Thursday, April 25, 2024

බෲනෝ දිවාකර‌ට එරෙහි සාක්ෂි සම්පිණ්ඩනයක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝගයක්.

බුදුදහමට අපහාසාත්මක ප්‍රකාශයක් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින නතාෂා එදිරිසූරියට ඒ සඳහා ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් SL Vlog යූටියුබ් නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට, කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (ජුනි 01වැනිදා) නියෝග කළේය.

සැකකරුට එරෙහිව පවතින සාක්ෂිවල සම්පිණ්ඩනයක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට නියෝග කරනු ලැබීය.

පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇමතූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු අදාළ අපරාධයට දායක වී තිබෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේය.

ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බුදුදහමට සහ සිදුහත් කුමරුට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් කළ නටාෂා එදිරිසූරිය නැමැති කාන්තාවට එම ප්‍රකාශය කිරීම සඳහා මෙම සැකකරු ආධාර අනුබල දී ඇති බව පෙන්වා දුන්නේය.

ICCPR පනතට යටතේ විමර්ශන

ඒ අනුව මෙම සැකකරු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් කර ඇති බවත් විමර්ශන කටයුතු මූලික අවධියේ පවතින හෙයින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇමතු මහේස්ත්‍රාත්වරයා, මෙම සැකකරු ආධාර අනුබල දීමක් කළ බවට තහවුරු කිරීම සඳහා සාක්ෂි ඉදිරිපත් වී තිබේ දැයි විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නටාෂා එදිරිසූරිය නැමැති කාන්තාවට එම ප්‍රකාශය කිරීම සඳහා පහසුකම් සැලසීම, මහජනතාව රැස්කිරීම, වේදිකාව තනා දීම මෙම සැකකරු විසින් සිදුකර ඇති බවට පරීක්ෂණවලින් කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළේය.

අදාල අපහාසාත්මක ප්‍රකාශ අඩංගු වීඩියෝ පටය මෙම සැකකරුට අයත් කලම්බු කොමඩි සෙන්ට්‍රල් නැමැති youtube නාලිකාවේ පළකර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය කියා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තීෂ්‍ය වේරගොඩ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුට අදාළ අපහාසාත්මක ප්‍රකාශය කිරීමට සඳහා ආධාර අනුබල දුන් බවට චෝදනාවක් ඉදිරිපත් කළ නොහැකි බව පැවසීය.

යම්කිසි ප්‍රකාශයක් අන්තර්ජාලයට යොමු කළ පමණින් ඔහු අපරාධයකට ආධාර අනුබල දීමක් කළ බවට චෝදනා නගන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළ නීතිඥ වේරගොඩ, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ තම සේවාදායකයාට එල්ල කර තිබෙන චෝදනාව පවත්වාගෙන යෑමට නොහැකි බවත් තර්ක කළේය.

දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ සඳහන් කර තිබෙන්නේ රජය අපහසුතාවට පත් කිරීමේ චෝදනාව යැයි සඳහන් කළ නීතිඥ වේරගොඩ, මෙම නඩුවට පාදක වන ප්‍රකාශය තුළින් රජය අපහසුතාවයකට පත් වීමක් නොවන බවත් එය පදනම් විරහිත බවත් සඳහන් කර සිටියේය.

එමෙන්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3(2) වගන්තිය ප්‍රකාරව යම් වරදකට ආධාර අනුබලදීම නැමැති චෝදනාව ඉදිරිපත් කළ නොහැකි බවත් තම සේවාදායකයා ඇපමත මුදා හරින ලෙසත් ඉල්ලා සිටියේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා විත්තියේ නීතිඥවරයා අමතමින් “ඕනෑම ප්‍රකාශයක් අන්තර්ජාලයට උඩුගත කරන්න පුළුවන්. නමුත් උඩුගත කරන ප්‍රකාශයකින් ප්‍රශ්නයක් මතුවන බව කලින් පෙනෙන්නට තිබෙනවා නම් ඒවා නොකර හිටියාම ඉවරයි.” යනුවෙන් සඳහන් කළේය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර බෲනෝ දිවාකර ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට නියෝග කර සිටියේය.

CID අත්අඩංගුවට

‘මෝඩාභිමානය’ වැඩසටහනේදී නතාෂා එදිරිසූරිය කළ ඉදිරිපත් කිරීම යූටියුබ් වෙත මුදා හැරීම හේතුවෙන්, ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ, නිහාල් තල්දූව බීබීසී සිංහල වෙත පැවසීය.

බෲනෝ දිවාකරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය වෙත (මැයි 31වැනිදා) පැමිණෙන ලෙස දන්වා තිබූ අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු ඊයේ සවස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Bruno Diwakara

ඡායාරූප මූලාශ්‍රය,FACEBOOK|BRUNO DIWAKARA‘මෝඩාභිමානය’ වැඩසටහනේදී නතාෂා එදිරිසූරිය කළ ඉදිරිපත් කිරීම යූටියුබ් වෙත මුදා හැරීම හේතුවෙන් බෲනෝ දිවාකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරියට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත් බවයි.

පැය 08 කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

‘ප්‍රකාශයේ වගකීම හැම තිස්සෙම ප්‍රකාශ කරන කෙනා සතුයි’

මේ අතර ප්‍රහසන ශිල්පී නතාෂා එදිරිසුරිගේ ඉදිරිපත් කිරීම ඇතුලත් වීඩියෝ පටය මුදාහරින ලද SL VLOGS යූ ටියුබ් නාලිකාව හිමි මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන බෲනෝ දිවාකර මීට දින කිහිපයකට පෙර මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියේ යම් ප්‍රකාශයක් කර ඇති නම් එහි වගකීම භාර ගත යුත්තේ එය සිදුකළ පුද්ගලය බවය.

“එය පළකිරීම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරනවා. එහි කාලය සම්බන්ධයෙන් ලොකු අත්වැරදීමක් සිද්ධ වුනා. ඒ සම්බන්ධයෙන් අවංකවම අපි කණගාටුව පළ කරලා වීඩියෝවක් දැම්මේ ඒ නිසයි. එය අතිශයින්ම වැරදි තීන්දුවක්.”

“මෙහෙමයි, මම මෙතන ප්‍රෙස් එකක් තියලා ඔයා කොහේ හරි එකක දැම්මාම ඒ කරන ප්‍රකාශයේ වගකීම තියෙන්නේ මගේ නේ. ඒ ප්‍රකාශයේ වගකීම හැම තිස්සෙම ප්‍රකාශ කරන කෙනා සතුයි. මම ප්ලැට්ෆෝම් එකක් විදිහට ඒ කන්ටෙන්ට් බ්‍රෝඩ්කාස්ට් කරනවා. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ අපේ එක ඇතුලේ ඕනෑම එකක් කරන්න ඉඩ තියෙනවා කියලා. එතකොට කන්ටෙන්ට් එකේ වගකීම පැහැදිලිවම තියෙන්නේ මොකක් හරි ප්‍රකාශයක් කරනවා නම් එය කරන කෙනා සතුවයි.” ඔහු එහිදී ප්‍රකාශ කර සිටියේය.

නතාෂා එදිරිසූරිය වහා නිදහස් කළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය කියයි

ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය වහාම නිදහස් කළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවධාරණය කරයි.

ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හෙවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කළේ, ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම පිළිබඳ තම සංවිධානයේ අවධානය යොමුවී ඇති බවය.

ප්‍රකාශනයේ නිදහසට ඇති අයිතිය යනු, ගැඹුරු අහිතකර ප්‍රකාශ ඇතුළුව සියලු වර්ගවල තොරතුරු සහ අදහස් ඊට අදාළ වන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි.

(බීබීසී ි සිංහල

Archive

Latest news

Related news