Sunday, April 28, 2024

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම: අර්ථසාධකයේ සාමාජිකයින්ට සිදුවන පාඩුව සියයට 47ක් – එම්. ඒ. සුමන්තිරන් ( පා.ම)

• දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන අර්ථසාධක අරමුදලේ අධිකාරිවරයා දන්නේ ෆේස්බුක් සටහනක තිබුණ විස්තර පමණයි
• ආණ්ඩුව ඉදිරි අවුරුදු 16 දී රුපියල් ටි්‍රලියන 12 ට වැඩිය අර්ථසාධකෙන් මංකොල්ල කන්න සැළසුම් කරලා
• ප්‍රාථමික ගැණුම්කරුවන් මැතිවරණ වලට සල්ලි දෙන නිසා, වරදාන දෙන නිසා, නඩත්තු කරන නිසා ඔවුන්ට අත තියන්නේ නැහැ
ස්තුතියි කතානායක තුමනි,
අද මේ කෙරෙන ඉතා වැදගත් විවාදයට සහභාගි වෙන්න මට කාලය ලබා දුන්නට.
මගේ කතාව ආරම්භ කරමින් ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව කර තිබෙන බොරුව මේ ගරු සභාවටත් ඒ වගේම රටටත් දැනුම් දෙන්න මම කැමතියි. එක රාජ්‍ය ඇමතිවරයෙක් මීට සති තුනකට කලින් කිව්වා, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කෙරෙන්නේ නැහැ කියලා.
නමුත් මේ සභාවට ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙන් බළලා මල්ලෙන් එළියට දමලා. එහි 03 වන පිටුවෙහි පළමු පේලියේ සිට මම කියවන්නේ “මෙහි විස්තර කර තිබෙන දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ප්‍රමුඛතාව වන්නේ….”

එහි වරහන් තුල පැහැදිලි කරනවා “ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් විදේශ නීති යටතේ වන විදේශ ණය සඳහා එය පූර්ව කොන්දේසියක් වන්නේය” යැයි කියලා.

දැන් අපට කියනවා, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ලබා ගත් අය සමග දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පූර්ව කොන්දේසියක් තියෙනවා කියලා.
ඒ නිසා දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා සියල්ලට කලින් මෙය (පාර්ලිමේන්තු යෝජනාව සම්මත කිරීම) කළ යුතුයි කියනවා. මෙතෙක් ඔබලා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ කියලා රටට කියලා තියෙන්නේ බොරු. වගකීමක් ඇති, නැත්නම් වගකීමක් තිබිය යුතු රාජ්‍ය ඇමතිවරයෙකු තමයි කියලා තියෙන්නේ, එහෙම කරන්නේ නැහැ කියලා.
නමුත් සත්‍ය ඒක නෙවෙයි. එයා ඒක කියනකොටත් ඔබ තත්කාල කමිටුව සමග එකඟවෙලා තිබුණා, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයක් කලින් කරනවා කියලා. ඔබ ලිඛිතවම එකඟ වෙලා තියෙනවා. පළමුවෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියලා. ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ, නැත්තම් ඒ ගැන තීන්දුවක් නැහැ කියලා ඔබ රටට කියලා තියෙන්නේ බොරු.
මේ ප්‍රතිව්‍යුහගත කිරීමට අපේ තියෙන ප්‍රධානම විරෝධය සේවක අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල් සාමාජිකයින්ට ඉන් ඇතිවිය හැකි බරපතල හානියයි.
මේ තමයි මේ රටේ හඬක් නැති කම්කරු පංතිය. හඬක් නැති අය කියලා මං කියන්නේ, ඒ අයට තමන්ගේ ඉතිරි කිරීම් සම්බන්ධයෙන්වත් කතා කරන්න අයිතියක් නැති නිසයි. ඒ අයට ඒ සම්බන්ධ තීන්දු ගන්න බැහැ. ඒ නිසා ස්වේච්ඡා සහභාගිත්වයක් තියෙනවා කියලා ඔබ කියනකොට, ඒක අමූලික බොරුවක්. විපක්ෂ නායකතුමා ඒ ගැන පැහැදිලි කෙරුවා. ඒ නිසා මම ඒ ගැන වැඩිදුර කතා කරන්නෙ නැහැ.
අර්ථසාධක අරමුදල් පනත කියනවා (මහ බැංකුවේ) මුදල් මණ්ඩලය අරමුදලේ භාරකරු කියලා. මුදල් මණ්ඩලයේ සාමාජික නිහාල් ෆොන්සේකා මහත්මයා, සංජීව ජයවර්ධන මහත්මයා සහ රාණි ජයමහ මහත්මිය රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දිගු සැසිවාර දෙකකට ඉතා නිහතමානීව සහභාගි උනා. මම ඒ අයගෙන් අහන්නේ මේ තීන්දුව ඔබලා ගන්නේ, කම්කරු පංතියේ මිලියන 2.5 ක් වෙනුවෙන් වගකීමක් ඇති භාරකරුවන් වශයෙන්ද කියලයි.
සේවක අර්ථසාධකයේ අධිකාරිවරයා ඊයේ අපට කිව්වා, මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ සැළැස්මවත් ඒ අය දන්නෙ නැහැ කියලා. ඒ අයට එහෙම එකක් දීලා නැහැ. එයා ඒ ගැන දැක්කේ ෆේස් බුක් එකේ කිව්වා. එහෙම තමයි මේ අති විශාල වගකීමක් තියෙන භාරදූර කාර්ය කෙරෙන්නේ.
අපි අහගෙන හිටියා මුදල් මණ්ඩලයේ එක සාමාජිකයෙක් කියනවා, මේක මහ බරපතල්, ඉතා වැදගත් කාර්යක්. ඒ නිසා මෙහෙම කෙරුවොත් අපි සේරෝම ඇදගෙන ගිහිල්ලා එල්ලයි කියලා. ඔහු මේකේ භාරදූරකම තේරුම් ගෙන තියෙනවා. ඒ නිසා මට අවශ්‍යයයි ඒ අයට දැනුම් දීමක් කරන්න, කම්කරුවන්ගේ අදහස් ලබා නොගෙන ඒ අය මේ තීන්දුව ගත්තොත්, ණය ප්‍රතිව්‍යුහගත කරන්න හවුල් උනොත්, ඒක තමයි වෙන්නෙ කියලා.
කම්කරු සාමාජිකයින්ගේ අදහස් ලබා ගැනීම මහ ලොකු වැඩක් නෙවෙයිනේ. සමීක්ෂණයක් කරන්න පුළුවන්නේ. ස්වේච්ඡාවෙන් කියන්න නම්, අනිවාර්යෙන්ම අර්ධසාධකයේ සාමාජිකයින්ගේ කැමැත්ත, අවම තරමින් අදහස් ලබාගෙන තියෙන්න ඕනේ. එහෙම නැතුව ස්වේච්ඡාවෙන් කියන්න බැහැ. කම්කරුවෝ කැමැත්තෙන් ඊට සහභාගි වෙනවා කියලා රටට බොරු කියන්න එපා.
දැන් මොහොතකට කලින් ගරු අගමැතිතුමා කිව්වා අර්ථසාධක අරමුලේ රුපියල් ට්‍රිලියන 3.5 ක් තියෙනවා කියලා. ගිය අවුරුද්ද අවසානයේ ප්‍රසිද්ධ කළ මහ බැංකු ගිණුම් වලට අනුව එය ට්‍රිලියන 3.4 යි. ඒ වගේ අරමුදලක් තියෙන්නේ. නමුත් ඒ ගැන කතා කරන්න අපට අර්ථසාධක අරමුදලේ කිසිම වාර්තාවක් නැහැ. අර්ථසාධක අරමුදල ඔවුන්ගේ වාර්ෂික වාර්තා නියමිත ලෙස පළ කරන්නේ නැහැ. එක කාලයක අවුරුදු 06 ක් වාර්තා පළ කෙරුවෙ නැහැ. දැන් 2020 තෙක් පළ කරලා තියෙනවා. නමුත් 2021 සහ 2022 වාර්ෂික වාර්තා නැහැ.

ඒ නිසා මම වගකීමෙන් කියනවා ශුද්ධ වටිනාකමේ ප්‍රතිශතය අද මේ මොහොතේ ගත්තොත්. අර්ථසාධකයේ සාමාජිකයින්ට සිදුවන පාඩුව සියයට 47 යි. ශුද්ධ පාඩුව සියයට 47 යි.

මේ ප්‍රශ්නය අහයි කියලා හිතිලා, මේ දැන් ඒ අය මුදල් වාර්තාවක් පළ කරලා තියෙනවා. ඒ මුදල් වාර්තාවේ නැවතත් ඒ අය ඉතා බරපතල නොගමග යැවීමක් කරනවා. මේක මම ඊයේ රැස්වීමේදි ඒ අයගෙන් ඇහුවා. විනාඩි 10 ක් දෙන්න කිව්වා උත්තර දෙන්න. පැයකට පස්සෙවත් උත්තර ලැබුනෙ නැහැ. මේක තමයි ප්‍රශ්නය.
අර්ථසාධක අරමුදල් පනතෙන් කියනවා ඒ අය එක් එක් ආයෝජනයෙහි දළ වටිනාකමත් අලෙවි මිල සහ වෙළඳපල වටිනාකමත් ප්‍රකාශ කළ යුතුයි කියලා. එක් එක් ආයෝජනයෙහි වෙන වෙනම. ඒ තමයි නීතියේ තියෙන හැටි.
නමුත් ඒ අයගේ මුදල් වාර්තාවේ ඒ අය කියන්නේ නීතියට අනුව එක් එක් ආයෝජන වර්ගවල දළ වටිනාකමත් අලෙවි මිල සහ වෙළඳපල වටිනාකමත් ප්‍රකාශ කළ යුතුයි කියලා. ඒ අය නීතිය වෙනස් කරලා. ඒක වැරදි ප්‍රකාශයක්. නීිතියට අනුව කළ යුත්ත සම්බන්ධයෙන් ඒක වැරදි ප්‍රකාශයක්. ඒක ප්‍රශ්න කෙරුවම, ඒ අයට උත්තරයක් නැහැ.
නීතියෙන් කිව්වම “එක් එක් ආයෝජනයෙහි” කියලා, ඒ අය ඒක වෙනස්කරලා කියනවා “එක් එක් ආයෝජන වර්ගවල” කියලා. දැන් මෙහෙම මණ්ඩලයක් වැදගත් භාරකරුවන් හැටියට විශ්වාස කරන්න පුළුවන්ද?
අර්ථසාධකය ගැන අප දන්න ඉතිහාසයක් තියෙනවා.
බැඳුම්කර වංචා වලින්, විවිධ ක්‍රම වලින් ආර්ථසාධකය කාලා තියෙන්නේ. ඔබලා හැමදාම අර්ථසාධකයෙන් හොරකම් කරලා තියෙනවා. ඔවුන්ට හඬක් නැති නිසා, ඔවුන් කම්කරු පංතිය නිසා, හැමදාම ඔබලා අර්ථසාධකයෙන් සහ භාරකාර අරමුදලෙන් හිතේ හැටියට මුදල් අරගෙන තියෙන්නේ. ඒ නිසා අගමැති තුමාගේ ප්‍රශස්ති එයාටම අනෙක් අතට වදිනවා. ඔබලා ඔවුන්ට හඬක් දෙන්නෙ නැහැ. ඔබලා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අරමුදලේ භාරකරුවන් කරලා ඔවුන්ට සාමාජික කම්කරුවන් වෙනුවෙන් තීන්දු ගන්න කියනවා. ප්‍රතිව්‍යහුගත කිරීමේ තීන්දුව මුදල් මණ්ඩලයේ. සැළැස්ම එන්නේ මහ භාණ්ඩාගාරයෙන් සහ මහ බැංකුවෙන්. ඒ අයම ඊළඟට අර්ථසාධක අරමුදල සම්බන්ධව තීන්දු ගන්නවා. එහි කිසිම ස්වේච්ඡාවක් නැහැ.
දැන් බලන්න.
ආණ්ඩුව ණය ලබා ගත්ත විදේශිකයින් ගැන වෙන වෙනම ප්‍රකාශ කරනවා. ඒ ඇයි? ඒ අය බලකරන නිසා. සේවක අර්ථසාධකය සම්බන්ධව ඔබලා එහෙම කරන්නෙ නැහැ. නමුත් ඒ ප්‍රකාශයට ස්තුතිවන්ත වෙන්න අපට අද කියන්න පුළුවන් ආණ්ඩුවේ මහ භාණ්ඩාගාර බැඳුම්කරවල ආපසු ලැබීමේ සමස්ථ පොලියෙහි සාමාන්‍ය ප්‍රතිශතය සියයට 13.52 ක් කියලා. ඒ අපේ ගණන් බැලීමයි.

නමුත් ඔබ සේවක අර්ථසාධකයට ලබා දෙන්නේ සියයට 9.1 යි. සියලු සාධක සළකා බලා හදන පොලී සාමාන්‍ය සියයට 13.52 ක් වෙනකොට, ඔබලා කියනවා තව අවුරුදු 15 කින් 2038 දී අර්ථසාධකයට සියයට 9.1 ක පොලියක් ලැබෙයි කියලා.

දැන් මම එන්නම් අර්ථසාධකයට සිදුවන පාඩුව ගැන කතා කරන්න. අපි දිගින් දිගටම අර්ථසාධකයට සිදුවන ශුද්ධ පාඩුව සම්බන්ධ තොරතුරු මහ බැංකුවෙන් ඉල්ලුවා. අපට ඒ තොරතුරු දීලා නැහැ. නමුත් ඒවා ඉතා පහසුවෙන් ගණනය කරන්න පුළුවන්. ඒ නිසා මම වගකීමෙන් කියනවා ශුද්ධ වටිනාකමේ ප්‍රතිශතය අද මේ මොහොතේ ගත්තොත්. අර්ථසාධකයේ සාමාජිකයින්ට සිදුවන පාඩුව සියයට 47 යි. ශුද්ධ පාඩුව සියයට 47 යි.
ආණ්ඩුවේ බැඳුම්කර බහුතරය, සියයට 40 ක් පමණ තනි අයිතියට තියෙන ආයතනය අර්ථසාධකය වන නිසා. ආණ්ඩුවේ සමස්ථ බැඳුම්කර සඳහා ලැබෙන ලාභය අර්ථසාධක අරමුදලටද ලැබෙයි කියා ගණන් හැදුවොත් එය සියයට 13.52 ක් කියලා අපි විශ්වාස කරනවා. මේ ප්‍රතිව්‍යුහගත කිරීමේදී ආණ්ඩුව අවුරුදු 16 ට යෝජනා කරන්නේ සියයට 9.1 ක පොලියක්.
මේකේ තියෙන ප්‍රතිපලය තමයි, දැනට අර්ථසාධක අරමුදලේ ඉන්න සාමාජිකයින් මෙතැන් සිට කිසිම දායකත්වයක් අලුතින් නොකර ඔවුන්ගේ දැනට තියෙන සාමාජික අරමුදල ඉදිරි අවුරුදු 16 තුල වර්තමාන සියයට 13.52 ක පොලිය මත වර්ධනය වන්න ඉඩ හැරියත්, එය රුපියල් ටි්‍රලියන 3.5 සිට ටි්‍රලියන 25.7 ක් දක්වා වර්ධනය වෙනවා. නමුත් ඔබලා යෝජනා කරන සියයට 9.1 ක පොලියෙන් මුළු මුදල වෙන්නේ ටි්‍රලියන 13.6 යි. එනිසා සාමාජිකත්වයට සිදුවන පාඩුව ටි්‍රලියන 12.1 ක්. ඔබලා මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් අර්ථසාධක අරමුදලින් හොරා කන මුදල ටි්‍රලියන 12.1 ක්. මේවා පහසුවෙන් ගණන් හදා ගන්න පුළුවන්.

තව අවුරුදු 16 කින් මොනවා වෙයිද දන්නේ නැහැ කියන්න පුළුවන්. නමුත් අද වෙළඳපල වටිනාකම් සහ සියලු සාධක සළකා ගණන් බලන විදියට, සියයට 13.52 ක පොලිය මත අනාගත වර්ධනය ප්‍රක්ෂේපණය කරන විට, කම්කරු සාමාජිකයින්ට සිදුවන පාඩුව  ට්‍රිලියන 12.1 යි.

මේ සභාවට අවශ්‍ය වෙන්නේ ඒකද?. ඒකයි ප්‍රශ්නය. අපි බංකොලොත් කියලා ප්‍රකාශ කෙරුවට පස්සේ ආණ්ඩුවට ණය දුන්න තැරැව්කරුවන්, පසුගිය අගෝස්තු – සැප්තැම්බර මාසවල බැඳුම්කර ගත්තේ ඉතා ඉහළ පොලී අගයකට. සියයට 20 – 25 වගේ ලාභයකට. ඔබ ඒ පෞද්ගලික බැඳුම්කර තියාගෙන ඉන්න සියල්ලන් අතහැරලා..ඒ කිසිවෙකුට ඔබ අත තියන්නේ නැහැ. දේශීය ණය වලින් සියයට 15 ක් එතනයි තියෙන්නේ. ඇයි? ඒ අය යාළුවෝ. ඒ අය තමයි ඔබලා වෙනුවෙන් බැඳුම්කර වංචා කරන්නේ. ඒ අය තමයි ඔබලගේ මැතිවරණ ව්‍යාපාර වලට සල්ලි දෙන්නේ. ඒ නිසා තමයි ඒ අයව අත හරින්නේ.
දැන් කාවද අල්ල ගන්නේ? අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ඉතිරි වෙන්නේ ඔවුන්ගේ වටිනාකමෙන් බාගයයි. සියයට 47 යි කියන්නේ 50 ක් වගේනේ. බාගයයි ඉතිරි වෙන්නේ. මට පුළුවන් ඒක මෙහෙම පැහැදිලි කරන්න. අර්ථසාධක අරමුදලේ සාමාජිකයෙකුට අද ඔහුගේ ගිණුමේ රුපියල් ලක්ෂ 10 ක් තියෙනවා නම්, ඒ මුදල ඔහු ආයෝජනය කරලා සියයට 13.5 ක පොලියක් ගත්ත නම්.එයාට සියයට 09.1 ක පොළියක් එක්ක බැලුවම ලැබෙන ලාභය මොකද්ද? එයාට සියයට 09.1 කින් ලැබෙන්නේ භාගයයි.
නමුත් අගෝස්තු – සැප්තැම්බර මාසවල බැඳුම්කර වල ආයෝජනය කළ අයට, ඒ අය ලක්ෂ 10 ක් ආයෝජනය කෙරුව නම්, හැම මාස 06 කම ඒ අය රුපියල් ලක්ෂයක ලාභයක් ලබනවා. සියයට 20 පොලියකට හැම මාස 06 කින්ම ඒ අය ලක්ෂයක් හම්බ කරනවා.
නමුත් දුප්පත් කම්කරු පංතිය!
කවුද මේ දුප්පත් කම්කරු පංතිය කියන්නේ? ඒ තමයි මේ රටේ ඉන්න දුප්පත් කාන්තාවන්. ඒ තමයි ඇඟළුම් කර්මාන්තයේ වැඩ කරන, තේ දළු කඩන දුප්පත් කාන්තාවෝ. ගරු ජීවන් තොන්ඩමාන් ඇමතිගෙන් මං අහනවා, මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහාය දෙන ඔබේ හෘදය සාක්ෂිය මොකද්ද? ඔබේ හෘදය සාක්ෂිය මොකද්ද? ඒ දළු කඩන කාන්තාවෝ හැමෝම, බොහෝ දේ අහිමි උන, තව දුරටත් බොහෝ දේ අහිමිවෙන, මේ රටේ ආර්ථිකයේ පිට කොන්ද මේ කාන්තාවෝ. ඒ අයව තමයි ඔබලා නැවත වරක් තෝරගෙන තියෙන්නේ හිතේ හැටියට පාගන්න.
ඉතා පහසුවෙන් කරන්න පුළුවන් නිසා. ඔබලා බැඳුම්කර ගත්ත පෞද්ගලික ගැණුම්කරුවන්ට අත තිබ්බොත්. මහ බැංකුවෙන් නම් අපට කිව්වේ ඒක ප්‍රමාණවත් නැහැ කියලා. ප්‍රමාණවත් නොවන්න පුළුවන්. කමක් නැහැ. ඉස්සෙල්ලා ඒවා ගන්නකො. ඉස්සෙල්ලා ඒවා අරගෙන රටට පෙන්නන්න. ඒ ආණ්ඩුවට ණයට සල්ලි දීලා හම්බ කරපුවා. මුදල් වෙළඳපලේ තැරැව්කාරයෝ. ප්‍රාථමික ගැණුම්කරුවෝ. ඒක ඒගොල්ලන්ගේ බිස්නස් එක. දසක ගණනාවක් තිස්සේ ඒ අය හම්බ කරලා තියෙනවා පුදුම මුදලක්.
ආර්ථික අර්බුදය කාලේ, ආර්ථික අර්බුදය නිසා, ඒ අයට ඉතා ඉහළ පොලී ලාභ ලැබුණා. මේගොල්ලෝ හරියට ගිජුලිහිණියෝ වගෙයි. රට ආර්ථික අර්බුදයක සිටිය නිසා ඒ අය ණයට සල්ලි දුන්නා. ණය දුන්නා ඉතා ඉහළ පොලියකට. ඒ සියලු ලාභ සතයක් අඩු නැතුව ලබා ගන්නවා. ඒ අයට අත තියන්න බැහැ. බැරිවෙලාවත් අත තියන්න බැහැ. ඒ අය යාළුවෝ. ඒ අය තමයි ඔබලව නඩත්තු කරන්නේ. මැතිවරණ වලට අරමුදල් දෙන්නේ. ඒ අය තමයි ඔබලට මේ වැඩ වලට කප්පම් ගෙවන්නේ.
ඔබලා මේ රටේ ආත්මයම විකුණනවා. ඔබලා හඬක් නැති අයව පාගනවා. ඔබලා මුදල් මණ්ඩලය ඒ අයගේ ප්‍රකාශකයා කරලා. නැවතත් මම මුදල් මණ්ඩලයට කියනවා, මේක නම් ඔබලා කරන්නේ, මේක නම් ඔබලා මේ රටේ කම්කරු පංතියට කරන්නේ..
ඔබලා තමයි රට හමුවේ නිරුවත් වෙන්නේ. හිතන්න එපා මේක කරන්න. ජුලි 04 වනදා ඉඳන් ඔබලට දින 21 ක් තියෙනවා. අරමුදල හැටියට ස්වේච්ඡාවෙන් තීන්දුවක් ගන්න. නමුත් ඔබලා මේ රටේ කම්කරු පංතියේ ලක්ෂ 25 ක් වෙනුවෙන් තීන්දු ගන්නවා. වැරදි තීන්දුව ගත්තොත් මතක තියා ගන්න, ඔබලා තමයි මේ රටේ ජනතාවගේ උදහසට වෛරයට පාත්‍ර වෙන්නේ.
ස්තුතියි.
(දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් කොල්ලකෑම ගැන 2023 ජුලි මස 01 වන දින පාර්ලිමේන්තුවෙහි ඉංග්‍රීසියෙන් කළ කතාවෙහි සිංහල පරිවර්තනයයි)

Archive

Latest news

Related news