Wednesday, May 1, 2024

පොල් ගෙඩියට හිරේ යවන රටේ අවි 103ක් සහ පතොරම් 28,000 ආපසු නොදුන් ඇවන්ගාඩ් නිදහසේ!

ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ රක්නා ලංකා ආරක්ෂක සමාගම ඇවන්ගාඩ් සමාගමට බාරදී තිබූ ස්වයංක්‍රීය හා අර්ධ ස්වයංක්‍රීය ගිනි  අවි 103ක්  සහ පතොරම් 28,789 ක් ඒ සමාගම් අතර ගිවිසුම අවසන්වීමෙන් පසු  නැවතත්  සමාගම බාරයට ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම  වාර්තාවක සඳහන් වී තිබේ.
මෙ‌සේ ගිනි අවි දහ පතුරම් අනීතිකව තමන් ළඟ තබා ගෙන සිටින ඇවන්ගාඩ් සමාගමෙහි අධිපති වන්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයකු සහ යූඇන්පීයේ සභාපති වජිර අබේවර්ධනගේ ගජ මිතුරකු වන නිස්සංක සේනාධිපතිය.
නිස්සංක සේනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ද සමීපතම දේශපාලන සගයකු විය.
නෞකා සමාගම්වලට 2011 වර්ෂයේ වර්ෂයේදී නිකුත් කර මෙතෙක් බාරදී නොමැති ගිනි අවි අතුරින් 13 ක් අස්ථානගතවී ඇති බවත් අස්ථානගතවූ එම ගිනි අවි 13ට ස්වයංක්‍රීය ගිනි අවි හතරක් සහ අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි තුනක් ඇතුළත් වන බවත්   එම වාර්තාවේ දක්වා තිබේ.
රක්නා ලංකා ආරක්ෂක සමාගම සහ ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස්  පෞද්ගලික සමාගම අතර පැවති ව්‍යාපාරික ගිවිසුම 2019 වසරේ ජනවාරි 24 වැනි දින අවසන් විය.
ඉන් පසු  එම අවි ආයුධ  නැවත බාරදිය යුතුව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර ඇවන්ගාඩ් සමාගමට අයත්ව තිබූ රංගල සහ ගාල්ල පාවෙන අවි ගබඩාවලින් ලැබිය යුතු රුපියල් කෝටි 80 කට ආසන්න මුදලක් වර්ෂ  හතකට අධික කාලයක් තිස්සේ අය කරගෙන නැති බවද එම විගණන වාර්තාවේ  දක්වා තිබේ.
රක්නා ලංකා ආරක්ෂක සමාගම දේශීය හා සමුද්‍රීය ආරක්ෂක සේවා සැපයීමෙන් ලබාගන්නා  ආදායම  විධිමත් කළමනාකරණයට හා පාලනයට සුදුසු අභ්‍යන්තර පාලන ක්‍රමවේද ස්ථාපිත කිරීම කෙරෙහි කළමනාකාරිත්වයේ  අවධානය යොමුවී  නොතිබූ බව විගණන අංශවලට තොරතුරු අනාවරණයවී ඇති බව ද වාර්තා වේ.
රක්නා ලංකා ආරක්ෂක සමාගම යනු ගෝඨාභය රාජපක්ෂ  ආරක්ෂක ලේකම්ව සිටියදී ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පිහිටුවන ලද  සමාගමකි.  ඊට බඳවා ගන්විනා ලද්දේ විශ්‍රාමික සොල්දාදුවන්ය.
මේ අතර සමාගම සඳහා සේවකයන් බඳවා ගැනීම හා උසස් කිරීම සඳහා පටිපාටියක් සකස් කර රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය මේ දක්වාම ලබාගෙන නොතිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි.
මෙම සමාගම වත්මන් ආක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ අධික්ෂනය යටතේ පැවැති සමාගමකි. එය නිස්සංක සේනාධිපතිගේ ඇවැන්ගාඩ් සමාගම සමඟ සමීපව කටයුතු කළේය.
ඇවන්ගාඩ් සමාගමෙහි දූෂන වංචා සොයන බවට යහපාලන ආණ්ඩුව  පොරොන්දු වුවද එවකට අගමැති වූ රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු වූ එවකට අධිකරණ ඇමැති තිලක් මාරපන,  නිස්සංක සේනාධිපතිගේ නීතිඥයා බවට පත් විය.

සේ. පියවර්ධන

( ලංකාදීප පුවතක කරුණුද ඇසුරුණි)

Archive

Latest news

Related news