Thursday, April 18, 2024

රනිල් රාජපක්ෂගේ විද්‍යුත් මාධ්‍ය මර්දන පනත: කුමක්ද? කෙසේද?කොයිබටද? සුනන්ද දේශප්‍රිය

වාර්තා පිට වාර්තා තබමින් මර්දන අණ පනත් ගෙන එන රනිල් රාජපක්ෂ දැන්  “විද්‍යුත් විකාශන අධිකාරි පනත” (Electronic Broadcasting Authority Bill) නමින් මාධ්‍ය මර්දන පනතක් එළිදක්වා තිබේ.
මෙම පනත බැලූ බැල්මට ඉලක්ක කරන්නේ රූපවාහිනී සහ ගුවන් විදුලි විකාශන ආයතනයන්ය. සමාජ මාධ්‍ය පාලනය කිරීම සඳහා ද සිංගප්පූරුවෙහි මෙන් පනතක් සකස් කරන බව රනිල් රාජපක්ෂ පසුගිය ජනවාරියේදී කීවේය. එම පනතද ළඟ ළග එනු ඇත.
මෙම “විද්‍යුත් විකාශන අධිකාරි පනත” නම් කෙටුම්පත දැනට එළි දක්වා ඇත්තේ ඉංග්‍රිසි බසින් පමණි.  එය කෙලින්ම රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය රජයේ පාලනයට නතු කිරීමේ වෑයමකි.
ජනමාධ්‍ය පාලනය සඳහා ද දරුණූ වගන්ති ඇතුලත් රනිල් රාජපක්ෂගේ ‘ත්‍රස්ත විරෝධී පනත’ තාවකාලිකව හකුලා ගෙන තිබෙන නමුත් මාධ්‍ය මර්දනයේ රනිල් රාජපක්ෂ මෙහෙයුම දිගටම ක්‍රියාත්මක බව මෙමගින් යළි සනාත වෙයි.

වළට ගිය 1997 චන්ද්‍රිකා- මංගල පනත

1997 වසරෙහි දී චන්ද්‍රිකා කුමාරතුංග සහ මංගල සමරවීර එක්ව මෙවැනිම පනතක් ගෙන ආවේය. එම උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් උපන් ගෙයිම වල දමන ලදී.
එම තීන්දුවෙහි ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ සදහන් කළේය. “ශ්‍රී ලංකා විකාශන අධිකාරී පනත් කෙටුම්පත සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය. එය මුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකින් (නොපැමිණෙන අයද ඇතුළුව) සම්මත විය යුතු අතර, ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතු බවත් අපි තීරණය කරමු.”
එම තීන්දුව ලබා දුන්නේ  අග විනිසුරු ජී.පී.එස්.ද සිල්වා,  ජේ.අමරසිංහ  සහ ජේ. රාමනාදන් යන විනිසුරු මඩුල්ල විසිනි.
එම පනත විකාශන ආයතනයන්හි ස්වාධීනත්වය නොරකින, අධිකාරියේ සාමාජික සාමාජිකාවන් දේශපාලන බලපෑමට යටත් එකක් බවත් මහජනයාගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය කෙලෙසන බවත් එම තීන්දුවෙහි සඳහන් විය.
එය චන්ද්‍රිකාගේ මාධ්‍ය මර්දන පනතට දුන් කණේ පහරක් විය. 1998 වයඹ මැතිවරණ කොල්ලය හෙළිදරව් කිරීමට සහය වූ විද්‍යුත් මාධ්‍ය මර්දනය කිරීමට ඇයට සහ ඇයගේ හෙංචයියන්ට අවශ්‍ය වී තිබුණි. එම පනත මගින් ජනමාධ්‍ය ඇමැතිවරයාගේ සිතැඟි අනුව ක්‍රියාකිරීමට එම මධ්‍ය ආයතනයන්ට සිදු වන්නට තිබුණි.

ඇමැති ලේකම් සභාපති වේවි

 රනිල් රාජපක්ෂගේ පනත් කෙටුම්පත මගින් එම අධිකාරය සඳහා පස් පුද්ගල කොමිසමක් යෝජනා කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව ජනාධිපතිවරයා විසින් සාමාජිකයන් තිදෙනෙකු පත් කරනු ලැබේ. නිල නොවන සාමාජිකයින් වන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් (ඔහු කොමිෂන් සභාවේ ප්‍රධාන ගිණුම්කරණ නිලධාරියා ද වනු ඇත) සහ විදුලි සංදේශ නියාමන කොමිසමෙහි අධ්‍යක්ෂ ජනරාල් ය.
අමාත්‍යාංශ ලේකම්වරුන් පත්වන්නේ  ජනාධිපතිවරයාගේ කැමැත්ත මත බවත් ඔවුන් බොහෝ කොටම දේශපාලන අතකොළු බවත් නොදන්නා අයෙක් නැත.  ඊට ටහාදම උදාහරණයක් වන්නේ පලාත් පාලන ඡන්දයට මුදල් නොදී සිටින  මුදල් ලේකම් ය. විදුලි සංදේශ නියාමන කොමිසමෙහි අධ්‍යක්ෂ ජනරාල් ද පත් වන්නේ දේශපාලනය උඩය.
ඊටත් අමතරව කොමිසමේ සභාපති පත් කරන්නේ ද ජනාධිපතිය. කොමිසමේ ඝනපූරණය තිදෙනෙකු වන අතර ජනාධිපතිවරයාට අවශ්‍ය දේ කර ගැනීමට අවශ්‍ය වන්නේ රනිල් රාජපක්ෂට අවශය දේ කර දුන් මොහාන් සමරනායක හෝ පී.එම්.බී. චාල්ස් වැනි රූකඩ සාමාජිකයකු පමණි.
මෙම කොමිසමෙහි වඩාම බලගතු පුද්ගලයා වනු ඇත්තේ අමාත්‍යාංශ  ලේකම්ය. ජනධිපතිවරයා විසින් සභාපති ලෙස ඔහු පත් කිරීමට බෙහෝ දුරටම ඉබ තිබේ.
එනයින් කොමිසම සැබෑ ස්වාධීනත්වයක් නැති රනිල් රාජපක්ෂගේ නූල්වලින් නැටවෙන රූකඩ සංදර්ශනයක් වීමට ඇති ඉඩ වැඩිය. අද මානව හිමිකම් කොමිසමෙහි රාජපක්ෂවාදී සාමාජිකයින් තිදෙනෙකු නටන දේශපාලන නාඩගම ඊට තවත් නිදසුනකි.

ජනපති අල්ලේ නැටවෙන කොමිසම

කොමිෂන් සභාවක ස්වාධීනත්වය රැකෙන්නේ එහි සාමාජික සාමාජිකාවන් පාලකයාගේ දේශපාලන සිතැඟි අනුව ඉවත් කිරීමට  ඉඩ නොතැබීම මගිනි. නමුත් මෙම විකාශන අධිකාරී කොමිසමෙහි සාමාජික සාමාජිකාවක විෂමාචාරය යන චෝදනාව මත ව්‍යවස්ථා සභාවට දන්වා  රනිල් රාජපක්ෂට ඉවත් කළ හැකිය. ඊට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අවශ්‍ය නැත.
මෙම කොමිෂන් සභාව කිට්ටු වන්නේ 19 වන සංසෝධනය යටතේ ස්ථාපිත කළ ස්වාධීන කොමිෂන් සභාවන්ට නොව රාජපක්ෂ පවුලේ 20 වන සංසෝධනයටය. රනිල් රාජපක්ෂ සිය රාජපක්ෂ බෞතිස්මය නොවරදවා පිළිපදින බවට මේ තවත් සාක්ෂියකි.
මෙම පනතෙහි තවත් භයානක වගන්තියක් වන්නේ විකාශන ආයතනයන්ට බලපත්‍ර ලබා දීමේ ක්‍රමයයි. රනිල් රාජපක්ෂ යෝජනා කරන්නේ හුදෙක් වාර්ෂික බලපත්‍ර ලබා දීමටය. වත්මන් රෑපවාහනී මාධ්‍ය ආයතනයක් යනු දැවැන්ත ආයෝජනයකි. එවැනි අයෝජනයක් හුදු වාර්ෂික බලපතු මත පවත්වා ගත් යුතුය යන්නෙන් අදහස් වන්නේ බලයේ සිටින ආණ්ඩුවේ හොඳ හිත නැතිනම් ඊළඟ වසරෙහි බලපත්‍රය අහෝසි වීමේ අවදානමයි.
අහෝසි කිරීමට බලයක් නැත්නම් බලපත්‍ර නිකුත් කිරීමෙහි අර්ථයක් නැත. කොමිසමට බලපත්‍ර දීර්ඝ නොකිරීමට හැකිය. ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ගයක් අවහ්‍ය නැත.
 බලපත්‍ර පවත්වා ගත යුතු නිර්ණායක ගණනාවක් රනිල් රාජපක්ෂගේ මෙම පනත යෝජනා කරන්නේම එම නිර්නායක අල්ලංඝනය කරනු ලැබී යැයි කියා බලපත්‍ර අහෝසි කිරීමේ තර්ජනය එල්ල කිරීමටය. එය විකාශන මාධ්‍යයන්හි හිසට ඉහළින් එල්ලෙන කඩුවක් වනු ඇත.
ජාතික ආරක්ෂාව ඇතුළු හේතු ගණනාවක් මත බලපත්‍රය අවලංගු කිරීමේ නිර්නායක ලෙස දක්වා තිබේ.
යෝජිත පනතට අනුව කොමිෂන් සභාව ඉලෙක්ට්‍රොනික විකාශන ආයතන අධීක්ෂණය හා නියාමනය කරනු ඇත. එය කොතරම් දැවැන්ත කාරියක් වනු ඇත්දැයි සිතා ගැනීමට නොහැකිය.

නිර්වචනය නොකල මාර්ගෝපදේශ

කොමිසම ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා යැයි මාධ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරනු ඇත. විකාශන සේවා එම මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය.
ජාතික ආරක්ෂාවට, ජාතික ආර්ථිකයට සහ මහජන සාමයට කිසිදු හානියක් නොවන පරිදි විකාශන සේවා පවත්වා ගෙන යාමට කොමිසම පියවර ගන්නා බව පනතේ සඳහන් වෙයි. හානියක් වුවේ යැයි නිගමනය කළ හොත් ඒවා තහනම් කළ හැකිය.
මෙම නියමයන් කිසිවක් පනත මගින් නිර්වචනය කර නොමැති බැවින් විවේචනාත්මක විවාද, මහජන විරෝධතා සහ යනාදිය විකාශනය කිරීම වාරණය කිරීමට හෝ තහනම් කිරීමට එම නිර්නායක භාවිතා කළ හැක.
නිශ්චිත අර්ථ දැක්වීම් නැති ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය, ජාතික සංස්කෘතිය වැනි නිර්ණායක මත මෙම පනත අනුව කොමිසමට බලපත්‍ර අහෝසි කළ හැකිය.
පසුගිය වසර කිහිපය තුළ මෙවැනි බලපත්‍ර අහෝසි කිරීම් ගණනාවක් මෙරට වාර්තා වෙයි. එබැවින් එය යළි සිදු නොවනු ඇතැයි කීමට ඉඩක් නැත.
උදාහරණයකට 2022 ජූනි 09 දා සිදුවූ මහජන නැගිටීම ගමු. අද රනිල් රාජපක්ෂගේ විග්‍රහය අනුව එය රාජ්‍ය විරෝධී සහ ත්‍රස්තවාදී නැගිටීමකි. එවැනි නැගිටීමක් සජීවීව වාර්තා කරන රූපවාහිනී හෝ ගුවන් විදුලි ආයතනයක හෝ බලපත්‍රය වහාම අහෝසි කිරීමට මෙම පනත ඉඩ සළසයි. එවැනි මහා පරිමාණ ජන නැගිටීමක් පමණක් නොවේ. පොහොර අර්බූදය හමූවේ නැගී සිටි ගොවි ජන අරගලය හෝ සිය අයිතීන් සදහා වීදි අරක් ගත් ගුරු අරගලය හෝ සජීවීව වාර්තා කිරීම මෙම මර්දන පනත විසින් වක්‍ර ලෙස තහනම් කරයි.

 හිරු නාලිකාවන්ට වූ දේ

2007 වසරෙහි දී හිරු නාලිකාවට අයත් සියලු ගුවන් විදුලි සේවා එක රැයින් තහනම් කරන ලදී. එය ආපසු ලබා දුන්නේ හිමිකරු පාලකයාගේ දෙපා මුල දේශපාලනිකව වැඳ වැටීමෙන් පසුය.
යාපනය මූලික කරගත් රෑවපවාහිනී නාලිකාවක් නාවික හමුදාව විසින් නසා දමන ලද්දේ යුද සමයෙහිය. විශාල වටිනාකම් සහිත එහි උපකරණ ආපසු ලැබුණේ අධිකරණ ප්‍රධානියාගේ ප්‍රියතම  පුන්‍ය ආයතනයකට දොළ පිදේනි ලබා දීමෙන් පසුය.
ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා විකාශන සේවා සැපයූ විශාලතම පුද්ගලික රූපවාහිනී විකාශන ආයතන දෙකක්  වූ CBNSat සහ LBN, රාජපක්ෂ පාලනය යටතේ 2006 ජූනි මස මුලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විසින් අනිසි බලපත්‍ර සහ තවත් හේතූන් ගණනවක් උඩ වසා දමන ලදී. ඒ වන විට CBNSat සතුව 20,000ක මුදල් ගෙවන ග්‍රාහක පදනමක් තිබුණි.
මෙම මර්දනයට විරුද්ධව රනිල් වික්‍රමසිංහගේ එජාපය ප්‍රබල විරෝධයක් දැක් වූ බව දැන් රනිල් රාජපක්ෂට අමතක වී තිබෙන්නට පුලුවන.

යූ ටියුබ් ගැන මොකද?

මෙම පනත අනුව නියාමනය කළ හැක්කේ මෙරට රූපවාහිනී ආයතන සහ ගුවන් විදුලි ආයතන පමණි. මාධ්‍ය පාලනය කිරීමට අවශ්‍ය රජයකට අද එතැනින් නතර විය නොහැකිය. මන්ද යත් අද අප නරඹන්නේත් සවන් දෙන්නේත් විකාශන තරංග හරහා ලැබෙන අන්තර්ගතයන් පමණක් නොවන නිසාය.
උදාහණයකට යූ ටියුබ් දේශපාලන හෝ ප්‍රහසන වැඩ සටහන් ගමු. නැත්නම් නෙට්ෆිලක්ස් හෝ ඇපල් ටීවී විකාශන ගමු. එසේත් නැත්නම් බීබීසී හෝ අල් ජසීරා යූ ටියුබ් නාලිකා හෝ අන්තර් ජාල පුවත් විකාශන ගමු.  අන්තර් ජාලයට සම්බන්ධ වන රේඩියෝවක් ගමු. ( මගේ මේසය මත ඇති එවැනි රේඩියෝවක දැනුත් ලංකාවේ ප්‍රවෘත්ති විකාශනය වෙයි)
රනිල් රාජපක්ෂගේ මෙම පනතට මෙවැනි අන්තර් ජාල මාධ්‍ය පාලනය කළ නොහැකිය.එවැනි අන්තර්ගතයන් පාලනය නොකරන්නේ නම් මෙවැනි පනතක් දත් නැති එකක් බවට පත් වෙයි.

භයානකම සැළැස්ම

භයානකම ඇඟවුම ඇත්තේ එහිය. ජනවාරියේදී රනිල් රාජපක්ෂ කියා සිටි සමාජ ජාල නියාමන පනත යනු එම හිඩැස පුරවා සමස්ත මාධ්‍ය අවකාශයම පාලනය කිරීමේ සැළැස්මයි.
සත්‍ය යනු එකිනෙකාට වෙනස් අදහස්ය. රනිල් රාජපක්ෂට ජාතික ආරක්ෂාව යනු නතාෂා අත්අත්අඩංඟුවට ගැනීමය. අප වැනි  අයට ජාතික ආරක්ෂාව යනු රනිල් රාජපක්ෂ බලයෙන් නෙරපීමය.
රනිල් රාජපක්ෂට ජාතික ආර්ථිකය යනු ජාවාරම්කරුවන් සතපවමින්, ගජ මිතුරන්ගේ ණය කපා හරිමින් ජනයා මත බදු පටවමින්, මූල්‍ය අරමුදලේ පදයට නැටීමය. බැංකු මංකොල්ල කෑමය. අප වැනි අයට ජාතික ආර්ථිකය යනු චිරස්ථායී ජන හිතකාමී පරිසර හිතකාමී සාධාරණව ධනය බෙදී යන ක්‍රමයකි.
ඉදින් මේ යෝජිත කොමිසම සත්‍ය නියාමනය කුමන පැත්තේ සිටද? කෙසේද?
පාලකයින් විසින් සත්‍ය නියාමනය කිරීම යනු නිදහස් අදහස් මර්දනයට කියන වෙනත් නමකි. මෙම පනත හුදෙක් රූපවාහිනී හෝ ගුවන් විදුලි සේවාවන්ට බලපාන එකක් පමණක් නොවේ. සමස්ත සමාජයේම ගෙල හිර කරන මළ පුඩුවකි.
එය රනිල් රාජපක්ෂ සමඟම දේශපාලන වළ පල්ලට යැවිය යුතුය.

Archive

Latest news

Related news