Sunday, June 23, 2024

ණය ප්‍රතිව්‍යුහගතකරණය, ආර්ථික කප්පාදුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල: සර්වරෝගනාශකයක් ද නැත්නම් තත්වය උග්‍ර කරවන්නක්ද? (2) ලයනල් බෝපගේ

නව ලිබරල් වාදය යනු විසදුම නොවේ, එය ගැටළුවේ ප්‍රධාන හේතුවයි. නව ලිබරල්වාදී මනසේ හොල්මන් කරන අන්දමේ උපක්‍රම භාවිතා කිරීමෙන් තොරව, ක්‍රියාත්මක නොවන ආයතනයක් වඩා කාර්යක්ෂම හා ප්‍රතිචාර දක්වන එකක් බවට පත් කළ හැකි ආකාරය පිළිබඳව මගේ වෘත්තීයමය ජීවිතයේ අත්දැකීම් පදනම් කර ගනිමින් කිසියම් පෞද්ගලික අදහස් සමූහයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. රට ගැඹුරෙන්ම මුහුණ පා සිටින ආර්ථික හා දේශපාලනමය වන මූලික ව්‍යුහාත්මක ගැටළු ආමන්ත්‍රනය කිරීම වෙනුවට කප්පාදුවට අදාළ නව ලිබරල් උපක්‍රම යොදා ගැනීම හේතුවෙන් වැඩ කරන ජනතාව වඩාත් පීඩාවට පත් කෙරේ. 1970 චිලියේ ඒකාධිපති කුමන්ත්‍රණයෙන් පසු, ජනතා අනුමැතියකින් තොරව ඒ රටේ ජනතාව මත කප්පාදු කිරීමේ වැඩපිලිවෙලක් බලයෙන් පටවන්නට යොදා ගත් ඉහළින් ගන්නා ලද තීන්දු පහළට පැටවීමේ ප්‍රවේශයත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් එහි පුරවැසියන්ට විඳින්නට සිදු වූ විනාශකාරී ප්‍රතිවිපාකත් මේ සම්බන්ධයෙන් හොඳම මුල් කාලීන උදාහරණ අතරින් එකක් වෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටකට බලපාන ණය අර්බුදයකට යොදා ගන්නා ප්‍රවේශයට පාදක වන‍ මතවාදී පුවරු මෙම ලිපියෙන් විස්තර කෙරේ. මූල්‍ය වගකීම සහ ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් එය නිකුත් කරන ආර්ථික ප්‍රකාශන, ශ්‍රී ලංකාව හෝ ඝානාව වැනි රටක මෙම ණය අර්බුදය විසින් වරින් වර ඉස්මතු වීමට ඉඩ සලසන සමාජ-ආර්ථික හා දේශපාලන හේතු කාරණා වෙත අවධානය යොමු කරන්නේ මඳ වශයෙනි.

නව ලිබරල්වාදය විසඳුම නොවේ!

1977 නව ලිබරල් ආර්ථිකය හඳුන්වා දුන් විට, ලංකාවේ අනුප්‍රාප්තික නායකයින් ජනතාවට කියා සිටියේ ඔවුන්ගේ අනාගතය නිදහස්, සාර්ථක සහ අදහා ගත නොහැකි තරමේ එකක් වන බවයි. එසේ වුවද, අපට උදා වෙන ලද අනාගතය ඔවුන් පැවසූ දේට වඩා හාත්පසින්ම වෙනස් වූවකි. ඒ වෙනුවට අප සතුව ඇත්තේ සමාජ හා ආර්ථික අසමානතාව හා අයහපත් පාලනය රජයන, ජනයාගේ නිදහස උදුරා ගනු ලබන සමාජයකි. නව ලිබරල් ආර්ථික ක්‍රමය බලයෙන් පටවා තිබෙන අනෙක් රටවල පවතින තත්වය ද මේ හිසමාන වේ.
නව ලිබරල්වාදය අවධානය යොමු කරන්නේ ආර්ථික සැලසුම්කරණයට වඩා ආර්ථික නියාමනය කෙරෙහි යි.
එය තරඟකාරිත්වය ප්‍රවර්ධනය කරමින් කවර අන්දමේ හෝ හසුරුවනු ලැබීමකට එරෙහිව වෙළඳපල දිශානතිය ආරක්ෂා කරයි. ඉතා කුඩා මට්ටමින් ගත් විට ව්‍යවසායකත්වය පුද්ගලයා වෙත ධනය නිර්මාණය කර දෙන බවත්, මහා පරිමාණ මට්ටමින් ගත් විට ඔවුන් එවැනි හැසිරීම් විසින් ඇති කරවනු ලබන සමාජ ආර්ථික අසමානතා පිළි ගත යුතුව තිබෙන බවත් විශ්වාස කරන නව ලිබරල්වාදීහු ව්‍යවසායකත්වය වැළඳ ගැනීමට ජන  දිරිමත් කර ලති.
මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය, සිවිල් නිදහස, අගතියෙන් තොර වීම හා සෞභාග්‍යය වෙනුවට අපට සතුව ඇත්තේ අධිකාරවාදය ප්‍රවර්ධනය කරන, කාලයත් සමඟ අපගේ අයිතිවාසිකම් සහ නිදහස
ක්‍රමයෙන් සෝදා පාළුවට ලක් කරන, අමිහිරි ඒකීය-සංස්කෘතික ජාතිකවාදයක නාමයෙන් ඒවා
සාධාරණය කරන ක්‍රම පද්ධතියකි. අපට ඇසෙන භාෂාව සහ තර්කණය ප්‍රජාතන්ත්‍රයන් ගැන වුවද,
යථා ලෝකයේ අපට හමු වන්නේ වර්ධනය හා ඵලදායිකත්වය පිළිබඳ රැවටිලි වදන්වලට මුවා වුන ආර්ථික ආඥාදායකත්වයන් ය. ඒ අතර වාරයේ ආර්ථික ඵල ප්‍රයෝජන වැඩි වැඩියෙන් සමාජයේ ඉහළ ස්ථර වෙත ගලා ගොස් තිබේ.

වක වුනු ආර්ථිකය උගුලක්

මෙම අස්ථාවරවූත්, අසාධාරණවූත් ආර්ථික ක්‍රමය වෙනස් නොකළහොත් ශ්‍රමය හා අනෙකුත් යෙදැවුම් තුලින් ලබා ගන්නා ලද ඵලදායකත්ව ප්‍රතිලාභවලින් ආර්ථික හා දේශපාලන ක්ෂේත්‍රයන්ට අරක්ගත් ප්‍රභූ පැලැන්තිය විසින් අත් කර ගෙන තිබෙන ධන සම්පත් වෙනුවෙන් අඩුවෙන් බදු ගෙවීම නොකඩවා කර ගෙන යනවා ඇත. මෙම අසමාන ක්‍රමයෙන් ප්‍රතිලාභ ලබන දේශපාලන ප්‍රභූ පැලැන්තියට තමන් ගෙවිය යුත සාධාරණ බදු කොටස ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු කරන්නට කිසිදු අපේක්ෂාවක් නැත; ඒ වෙනුවට, පාලන තන්ත්‍රය ඉදිරිපත් වන්නේ වැඩි රැකියා අවස්ථාවන් මෙන්ම කරුණාවෙන් යුත් වැඩ කරන තත්වයන් ඇති කිරීම සඳහා සුදුසු වන්නේය යන වැරදි පදනම මත පිහිටා ප්‍රභූ පැලැන්තියේ බදු කපා හැරීමට යි.
ඒ වෙනුවට, තමන්ට හා තම පවුලේ අයට ආහාරවේලක් සපයා දීම සඳහා පමණක් වෙනුවෙන් දිගු කල් වැඩ කරන්නට ජනයා කොටු වී සිටිති. සුරක්ෂිතභාවයෙන් තොරව දරිද්‍ර වැඩ කරන තත්වයන් විඳ දරා ගන්නට ඔවුන් බොහෝ දෙනෙකුට බල කරන ලදුව, සමාජ ඇසුරක් හෝ විවේකයක් සඳහා තරම්වත් වේලාවක් ඔවුන් සතුව නොමැත. ඒ අනුව, විකල්ප සෙවීම සඳහා රැකියාවෙන් ඉවත් වන්නට තරම් සුව පහසු වාතාවරනයක් ඔවුන් සතු නොවේ.
පැතිර පවත්නා ක්‍රමයත් එහි අනුග්‍රාහකයනුත් විසින් අපට අපගේ සෞභාග්‍යය කෙබඳු වේදැයි
නැතහොත් අපගේ ජීවිත ගෙවන්නේ කෙසේදැයි තෝරා ගන්නට ඇති හැකියාව මොට කර දමා ඇත. අන් අයගේ නිදහස අහිමි නොකර හෝ ඊට බාධා නොකර අපගේ නිදහස අපේම මංපෙත් වලින් ලුහු බැඳ යාමේ අයිතිය අපට අහිමි වී තිබේ. ආදරය, නිවාඩුව, විවේකය සහ නිර්මාණය සඳහා එම නිදහස මිලදී ගන්නට හැකියාව තිබෙන අයට පමණක් එම අයිතිය භුක්ති විඳීම සීමා කොට ඇත. මෙය අසාධාරණ වනවා පමණක් නොව අතාර්කික ද වෙයි.

ව්‍යාපාරයක් කර ගෙන යෑම සහ රටක් පාලනය කිරීම

ව්‍යාපාරික ආයතනයක් පවත්වාගෙන යාම හෝ නිවසක් කළමනාකරණය කිරීම, රටක් පාලනය කිරීම
වැන්නක් නොවන්‌නේ වුවද, සමාන උපාය මාර්ග යොදා ගත හැකි අවස්ථාවන් පවතී. මූල්‍යමය වශයෙන් භංගත්වයට පත්ව ඇති අවස්ථාවන් ඉන් එකක් වශයෙන් සැළකිය හැකිය. අර්බුදය ආමන්ත්‍රණය කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමේ ප්‍රවේශයක් යොදා ගැනීම අවධාරනය කිරීම සඳහා මට මගේම වූ ව්‍යාපාරික අත්දැකීම් සමූහයක් යොදා ගන්නට අවසර දෙන්න. 1987 දී මම, ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන සංවිධානයේ පාඩු විඳිමින් පවත්වා ගෙන ලිය වෙළඳ ඒකක කිහිපයක් ඵලදායක, ලාභ ලබන ඒකක බවට පත් කිරීමේ වගකීම භාර ගත්තෙමි. වසරක් තුල දී මට ප්‍රතිඵල පෙන්විය හැකි වූ අතර එම ඒකක හා රම බලකාය පුළුල් කොට වඩා හොඳ වැටුපක් ඔවුන් වෙත ලබා දෙන්නටද මට හැකි විය. මෙම පරිවර්තනය සම්පූර්ණ කර ගත්තේ ශ්‍රී ලංකාවේ අතිශය දුෂ්කර සමාජ-ආර්ථික හා දේශපාලන පරිසරයක් පවතින අතරතුර දී ය.
මා මුහුණ දුන් තත්වය විශේෂ එකක් නොවූයේ ව්‍යාපෘති හෝ වෙළඳපල අසාර්ථක වීම, අලෙවිය සහ
වෙළඳපල කොටස් අඩු වීම, ලාභාංශ හැකිළී යෑම, කාලෝචිත හා නිවැරදි තොරතුරු නොමැති වීම,
අධෛර්යමත් වුනු ශ්‍රම බලකායක්, මූල්‍ය පාලනයක් නොමැතිකම සහ අදක්ෂ කළමනාකරණය වැනි
අභ්‍යන්තර හා බාහිර සාධක බොහොමයක බලපෑම යටතේ අසාර්ථක වන වෙළඳ ආයතන යලි යථා
තත්වයට පත් කිරීමේ සමාන අන්දමින් පසුබට කරවන කාර්යයන්ට බොහෝ දෙනෙකු මුහුණ දෙන බැවිනි.
එවැනි ව්‍යාපාරික අසාර්ථක වීම් බොහෝ විට තමන්ම සිදු කර ගන්නා ඒවා බව මගේ විෂ්වාසය යි.
භංගත්වයට පත් අවස්ථාවක කටයුතු කිරීම ව්‍යාපාරයක් නීරෝගී නොවේ නම්, එහි ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ සේවක මණ්ඩලය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් තම ආර්ථික පැවැත්ම යහපත් කර ගන්නා අන්දම ගැන සැලැස්මක් සකස් කරගත යුතුය. මෙසේ කරන්නට තිබෙන හොඳම මාවත වන්නේ මෙතෙක් වැරදී ඇත්තේ මොනවාදැයි යන්න
මෙන්ම ආර්ථික අපේක්ෂාවන් වඩා යහපත් බවට පත් කර ගැනීම සඳහා නායකයින් ඇතුළු හැම කෙනෙකුටම යෝජනා කළ හැකි කරුණු පිළිබඳව විවෘතව සාකච්ඡා කිරීම යි.
නායකත්වය පවතින වාතාවරණය බැරෑරුම් ලෙස සලකා බලා විග්‍රහ කොට, උපදේශනාත්මකව සහ
සැවොම ඇතුළු කර ගනිමින් අයිතිකරුවන්, කළමනාකරුවන් හා සේවකයින් වෙත සාධාරණ වන්නාවූ ඇතැම් ක්‍රියා මාර්ග පිළිබඳව තීරණ ගත යුතුය. සනාථ කර තිබෙන ව්‍යාපාර අත්දැකීම් ඇති වෘත්තිකයන්ගේ උපදෙස් ඔවුන්ට ලබා ගත හැකිය. ඉන්පසු, එසේ ගන්නා ලද තීරණ ප්‍රක්‍රීය ලෙස ක්‍රියාත්මක කළ යුත්තේ කවර හේතුවක් නිසා හෝ අසාර්ථක වුවහොත් ගත හැකි ආකාරයේ හදිසි සැලසුම් ද අතැතිව යි.
කළ නොහැකි දෙයක් නොවුනත් මෙය දුෂ්කර කටයුත්තක් වේ. නැතහොත්, විකල්පය වන්නේ දේශපාලන අනුග්‍රහය, දූෂණය හා කළු සල්ලි යනාදිය හරහා දුරාචාරවත් හා නීති විරෝධී මාවත් යොදා ගැනීමයි.
නිවැරදි දේ කිරීමෙන් වඩා හොඳින් හා සවිමත් ලෙස ක්‍රියා කරමින් බොහෝ ව්‍යාපාර ආපසු යථා
තත්ත්වයට පත් වෙයි. මක්නිසාද යත්, සාර්ථකත්වය රඳා පවතින්නේ සංවිධානයේ නායකත්වය, ඔවු න් අදාළ උපදෙස් ගන්නවාද, ඒ උපදෙස් ඇගයීමට ලක් කරනවාද, දැඩි මුත් අවශ්‍ය තීරණ ගන්නවාද නැද්ද යන්න මත යි. ඒ අන්දමට ඔවුුහු කටුක එදිරිවාදී පරිසරයක් ඇති කර ගැනීමෙන් තොරව ව්‍යාපාරය යථා තත්වයට පත් කර ගැනීමේ සැළැස්ම සාර්ථක ලෙස ක්‍රියාත්මක කරති.

භංගත්වයක් ඇමතීම

මගේ අත්දැකීමට අනුව, ව්‍යාපාරවල අවධානය මේ වන විටත් හොදින් අලෙවි කෙරෙන භාණ්ඩ හෝ සේවාවන් නිපදවීම සහ විකිණීම කෙරෙහි නොකඩවා යොමු කළ හැකිය. ඒ සමඟම වෙළඳ පොලේ නොනැසී පවතින්නටත්, තරගකාරීත්වයට මුහුණ දෙන්නටත් හැකි වන අන්දමට නව නිෂ්පාදන හා සේවාවන් වැඩි දියුණු කළ යුතුය. මෙහිදී අවධානය යොමු කළ යුත්තේ පාරිභෝගිකයන්ට අවශ්‍ය මොනවාද සහ ආයතනය සපයන දේවලින් ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ලිය හැකිද යන්න ගැනයි.
විශ්වාසය යලි දිනා ගැනීම සඳහා, පවතින නිෂ්පාදන/සේවා වැඩිදියුණු කළ යුතු විය හැකිය; නොඑසේනම් වෙළඳපළට මිලෙන් අඩු සහ වඩා හොඳ තත්ත්වයේ නව නිෂ්පාදන/සේවා සපයා ලිය හැකිය. වාණිජ නාමකරණය වෙනස් කරන්නටත්, අළුත් අලෙවි උපාය මාර්ග අනුගමනය කරන්නටත් සිදු විය හැකිය. මිල නියම කිරීම තරඟකාරී විය යුතු වන නමුත් ආයතනයේ අඛන්ඩ මූල්‍ය පැවැත්ම සහතික කරන අන්දමට     සාධාරණ වන ලාභ උපදවා ගැනීම කළ යුතු වේ.
මීට අමතරව, එක් එක් සේවකයාගේ කුසලතා ද, ඔවුන්ගේ දායකත්වය ද වඩා හොඳින් යොදා ගත හැකි වන පරිදි මානව සම්පත් සුදුසු තැන්වලට පත් කළ යුතු වේ. ණයට ලබා ගෙන ඇති මුදල් ද ඇතුළුව ව්‍යාපාරයේ බිල්පත් නියමිත වේලාවට පියවීම සඳහා ප්‍රමාණවත් වන තරම් මුදල් ගලා ඒමක් ව්‍යාපාරය සතුව පැවතිය යුතුය. ව්‍යාපාරය සිය මූල්‍ය කටයුතු හොඳින් හසුරුවා ගත යුතු වේ. එසේම, ව්‍යාපාරය වග වීමෙන් ද, විනිවිද භාවයෙන් ද යුක්ත විය යුතු අතර එහි ගණුදෙනු ආපසු සළකුණු කර ගත හැකි අන්දමට සිදු කළ යුතුය. අයහපත් මූල්‍ය වාර්තාකරණ යොදා ගැනීම, ව්‍යාපාරය බංකොලොත් කිරීමටත්, වසා දැමීමටත් මඟ පෑදිය හැකිය. එවැනි යොදා ගැනීම් වහාම නතර කර දැමීමට කටයුතු කළ යුතුය. එනයින් ගත් විට, වඩා හොඳ මූල්‍ය වාර්තාකරණයක් පවත්වා ගැනීම තීරණාත්මක බවට පත් වේ.
(මේ ලිපියේ ඊළඟ කොටසින් පෙන්වා දෙනු ඇත්තේ කප්පාදුවක ස්වරූපය ගත් ආර්ථික සර්වරෝගනාශකය අර්බුදයට හේතු කාරක වන මූලික ව්‍යුහාත්මක හේතූන් ආමන්ත්‍රණය නොකරන හෙයින් එම කප්පාදුව අසාධාරණ වෙනවා පමණක් නොව රජයේ සමඟිය කෙරෙහි ද අහිතකර බලපෑමක් ඇති කරන බවයි. මතු සම්බන්ධ යි)

Archive

Latest news

Related news