Monday, May 20, 2024

17 වියේදී අපයෝජනය වූ තරුණියක 40 හැවිරිදි මවක ලෙස 7වැනි වතාවටත් නීතිය හමුවේ ‘අපයෝජනය’ වෙයි!

 ලිංගික අපයෝජන සිද්ධියකින් වසර 22කට පසු කාන්තාවක් තමන් මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය සතියේ නුවරඑළිය මහාධිකරණයේදී සාක්කි ලබා දුන්නාය.
එම සිද්ධිය ගැන අධිකරණයකදී ඇය සාක්කි දුන් හත්වැනි වතාව මෙයයි.
එවකට 18 වැනි වියට ආසන්නව සිටි එම තරුණිය මේ වන විට 40 හැවිරිදි තිදරු මවකි.
ලිංගික අපයෝජනයන්ට ගොදරු වන ස්ත්‍රින්ට එම සිදුවීම යළි යළි නීතිය පුනරුච්චාරණය කරන්නට වීම සැළකෙන්නේ යළිත් අපයෝජනය විමක් ලෙසය. තමන් මුහුණ දුන් බිහිසුණු සහ සිය ආත්ම ගරුත්වය කෙලෙසූ සිදුවීමක් යළි යළි පුනරුච්චාරණය කිරීමට සිදුවීමත් අනතුරුව හරස් ප්‍රශනවලට මුහුණ දීමට සිදුවීමත් නිසා මානසික ආතතියට සහ විශාදයට ගොදුරු විය හැකි බව බොහෝ අය විසින් පෙන්වා දී තිබේ.
2001 වසරේ අගෝස්තු මාසයේ 12 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී තලවාකැලේ පදිංචිව සිටි අවුරුදු 17යි මාස ගණනක් වූ තරුණිය පල්ලියට ගොස් එමින් සිටියේය.  අතරමගදී ඇය බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අපයෝජනය කළ බවට විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
2001 වසරේදී සිදුවූ සිද්ධියට අදාලව ලඝු නොවන නඩු විභාගයෙන් පසු 2004 වසරේදී නීතිපතිවරයා විසින් නුවරඑළිය මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරනු ලැබ තිබිණි.
ලඝු නොවන නඩු විභාගය යනු, නඩුවක් ගෙන යෑමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඇත්දැයි මහේස්ත්‍රාත් අධිකරනයේදී විමසා බලන ක්‍රමවේදයකි.
ඊට අදාලව මහාධිකරණයේ වසර 10ක කාලයක් නඩුව විභාග විය. මධ්‍යම පළාත්බද නුවරඑළිය මහාධිකරණ විනිසුරු ඊ ඩබ්ලිව් එම් ලලිත් ඒකනායක මහතා 2015 දෙසැම්බර් මස 28 වැනිදා එහි තීන්දුව ප්‍රකාශයට පත් කළේය.  චූදිතයන් දෙදෙනා එම තරුණිය අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් කර පළමු චෝදනාවට චූදිතයන් දෙදෙනාටම වසර 05ක බරපතල වැඩ ඇතිව සිරදඬුවමක් ද, දෙවැනි සහ තෙවැනි චෝදනා සඳහා චූදිතයන් දෙදනාට වසර 18ක බරපතල වැඩ ඇතිව සිරදඬුවම් ද නියම කළේය.
එම තීන්දුවට එරෙහිව චූදිතයන් දෙදෙනා අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන ලදී. එහිදී නඩු විභාගයට පෙර චූදිතයන්ගෙන් නඩු විභාගය කළ යුත්තේ ජුරි සභාවක් ඉදිරිපිටද නැතිද යන්න විමසූ බවට මහාධිකරණ නඩුගොනුවේ සඳහන්ව නැති බව පෙන්වා දෙන ලදී. එම නිසා  අභියාචනාධිකරණය තීන්දුව වෙනස් කළේය.  තීන්දුව අහෝසි කර නැවත මුල සිට නඩුව විභාගයට ගත යුතු බවට තීන්දුවක් දුන්නේය. ඒ අනුව නැවත නඩු විභාගයක් සඳහා නුවරඑළිය මහාධිකරණට යොමු කෙරිණි.
ඉන් පසු 2019 පෙබරවාරි මස 04 වැනිදා නඩුව කැඳවූ අතර ඒ වන විට නුවරඑළිය මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කළේ මෙම නඩුවේ මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගය පැවැත්වූ විනිසුරුයා විය.
ලැදියාවන්හි ගැටුමක් ඇතිවිය හැකි නිසා ඒ මහතා මෙම නඩුව විභාගයට ගැනීම සඳහා වෙනත් විනිසුරුවරයකු පත් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව 2022 පෙබරවාරි 07 වැනිදා  නුවරඑළිය මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මහත්මිය ඉදිරියේ නඩුව කැඳවන ලදී. එහිදී අගතියට පත් පාර්ශවය (අපයෝජනය වූ තරුණිය) වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා නඩු විභාගය සඳහා සාක්කි ලබා දීමට අගතියට පත් පාර්ශ්වය සූදානම් බව දැනුම් දුන්නේය.
ඒ අනුව 2022 මාර්තතු මස 15, 16 සහ 24 වැනිදා මෙම නඩුව විභාගයට ගැනීමට දින නියම වුවද කොවිඩ් වසංගතය සහ විනිසුරුවරුන් මාරුවීම ආදී හේතු නිසා යළිත් නඩු විභාගය කල් ගියේය.
කෙසේ වෙතත් පසුගිය  දා නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා ඉදිරියේ නඩු විභාගය යළි 2023 මාර්තු ආරම්භ විය.   අපයෝජනයට ලක්වූ කාන්තාව මහාධිකරණය ඉදිරියේ සාක්කි දුන්නාය. ඊට පසු නඩු දිනයේ දී  එනම් ජුනි 06 වැනිදා පළමු චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලින් ද සිල්වා මහතා හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළේය. භාෂා පරිවර්තකයේ සහායෙන් මෙම කාන්තාව දෙමළ භාෂාවෙන් හරස් ප්‍රශ්න හමුවේ සාක්කි දුන් අතර විත්තිය වෙනුවෙන් පරස්පරතා ලකුණු කිරීමක් සිදු නොවිණි.
වැඩිදුර විභාගය ජූලි මස 25 සහ 26 දෙදිනට කල් තැබිණි.
මෙම වසර 22ක කාලය ඇතුළත අදාල කාන්තාව සාක්ෂි /ප්‍රකාශ ලබාදුන් අවස්ථා ගණන හතක් පමණ වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මුලින්ම කටඋත්තර ලබා දුන්නේය.
මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති ලඝු නොවන නඩු විභාගයේදී ද ඇය සාක්කි ලබා දුන්නාය.
මීට අදාලව මහාධිකරණයේ දී ඇය මේ වන විට සාක්කි ලබාදී ඇති අවස්ථා ගණන තුනකි.
ඊට අමතරව දිසා අධිකරණයේ සිවිල් නඩුවේදී ද අවස්ථා දෙකකදී ඇය සාක්කි ලබා දී තිබේ.
ඒ අනුව ඇය අධිකරණයක් ඉදිරියේ මෙවර සාක්කි දෙන්නේ හත්වැනි වතාවට වන අතර පොලිසියට දුන් ප්‍රකාශයද සමග ඇය තමන් මුහුණ දුන් සිද්ධිය ආයතයක් ඉදිරියේ විස්තර කරන්නේ අටවැනි වතාවටය.
මෙම නඩුවේ වැදගත් සාක්කිකරුවකු වන මෙම කාන්තාවගේ ළඟම ඥාතියකු මේ වන විට මරණයට පත්ව තිබේ.
යුක්තිය පමාවීම යනු යුක්තිය නොලැබීම යැයි කියනු ලැබේ. අධිකරණයෙන් අධිකරණයට මාරු වෙමින්, ආපස්සට යවමින් මෙම ස්ත්‍රියට යුක්තිය ලබා දීම දැන් විසිවසරකටත් වඩා පමා වී තිබේ.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ වාසනා තිසේරා මහත්මිය පෙනී සිටි අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ මාධව ඊරියගම මහතා සමඟ නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා පෙනී සිටියේය.
(සකස් කරන ලද්දේ මීඩියා.ඒල්කේ අඩවියෙහි පළ වූ ලිපියකිනි.)

Archive

Latest news

Related news