Wednesday, May 8, 2024

මහර සිරගෙදර මරා දැමුණු රැදවියකගේ බිරිදක, වගකියයුතු නිලධාරීන් අත්අඩංඟුවට ගන්නා ලෙස ඉල්ලා අධිකරණයට යයි.

මරණ පරීක්ෂණය පැවැත්වූ වැලිසර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරය තුළ වෙඩි වැදී මියගිය රැඳවියන් 11 දෙනා අතර සැමියා ද සිටින රැඳවියෙකුගේ බිරිඳක්  ඊයේ අභියාචනාධිකරණයට මැන්ඩමස් රිට් ආඥාවක් ගොනු කළේය.

29 හැවිරිදි සිය සැමියා මරා දැමූ බව

වෙඩි වැදීමෙන් මියගිය රැඳවියන් 11 දෙනා අතර තම සැමියා වන 29 හැවිරිදි සිංගක්කාර ලියනගේ සම්පත් පුෂ්ප කුමාර ද සිටින බව පෙත්සම්කාරිය වන මෙහෙනුවර ගෙදර ලසන්ති පෙත්සමෙන් පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ පොලිස්පති සී ඩී වික්‍රමරත්න යන මහත්වරුන්ට එරෙහිව මෙම පෙත්සම ගොනු කර තිබේ.
වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය 2023 අප්‍රේල් 26 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ මේ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගෙන මෙම සිද්ධියට සම්බන්ධ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන අනුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
ඒ අනුව මෙම රැඳවියන් 11 දෙනාගේම මරණය සිදුවී ඇති ආකාරය අනුව මෙන්ම වෙඩි වැදී තුවාල ලැබූ රැඳවියන් විසින් ලබාදුන් සාක්ෂි අනුව වැලිසර අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා එසේ ප්‍රකාශ කළේ යැයි, පෙත්සම්කාරිය පවසයි.

මානුෂීය මෙහෙයුමක් නොවේ

මෙම තත්ත්වය බන්ධනාගාර අධිකාරීවරයා විසින් අවම බලයක් යොදවා දණහිසෙන් පහළට වෙඩි තබා සිරකරුවන්ව පාලනය කිරීමට ගත් මානුෂීය මෙහෙයුමක් ලෙස නොපෙනෙන බවද එම අධිකරණ තීන්දුවෙහි දැක්වේ.
එම තීන්දුව වැඩිදුරටත් මේසේ සඳහන් කරන බව පෙත්සම්කාරිය පවසයි.
වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ මියගිය 11 දෙනාගේ සිරුරුවල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සලකා බැලීමේදී උදර ප්‍රදේශය ආසන්නයේ සහ ඊට ඉහළින් ඇති අවයවවලට වෙඩි වැදී ඇති බැවින් මෙම මියගිය අයගේ මරණ එමගින් සිදු වූ බවට සැක කරන බවයි.

යොදා ඇත්තේ අවම බලය නොවේ

රැඳවියන් පාලනය කිරීම සහ කණ්ඩායම් විසුරුවා හැරීම සඳහා සහ සෑම දිශාවකටම වෙඩි තබා ඇති බව පෙනී යන අතර එබැවින් ගිනි අවි එල්ල කළ දිශාවන් සලකා බැලීමේදී දණහිසට පහළින් වෙඩි තැබීම සඳහා අවම බලයක් යෙදා ඇති බව  නිරීක්ෂණය නොවේ.

වෙඩි තැබූ අය සඟවා තැබීමක්

මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ 2021.03.18 දිනැති වාර්තාවේ වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේදී බන්ධනාගාරයේ අවි ගබඩාව භාරව සිටි නිලධාරීන් සහ ආයුධ නිකුත් කිරීමේදී ඒවා භාවිත කරන නිලධාරියා හඳුනා ගත හැකි අයුරින් අවි නිකුත් කර නොතිබූ බවත්  නැවත ඒවා ලැබුණු විට ඒවා නිසි පරිදි පරීක්ෂා කර භාර නොගත් බවත් සඳහන් වන බවයි.
(එලෙස ගිනි අවි යළි බාර ගැනීමේදී පරීක්ෂා නොකිරීම නිසා එම ගිනි අවි පාව්ච්චි කළේද නැත්ද  සහ වෙඩි තැබූ නිලධාරීන් කව්රුන්ද යන්න සොයා ගැනීමට බැරිවේ. ඒවැනි තත්වයක් යටතේ ගිනි අවි නිකුත් කළ නිලධාරියා වගකීම  බාර ගත යුතුය – ශ්‍රී ලංකා බ්‍රීෆ්)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනයේදී බන්ධනාගාරයේ විවිධ ස්ථානවලින් බන්ධනාගාර නිලධාරීන් විසින් ගිනිඅවි මගින් වෙඩි තබා ඇති බවට අනාවරණය වූ බව මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අධිකරණ නියෝගය නොතකන පොලිසිය

පෙත්සම්කාරිය පවසන්නේ, වැලිසර මහේස්ත්‍රාත්වරයා විසින් 2023 අප්‍රේල් 26 දින මෙම නියෝගය ප්‍රකාශයට පත් කර මාස එකහමාරකට වැඩි කාලයක් ගතවී ඇතත්, මෙම සිද්ධියට සම්බන්ධ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි පියවර ගැනීමට අපොහොසත් වී ඇති බවයි.
එමගින් පෙත්සම්කාරිය පවසන්නේ 2023 අප්‍රේල් 26 වැනි දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ එම නියෝගය ලබා දී මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඒ අනුව ක්‍රියා නොකිරීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් සහ අනෙකුත් වගකිවයුතු පොලිස් නිලධාරීන් පොලිස් ආඥාපනතේ 56 වැනි වගන්තිය උල්ලංඝනය කර ඇති බවයි.
නීතිඥ සේනක පෙරේරා: “යුක්තිය ඉටුවන තුරු සටන් කරනවා”.සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මුල සිටම මෙම අපරාධය හෙළි කිරීමට කටයුතු කළේය.

වගකිය යුත්තන් අධිකරණයට ගෙනෙන්න

එබැවින්, ඉහත කී තත්ත්වයන් සමස්ථයක් වශයෙන් ගත් කල, සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් 1 වන 2 වන සහ 3 වන වගඋත්තරකරුවන්ට මැන්ඩමස් ආඥාවක් ආකාරයෙන් නියෝගයක් ලබා දීමට පෙත්සම්කරුට නීතියෙන් හිමිකම් ඇති බව පෙත්සම්කාරිය පවසයි.
2023 අප්‍රේල් 26 දිනැති නියෝගයට අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන අනුව, නඩු අංක B 3118/20 දරන වැලිසර මහේස්ත්‍රාත් නඩුවට ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඇය පෙත්සම මගින් ඉල්ලා සිටී.
2020 නොවැම්බර් 29 වන දින මහර බන්ධනාගාරය තුළ වෙඩි තැබීමකින් පහත සඳහන් රැඳවියන් මිය ගියහ. මියගිය රැඳවියන්ගෙන් බහුතරයක් වයස අවුරුදු 30 ක් පමණ වන අතර ඔවුන්ගෙන් එක් අයෙකු වයස අවුරුදු 18 ක් විය.
මෙම  වෙඩි තැබීම් නිසා මියගිය රැඳවියන් 11 දෙනාගේ නම් මෙසේය.
  1. ඇරැව්වලගේ බවන්ත මහින්ද (වයස 25)
  2. සිංගක්කාර ලියනගේ සම්පත් පුෂ්ප කුමාර (වයස 29)
  3. මාලන් ක්රේක් (වයස අවුරුදු 28)
  4. අලංකාර දේවගේ අමිත් සුභසිංහ (වයස 30)
  5. දොරවකගේ ඉන්දික පුෂ්ප කුමාර (වයස 37)
  6. යකුපිටිවගේ රසික හර්ෂණ කාරියවසම් (වයස 33)
  7. සුදු දේවගේ ප්‍රදීප් අතුල කුමාර (වයස 41)
  8. වැලිකල විතානලාගේ කවිඳු සුලක්ෂණ රුද්‍රිගු (වයස 21)
  9. සරණප්‍රිය ජවසේකර පටබැඳිගේ සුජිත් කුමාර (වයස 35)
  10. හෙට්ටිආරච්චිගේ ලහිරු නිමන්ත (වයස 29)
  11. විතානගේ අවිශ්ක මල්ෂාන් (වයස 18)
පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සේනක පෙරේරා  විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කර ඇත.

Archive

Latest news

Related news