Tuesday, April 16, 2024

ඇමැති සනත් නිශාන්ත අධිකරණයට අපහාස කළැයි පැමිණිළි කල නීතිඥයාට මරණ තර්ජන

ඡායාරූපය: නීතිඥ ප්‍රියලාල් සිරිසේන.

ඇමැති සනත් නිහාන්ත අධිකරණයට අපහාස කළ බවට පැමිණිළි කළ  ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂකයෙකු සහ මානව හිමිකම් නීතිඥයකු වන ප්‍රියලාල් සිරිසේනට2023 මැයි 21 සහ 23 දිනයන්හි  නාඳුනන පුද්ගලයින්ගෙන් තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබී ඇති බව Front Line Defenders අන්තර් ජාතික මානව හිමිකම් ආරක්ෂක සංවිධානය සඳහන් කරයි.

ඇමතුම දුන් අය ඇමතිවරයාගේ නම සඳහන් නොකළද, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ප්‍රියලාල් සිරිසේන විසින් මංත්‍රී සනත් නිශාන්තට විරුද්ධව ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ගය සමඟ මෙම තර්ජන සම්බන්ධ වී ඇතැයි විශ්වාස කැරේ.

ප්‍රියලාල් සිරිසේන යනු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම්වලට ගොදුරු වූවන්, විශේෂයෙන්ම භාරකාර වධහිංසාවලට සහ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමේ වින්දිතයන් වෙනුවෙන් සහය දැක්වීමට සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට කැප වූ මානව හිමිකම් ආරක්ෂකයෙකු සහ නීතිඥයෙකි. මානව හිමිකම් ආරක්ෂකයා කුඩා පරිමාණ ධීවරයින් (SSF) වැනි කණ්ඩායම් නියෝජනය කරමින් සාගර විනාශයට සහ ඔවුන්ගේ ජීවනෝපායට බලපාන   මහා පරිමාණ බොට්ටු බලපත්‍රලාභීන්ට එරෙහිව යුක්තිය පතා කටයුතු කර තිබේ. ඔහු ත්‍රස්ත විරෝධී නීති අනිසි ලෙස භාවිතා කිරීමට එරෙහිව හඬ නගන අතර  ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පතට විරුද්ධ වූ නීති කණ්ඩායමේ සාමාජිකයෙකි.

අරගලයට සම්බන්ධ වූ  විරෝධතාකරුවන්ට ඇප ලබාදීමටය ගත් තීරණය සම්බන්ධයෙන් සනත් නිශාන්ත මහේස්ත්‍රාත් අධිකරණ ප්‍රසිද්ධියේ විවේචනය කිරීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස කරන ලද පැමිණිල්ල අනුව 2023 පෙබරවාරි 23 වැනි දින ඇමැතිවරයාට එරෙහිව චෝදනා පත්‍ර දෙකක් ගොනු කරන ලදී. එම පැමිණිල්ළ කරන ලද්‌දේ නීතිඥ  ප්‍රියලාල් සිරිසේන විසිනි.

2023 මැයි 21 වැනි දින මානව හිමිකම් ආරක්ෂක ප්‍රියලාල් සිරිසේනට විදේශ අංකයකින් දුරකථන ඇමතුම් දෙකක් ලැබී තිබේ. නාඳුනන ඇමතුම්කරු ‘ඇමතිවරයාට’ එරෙහිව ගන්නා හැම ක්‍රියාමාර්ගයක් ඉල්ලා අස්කර ගන්නා ලෙස ඔහුට අනතුරු හඟවා ඇත.  ඊට අවනත නොවන්නේ නම් ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වනු ඇතැයි අනතුරුව තර්ජනය කළේය.

සිය ආරක්ෂාව පතා පියලාල් සිරිසේන  කුරුණෑගල පොලිසියට 2023 මැයි 22 දින පැමිණිල්ලක් ගොනු කළේය. ඊට පසුවදාම  රාත්‍රී 9:30 ට පමණ, ඔහුට වෙනත් විදේශ අංකයකින් තවත් තර්ජනාත්මක ඇමතුමක් ලැබී තිබේ. එය ඔහු පටිගත කරගන්නා ලදී. මෙම  නාඳුනන ඇමතුම්කරු ප්‍රියලාල් සිරිසේනට අනතුරු ඇඟවූයේ ද අමාත්‍යවරයාට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග ඉල්ලා අස්කර නොගන්නේ නම් නරක විපාක වලට මුහුණ දීමට සිදුවනු ඇති බවටය.

මෙයට පෙර 2023 මැයි 9 වන දින යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් ප්‍රියලාල් සිරිසේන ජීවත්වන කුරුණෑගල පිහිටි නිවසට පැමිණ ඔහු සිටින ස්ථානය පිළිබඳව ඔහුගේ මවගෙන් විමසා  තිබේ. ප්‍රියලාල් සිරිසේන විශ්වාස කරන්නේ මෙම තර්ජන සහ බිය ගැන්වීම්  රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව තමන් ගන්නා නීතිමය ක්‍රියාමාර්ගය හා සම්බන්ධ බවත් එය ඔහුගේ වැඩකටයුතු නිහඬ කිරීම අරමුණු කර ගෙන ඇති බවත්ය.

සනත් නිශාන්ත මැර ඇමැතිවකු ලෙස කුප්‍රසිද්ධය.

‘ශ්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂකයින්ට එරෙහිව පළිගැනීම් සහ බිය ගැන්වීම් ඉහළ ගොස් ඇති අතර, මෙම වාතාවරණය තුළ මානව හිමිකම් ආරක්ෂක පියලාල් සිරිසේනගේ ආරක්ෂාව ගැන බිය වීමට හේතු තිබෙන බව  පවසන Front Line Defenders ආයතනය ඔහුගේ  නීත්‍යානුකූල සහ අවිහිංසාවාදී මානව හිමිකම් ක්‍රිය නාසා සිදුවෙතැයි සිතිය හැකි  තර්ජන සහ බිය ගැන්වීම් පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ප්‍රකාශ කරයි.

සේ. පියවර්ධන විසිනි

Archive

Latest news

Related news