Monday, May 6, 2024

මැතිවරණය නොපවත්වා පළාත් පාලන ආයතන යළි කැඳවීමේ යෝජනාව මහ මැතිවරණයටත් බලපෑ හැකියි – TISL

මැතිවරණයක් නොපවත්වා විසුරුවා හරින ලද පළාත් පාලන ආයතන නැවත කැඳවීම සඳහා SLPP පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත හෙළා දකින ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) එම පෞද්ගලික මන්ත්‍රී යෝජනා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති ජනතාවගේ පරමාධිපත්‍ය බලයට දැඩි තර්ජනයක් ඇති කරන බව ප්‍රකාශ කරයි.
එය මෙසේද ප්‍රකාශ කරයි.
පළාත් පාලන මන්ත්‍රීවරු බිම් මට්ටමේ සිටින මහජන නියෝජිතයන්ය. එනිසා, පළාත් පාලන ආයතන තුළ ජනතා වරම නිවැරදිව පිළිබිඹු වීම සඳහා නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම අවශ්‍ය වේ.
එපමණක් නොව, මෙම සංශෝධන නරක පූර්වාදර්ශයක් සපයයි. නීති රාමුව අවභාවිත කරමින් ජාතික මැතිවරණ පවා නිසි කලට නොපවත්වා සිටීමේ අවදානමක් මෙමඟින් ඇති විය හැක.
මෙය රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය කෙරෙහි ජනතාවගේ විශ්වාසය නැති වීමටත්, නීතියේ ආධිපත්‍යය කෙරෙහි ඍණාත්මක බලපෑම් ඇති කිරීමටත් හේතු විය හැකි‍ය.
එම නිසා මෙම සංශෝධන සම්මත කිරීමට දරන ඕනෑම උත්සාහයක් එකහෙලා පරාජය කළ යුතු බව TISL ආයතනය අවධාරණය කරයි. ඔබේ ඡන්ද අයිතිය වෙනුවෙන් ඉදිරියට පැමිණ, මෙම සංශෝධන වලට විරුද්ධ වන ලෙස TISL ආයතනය සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

Archive

Latest news

Related news