ත්‍රිපිටකයේ සඳහන් වන නූතන LGBTIQ+ අනන්‍යතාවලට කිට්ටු අතීත අනන්‍යතා
ලිංගිකත්වයට හා සමාජභාවයට අදාළ වෙන අනන්‍යතා ලෝකයේ විවිධ කාලවල, විවිධ සංස්කෘතීන්වල පැවැතී තිබෙනවා. ලංකාවේ නච්චි, ඉන්දියාවේ හිජ්රා, තායිලන්තයේ කතෝයි, පෙරදිග සංස්කෘතීන්වලට පැවැති මෙවැනි අනන්‍යතා ගැන උදාහරණයි. මීට සමාන ලෙසින් බුද්ධ කාලීනව වත්මන් ඉන්දියාව යැයි හඳුන්වන භූමි ප්‍රදේශයේ පැවැති විවිධ රටවල ද විවිධ ලිංගිකත්ව සහ සමාජභාව අනන්‍යතාවයන් පැවැති අතර, ඒවා ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. ඒ අනන්‍යතා අතර ප්‍රධානම අනන්‍යතා දෙක වන්නේ පණ්ඩක සහ උභතොබ්‍යඤ‍්ජනක නම් කාණ්ඩ දෙකයි. වැදගත්ම දෙය මේ අනන්‍යතා මොනවාද යන්නටත් වඩා, ගැහැණු පිරිමි අනන්‍යතා හැරුණු කල තවත් අනන්‍යතා ලෝකයේ ඇති බව බෞද්ධ ත්‍රිපිටකයේ සඳහන් වීම හරහා, වත්මන් ලිංගික සහ සමාජභාව අනන්‍යතා ද භාර ගැනීම සම්බන්ධයෙන් බෞද්ධයාට බෞද්ධ ඉගැන්වීම් හරහා යම් පහසුවක් ඇති වීමයි.
පණ්ඩක අනන්‍යතාවය
පණ්ඩක යන අනන්‍යතාවයට නිසි නිර්වචනයක් ත්‍රිපිටකයේ නැහැ. ක්‍රිව 5 වැනි සියවසේ ලංකාවට පැමිණි බුද්ධඝෝෂ හිමි විසින් ලියූ අටුවාවල සඳහන් වෙන ආකාරයට කාණ්ඩ 5කට පණ්ඩක වෙන්කරනවා. අනෙකුත් බෞද්ධ අටුවාචාර්යයන් විසින් ලියූ අටුවාවලද පණ්ඩක අර්ථ දැක්වෙන්නේ යම් සුළු වෙනස්කම් ඇතත්, මීට ඉතා සමාන ආකාරයටයි.
-
නපුංසකපණ්ඩක – උපතින්ම ලිංගික අප්‍රාණිකත්වයක් ඇති පුද්ගලයා
-
උසුයපණ්ඩක – අනික් පුද්ගලයන් ලිංගිකව හැසිරෙන ආකාරය නැරඹීමෙන් ලිංගිකව තෘප්තිමත් වෙන පුද්ගලයා
-
පක්ඛපණ්ඩක – චන්ද්‍ර මාසයේ දෙසතියක් ලිංගික අප්‍රාණිකත්වය ඇති, ඉතිරි දෙසතිය එසේ නැති පුද්ගලයා
-
අසිත්තපණ්ඩක – මුඛ සංසර්ගයෙන් ලිංගිකව තෘප්තිමත් වෙන පුද්ගලයා
-
ඔපක්කමිකපණ්ඩක – කිසියම් විශේෂ උපක්‍රමයක් යොදා ගනිමින් ශුක්‍ර මෝචනය කරන පුද්ගලයා
මේ නිර්වචනය ඇත්ත කියා ගත්තොත් පණ්ඩක යන්න කිසිසේත්ම වත්මන් සමලිංගිකත්වයට සමාන වෙන්නේ නැහැ. වෙනත් ලිංගික අපගාමීත්වයන් විදියට පණ්ඩක විස්තර කරන්නට පුළුවන්. නමුත් ත්‍රිපිටකයේ බොහෝ ස්ථානවල ගැහැණු, පිරිමි, සහ පණ්ඩක යනුවෙන් සඳහන් වෙන බැවින්, මෙය ස්ත්‍රී පුරුෂ නොවන තුන්වැනි සමාජභාවයක් ලෙස තේරුම් ගත හැකි බව මගේ මතයයි. ඉන්දීය සන්දර්භය තුළ වර්තමාන හිජ්රා ප්‍රජාවට නෑකම් කියන යම් අතීත ප්‍රජාවක් මේ වචනයෙන් අදහස් වුනාද විය හැකියි.
උභතොබ්‍යඤ‍්ජනක (උභය ලිංගික)
උභය ලිංගිකයන් යනු ස්ත්‍රී පුරුෂ ලිංගික අවයව දෙකම ඇති පුද්ගලයන්ය. ඉංග්‍රීසියෙන් hermaphrodite යනුවෙන් හැඳින්වෙන්නේ උභය ලිංගිකයන්ය. වත්මන් ලිංගික අනන්‍යතා දෙස බලන විට අන්තර්ලිංගික කාණ්ඩයට අයිති වෙන අයගේ උපකාණ්ඩයක් ලෙස උභය ලිංගිකයන් හඳුනා ගත හැකිය.
බුද්ධඝෝෂ විසින් රචිත අටුවාවල සඳහන් වෙන ආකාරයට මේ අය පුරුෂ උභය ලිංගිකයන් සහ ස්ත්‍රී උභය ලිංගිකයන් ලෙස එකිනෙකාගේ වඩාත් කැපී පෙනෙන ලිංගික අවයවය අනුව නම් කළ හැකිය. ඔහු තවදුරටත් කියන්නේ පුරුෂ උභය ලිංගිකයන්ට ගැබ් ගැනීමේ හැකියාවක් නැති බවත්, අනෙක් ස්ත්‍රීන් ගැබ් ගැන්නවීමට හැකියාවක් ඇති බවත්, ස්ත්‍රී උභය ලිංගිකයන් වෙත තමනුත් ගැබ් ගෙන, අනෙක් ස්ත්‍රීන් ගැබ් ගැන්නවීමේ හැකියාව ද ඇති බවත්ය. .
පැවිද්ද තහනම් වීම
අජිත් අමරසිංහ මහතා සිය ලිපියේ මතු කර ඇති මෙන්ම පණ්ඩක සහ උභතොබ්‍යඤ‍්ජනක යන අය පමණක් නොව, එම අනන්‍යතා සමග විවිධ ශාරීරික ආබාධ සහ රෝග තිබූ අය, නීතියෙන් දඬුවම් කළ අපරාධකරුවන් මෙලෙස පැවිද්ද තහනම් වූවන්ගේ ලැයිස්තුවට අයිති වෙනවා. මෙය එකල සමාජය සමග ගැටුම් අවම කර ගනිමින් ශාසනය පවත්වා ගෙන යාම සඳහා කළ දෙයක් බවයි පෙනෙන්නේ.
පැවිදි කළත් පැවිදි ජීවිතය සැපිරීමට නොහැකි අය ලෙස 11 දෙනෙකු නම් කර තිබෙනවා. ඒ අතරට පණ්ඩක සහ පසුව කතා කෙරෙන උභතොබ්‍යඤ්ජනක (උභයලිංගික) පුද්ගලයන් ද, ථෙය්‍ය සංවාසක නොහොත් බොරුවට මහණ බව හෝ මාර්ග ඵල ඇති අය ලෙස පෙනී සිටින අය ද, බුදු සසුනේ මෙන්ම ජෛන දහමේ යන දෙකේම පැවිදි වූ අය ද, මනුෂ්‍ය නොවන අය ද, මව් ඝාතකයන් ද, පිය ඝාතකයන් ද, රහත් තෙරවරුන් ඝාතනය කළ අය ද, බුදුන්ගේ ලේ සෙලවීම කළ අය ද, සංඝ භේදය කළ අය ද, භික්ඛුණී දූසක නොහොත් භික්ෂුණියන් අතර දුසිරිත් ඇති කළ අය ද අයත් වෙනවා. මේ එකොළොස් දෙන පැවිද්ද ලැබීමට සම්පූර්ණයෙන් ම නුසුදුසු පුද්ගලයෝ යැයි සැලකෙනවා. ඊට අමතරව ආබාධිතයන්, ලෙඩ රෝග වැළඳුනු අය, රජවරු විසින් දඬුවම්වලට පාත්‍රකළ අය, ආදී කොටස් 32ක පිරිසක් පැවිදි කිරීම තහනම් කර තිබෙනවා.
ඒ වගේම පණ්ඩකයන් යනු තමන්ගේ ලිංගික ආශාවන් පාලනය කළ නොහැකි අය යැයි මතයක් ගොඩ නැගීමට අදාළ වෙන කතාවක් ද ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. මේ අර්ථකථනය ගෙන බැලූ කල පණ්ඩක යනු විවිධ ලිංගික අපගාමිකත්වයන් ඇති පුද්ගලයන් ලෙස අටුවාචාරීන්ගේ අර්ථකථනය සමග අපට බොහෝ දුරට එකඟ විය හැකියි.
බුද්ධඝෝෂ හිමි ජීවත් වෙන්නේ බුදුන් වහන්සේ පිරිනිවන් පා අවුරුදු 1000කට වඩා වැඩි කාලයක් ගත වූවාට පසුවය. ඉතින් එවැනි තත්වයක දී එම අටුවාවේ සඳහන් දේවල් විවේචනයකින් තොරව භාර ගත යුතු යැයි මම සිතන්නේ නැහැ.
චක්‍රවර්ති සීහ නාද සූත්‍රයේ මිථ්‍යා ධර්ම
බෞද්ධ සූත්‍රවල ගිහියන්ගේ සමලිංගිකත්වය වරදක් සේ දකින තැනක් නැතැයි යන තර්කය ගෙන ආ විට ඇතැම් බෞද්ධ භික්ෂූන් විසින් මතු කළ කාරණයක් වූයේ චක්‍රවර්ති සීහ නාද සූත්‍රයේ මිච්චා ධම්ම නමින් හැඳින්වෙන්නේ සමලිංගිකත්වය බවත්, එය සමාජයක් පිරිහෙන කාරණයක් ලෙස බුදු දහම විසින් දැක ඇති බවත්ය.
“මහණෙනි, මිනිසුන් අතර පන්සියයක් අවුරුදු ආයු ඇතිවූ කල්හි අධර්ම රාගය, (මවු පිය නැදි මයිල් ආදීවූ අයුතු තන්හි උපදින රාගය) විසම ලෝභය, (බලවත් තණ්හාව) මිථ්‍යාධර්මය (පුරුෂයන් පුරුෂයන් කෙරෙහිත් ස්ත්‍රීන් ස්ත්‍රීන් කෙරෙහිත් උපදවන රාගය) යන තුන අතිශයින් පැතිරී ගියේය. මේ අධර්ම තුන අතිශයින්පැතිරී ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂ ද පිරිහිණි. වර්ණය ද පිරිහිණි. ආයුෂයෙන් පිරිහෙනු ලබන්නාවූ ද, වර්ණයෙන් පිරිහෙනු ලබන්නාවූ ද පන්සියයක් අවුරුදු ආයුෂ ඇති ඒ සත්වයන්ගේ පුත්‍රයෝ, ඇතැම් කෙනෙක් දෙසිය පණහක් අවුරුදු ආයුෂ ඇත්තෝ ද, ඇතැම් කෙනෙක් දෙසියයක්අවුරුදු ආයුෂ ඇත්තෝ ද වූහ.”
චක්‍රවර්ති සීහනාද සූත්‍රයට අනුව මිනිසුන්ට පරමායුෂ අවුරුදු 80,000ක් තිබුනු අතර, දුප්පතුන්ට ධනය නොදීම, වස්තුව සොරකම් කිරීම, ආයුධ භාවිතා කිරීම, ප්‍රාණඝාතය, බොරුකීම, කේලාම් කීම, පරදාර සේවනය, කාමයේ වරදවා හැසිරීම,පරුෂ වචනය, සම්පප්‍රලාපය, තද ආශාව, ක්‍රෝධය, මිථ්‍යා දෘෂ්ටිය ආදිය නිසා අවුරුදු පන්සියය දක්වා අඩු වූ පසු මිථ්‍යා ධර්මය ඇතුළු අනෙකුත් එවන් සිරිත් පැතිරීම සිදු වීමෙන් මිනිසුන්ගේ ආයුෂ තවදුරටත් අඩු වී තිබෙනවා.
මිච්චා ධම්ම යන සමලිංගික හැසිරීම් යැයි සඳහන් වෙන සටහන ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ වරහන් ඇතුළේයි. එසේ සඳහන් කරන්නේ එය ත්‍රිපිටකයේ සූත්‍රයේ මුල් පිටපතේ කොටසක් නොවන නිසායි. මිච්චා ධම්ම යන්නට මෙහිදී දී ඇති තේරුම උපුටා ගෙන තිබෙන්නේ බුද්ධඝෝෂ විසින් රචිත සුමංගල විලාසිනී නම් අටුව ග්‍රන්ථයේය. බුද්ධඝෝෂ හිමි ජීවත් වෙන්නේ බුදුන් වහන්සේ පිරිනිවන් පා අවුරුදු 1000කට වඩා වැඩි කාලයක් ගත වූවාට පසුවය. ඉතින් එවැනි තත්වයක දී එම අටුවාවේ සඳහන් දේවල් විවේචනයකින් තොරව භාර ගත යුතු යැයි මම සිතන්නේ නැහැ.
මෙම සූත්‍රයේ කියවෙන ආකාරයට මෙලෙස අවුරුදු 80,000ක් ජීවත් වූ මිනිසුන් සිටියා යැයි විශ්වාස කළා වුනත්,
-
ඉහත සඳහන් වෙන අනෙකුත් වැරදි ගැන බෞද්ධ ස්ථාවරය කුමක්ද සහ නීති රීති හරහා ඒවා මර්දනය කිරීමට බුදු දහම කටයුතු කරන්නේ ද යන්න අපි මෙහිදී ඇසිය යුතුය
-
ත්‍රිපිටකයේ මිච්චා ධම්ම යන්නෙන් සමලිංගික හැසිරීම් යන්න අදහස් වුනා යැයි සිතීම අතිශයින් දුෂ්කරයි. මෙවැන්නක් ත්‍රිපිටකයේ වෙනත් කිසිම තැනක සඳහන් වන්නේ නැහැ. මෙය බොහෝ දුරට බුද්ධඝෝෂ ජීවත්ව සිටි කාලයේ ඉන්දියාවේ ඇති වෙමින් තිබුනු යම් විපර්යාසයක ප්‍රතිඵලයක් ලෙස පුද්ගලික අර්ථකථනයක් බව මගේ හැඟීමයි.
කුරුධර්ම ජාතකයේ හොඳින්ම කුරුධර්ම (පංචශීලය) ආරක්ෂා කළා යැයි කියන්නේ නගර ශෝභිනියක්. ඒක වුනේ කොහොමද කියලා අපිට පංචශීලය ගැන මවා දී ඇති වික්ටෝරියානු මනසින් තේරුම් ගන්නට ඉතාම අමාරුයි.
බුදු දහම බිහිවූ සමාජ තත්වය සහ අද තත්වයන්
බුදු දහම බිහිව ඇත්තේ ක්‍රිපූ 6 වන සියවසේ පැවැති සමාජ තත්වයන් යටතේයි. එම තත්වයන් වර්තමාන තත්වයන් සහ සමාජ අවශ්‍යතා සමග සැසඳීම ප්‍රවේශමෙන් කළ යුතු එකක් වෙනවා. ඒ කාලයේ පැවැතුනු තත්ව සහ ප්‍රමුඛතා මත පදනම් වෙමින් බුදු දහම් යම් පමණකට මිනිසුන්ගේ අයිතිවාසිකම් නගා සිටුවීමටත් කටයුතු කළා. විශේෂයෙන්ම විවේචනයට ඇති නිදහස, කුල භේදය වැනි කාරණා අභියෝගයට ලක් කිරීම ඒ අතර ප්‍රධානයි.
එසේ වුවත් කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් වත්මන් දෘෂ්ටිකෝණයෙන් බලන විට බුදු දහම අතිශයින් පසුගාමීයි. එය සැඟවිය යුතු නැහැ. ඒත් එවකට ඉන්දියාවේ පැවැතුනු අනෙකුත් ආගම් හා බලන කල බුදු දහම සාපේක්ෂව ප්‍රගතශීලී වූ බව කෙනෙකුට තර්ක කරන්නට පුළුවන්. නමුත් බුදු දහමට ඒ කාලයේ හැටියට යම් දුරකට පසුගාමී පියවරක් ගැනීමට සිදු වීම යන්නෙන් අදහස් වෙන්නේ නැහැ අපි ඒ ආකාරයටම තවදුරටත් කටයුතු කළ යුතුය කියා. අදහස් ප්‍රකාශනයේ සහ සිතීමේ, විමසීමේ නිදහස අගයන කාලාම සූත්‍රය වැනි සූත්‍රයකින් සහ බුදු දහමේ අනෙකුත් ඉගැන්වීම්වලින් බෞද්ධයකුට යම් යම් පැතිවලින් බුද්ධ කාලීන සමාජයට වඩා ඉදිරිගාමී විය හැකියි. හැබැයි මේ ඉදිරිගාමී වීම සාපේක්ෂ දෙයක් බව මම යලිත් මතක් කළ යුතුයි.