Monday, May 6, 2024

ආර්ථික වර්ධනය ධනාත්මක කරන බවට රනිල් රාජපක්ෂගේ කයිවාරුව බොරු වෙයි! දූෂන දිගටම!

මෙම වසරෙහි ද මෙරට ආර්ථික වර්ධනය ඍණ අගයක් ගන්නා බවට මුල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබියදිත් තමන් මෙරට ආර්ථිකය ධන අගයක් කරා මෙම වසරෙහිදී ගෙන යන බවට රනිල් රාජපක්ෂගේ කයිවාරුව දැනටමත් ‌ආපසු පෙරළී තිබේ.

ඩොලරය රැපියල් 330 දක්වා ඉහළ ගොස් ඇති අතර වර්ශ අවසානය වන විට ඒය 350 දක්වා ඉහළ යා හැකි බවට බ්ලුම්බර්ග් ආයතනය කී අනාවැකිය සැබෑවක් බවට පත්වෙමින් තිබේ.

මෙම වසරේ මුල් කාර්තුව තුළ මෙරට දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරේ මුල් කාර්තුවට වඩා රුපියල් කෝටි 40,521කින් එනම් පසුගිය වසරට වඩා ඍණ 11.5%ක කඩා වීමක් වාර්තා වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

රනිල් රාජපක්ෂගේ කයිවාරු නොතකා ආර්ථිකය පහළට ගමන් කළ අයුරු

 

ඊට අනුව කර්මාන්තවල කඩා වැටීම 23.4%ක ඉතා ඉහල අගයක් වාර්තා වී තිබේ. සේවා අංශය 5.0%කින් වැටී තිබෙන අතර කෘෂිකාර්මික අංශය 0.8%ක ඉතා සුළු වර්ධනයක් අත්කර ගෙන තිබේ.

පසුගිය 2022 වසරේ මුල් කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 3,519,400ක් වූ අතර මෙම වසරේදී එය රුපියල් මිලියන 3,114,187ක් දක්වා පහත වැටී තිබේ.

මෙම වසරේ මුල් මාස තුනේදී රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 7කින් ඉහළ දමා ඇති බව ද මුදල් අමාත්‍යංශය මගින් නිකුත් කරන ණය වාර්තාවෙන් හෙළිවේ.

පසුගිය 2022 වසර අවසන් වනවිට මෙරට සමස්ත දේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 40.123 සිට 2023 මාර්තු 31 දින වනවිට ඩොලර් බිලියන 46.900 දක්වා ඉහල දමා තිබේ. එම කාලය තුළ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 35.976 සිට 36.090 දක්වා ඉහල දමා තිබේ. මේ අනුව මාස තුනකදී ඩොලර් බිලියන 7කට ආසන්න සමස්ත ණය ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ලබා ගෙන ඇත.

මේ අතර මූල්‍ය අරමුදලේ නියෝග අනුව රනිල් වික්‍රමසිංහ යටතේ කන්චන විජේසේකර ඇමති ඉදිරිපත් කර සම්මත කර ගන්නා ලද අලුත්ම කැබිනට් සන්දේශය මගින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් විකිණීම සම්බන්ධයෙන් මීට පෙර කැබිනට් මණ්ඩලයේ සම්මත කර ගෙන තිබූ ප්‍රධාන කොන්දේසි දෙකක් ඉවත් කර ගැනීම නිසා ශ්‍රී ලංකාවට මාසිකව ලැබිය යුතුව තිබූ ඩොලර් මිලියන ගණනක ආදායමත් අහිමි කර තිබේ.

විදේශ විනිමය අර්බුදය හමුවේ අඛණ්ඩව ඛනිජ තෙල් සැපයීම සඳහා බව කියමින් චීනයේ සයිනොපෙක්, ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්ට්‍රෝලියම්, ඇමරිකාවේ ආර් එම් පාර්ක්ස් යන සමාගම්වලට මෙරට ඛනිජ තෙල් වෙළඳපොල අත්පත් කර ගැනීමට ඉඩ දීමේදී කිසිදු මූල්‍යමය ප්‍රතිලාභයක් ලංකාවට අත් නොවන පරිදි කැබිනට් සන්දේශයක් සම්මත කර ගෙන ඇත.

කන්චන විජේසේකර බල ශක්ති ඇමතිවරයා පසුගිය මැයි 19 වෙනි දින ඉදිරිපත් කරන ලද අංක 17/2023 අමාත්‍ය මණ්ඩල සංදේශයට ජූනි 06 වෙනි දින අනුමැතිය ලබා දී ඇත. මුදල් ඇමති, අග්‍රාමාත්‍ය ලේකම්, ජනාධිපති ලේකම් සහ නීතිපතිට අදාළ පිටපත් යවා ඇති අතර ලංකාවට කිසිදු මූල්‍යමය ප්‍රතිලාභයක් අත් නොවන ආකාරයෙන් ක්‍රියා කළ යුතු ආයතන ලෙස විදුලිබල අමාත්‍යංශය, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති සහ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරුන් නම්කර තිබේ.

විදේශ සමාගම් ඛනිජ තෙල් වෙළඳපොලට ගෙන්වා ගැනීම සඳහා 2023 මාර්තු 27 වෙනි දින කැබිනට් අනුමැතිය ලබා දුන් අවස්ථාවේ එකඟ වූ කොන්දේසි ගණනාවක් පසුගිය 06 වෙනි දින ලබා දුන් කැබිනට් තීරණය අනුව ඉවත් කර ගෙන ඇත. මෙසේ ඉවත් කර ගෙන ඇත්තේ අලුතින් හඳුන්වා දෙන සමාගම් තුන ඛණිජ තෙල් විකුණා ලබන ආදායම වසරක් යන තුරු එක්සත් ජනපද ඩොලර් හෝ වෙනත් විදේශ ව්‍යවහාර මුදලකට පරිවර්තනය කළ නොහැකිය යන කොන්දේසිය ඉවත් කර එම ආදායම් වහාම කිසිදු සීමාවකින් තොරව විදේශ මුදල්වලට පරිවර්තනය කර ගැනීමට ඉඩ දී ඇත.

රටට අවාසි ලෙසින් ජූනි 06 වෙනි දින කැබිනට් සංදේශයෙන් ඉවත් කර තිබෙන දෙවන කොන්දේසිය වන්නේ මෙම සමාගම් විසින් මෙරට විකුණුම් වටිනාකමින් 1%ක මුදලක් පුරස්කාර (Royalty paymet) වශයෙන් ඛනිජ තෙල් අමාත්‍යංශයට ගෙවිය යුතු බවට මාර්තු මස 27 වෙනි දින සම්මත කර ගත් කැබිනට් සංදේශයේ තිබූ වගන්තියත් ඉවත්කර ගැනීමයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත්ව තිබූ ඉන්ධන පිරවුම්හල් 450කට වැඩි සංඛ්‍යාවක් මෙම විදේශ සමාගම් තුනට පවරාදීම ක්‍රියා කරන අතර විකුණුම් ආදායම් වහාම ඩොලර් බවට පරිවර්තනය කිරීම සහ ඛනිජ තෙල් අමාත්‍යංශයට ගෙවිය යුතු 1% පුරස්කාරය ඉවත් කර ගැනීම මගින් මසකට ඩොලර් මිලියනයක් පමණ රටට අහිමි වෙන බව ගණන් බලා ඇත.

( කරුණු ඇසුර ලංකා ට්රුත්)

Archive

Latest news

Related news