නොකළ පැවරීම් මෙන්ම අනපේක්ෂිත විනිමය අනුපාත අගය අඩු කිරීම් හේතුවෙන් ණය අඩු කිරීමේ ප්‍රයත්නයන් යටපත් කර දැමිය හැකිය. සිය වැඩසටහන්වල අදහස් කර නොතිබුණ ප්‍රතිවිපාකයක් වශයෙන් එවැනි යටපත් කිරීම් සිදු වන බවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගෙන නැත. මන්ද යත් ණයගැති රටවල් වෙළඳපොල නිශ්චය කරන ලද විනිමය අනුපාතවලට වෙනස් වී, පොලී අනුපාත ඉහල දමා, රාජ්‍ය සහනාධාර කපා හැරීම කළ යුතු වන හෙයිනි. එවැනි පියවර ව්‍යාපාර පිරිවැය ද ඉහළ නංවා ලයි.

තවදුරටත් ණය වෙන්නට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායකය තවමත් අවධාරණය කරන්නේ වඩා වේගවත් සහ වඩා ඵලදායී ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැනයි. මෙම පියවරවලින් රටවල් තවදුරටත් නය ආපදාවන්ට ලක් කොට, අධික පමාවන්ට, භූ දේශපාලනික බල පෑම්වලට සහ ප්‍රතිචාර නොදක්වන ණය හිමියන්ට මුහුණ දීම සඳහා යලිත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පතන්නට යොමු කර තිබේ. මෙවැනි පියවර විසින් රටවල් තවදුරටත් නය පීඩාවට යොමු කර ඇති අතර, උවමනාවට වඩා අධික ප්‍රමාදයන්ට, අයුතු භූ-දේශපාලන බලපෑම් වලට සහ ප්‍රතිචාර නොදක්වන ණය හිමියන්ට මුහුණ දීම සඳහා යලි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පතන්නට මඟ පාදා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමන්ගේම පර්යේෂණ නොළකා හැරීම හේතුවෙන්, ණය ගැති රටවල ජනතාවන්ටත් ආර්ථිකයන්ටත් අහිතකර ජීවන තත්ත්වයන් ගෙන එන බැරෑරුම් කොන්දේසි ඇතුළත් ණය දෙන වැඩසටහන් වෙත මඟ පාදා ඇත.

ඝානාව සහ ලංකාව වැනි රටවල්වලට අදාළව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ගැටලුවලට තුඩු දෙන සමාජ-ආර්ථික හා දේශපාලන තත්ත්වයන් දෙස බලන්නේ කලාතුරකිනි. අවදානම වන්නේ  රටක දළ දේශීය නිෂ්පාදිතයට තිබෙන ණය අනුපාතයේ ප්‍රමාණය ම නොවේ. ගැටළුව සැබවින්ම රැඳී ඇත්තේ නිෂ්පාදන, කෘෂිකර්මාන්ත, සේවා, බදු ආදායම් වැනි රටක් සතුව පවතින ආදායම් මාර්ග කවරේද යන්න සහ ඉතිරි කිරීම් හා සංචිත මට්ටම් ප්‍රමාණය කෙතරම්ද යන්න මත යි. ණය දෙන ආයතනවල පැහැදීම සහ විශ්වාසනීයත්වය රඳවා ගන්නා අතරතුර ආණ්ඩුවකට යම් ණය මට්ටමක් දරා සිටිය හැකිද යන්න මෙම සමස්ත චිත්‍රයෙන් පෙන්නුම් කරනවා ඇත. මෙම උපක්‍රම යොදා ගැනීමේ හැකියාව සීමා වුවහොත් හෝ අවදානමට ලක් වුවහොත්, වියදම් අවශ්‍යතා මෙන්ම ඉන් පැන නඟින අර්බුද විසඳා ගැනීමේ දී දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදු වනු ඇත. අවසානයේදී, මේ තත්ත්වයන් විසින් අර්බුදයකට මඟ පාදමින් රටක සෞඛ්‍ය, අධ්‍යාපනය සහ අනෙකුත් අත්‍යවශ්‍ය දේවල් කෙරෙහි අහිතකර ලෙස බල පෑම් කළ හැකිය.

[1] චිලී රාජ්‍යය නව ලිබරල් ආකෘතියේ පරීක්ෂණාගාරය වූයේය. චිලී ආර්ථිකය සමතුලිත කිරීම සඳහා ආණ්ඩුව සියළුම පෞද්ගලික අංශවලට කරන මැදිහත් වීම වහාම ඉවත් කර ගන්නා ලෙස ආර්ථික විද්‍යාඥයෝ (චිකාගෝ බෝයිස්) පිනෝචේගෙන් ඉල්ලා සිටියහ. උද්ධමනය සියයට 700 ට වඩා ඉහළ යාමත් සමඟ මෙම පියවර ආපසු කැරකුණේ ය. මෙම ප්‍රතිපත්ති ඉතා විනාශකාරී වූ අතර ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ක්‍රියාත්මක කිරීමට අපහසු ඒවා විය. බොහෝ දුරට මේවා ක්‍රියාත්මක කරනු ලැබුවේ එයට එරෙහිව කොතැනක හෝ මතු වන ඕනෑම විරෝධය පෑමකට එරෙහිව මිලිටරි ආඥාදායකත්වයන් සහ රාජ්‍ය ත්‍රස්තවාදී ව්‍යාපාර යොදා ගැනීමෙනි. ආර්ථිකය ආක්‍රමණශීලී ලෙස නියාමනය කිරීම සඳහා දේශපාලන ක්ෂේත්‍රය ආක්‍රමණශීලී ලෙස නියාමනය කිරීමට අවශ්‍ය විය. යොමු වන්න: https://www.hoover.org/news/chiles-chicago-boys-and-latin-americas-other-market-reformers and https://www.promarket.org/2021/09/12/chicago-boys-chile-friedman-neoliberalism/

[2] https://www.imf.org/external/pubs/ft/fandd/2016/06/ostry.htm

පළමු කොටස https://sinhala.srilankabrief.org/?p=44551

දෙවන කොටස https://sinhala.srilankabrief.org/?p=44586

Archive

Latest news

Related news