Friday, May 3, 2024

මලීෂ විදුරංගට වෙඩි තැබූ අක්මීමන පොලිසිය සුපුරුදු බේගල් කතාව ඇදබායි!

මලීෂ විදුරංගගේ වැඩිමහලු සොහොයුරා වන භානුක දිසානායක  මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ පළකළ සටහනක් පහත දැක්වේ.
එම සටහනින් කියන්නේ පොලිසිය සිය බාල ‌සොහොයුරා අපරාධකරුවකු කිරීමට තනිකරම බොරු කතාන්තරයක් ගොතා ඇති බවයි.
පසුගිය කාලය තුල පොලිසිය සිය අපරාධ වසං කිරීමට මෙවැනි වයාජ පුවත් ජනමාධ්‍යන්හි පළ කිරීම දිගටම දක්නට ලැබුණි. පහර දී මරා දමන ලද ප්‍රීති සමන්ත සහ රාජකුමාරි ගැනද පොලිසිය කීවේ මෙවැනි අතේ පැලවෙන බොරුය.
මෙරට පොලිසිය සිතා සිටින්නේ තමන්ට ඹ්නෑම පුරවැසියකුටවෙඩි තබා එම ඝාතනය වසං කිරීමේ අයිතියක් තමන්ට ඇති බවයි. එසේ ඝාතනය කරන පිරිස් අපරාධකාරයන් ‌හෝ අපරාදකාරියන් ලෙස හුවා දැක්වීම පොලිසියේ පිළිගත් කූටෝපාය බවට පත්ව තිබේ.

භානුක දිසානායකගේ සටහන.

‘අක්මීමන පොලීසිය විසින් වයස අවුරුදු 21 වූ මාගෙ ආදරණීය සහෝදරයා හට වෙඩි තබා බරපතල තුවාල සිදුකර අසත්‍ය චෝදනා නගමින් අත්බෝම්බයක් සහ T56 උන්ඩ 105 ක් දමා බොරු නඩුවක් දැමීම සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටිමි.

මලීශ විදුරංග

මාගේ බාලම සහෝදරයා වන මලීෂ විදුරංග දිසානායක, 2023-06-10 දින රාත්‍රී 9 ට පමණ සංගීත සංදර්ශනයක් බැලීමට යාම සඳහා යහළුවෙක් සමග නිවසින් පිටව ගොස් ඇත. එදිනම රාත්‍රී මීගොඩ පදිංචි අදාළ යහළුවාගේ මව අපගේ නිවසට පැමිණ ඇය පවසා ඇත්තේ පොලිසිය විසින් මාගේ සහෝදරයා හට වෙඩි තබා ඔහුව කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

එම පණිවිඩය ලැබුණු විගස මව විසින් ඒ බව මා දැනුවත් කර මාගේ මවත් පියාත් සහෝදරයා බැලීමට ගිය අතර ඒ වනවිට මාගෙ ආදරණීය සහෝදරයා කරාපිටිය රෝහලේ හදිසි අනතුරු ඒකකයේ මුහුණට වෙඩි වැදී ප්‍රතිකාර ලබමින් සිටින ලදී. මමත් මාගෙ රාජකාරි කටයුතු පසෙකලා ඉතා ඉක්මනින් රෝහල කරා යාමට පිටත් වුණි. එම අවස්ථාවේදී මෙය මට කිසිසේත්ම අදහාගත නොහැකි ඉතා කනස්සල්ලට පත් කරුණක් වුණි.

ඒ වනවිට අක්මීමන පොලීසියේ නිලධාරීන් හා ගාල්ල පොලීසියේ නිලධාරීන් පැමිණ සිටි අතර මගේ සහෝදරයාගෙන් විස්තර විමසීමේදී සහෝදරයාගේ මිතුරෙකු සමග මොටර් සයිකලයෙන් ගමන් කරමින් සිට ආනන්ගොඩ ප්‍රදේශයේ අතුරු පාරක නතර කරගෙන බීඩි කොටයක් බොමින් සිටියදී පොලිස් යතුරුපැදියක් පැමිණි බවත් ඒ සමගම මාගේ සහෝදරයාගේ මිතුරා මොටර් සයිකලයෙන් පොලීසිය එන බව පවසා ඉදිරියට වේගයෙන් ගිය බවත් මල්ලීට කිසිවක් කර කියා ගත නොහැකිව සිටින විට පොලීසියෙන් අල්ලාගත් බවත්, බයට පොලිසියෙන් බේරී දුවන විට වෙඩි හඬක් ඇසුණු බවත්, එම වෙඩි හඬත් සමග මල්ලිගේ මුහුණට වෙඩි වැදී ඉදිරියට දුවගෙන ගිය බවත්, එම වෙඩි එ යනවිට මල්ලී සමඟ ගිය මිතුරා මාර්ගයේ නතර වී සිටි බවත්, මිතුරා තුවාල ලබා සිටි මල්ලිව මෝටර් බයිසිකලයේ නංවාගෙන කරාපිටිය රෝහලට පැමිණ ඇතුළත් කල බවත් මල්ලී මට පවසා සිටින ලදි.

මෙම සිද්ධියෙන් පසු මා ඇතුළු අප රෝහලට පැමිණ සිට දැන ගත් පරිදි පොලිස් නිලධාරියෙක් හමුවේ මල්ලීට වෙඩි තැබුවේ ඇයි කියා විමසීමේදී “පුතා හොඳ එකෙක් නෙමෙයි බෝම්බයකින් ගහන්න හදල තියනවා” කියා මාගේ මව සහ පියා ඉදිරිපිටදී පවසා ඇත.

ඊට පසු රූපවාහිනී ඇතුළු සමාජ මාධ්‍ය වලින් ප්‍රචාරය උනේ මාගේ මල්ලී පොලිස් නිලධාරීන්ට අත් බෝම්බයකින් පහර දෙන්න හදන විට මල්ලීට වෙඩි තැබූ බවත්, අත් බෝම්බයක් සහ T56 උන්ඩ 105 ක් පොලීසිය විසින් සොයාගෙන ඇති බවත්ය.

මලීශ විදුරංග ‌පොලිස් වෙඩි පහරන් පසු රෝහලේ දී (සමින් දිලංක මුහුණූ පොතිනි)

මාගේ මල්ලී ජීවිතේට අත්බෝම්බයක් දැක හෝ අල්ලා නොමැති බව මට විශ්වාසයන්ම පැවැසිය හැකි අතර ප්‍රදේශයේ ඕනෑම කෙනෙකුගෙන් අප පවුල ගැන සහ මගේ මල්ලී ගැන රහසිගතව පරීක්ෂණයක් පැවැත්වුවහොත් අප කවුද යන්න අනාවරණය කර ගත හැකි බව වගකීමෙන් පවසා සිටිමි.

පොලිස් නිලධාරියෙකු, දුවගෙන ගිය මගේ මල්ලීට වෙඩි තබා බරපතල තුවාල සිදුකර ඊට අමතරව බොරු චෝදනා නඟමින් මිනීමරුවෙකු සේ පොලිසිය සලකන ආකාරයට මාගේ මල්ලීට අත් බෝම්බයක් හා T56 උන්ඩ 105 තියා ගත් බවට බොරු නඩුවක් දැමීම පොලීසිය විසින් සිතාමතාම වෙඩි තැබීම සාධාරණීකරණය කිරීම සඳහා කරන ලද්දක් බව වගකීමෙන් යුතුව මා ප්‍රකාශ කරමි.

මෙවැනි බොරු චෝදනා නගමින් පොලිස් නිලධාරියෙකුට අත් බෝම්බ ප්‍රාහාරයක් එල්ල කිරීමට තරම් පාතාලයට සම්බන්ධ අයකු මාගෙ ආදරණීය මල්ලී නොවන බවත් පවසා සිටින අතර මෙම සිද්ධියට පෙර අඩුම තරමින් රථ වාහන නඩුවකට වත් මාගේ මල්ලී හසුවී නැත.

මෙම අසත්‍ය චෝදනා නගමින් මගේ සහෝදරයාට වෙඩි තැබීම සාධාරණීකරණය කිරීම සඳහා අත් බෝම්බයකින් පහර දෙන්න හදන විට වෙඩි තැබූ බවට පොලිසිය විසින් ජන මාධ්‍ය වලට අසත්‍ය තොරතුරු පවසා සිටීමෙන් කිසිම වරදකට සම්බන්ධ නැති අප පවුලේ සියලු දෙනාටම පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා ඇතුළු පොලිස් නිලධාරීන් ප්‍රචාරණය කරමින් අපට කර ඇති අපරාධය හා අපහාසය, මෙය කියවන ඔබ තුමා/තුමියගේ පවුලේ අයකුට සිදු වුවහොත් වැටහෙනවා ඇතැයි මා කනගාටුවෙන් වුවද පවසා සිටිමි.

ඉහත කරුණු අනුව ගාල්ල පොලීසිය හා අක්මීමන පොලීසිය මගින් සිදු කරන පරීක්ෂණ හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් වැනිය. මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වා සාමකාමීව කිසිම වරදක් නොකර ජීවත්වන අප පවුලට සාධාරණයක් ඉෂ්ඨ විය යුතු අතර පොලිස් නිලධාරීන් මෙවැනි බොරු නඩුවක් දැමීම සදහා අත් බෝම්බයක් සහ T56 උන්ඩ 105 ලැබුණු ආකාරය සම්බන්ධවද සාධාරණ පරීක්ෂණයක් පවත්වා සත්‍ය අනාවරණය කරගෙන එවැනි වැරදි කරන පොලිස් නිලධාරීන්ටත් එම වැරදි අනුබල හා උපදෙස් ලබාදුන් උසස් පොලිස් නිලධාරීන්ටත් නීතීමය පියවර ගෙන සාධාරණයක් ඉටුකර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

තවද පොලීසිය යනු මහජනයාගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම සඳහා බැදී සිටින ඉතාමත් වැදගත් ආයතනයක නිලධාරීන්, සාධාරන වැරදි නොකරන මහජනතාවට වෙඩි තබා අත් බෝම්බ සහ T56 උන්ඩ බොරුවට දමා නඩු දැමීමෙන් මා ඇතුළු මාගේ පවුලේ අයවලුන්ටත් ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්ට වෛර කිරීමක් ඉදිරියට ඇති නොවන පරිදි සාධාරණ පිළිගත් අවංක ඒකකයකට පරීක්ෂණ කටයුතු ලබා දී අප පවුලට එල්ලවී ඇති පාතාලයේ වැනි දරුණු වැරදි අපහාසය දුරු කිරීම සඳහා කටයුතු කර දෙන මෙන් ඉතාම ගෞරවයෙන් හා කාරුණිකව ඉල්ලා සිටිමි.

මෙම සියලුම කරුණු සැලකිල්ලට ගෙන අප පවුලට සාධාරණයක් ඉටු නොවුවහොත්, කාටවත් කරදරයක් නොකර අප පවුලේ මම දෙවැනි මල්ලී නංගී පොඩි මල්ලී සහ අපේ අම්මා තාත්තා තම තමන්ගේ ජීවිත ගැන ගන්නා ඕනෑම බරපතළ තීරණයකට ශ්‍රී ලංකා පොලීසිය වග කිව යුතු බව මා මෙයින් දන්වා සිටිමි.’

පසු සටහන:

“අපි ඔක්කොම එකම ගොඩේ”

වෙඩි තියපු සිද්ධිය උනේ මගේ පවුලෙ එකෙක්ට උනත් වාසනාවකට පොඩි එකාගෙ ජීවිතේ බේරුන නිසා, මෙහෙම උන එක ගැනත් පොඩි කෲර සතුටක් තියෙනවා.

අරගල කරපු උන්ට, කැම්පස් පිකට් වලට පොලීසිය, හමුදාව ගහද්දි ගම්වල ඉන්න බයියො/ නීතිය,මානව හිමිකම් ගැන නොදන්න මිනිස්සු හිනා උනා. ඕකුන්ට හොඳ වැඩේ, ගහලා මදි කිව්වා.. Fb එකේ උනත් කියපු තරමක් කිව්වෙ බලු කතා..
ඒත් හිනාවෙච්ච උන් දන්නැ ඔය අසාධාරණේම උන්ටත් වෙන්න පුලුවන් කියලා. අරගලකරුවන්ට, කැම්පස් කොල්ලො/කෙල්ලන්ට ඉස්සෙන තුවක්කුවම උන්ටත් ඉස්සෙනවා කියලා උන් දන්නැ. “අපි ඔක්කොම එකම ගොඩේ” කියලා උන් දන්නැ. මේ සිද්ධියට විරුද්ධව කරපු උද්ගෝෂණේට ආපු අති බහුතරේ ඔය මම උඩ කියපු කුලකෙ අය කියලා 100%ක් විශ්වාසයි.
හොඳම ආතල් එක තමයි මේ සිද්ධිය පොඩි උන්ගෙ පිටින් යවන්න ඕන කමට පොලීසීය හා මීඩීයා(Hiru news) එකතුවෙලා ශ්රීලංකා යුධ හමුදාව පාවිච්චි කරපු කැත විදිය.
වෙඩි වැදුන කොල්ලා එක්ක ගිය අනිත් අවුරුදු 19 පොඩි එකාගෙ තාත්තා SF සෙබලෙක්. නිව්ස් වල “මේ තරුණයන් ලඟ හෑන්ඩ් ග්රෙනඩ් එකක් සහ ජීව උණ්ඩ තිබුණා” කියලා, ඊලඟට කිව්වෙ “වෙඩි වැදුන තරුණයා සමග සිටි අනිත් පුද්ගලයාගෙ පියා SF සෙබලෙක්” කියන එක. ඒක අනවශ්යම තොරතුරක්.
එතකොට නිව්ස් එක බලන පිට කෙනෙක්ගෙ උනත් ඔලුවට යන්නෙ “හෑන්ඩ් ග්රෙනේඩුයි බුලටුයි තාත්තගෙන් ගත්තා වෙන්න පුලුවන්.” වගේ මොන්ගල් අදහසක්. අද ඒ SF නිලධාරියා රිමාන්ඩ් එකේ ඉන්න තමන්ගෙ 19 හැවිරිදි දරුවට සාධාරණයක් කරන්න බලාගෙන කොලඹ හමුදා මූලස්ථාන වල කටු කකා ඇවිදිනවා. හැබැයි කිසිම වෙලාවක “වෙඩි වැදුන තරුණයාගෙ පියා මෝටර් මැකෑනික් වරයෙක්” කියලා කිව්වෙ නැ.
දැන්වත් තේරුම්ගන්න ඕන එක දෙයයි. අපි ඔක්කොම යූස් වෙනවා. විරුවො කියලා ජාතියක් නෑ. උන්ගෙ උවමනාව වෙනුවෙන් විරුවොත් යූස් වෙනවා.
ඉතින්…. තමන් කැමති දේශපාලනේකට කඩේ ගියාට අවුලක් නැ. හැබැයි “මේ වගේ අවුල් ජාලාවක් වෙච්ච පද්ධතියක් ඇතුලෙ අපි හැමෝම එකයි, කෙලවෙන්නෙ අපි ඔක්කෝටමයි” කියන එක ඔලුවෙ තියන් ජීවත් වෙන්න පුලුවන්නම් ඒ ඇති.

Archive

Latest news

Related news