Saturday, April 20, 2024

රනිලාර්ථිකය: රු. කෝටි 90,000ක් බදු කපා ජනයා මත බදු බර පැටවීම සහ ඩොලර් කෝටි 386ක ණය රජයට පවරා ගැනීම

මාසික ස්ථීර වැටුප් ලබන්නන් ඇතුළු ජනතාව මත අසීමිත බදු බරක් පටවා ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරමින් සිටින රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂ හවුල් ආණ්ඩුව ඔවුන්ගේ ගජමිතුරු ජාවාරම් කරුවන්ට රුපියල් කෝටි අනූදහසකට (රු.කෝටි 90,000) අධික බදු කපා හැරීම් සිදු කර ඇති බව අනාවරණය වේ.
මෙම තොරතුරු හෙළි වී තිබෙන්නේ, රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී පසුගිය 2022 වර්ෂයට අදාලව සිදුකරන ලද විමර්ශනවලදී ය. මේ සම්බන්ධයෙන් දේශය පුවත්පත වැඩිදුරටත් කරුණු වාර්තා කර තිබිණි. 2022.12.31 දිනට ලැබිය යුතු හිඟ බඳු මුදල් රුපියල් කෝටි 90,434ක් අයකරගෙන නොමැති බවත් එම මුදල් අය කර ගැනීමට කිසිදු නීතිමය බාධාවක් තිබී නැති බවත් එමගින් හෙළි කර තිබේ.
ගෝටාබය රාජපක්ෂ බලයට පත් වූ වහාම ජාවාරම් කාරයින් හට රුපියල් කෝටි 60,000ක පමණ බදු කපා හැරිම් සිදු කළ අතර එය රනිල් වික්‍රමසිංහ යටතේද නිහඬවම එලෙස සිදුකරමින් පවතින බව මෙම තොරතුරුවලින් හෙළි වේ.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වසර 04ක් තුළදි ඩොලර් කෝටි 290ක ණය මුදලක් ලබා ගැනීම සඳහා පූර්ව කොන්දේසි ඉටුකරමින් ඩොලර් කෝටි 386ක ණය රජයට පවරාගෙන ආයතන කිහිපයක් විකිණීමට සූදානම් වන බව ශ්‍රි ලංකා මහ බැංකු වාර්ශික වාර්තාව 2022 මගින් අනාවරණය වේ.
එම වාර්තාවේ 45වෙනි පිටුවෙන් මීට අදාල තොරතුරු අනාවරණය වන අතර “ජා.මූ අරමුදලේ විස්තීරණ ණය පහසුකම් ණය වැඩසටහන යටතේ එකඟ වූ ක්‍රියාමාර්ගවලට අනුව” යනුවෙන් ආණ්ඩුව යටත් වූ කොන්දේසි පිළිබඳව දක්වා තිබේ. ඒ යටතේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ නොපියවූ විදේශ ණය ඩොලර් කෝටි 243.48ක් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ලංකා විදුලි බල මණ්ඩලය මෙන්ම ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම යන චීන අපනයන ආයතන බැංකුවෙන් ලබාගෙන තිබූ ඩොලර් කෝටි 142.73ක් යන ණය ප්‍රමාණයන් රජයට පවරාගෙන ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව ඇතිකරගෙන තිබෙන රහසිගත කොන්දේසි එකිනෙක විවිධ අවස්ථාවලදී හෙළිවෙමින් තිබෙන අතර මහ බැංකු වාර්තාවෙන්ද එවැනි කොටසක් මෙලෙස හෙළි වී ඇත. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගතකරණය යන ක්‍රියාවලිය මගින් මෙරට ජාතික ආරක්ෂාවට අදාලවන ඉන්ධන සහ විදුලිය සැපයුම විදේශයන්ට විකුණා දැමීම පියවරෙන් පියවර සිදුකරමින් පවතී. අදාල රාජ්‍ය ආයතන ජනතාව මත බරපටවා ඇති බව සඳහන් කරමින් විකුණා දැමීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයමින් පවතින අතර එම ආතන සතු සමස්ත ණය බරද යළිත් වතාවක් ජනතාව මත පැටවෙන බව මෙමගින් හෙළි වී තිබේ.
( ඇසුර- ලංකා ට්රුත්)

Archive

Latest news

Related news