Tuesday, May 28, 2024

සම ලිංගිකත්වය සහ බුදු දහම: යටත්විජිතකරණය වූ මනස – දමිත් චන්දිමාල් (අවසන් කොටස)

පෙර ලිපිවල සාරාංශය

මේ ලිපි මාලාවේ අවසන් ලිපියයි. පළමු කොටසින් එල්ජීබීටීඅයිකිවු අනන්‍යතා සහ වර්තමානයේ එම අනන්‍යතා බුදුදහමට අනුකූල වන්නේ දැයි යන්න සම්බන්ධයෙන් මතු වී ඇති වත්මන් උනන්දුව ගැන කතා කළ අතර, ඒ ගැන මගේ ස්ථාවරය වූයේ මේ බුද්ධාගම සහ ‘සමලිංගික ප්‍රශ්නය’ කියන්නේ වර්තමාන ප්‍රශ්නයක් මිස බුදු සමයේ, හෝ යටත්විජිත සමයට පෙර ලංකාවේ ප්‍රශ්නයක් නොවන බවයි.
සෑම මිනිස් ශිෂ්ටාචාරයකම, මිනිස් සමාජයකම පාහේ සමලිංගික ලිංගික හැසිරීම් පැවැති ආකාරයත්, වත්මන් එල්ජීබීටීඅයිකිවුඒ+ අනන්‍යතා ගැනත්, මෑත දී සමලිංගිකත්වය සාපරාධී කරන නීති ඉවත් කිරීමට ගෙන ආ නීතිය බුද්ධාගමට විරුද්ධ යැයි කියමින් පිරිසක් උසාවියේ පෙත්සමක් ගොනු කළ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් ගෙන ආ තර්ක විතර්කවල සාරාංශයක් ද එම පළමු ලිපියේ අඩංගු වූවා.
දෙවැනි ලිපියෙන් කතා කළේ බුද්ධ කාලීනව පැවැති පණ්ඩක, සහ උභතොබ්‍යඤ‍්ජනක ආදී විවිධ වෙනස් ලිංගික අනන්‍යතා, සහ ඒ අයට පැවිද්ද තහනම් වීම සහ චක්‍රවර්ති සීහනාද සූත්‍රයේ මිථ්‍යා ධර්ම සම්බන්ධවයි. එම ලිපියෙන් ත්‍රිපිටකයේ අන්තර්ගතය විමර්ශනය කරමින් සමලිංගිකත්වය කෙරේ බුදු දහමේ මතය වැඩිදුර විමර්ශනය කළා.
තුන්වැනි ලිපියෙන් සමලිංගිකත්වය, විවිධ ස්ත්‍රී පුරුෂ සමාජභාවයන් සම්බන්ධ කාරණා ගැන අනන්‍යතාවලින් ඔබ්බට, ලිංග සංක්‍රාන්තිය, හැරවීමේ ප්‍රතිකාර, කර්මය, කාමයේ වරදවා හැසිරීම ආදී දෑ ගැන බුදු දහමේ මතය ගැන තවදුරටත් සාකච්ඡා කළා. මේ ලිපියෙන් කතා කරන්නේ යටත්විජිතකරණය මේ මාතෘකාව සම්බන්ධයෙන් වත්මන් බෞද්ධ කතිකාව නිර්මාණය කිරීමට බලපා ඇති ආකාරයයි.

“කෝට්ටේ රාජධානියේ සොදොමි පාපය ඉතා තදබල ලෙස පැතිර ගොස් ඇති අතර, අපට මෙහි ජීවත් වීමට පවා බයංකර තත්වයක් මේ නිසා ඇති වී ඇත. එවැනි නරක පාපී ක්‍රියාවක් ගැන ලැජ්ජා නොවන්නේ මන්දැයි අප රාජධානියේ ප්‍රධානියකුගෙන් ඇසූ විට ඔහු අපට පිළිතුරු දුන්නේ තමන්ගේ රජතුමා කරන සියල්ලම ඔවුන් ද කරන බවත්, එය තමන්ගේ සම්ප්‍රදාය බවත්ය.” 

යටත්විජිතකරණය සහ සමලිංගිත්වය සාපරාධී කිරීම 

සමලිංගිකත්වය සාපරාධී  කිරීම ගැන යටත්විජිතකරණයේ සෘජු බලපෑමක් තියෙනවා. බටහිර ජාතීන් අප රටට පැමිණෙන්නට පෙර සමලිංගිකත්වය යනු අපරාධ වරදක් යැයි අදහසක් අප රටේ තිබුනේ නැහැ. මෙයට ඉතා හොඳ උදාහරණයක් වන්නේ 1547 වර්ෂයේ දී එවක ඉන්දියාවේ ආණ්ඩුකාරවරයා (viceroy of India) වූ D. João de Castro හට ලංකාවේ සිටි පෘතුගීසින් විසින් ලියන ලිපියයි. මෙහි ඉංග්‍රීසි පරිවර්තනයක් චන්ද්‍රා ද සිල්වා සංස්කරණය කළ Portuguese Encounters with Sri Lanka and the Maldives: Translated Texts from the Age of the Discoveries නම් පොතේ සඳහන් වෙනවා.
“කෝට්ටේ රාජධානියේ සොදොමි පාපය ඉතා තදබල ලෙස පැතිර ගොස් ඇති අතර, අපට මෙහි ජීවත් වීමට පවා බයංකර තත්වයක් මේ නිසා ඇති වී ඇත. එවැනි නරක පාපී ක්‍රියාවක් ගැන ලැජ්ජා නොවන්නේ මන්දැයි අප රාජධානියේ ප්‍රධානියකුගෙන් ඇසූ විට ඔහු අපට පිළිතුරු දුන්නේ තමන්ගේ රජතුමා කරන සියල්ලම ඔවුන් ද කරන බවත්, එය තමන්ගේ සම්ප්‍රදාය බවත්ය.”
සොදොමි යනු ඒ කාලයේ සමලිංගිකත්වය ඇතුළුව බයිබලයට අනුව සදාචාරයට විරුද්ධ යැයි ඔවුන් සිතූ සියලු ලිංගික හැසිරීම්  හැඳින්වීමට යොදා ගත් වචනයකි. සොදොමි යන්න වර්තමානයේ යෙදෙන්නේ සමලිංගික ලිංගික හැසිරීම් පාපයක් යැයි හඳුන්වන ක්‍රිස්තියානි යෙදුමක් විදියටයි. කෙසේ වුවත්, ලංකාවේ එවක පැවැති ලිංගික නිදහස නිසා බටහිර ජාතීන් තදබල කම්පනයකට ලක් වූ බවට මෙය ඉතා හොඳ උදාහරණයක් සපයනවා.
ඒ කාලයේ සමලිංගික හැසිරීම්වල යෙදුනු අයට එරෙහිව ලංකාව පාලනය කළ බටහිර ජාතීන් විසින් මරණ දඬුවම සහ බරපතල දඬුවම් නියම කළා. බටහිර චින්තනයට අනුව මෙය බරපතල වරදක් සහ ලැජ්ජාවක් වුවත්, එකල ලංකාවේ මිනිස්සුන්ට මෙය එවැන්නක් වූයේ නැහැ. ඔවුන් බොහෝ විට මෙය මනුෂ්‍ය ලිංගිකත්වයේ කොටසක් ලෙස දකින්නට ඇති.  ඒ වගේම ඒ ගැන විශේෂ උනන්දුවක් දැක්වූ බවක් කිසිදු ලෙසකින් පෙනෙන්නේ නැහැ.

බ්‍රිතාන්‍ය සදාචාර නීති

ලංකාවේ මිනිස්සුන්ට අද පවතින ලිංගිකත්වය ගැන සදාචාර නීති ඇතුළුව අපරාධ නීතිය මූලික වශයෙන් හඳුන්වා දෙන්නේ ලංකාව යටත් කර ගන්නා බ්‍රිතාන්‍ය පාලකයන් විසිනුයි. දැනටත් ක්‍රියාත්මක වෙන නීති දිහා බැලූ විට, 1841 හඳුන්වා දෙන අයාල ආඥා පනත යටතේ මුලින්ම සමලිංගිකත්වය වරදක් වෙනවා. මෙම නීතිය හඳුන්වා දුන්නා යැයි කියන්නේ බ්‍රිතාන්‍ය වතුවල සේවයට පැමිණි කම්කරුවන් ඒවායෙන් පලායාම වලක්වා ගැනීම සඳහා යැයි කියවෙනවා.
මේ නීතිය යටතේ සමලිංගික ලිංගික හැසිරීම හඳුන්වන්නේ “කාමුක සංසර්ගය” ලෙසයි. බයිබලයේ ඉගැන්වීම් අනුව මිනිසුන් ලිංගික හැසිරීම්වල යෙදිය යුත්තේ ප්‍රජනන කාර්යය සඳහා පමණක් බවත්, ඊට වෙනස් සියලුම ලිංගික ක්‍රියා වැරදි බවත් යන අදහස මේ නීතිය තුළ තිබෙනවා.

අයාල ආඥාපනත යනු

වික්ටෝරියා රැජින විසින් වහල් ක්‍රමය අහෝසි කළ බව කීවත්, එම තත්ව යම් යම් වෙනස් ආකාරවලින් අප රට තුළ පැවැති බවට වඩා හොඳ උදාහරණයක් වන්නේ වතු කම්කරු ප්‍රජාව ඓතිහාසිකව මුහුණ දුන් මෙවැනි තත්වයනුයි. අයාල ආඥාපනත යනු පැහැදිලිවම පොහොසතුන්ට වාසි දායක වෙන සේ දුප්පතුන්, නිවාස නැති අය සිරගත කිරීමට යොදා ගත් පනතකුයි. කෙනෙක් මහපාරේ සිටියත්, නිකරුනේ සිටියා කියා අත්අඩංගුවට ගැනීමට ප්‍රතිපාදන මේ පනත යටතේ තියෙනවා.  මෙසේ පලා යන වතුකම්කරුවන් අත්අඩංගුවට ගැනීමට නිර්මාණය මේ නීතිය, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්, ලිංගික ශ්‍රමිකයන් ආදීන් ද අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීමට ආරම්භයේ සිටම භාවිතා වී තිබෙනවා. සාධාරණ නඩු විභාගයකින් තොරව විවිධ චෝදනා නගා දුප්පතුන් ලංකාවේ පදිංචි බටහිර ජාතිකයන් සිටින නිවාස ආශ්‍රිත ගැවසීමෙන් වැළැක්වීමට ද, ඔවුනට විරුද්ධව හඬ නැගීම වැළැක්වීමට ද මේ නීතිය භාවිතා වූ බවට එසේම සාක්ෂි තිබෙනවා.
සමලිංගිකත්වය ගැන ප්‍රශ්නයේ දී වර්තමානයේ දී වඩාත්ම සාකච්ඡාවට බඳුන් වී ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 අ යටතේ සමලිංගිකත්වය අපරාධයක් කිරීමයි. 1883 දී ලංකාවට හඳුන්වා දෙන දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය යටතේ සමලිංගිකත්වය අපරාධ වරදක් බවට පත් කෙරෙනවා. මේ නීතිය යටතේ සමලිංගික ලිංගික හැසිරීම හඳුන්වන්නේ “කාමුක සංසර්ගය” ලෙසයි. බයිබලයේ ඉගැන්වීම් අනුව මිනිසුන් ලිංගික හැසිරීම්වල යෙදිය යුත්තේ ප්‍රජනන කාර්යය සඳහා පමණක් බවත්, ඊට වෙනස් සියලුම ලිංගික ක්‍රියා වැරදි බවත් යන අදහස මේ නීතිය තුළ තිබෙනවා. මේ නීතිය බ්‍රිතාන්‍යයට ලංකාවට පමණක් හඳුන්වා දුන් නීතියක් නොවේ. ආසියාවේ සහ අප්‍රිකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත ගණනාවකට මේ නීතිය එකම වචන පාවිච්චි කරමින් බ්‍රිතාන්‍ය පාලකයන් විසින් හඳුන්වා දෙන අතර, ඒවා අදටත් එම රටවලින් ඇතැම් ඒවායේ පවතිනවා. ඒවා ලංකාවේ මෙන්ම දේශීය සංස්කෘතිය යන ලේබල් අලවා ගෙන පෙනී සිටින අතර, මේ නීතිවල පවතින යටත්විජිත ස්වරූපය ගැන සාකච්ඡාව එතරම් ජනප්‍රිය එකක් නොවෙයි.
යටත් විජිතකරණය සහ සමලිංගිකත්වය අපරාධකරණය විවිධ රටවල සිදු වූ ආකාරය ගැන බැලීමට දේදුනු සංවාද විසින් පළ කළ මේ වීඩියෝව බලන්න. https://www.facebook.com/dedunu.sanwada/videos/204257348644189 පෙර බටහිර රටවල්වල අපරාධයක් වූ සමලිංගික ලිංගික ක්‍රියා දැන් ක්‍රමයෙන් ඒ රටවල්වලින් ඉවත් වී ප්‍රධාන වශයෙන් ආසියාවේ සහ අප්‍රිකාවේ රටවල්වල පමණක් පවතින නීතියක් බවට පත්ව තිබෙනවා.

බටහිර සහ පෙරදිග දෙබෙදුමෙන් ඔබ්බට සිතන්න.

බටහිර යනු කුමක්ද? පෙරදිග යනු කුමක්ද? අජිත් අමරසිංහ ලියූ ලිපිය තුල මේ දෙබෙදුමට සෑහෙන වැදගත්කමක් දී තිබුනා. අපි ජීවත් වන ගෝලීයකරණය වූ ලෝකයේ මෙවැනි දෙබෙදුමක් හරහා කාරණා විස්තර කිරීමට යාම ජාතිවාදීන් වැටෙන වලේම අප වෙන විදියකට වැටීමක් බව මට හිතෙනවා.
මීට සියවසකට පෙර බටහිර තිබූ වටිනාකම් අද වෙන විට අප වැනි රටවල දේශීය වටිනාකම් සහ සංස්කෘතිය නම් සළු පිළි පොරවා ගෙන අප ඉදිරියේ පෙනී සිටිනවා. සමලිංගිකත්වය ගැන ඇති වර්තමාන ලංකාවේ ආකල්ප සහ වසර වසර සියයකට හෝ ඊට පෙර බටහිර මානසිකත්වය සසඳා බැලීම කළහොත් මගේ අදහස වන්නේ දැන් අතීත බටහිර ජීවත් වෙන්නේ පෙරදිග මිනිසුන්ගේ මනස තුළ බවයි.
බටහිර යන අදහසත්, කාලය සමග, විවිධ කලාප සමග, විවිධ පුද්ගලයන් සමග, බලය ක්‍රියාකරන ආකාරය අනුව වෙනස් වෙන අදහසක්. පෙරදිග යන්නත් එහෙමයි. පෙරදිග ලංකාව, චීනය, ඉන්දියාව, තායිලන්තය, ජපානය වැනි රටවල් කිහිපයක් ගත්තත්, ලංකාව ඇතුළත යාපනය, මහනුවර, කොළඹ වැනි ප්‍රදේශ තුනක් ගත්තත් මේවා අදහස් අනුව, නියෝජනය අනුව, කොයි තරම් වෙනස් වන්නේද යන්න මා කිව යුතු නැහැ. බටහිර-නැගෙනහිර, ගැහැණු-පිරිමි, විෂමලිංගික-ද්විලිංගික, ආණ්ඩුපක්ෂය-විපක්ෂය, දේශප්‍රේමී-දේශද්‍රෝහී වැනි එකිනෙකට පසමිතුරු විශාල කාණ්ඩ තුළට දේවල් වර්ග කරද්දී අප පරිස්සම් විය යුතුයි.
(1) සමහර විටක මේවා එකිනෙකින් ඒ තරම් වෙනස් නැහැ.
(2) අපිට පුංචි පුංචි විස්තර සහ විවිධත්වය නොපෙනෙන තරමට ලොකු කාණ්ඩ තුළට දේවල් වර්ග කිරීම පහසුයි.
මගේ අදහස වෙන්නේ මේවා ගැන දෙකට බෙදා තේරුම් ගන්නට යනවාට වඩා පුළුවන් තරම් නිදහස් ලෙස, සවිචාරී ලෙස සහ අදාළ සන්දර්භයන් පුළුවන් තරම් තේරුම් ගනිමින් මේ කාණ්ඩ දෙස බැලීම වඩා සුදුසු බවයි.

සමලිංගික ප්‍රශ්නය සහ බල ස්ථරායනය 

“සමලිංගික ප්‍රශ්නය” යනුවෙන් ප්‍රශ්නයක් අද වෙන විට ලංකාවේ නිර්මාණය වී තිබෙන්නේ මේ අප සිටින යටත්විජිතකරණය වූ මානසිකත්වය නිසා මිස, කෙනෙකුගේ පුද්ගලික ජීවිතය සහ ලිංගිකත්වය අපරාධ වරදක් ලෙස දුටු තත්වයක් යටත්විජිතකරණයට පෙර මේ රට අයත් භූමි භාගයේ තිබූ බවට කිසිදු සාක්ෂියක් නැහැ.
යම්තාක් දුරටකට මේ ප්‍රශ්නය ලංකාවේ ඇති විශාල අවුලේ සෑම කොටසක්ම නියෝජනය වෙන එකක් ලෙස හැඳින්වූවාට වරදක් නැහැ. ලංකාවේ අයාල ආඥාපනත විසින් දුප්පතුන් ඉලක්ක කළා සේම, ඉන්දියාවේ හිජ්රා ප්‍රජාව සාපරාධී කිරීමට නීති පැනවූවා සේම, මෙම ලිංගික සදාචාර නීතිවල පවතින ස්වභාවය වෙන්නේ සමාජයේ බලය වැඩිපුර ඇති මිනිසුන්ට වඩා මේවායෙන් බලය අඩු අය ඉලක්ක කිරීමට මේවා භාවිතා වීමයි.

උදාහරණයක් ලෙස රනිල් වික්‍රමසිංහ ඇමැතිවරයකු ලෙස අනූගණන්වල කටයුතු කරද්දී රිචඩ් ද සොයිසාගේ ලිංගිකත්වය මත ඔහුගේ මරණය රජයේ වගකීමක් නොවන බව ප්‍රකාශ කිරීමත්, ඉන් වසර ගණනකට පසු බෝලය ඔහුට විරුද්ධ අතට පෙරලීමත් ගත හැකියි.

අයාල ආඥා පනත තිබීම, සමලිංගිකත්වය සාපාරාධී වරදක් බවට පත් කරන නීති පැවතීම හෝ ලිංගිකත්වය ගැන යම් යම් සදාචාර සීමාවන් පැනවීම බොහෝ විට ප්‍රභූන්ට බලපාන්නේ වෙනස් විදියකටයි.
අජිත් අමරසිංහගේ ලිපියේ ළමා අපයෝජනය සිදු කරන දේශපාලනඥයා ඉන් ගැලවෙන්නේත්, සාමාන්‍ය ගමේ සිටින පුද්ගලයා ගුටි කන්නේත් කෙසේදැයි යන්න තේරුම් ගැනීමේ දී ඔහුට මග හැරෙන කාරණය වෙන්නේ ඒ දෙදෙනා බල ස්ථාරයනයේ සිටින්නේ කොතන ද යන්නයි.   ප්‍රභූන්ට මේ ප්‍රශ්නය අදාළ වෙනවා නම් අදාළ වෙන්නේ දේශපාලන ප්‍රහාර විදියටයි. ඒ දේශපාලන ප්‍රහාර ද සමහර වෙලාවට පාලක ප්‍රභූ පන්තිය වශයෙන් සැලකූ කල යම් කාලයක කෙනෙකුට අසාධාරණ යැයි පෙනුනාට පොදුවේ ඔවුනට තවත් කාලයක දී යම් ප්‍රයෝජන සලසන අවස්ථා තියෙනවා.
රිචඩ් ද සොයිසා‌ ඝාතනය ඔහු සමලිගිකයෙකුයැයි කියා සාධාරණය කළ 
උදාහරණයක් ලෙස රනිල් වික්‍රමසිංහ ඇමැතිවරයකු ලෙස අනූගණන්වල කටයුතු කරද්දී රිචඩ් ද සොයිසාගේ ලිංගිකත්වය මත ඔහුගේ මරණය රජයේ වගකීමක් නොවන බව ප්‍රකාශ කිරීමත්, ඉන් වසර ගණනකට පසු බෝලය ඔහුට විරුද්ධ අතට පෙරලීමත් ගත හැකියි.  මෙවැනි තත්වයන් නඩත්තු කිරීම හරහා ප්‍රධාන වශයෙන් රටේ ඇති විවිධ අනෙකුත් ගැටළු මග හැරීමට  මේවා යොදා ගැනීමට දූෂිත පාලකයන්ට අවස්ථාවක් ලැබෙනවා. මේ තුළින් විශේෂයෙන්ම කොන් වූ ප්‍රජාවන්ට එරෙහි යම් යම් අසාධාරණයන් දිගින් දිගටම පැවැතීම නඩත්තු කරන බව මගේ අදහසයි. මේ ආකාරයට බැලුවම ඇත්තටම එකී ප්‍රහාරවලින් ද ගොඩ නගන කතිකාවෙන් තැලෙන්නේ ඇත්තටම පාලක ප්‍රභූන් නොව සාමාන්‍ය මිනිස්සුයි. එනම් එහිදී වැඩියෙන්ම කරදරවලට පාත්‍ර වෙන්නේ බල ස්ථාරයනයේ පහල සිටින අයයි. නැතහොත් මිටි තැනින් වතුර බැසීමයි.
එල්ජීබීටීඅයිකිවුඒ+ ප්‍රජාව සම්බන්ධයෙන් වගේම ලංකාවේ බොහෝ දේවල් ගත්තත් තත්වය එසේමයි. සමලිංගිකත්වය පවා යම් දේශපාලනඥයකුට හෝ දේශපාලන පක්ෂයකට එරෙහි කාරණයක්ය යනු පටු ස්ථානයට ලඝු කිරීම නිසා ඒ සම්බන්ධයෙන් පුළුල් සමාජ දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට ඇති ඉඩකඩ තවත් ඇහිරෙන අතර, බොහෝ විට මෙකී සිද්ධිවලට කිසිදු සම්බන්ධයක් නැති අය අත්අඩංගුවට පත් වීම වදහිංසාවලට පත්වීම තවදුරටත් වැඩි වෙනවා. මේ කාරණා තේරුම් ගැනීමට එල්ජීබීටීඅයිකිවුඒ+ අනන්‍යතා හෝ සුළුතර වාර්ගික ආගමික අනන්‍යතා සමග රාජ්‍යයේ බලය ක්‍රියාත්මක වෙන ස්වරූපය ද තේරුම් ගත යුතු බව මගේ හැඟීමයි.

ළමා ලිංගික අපයෝජනය කාමයේ වරදවා හැසිරීමකි. සමලිංගිකත්වය එසේ නැත. 

අජිත් අමරසිංහ මහතා ද මේ කාරණය පැහැදිලිව ඔහුගේ පළමු ලිපිවල සඳහන් කරන නමුත්, අවසන් ලිපියේ උදාහරණවලට එන විට මේ කාරණය යම් සෙයකින් ඔහුගෙන් ගිලිහී යනවා. සමලිංගිකත්වය යනු එකම ස්ත්‍රී පුරුෂ සමාජභාව අනන්‍යතාවයකට අයිති වෙන වැඩිහිටියන් දෙදෙනෙකු අතර කැමැත්තෙන් සිදු වෙන ලිංගික ක්‍රියායි.
ළමයින් කෙරේ ලිංගික ආශාවක් ඇති වීම වෙනම කාරණයක් වෙන අතර, ළමා ලිංගික අපයෝජකයෝ සමලිංගික, විෂමලිංගික වෙනසක් නැතිව සිටිනවා.  බොහෝ වෙලාවට ළමා ලිංගික අපයෝජනය සිදු කරන්නේ දරුවාගේ පවුලේම සාමාජිකයන්, නෑදෑයන් හෝ දන්නා හඳුනන අය විසින් වීම මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි.
මේ කාරණයේ දී ද ළමයා සහ වැඩිහිටියා අතර පවතින බල ස්ථරායණය තේරුම් ගැනීම වැදගත් වෙනවා. බෞද්ධ අර්ථයෙන් කිව්වොත් ළමා ලිංගික අපයෝජනය කියන්නේ කාමයේ වරදවා හැසිරීමක් වෙනවා. එසේ වුවත් සමලිංගිකත්වය කියන්නේ කැමැත්තෙන් වැඩිහිටියන් අතර සිදුවෙන කිසිවකුට හානියක් නැති ලිංගික ක්‍රියාවක් නිසා එයින් කාමයේ වරදවා හැසිරීමක් බෞද්ධ අර්ථයෙන් සිදු වන්නේ නැහැ.  මේ ගැන මා පෙර ලිපියේ පැහැදිලි කිරීමක් සිදු කළා.

ශ්‍රී ලාංකීය සංස්කෘතිය මොඩ් කිරීම නැවැතිය හැකිද?

මොඩ් වීම යන ඉංග්‍රීසියෙන් එන සිංහල වචනයට සම්බන්ධ වෙතැයි සිතිය හැකි ඉංග්‍රීසි වචන දෙකක් තිබෙනවා. මෙයින් බොහෝ විට ගම්‍ය වෙන අදහස වන්නේ නූතනකරණය (modernization) යි. එනම් යම් සමාජයක් තමන්ගේ වෙනස්වන අවශ්‍යතාවලට හැඩ ගැසීම, ඒ සඳහා අලුත් තාක්ෂණයන් සොයා ගැනීම, වෙන සංස්කෘතීන්වලින් උකහා ගැනීම සහ ඒ ආශ්‍රිතව සිදුවන කාලානුරූප සංස්කෘතික පරිණාමයයි.  දෙවැන්න වන්නේ නූතනවාදය (modernism) යි. නූතනවාදය කියන්නේ 18 වැනි සියවසේ යුරෝපයේ කාර්මික විප්ලවයෙන් පසු බිහිවී, විශේෂයෙන්ම 20 වැනි සියවසේ දී තවදුරටත් පැතිර යන ගෝලීය රැල්ලක්. නූතනවාදය ගෝලීයකරණය වීමට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ යටත්විජිතකරණයයි. ආසියාවේ සහ අප්‍රිකානු රටවල මිනිසුන්ට යුරෝපීයයන්ගේ සදාචාරය, සංස්කෘතිය වැනි අදහස් පැටවීමට උත්සාහ කිරීම, ඒ හරහා එම රටවල අයට යම් සේවයක් කරනවා යැයි සිතමින්, ඔවුන් වැඩවසම් සමාජ ක්‍රමවලින් නිදහස් කර ගන්නවා යැයි සිතමින් යුරෝපීය වටිනාකම් ඔවුන් මත පැටවීම නූතනකරණය හරහා සිදු වෙනවා. ලංකාව, ඉන්දියාව වැනි රටවලදී යුරෝපීය නූතනවාදීන්ට මුහුණ පෑමට වූ අර්බුදය වුනේ අප්‍රිකාවේ රටවල්වල මෙන් නොව, අවුරුදු දහස් ගණනක් පැරණි සාපේක්ෂව යුරෝපයේ මෙන්ම දියුණු ශිෂ්ටාචාරයක් සහ බුද්ධිමය උරුමයක් මේ රටවල්වල තිබීමයි.  
මෙතන දී මතු කළ යුතු අනික් කාරණය වන්නේ ඕනෑම සංස්කෘතියක් එක තැන තිබෙන්නේ නොතිබෙන බවයි. සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළු බව (අනිත්‍ය බව), වෙනස් වෙන සුළු බව (අනාත්ම බව), දේවල් වෙනස් වන බව තේරුම් නොගැනීම, වෙනස් වෙන යථාර්ථයන් භාර ගැනීමට නොහැකි බව දුක ඇති කරන බවත් බෞද්ධ ඉගැන්වීමයි. සිංහල සංස්කෘතිය හෝ වේවා, ගැමි සංස්කෘතිය හෝ වේවා, බටහිර සංස්කෘතිය හෝ වේවා, පෙරදිග සංස්කෘතිය හෝ වේවා, මේවා එක තැනක තිබේ යැයි අප කිසිසේත්ම බලාපොරොත්තු තබා ගැනීමේ ප්‍රයෝජනයක් නැහැ. අනෙක් බොහෝ දේවල් ගැන මෙන්ම, සංස්කෘතියක් සම්බන්ධයෙන් ද වෙනස් නොවන එකම දේ වෙනස් වීමයි. සංස්කෘතිය අතීතයේ ද වෙනස් වී තිබෙන අතර ඉදිරියේ දීද දිගටම වෙනස් වෙනවා.

අතීතයට යන්න බැහැ

 හැබැයි ඒ වෙනස් වීම් තේරුම් ගැනීම, ඒවාට බල පෑ සාධක තේරුම් ගැනීම, සහ යම් යම් සිදුවීම් ඒවා සිදුවන සංස්කෘතික වටපිටාවේ කාරණා සමග තේරුම් ගැනීම ද ඉතා වැදගත් වෙනවා. බුද්ධ කාලීන සමාජය වර්තමාන මිනුම් දඬුවලින් තේරුම් ගැනීමේ විශාල හිදැස් ගණනාවක් තිබෙන බව මම වරින් වර මතු කළේත්, ඒ ගැන විවිධ ලෙසින් සැලකිලිමත් වුනේත් ඒ නිසායි.  ඕනෑම සංස්කෘතියක එහි හොඳ සහ නරක දෙකම තියෙන අතර, අපිට නැවත අතීතයට යාමට හැකියාවක් නැහැ. අපිට කළ හැකි දේ වන්නේ වර්තමානය සමග ගනුදෙනු කිරීමම මිසක් අනෙකක් නොවෙයි. එහිදී අතීතය ෆැන්ටසිකරණය කර තේරුමක් නැහැ.
එසේ වුවත් අජිත් අමරසිංහ සිය ලිපියේ මතු කරනවා සේම මේ නූතනවාදී ක්‍රියාදාමය අද වෙන විට අප සමාජයේ අවුල් ගණනාවකට දායක වී තිබෙනවා. අපගේ අධ්‍යාපන ක්‍රමය ඇතුළුව, අපි සිතන පතන ආකාරය ඇතුළුව වර්තමානයේ ඇති ව ඇති ප්‍රශ්න ගණනාවකට යුරෝපීයයන්ගේ නූතනකරණ ක්‍රියාදාමයේ අවුල් යම් යම් විදියට අපේ සංස්කෘතියේ කොටසක් බවට පත්ව තිබෙනවා.
1876 – වෙප්ස් කුමරුගේ ලංකා සංචාරය දක්වන සිතුවමක් – wikimedia

යටත්විජිතකරණය වූ මනසින් මිදීම සහ බෞද්ධකම 

මේ ලිපියේ දී දීර්ඝව කතා කිරීමට නොයන නමුත්, කාන්තාවන්ගේ අයිතිවාසිකම්, ලිංගික අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සදාචාරය වැනි දේවල් ගැන අපේ රටේ යටත්විජිත නිදහස් සටනේ නායකයන්ගේ අදහස් යටත්විජිත පාලකයන්ගේ අදහස්වලින් ලොකුවට වෙනස් වූයේ නැහැ. ඒ අදහස් අදටත් බහුතරයක් අපේ ලාංකිකකයන්ගෙන් වෙනස් වී ඇත්තෙත් නැහැ. මේ ආකාරයට බැලුවම පේන්නේ දැන් ලංකාව නම් පෙර ‘බටහිර’ යටත්විජිතයේ සිටින්නේ ඔවුන්ගේ ‘බටහිර’ වික්ටෝරියානු පාලකයන්ගේ සැබෑ සුජාත දරුවන් බවයි. ‘බටහිර’ යන අනන්‍යතාවය අපගේ මනස්වල ඇතැම් විට ‘දේශීයබව’ සමග දළුලා වැඩී තිබෙනවා. මේ කාරණා සවිචාරී විදියට බලද්දී මට හිතෙන්නේ ‘බටහිර’ යන්න ‘බටහිර’ තියෙන දෙයක් නොව අප ඇතුළේ තියෙන දෙයක් බවයි.
යටත්විජිතකරණය වූ අධ්‍යාපන ක්‍රමයක්, විවිධ ක්‍රමවලින් නිදහස් අදහස් මර්දනය කරන, මිනිසුන් නිශ්ශබ්ද පාලන ක්‍රමයක් අපට උරුම වී තිබෙනවා. වත්මන් තත්වයන් ඇතුළුව බොහෝ දේ ගැන විවේචනය කරන්නට, නිදහසේ කතා කරන්නට අපිට නිදහසක් නැහැ. ආර්ථික සහ ශ්‍රම සුරා කෑම වෙනස් විදියකින් මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වෙනවා. එහෙම බැලුවම මේ තත්ව යටත්විජිතකරණය වූ තත්වවලින් බහුතරයකගේ ජීවන යථාර්ථයන් වෙනස් වී නැහැ.එවැනි තත්වයක් තුළ බෙදුනු වෙන්වුනු ජාතියට පණ පොවන්නට ඉතුරුවන්නේ ජාතිය, ආගම, පිරිමිකම ගැන ඇති කැක්කුම්වලින් වීම,  එහෙම නැත්නම් සමලිංගිකත්වයට එරෙහි සටන හරහා වීම අසාමාන්‍ය තත්වයක් නොවෙයි. මේ අතරම බුදුදහම ඇතුළුව, යම් යම් දේශීය සංස්කෘතියේ දේවල් ෆැන්ටසිකරණය කර අපේ එදිනෙදා ජීවන යථාර්ථවලින් යම් දුරකින් තැබීමත් සිදු වෙනවා. මේ හරහා ලංකාවේ බොහෝ දෙනෙකුගේ අයිතිවාසිකම් කඩ වෙන අසාධාරණයක් සිදුවන ක්‍රමයක් නඩත්තු වෙන බව අපි ඒ අතරම තේරුම් ගත යුතුයි.
යටත් විජිතකරණය වූ මනස – globalsouthcolloquy
මෙකී සන්දර්භය සමග බලන විට, සමලිංගිකත්වය වැනි මාතෘකා ගැන යම් සාකච්ඡාවක් හෝ දැනුමක් බෞද්ධයන් අතර ඇති කිරීමට නම් ලංකාවේ  බුදු දහම අදහස් ප්‍රකාශනයට, විචාරයට ඉඩ දෙන අවකාශයක් ලෙස වර්ධනය වීමේ අවශ්‍යතාව තදබල ලෙස තියෙනවා. මෙය හුදෙක් සමලිංගික ගැටළුවක යම් ප්‍රජාවක ගැටළුවක් ලෙස, පුළුල් සමාජ ගැටළුවක් ලෙස ද අපි හඳුනා ගත යුතුයි.  බුදු දහම යටත්විජිතකරණයෙන් ගලවා ගැනීම යන්නට ‘බටහිර’ යටත්විජිතකරණය පමණක් නොව බුදු දහම යම් කාලයක පැවතීමට බලපෑ ‘පෙරදිග’  යටත්විජිතකරණය ගැන ද එක සේ විවේචනශීලී වීම වැදගත් බව මම හිතනවා. බුදු දහමට අපට මෙහිදී දිය හැකි ලොකුම දායාදයක් වන්නේ ද විචාර බුද්ධිය බව මගේ හැඟීමයි.

කාලාමයෙනි!

“කාලාමයෙනි, තොප විසින් සැක කරන්නට නිසි මැය, විචිකිත්සා කරන්නට නිසි මැය. සැක කටයුතු තැනම තොපට විචිකිත්සාව උපන. කාලාමයෙනි, තෙපි එව, අනුශ්‍රව කථායෙනුදු නොගණුව, පරම්පරා කථායෙනුදු නොගණුව, තෙල මෙසේ වී ලැයි ද නොගණුව, අපගේ පෙළ හා යෙදෙතී ද නොගණුව, තර්‍කග්‍රාහයෙනුදු නොගණුව, නයග්‍රාහයෙනුදු නොගණුව, ආකාරපරිවිතර්‍කයෙනුදු නොගණුව, අප සිතා ඉවසා ගත් දෘෂ්ටිය හා සැසැඳෙතැයි ද නොගණුව, (මෙතෙම පූජ්‍යයෙකැයි) භව්‍යරූපතායෙනුදු නොගණුව, මේ මහණ අපට ගුරුහයි ද නොගණුව, කාලාමයෙනි, මේ දහම් කුසල්ය, මේ දහම් අකුසල්ය, මේ දහම් වරද සහිතය, මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිතය, මේ දහම්හු සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නාහ’යි තෙපි යම් කලෙක තුමූ ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි එය දුරු කරව. ”
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව (පිටුව 336), සූත්‍ර පිටකය , අංගුත්තර නිකාය 01, තික නිපාතය, දුතිය පණ්ණාසක, මහා වග්ගය, පඤ්චම සූත්‍රය (කාලාම සූත්‍රය))

Archive

Latest news

Related news