Friday, April 19, 2024

අපේ අම්මාගේ ජීවිතයත් මරණයත් තීරණය කරන IMF ශල්‍යකර්මය – ශාන්ත ජයරත්න

“ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී” තත්ත්වයක හිරවී සිටින ආණ්ඩුව කුමක් කිරීමට හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන් ද ?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිළධාරී මට්ටමේ සාකච්ඡාවක් අවසන් කරමින් පසුගිය මැයි මස 23වන දින IMF නියෝජිතයන් නිකුත් කල ප්‍රවෘත්ති නිවේදනයට අනුව 2023 සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත පළමු ප්‍රගති සමාලෝචන සැසියට පෙර (Progress Review) දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යයෙන්ම අවසන් කල යුතු වෙනවා. https://www.imf.org>Countries>lk
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් විය යුතුව තිබුනේ මැයි මස 30 වන දා. එහෙත් එය නොවන බව දැන් පැහැදිලි යි. ඉන් හැඟවෙන්නේ හිතන තරම් එය පහසු නොවන බවයි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ නොවන්නේ නම් කොටස් වෙළෙඳපොළ වසා දමනවා කියා තර්ජනය කොට ගැලරිය පිනවීමට හැකි වූවාට බැංකු වසා දමනවා කියා තර්ජනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට බැරිය. මොකද කොටස් වෙළෙඳපොළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කොහෙත්ම සම්බන්ධයක් නැති නිසාය. කොටස් වෙළෙඳපොළ රජයට ණය දෙන ආයතනයක් නොවන බවද කිව යුතුය.
මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙතරම් දුෂ්කර වන්නේ ඇයි?
(සියළු දත්ත උපුටා ගැනීම IMF වාර්තාවෙන්)
රජයේ සමස්ත ණය ඩොලර් බිලියන 83.5ක් තිබෙනවා. එය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 128.1%ක්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිය වන්නේ ලංකාව ණය තිරසර වීමට නම් 2027 දෙසැම්බර් 30 වනවිට සමස්ත ණය ප්‍රමාණය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 97.6%ක මට්ටමට ගෙන ආ යුතු බවයි. (IMF Report Table 2b).
ලංකාවේ රජය ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන මුළු විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 30.9ක්. එය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 47.3%ක්.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී සැලකිල්ලට ගන්නා එක් නිර්ණායකයක් වන්නේ රටක දල දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව අදාළ රටේ රජයේ ණය ප්‍රමාණය (Public Debt ) කොපමණද යන්නයි.
ඒ අනුව ලංකාවට සමාන ඉහළ ණය ප්‍රතිශතයන් පැවති ඩොමිනිකන් ජනරජය (2004) ග්‍රෙනෙඩා (2004) වැනි රට වල ණය තිරසර කරගැනීම සඳහා දල දේශීය නිෂ්පාදිතයෙන් 75%ක වැනි ඉහළ ණය ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කිරීමට සිදු වී ඇත.
(ණය තිරසර කරගැනීම යන්නෙන් අදහස් කරන්නේ තමන්ට ඉදිරියට ණය ගෙවීමේ හැකියාව ඇති කර ගැනීමයි.)
ඒ සෑම අවස්ථාවකම ඔවුන්ගේ ණය තිරසර කරගැනීම සඳහා සැලකිය යුතු ප්‍රතිශතයකින් ණය කපාහැරීමක්ද (Principal Haircut) කිරීමට සිදුව තිබෙනවා.
(ණය කපාහැරීම (Haircut) ප්‍රතිව්‍යුහගත කරගැනීමේ එක් ක්‍රමයක්. අනෙක් ක්‍රමවේද වලදී ණය තොගයේ සැලකිය යුතු අඩු වීමක් වන්නේ නැහැ)
මේ අනුව බලන විට ලංකාවේ 47%ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කොහෙත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ.
එම නිසා රජයට දේශීය ණය කපාහැරීමකට යෑම අනිවාර්ය වෙනවා.
ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මහ බැංකු අධිපති ප්‍රකාශ කරන්නේ මුලින්ම කපා හැරීමට බලාපොරොත්තු වන්නේ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කොට ඇති ණයයි. (භාණ්ඩාගාර බිල්පත් කෙටිකාලීන ණය ගැනීමේ ක්‍රමයකි)
2022 දෙසැම්බර් 30 වන විට භාණ්ඩාගාර බිල්පත් වල මුළු ආයෝජනය ඩොලර් බිලියන 11.4ක්. ඉන් 62.4% ආයෝජනය කොට තිබෙන්නේ මහ බැංකුව. එය ඩොලර් බිලියන 7.11ක්.
රජයේ බලාපොරොත්තුව භාණ්ඩාගාර බිල්පත් ණය වලින් මහබැංකුවේ ණය මුදල පමණක් කපා හැරීමටයි. වාණිජ බැංකු සහ පුද්ගලයන් ආයෝජනය කොට ඇති අනෙකුත් භාණ්ඩාගාර බිල්පත් ණය කපා නොහැර සිටීමට ඔවුන් තිරණය කොට තිබෙනවා .
කපා හැරීමට බලාපොරොත්තු වන විදේශීය ණය ඩොලර් බිලියන 30.9ට මහබැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ණය ඩොලර් බිලියන 7.11 එකතු කළ විට එය ඩොලර් බිලියන 38.0ක් වන අතර දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස එය 58.2% වෙනවා. මෙම ප්‍රමාණය කපා හැරියත්, ලංකාවේ ණය තිරසර කර ගැනීමට නොහැකි වෙනවා.
ඊ ලඟට ඔවුන් හැරෙන්නට බලාපොරොත්තු වන්නේ භාණ්ඩාගාර බැදුම්කර වල ආයෝජනය කොට ඇති සේවක අර්ථසාධක අරමුදල, විශ්‍රාම අරමුදල් , සහ රක්ෂණ අරමුදල් (Superanuation funds) දෙසටයි. එම මුළු ආයෝජනය ඩොලර් බිලියන 24.0ක්. (බැදුම්කර දිගුකාලීන ණය ගැනීමේ ක්‍රමයකි)
මේ මුළු බැදුම්කර ආයෝජිත මුදලින් (ඩොලර් බිලියන 24) සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජනය 96.9% ක් බව අමතක නොකළ යුතුයි.
භාණ්ඩාගාර බැදුම්කර මුළු ආයෝජනය ඩොලර් බිලියන 24.0 ක් (2022.12.30 වන විට) ඉන් ඩොලර් බිලියන 10.3ක් (42.7%) ආයෝජනය කොට තිබෙන්නේ සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් අරමුදල් වල සල්ලි.
මෙම සම්පූර්ණ මුදල වන ඩොලර් බිලියන 10.3 ඉහත දක්වා ඇති ඩොලර් බිලියන 38.0ට එකතු කල විට මුළු ණය ඩොලර් බිලියන 48.3ක් වෙනවා. එය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත් විට 73.9% බවට පත්වෙනවා.
බැලූ බැල්මට මෙය තරමක ප්‍රමාණවත් තත්ත්වයක් වුවත් අමතක නොකළ යුත්තේ අනෙකුත් රටවල් ණය තිරසර තත්ත්වයට ලඟා වී තිබෙන්නේ දේශීය ණය වල මූනත අගය කපාහැරීමක් ද සහිතව යි (Principal Haircut).
එම නිසා ලංකාවේ දේශීය ණය සඳහා haircut එකකට යෑම අත්‍යාවශ්‍ය වෙනවා. එහිදී මෙම 73.9% කපාහැරීමත් ප්‍රමාණවත් වන්නේ නැහැ.
එම නිසා අනිවාර්යයෙන්ම රජයට දේශීය බැංකු දෙසට හැරෙන්නට සිදුවීම නොවැළැක්විය හැකියි.
දේශීය බැංකු භාණ්ඩාගාර බැදුම්කර වල ආයෝජනය කොට තිබෙන ප්‍රමාණය ඩොලර් බිලියන 4.4ක්. අර්බුදය පැන නැගෙන්නේ මින් යම් ප්‍රතිශතයක් කැපීමට යෑමේදියි. මන්ද බැංකු වල ප්‍රාග්ධන මට්ටම්, ද්‍රවශීලතා මට්ටම්, වෙන්කිරීම් සහ අනෙකුත් නිර්ණායකයන් සැලකිල්ලට ගැනීම මෙහිදී ඉතා වැදගත් වෙනවා. නැත්නම් බැංකු පද්ධතිය කඩා වැටෙනවා . මෙය ජීවිතයත් මරණයත් තීරණය කරන අති දුෂ්කර ශල්‍යකර්මයකට සමානයි.
දේශීය බැංකු ගතහොත් ලංකා බැංකුව රුපියල් බිලියන 1,237ක්, මහජන බැංකුව බිලියන 899 ක්, ජාතික ඉතිරිකිරීමේ බැංකුව බිලියන 781ක්, HNB බිලියන 56ක්, කොමර්ෂල් බැංකුව බිලියන 548ක් සහ සම්පත් බැංකුව බිලියන 195ක් භාණ්ඩාගාර බැදුම්කරවල ආයෝජනය කොට තිබෙනවා. ඒ වගේම අනෙකුත් බැංකු සහ මූල්‍ය ආයතනත් භාණ්ඩාගාර බැදුම්කර වල සුළු වශයෙන් ආයෝජනය කොට තිබෙන බවද කිව යුතුය .
මින් යම් ප්‍රතිශතයක් කපා හැරීමේදි ඇති විය හැකි ඵලවිපාක වල තරම පසුගිය දා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ පුවත් පතකට ප්‍රකාශ කොට තිබුණා. මෙම දිගුව බලන්න.
රජය දැන් Chock-a-block එකක හිරවී ඉන්නා බව පේනවා. මෙය සිංහලෙන් කියන්නේ “චක බ්ලාස්” කියාය. මෙහි තේරුම කොයි පැත්තකටවත් යෑමට නොහැකි ව හිරවී සිටීමයි. එසේනම් කල හැක්කේ කුමක්ද? ඉදිරි ලිපියකින් ඒ පිළිබඳ සාකච්ඡා කරමු.”
ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
29.05.2023
(හුවමාරු කල හැක

Archive

Latest news

Related news