Thursday, May 30, 2024

රනිල් රාජපක්ෂ සිය නිරුවත් නව ලිබරල් වැඩසටහන එළිදක්වයි!

රනිල් රාජපක්ෂ ඊයේ එනම් ජූනි 01දා  ශ්‍රී ලංකාව සඳහා සිය සැලැස්ම එළිදක්වන ලදී.
එහි ශ්‍රී ලංකාව ගොඩ නැගීම සඳහා අවශ්‍ය දේශපාලන ක්‍රමවේදය ගැන වචනයක්වත් නැත. හුදෙක්ම ශ්‍රී ලංකාව අසාර්ථක නව ලිබරල් ආර්ථික  ක්‍රමයක් කරා ගෙන යෑමට දරන සැළැස්මකි.
මෙම සැළැස්ම ගැන දීර්ඝ විවරණයකට ඉඩ තබා ගනිමින් ඔහුගේ සම්පූර්ණ කතාව පහත පළ කරමු.

අපේ අරගලය 2048 වන විට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමයි

  • මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ
  • ප්‍රධාන කුලුනු 04ක් ඔස්සේ රට ගොඩනඟනවා.
  • ඉදිරි වසර 05 තුළ රටේ ආර්ථිකය පූර්ණ ලෙස ස්ථාවර කරන අතර, ඊළග වසර 25 තුළ ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත්කරනවා
  • රට ගොඩනැගීමේ දී තරුණ පරපුර පිළිබඳ දැඩි විශ්වාසයක් තබා තිබෙනවා
  • කඩිනම් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී රාජ්‍ය – පෞද්ගලික අංශ සහයෝගීතාව ඉහළ නැංවීමට සංගායනාවක්
  • ජාතික ප්‍රතිසංවිධාන සැලැස්ම මෙම වසරේ අවසන් කාර්තුවේ දී
  • දූෂණය පිටුදැකීමට විශේෂ කාර්ය සාධක බළකායක්
-රට ගොඩනඟන ජාතික පරිවර්තන මාර්ග සිතියම රටට ඉදිරිපත් කරමින් ජනපති කියයි
මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම අරගලය 2048 වන විට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම බව පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “ජාතික පරිවර්තන මාර්ග සිතියම” රටට ඉදිරිපත් කරමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස 09ක කාලය තුළ රජය ගෙන ඇති පියවර සහ ශ්‍රී ලංකා රාජ්‍යයේ සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස කරණු පැහැදිලි කළේය.
එමෙන්ම අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වන මෙහෙයුම් යෝජනාවලිය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රටට ඉදිරිපත් කරනු ලැබීය.
රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ, ආයෝජන ප්‍රවර්ධන, සමාජ ආරක්ෂණ ජාලය, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ යන ප්‍රධාන කුලුනු 04ක් ඔස්සේ රටේ ඉදිරි ගමන සැලසුම් කර තිබේ. රටේ ආර්ථිකය පූර්ණ පරිවර්තනයකට ලක් කිරීමේ ක්‍රියාදාමයට අවශ්‍ය තාක්ෂණික සහ තිරසර ප්‍රයත්නයන් ක්‍රියාත්මක කරලීම සඳහා පුද්ගලික අංශයේ යෝජනා ලබා ගැනීමට සංඝායනා ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
නවීන ලෝකයට හා නවීන තාක්ෂණයට ගැළපෙන පරිදි රටේ ආර්ථිකය හැඬ ගස්වා නොගත හොත් රට ආපස්සට ගමන් කරන බවත් එහි අවසානය රට ආර්ථික යටත් විජිතයක් වීම බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා, එබැවින් අප අලුතින් සිතා අලුත් ගමනක් යාමට කටයුතු කළ යුතු අතර ඊට අවශ්‍ය කඩිනම් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවිය යුතු බවත් අවධාරණය කළේය.
නියාමන, ප්‍රසම්පාදන සහ දේශපාලන යන සියලු අංශයන්හි දූෂණ සම්පූර්ණයෙන් අත්හිටුවීම සඳහාත්, ඩිජිටල්කරණය සහ වගවීම පදනම් කරගත් රාජ්‍ය යාන්ත්‍රණයක් තුළින් දූෂණ විරෝධී පිළිවෙත් ක්‍රියාත්මක කරලීම සඳහාත් විශේෂ කාර්ය සාධක බළකායක් ස්ථාපිත කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
ඉදිරි වසර 05 තුළ රටේ ආර්ථිකය පූර්ණ ලෙස ස්ථාවර කරන අතර,ඊළග වසර 25 තුළ ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත්කරන බව පැවසූ ජනාධිපතිවරයා මුල් වසර 05න් පසු රට නඟාසිටුවීමේ වැඩපිළිවෙළ ඊළඟ පරම්පරාවට පැවරෙන බවත් ඒ සදහා තරුණ තරුණියන් සූදානම් කරවන බවත් කියා සිටියේය. එම කාර්යයට උර දීමට අපේ තරුණ පරපුරට හැකියාව ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මෙම ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පහසු කටයුත්තක් නොවූවත් සෑම විටම රටට යහපත් දේ සිදු කිරීමට රජය කැපවී සිටින බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප ගන්නා තීරණ කෙතරම් දූෂ්කර සහ වේදනාකාරී වුව ද අනාගත පරපුර වෙනුවෙන් රට යළි ඉහළට ඔසවා තැබීමට හැකි වන්නේ එම දුෂ්කර මාවතේ නිවැරදි ප්‍රතිපත්ති අනුව ඉදිරියට යාමෙන් පමණක් බවද කියා සිටියේය.
වෙහෙසීමේ, කැපවීමේ සහ ඉලක්කගත නිවැරදි ගමනක් යෑමේ ප්‍රතිඵලය අද අප සැම භුක්ති විඳින බවත් 70%ක් දක්වා ඉහළ නැඟ තිබු උද්ධමනය 25.2% ක් දක්වා පහළට ගෙන ඒමට හැකිව තිබෙන බවත් වැඩිදුරත් පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ නිසා ජනතාවගේ ජීවන බර ක්‍රම ක්‍රමයෙන් සැහැල්ලු වෙමින් පවතින අතර මුළුමහත් සමාජයටම එම සහනය දැනෙන්නට පටන් ගෙන තිබෙන බව ද කියා සිටියේය.
පැමිණි අසීරු ගමනේ දී සියලු දුෂ්කරතා විඳගත් රටේ සමස්ථ ජනතාවට සිය කෘතඥතාව පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කරගත් අතර මෙම මාර්ගයේ ඉදිරියටම යාමෙන් දුෂ්කරතා සහ පීඩාවන් අවම කර ගනිමින් නිසැකවම රටට යහපත් ආර්ථිකයක් නිර්මාණය කරගත හැකි බව ද කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය,
අපේ රටේ ආර්ථිකය හැසිරවීමේ වගකීම බාර ගත් දවසේ පටන් මම විටින් විට ආර්ථිකය පිළිබඳ සැබෑ තොරතුරු ඔබට හෙළිදරව් කළා. මට අවශ්‍ය වුණේ විනිවිද භාවයෙන් යුතුව ආර්ථිකය පිළිබඳ සැබෑ චිත්‍රය හැමවිටම ඔබ ඉදිරියේ තැබීමටයි. රටේ සැබෑ තත්ත්වය, ඒ තත්ත්වයෙන් ගොඩ ඒමේ මාර්ගය වගේම රට වෙනුවෙන් අප සියලුදෙනාම සිදු කළ යුතු කාර්යභාරය පිළිබදවත් මම ඔබව දැනුවත් කළා.
පීඩාකාරී ආර්ථිකයකින් දුක් කම්කටොළු රැසකට මුහුණ දෙමින් සිටි අප දැන් ක්‍රම ක්‍රමයෙන් සහනදායි මට්ටමකට එළඹෙමින් සිටිනවා. දුර්වල වී , අඩපණ වී තිබුණු අපේ ආර්ථිකය කිසියම් ස්ථාවර තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා.
මෙම තත්ත්වය අපට උදාකර ගැනීමට හැකි වූයේ පසුගිය කාලය තුළ අප ක්‍රියාත්මක කළ නිවැරදි පිළිවෙත් නිසයි. ඒ වගේම අප සැම එකට එක්වී අභියෝගයන්ට සාර්ථකව මුහුණ දුන් නිසයි. ඒ අභියෝගයන් හමුවේ විවිධ දුෂ්කරතා විඳ දරා ගත් නිසයි.
මාතෘ භූමිය වෙනුවෙන් මේ දුෂ්කරතා විඳ දරා ගත් ඔබ සැමට මගේ කෘතඥතාවය පිරිනැමීමට මම කැමතියි. තව ටික කාලයක් මේ මාර්ගයේම ඉදිරියට යෑමෙන් දුෂ්කරතා සහ පීඩාවන් අවම කර ගනිමින් යහපත් ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමට අපට පුළුවන්කම ලැබෙනවා.
ශ්‍රී ලංකාව දැන් වර්ධනාත්මක, සමෘද්ධිමත් ගමනක් යාමට සූදානම්. අප ඒ ගමන ඉදිරියට යා යුත්තේ කෙසේද? ඒ සඳහා අප අනුගමනය කළ යුතු පිළිවෙත් මොනවාද?
අද මම ඔබට පැහැදිලි කරන්න යන්නේ ඉදිරියේදී අප අනුගමනය කරන්නට බලාපොරොත්තුවන ක්‍රියාමාර්ගයයි. අපේ ඉදිරි මාර්ග සිතියමයි.
අපේ ඉදිරි ගමන සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ආර්ථිකයේ සහ සමාජයේ පරිපූර්ණ පරිවර්තනයක් සිදු කළ යුතු බව මම මීට පෙර අවස්ථා ගණනාවක දී අවධාරණය කළා. 2023 අය වැය මගින් මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ, ප්‍රතිසංවිධාන සහ නවීකරණ පිළිබඳව මම කරුණු සඳහන් කළා. යහපත් අනාගතයක් ගොඩනැංවීම වෙනුවෙන් අප වර්තමානයේ මේ පියවර ගත යුතුමයි.
මෙහිදී අප ගන්නා තීන්දු දුෂ්කර මෙන්ම වේදනාකාරී වෙන්නට පුළුවන්. ජනප්‍රිය නොවන්නට පුළුවන්. නමුත් අපේ රට යළි ඉහළට ඔසවා තබන්නට අපට හැකි වන්නේ මේ දුෂ්කර මාර්ගයේ නිවැරදි ප්‍රතිපත්ති අනුව ඉදිරියට යාමෙන් පමණයි. අපේ අනාගත පරම්පරාවට නිදහසේ සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කර ගැනීමට හැකි වන්නේ මේ මාර්ගයේ ඉදිරියට ගියොත් පමණයි.
සාම්ප්‍රදායික දේශපාලනයේ යෙදෙන සමහර කණ්ඩායම් ආර්ථික පුනර්ජීවනය වළක්වාලීමට විවිධ උත්සාහයන් ගන්නවා. ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව බොරු බියක් ජනතාව තුළ ඇති කරන්නට වෙහෙසෙනවා. හැමදාමත් කියන “රට විකිණීමට යනවා” යන සටන් පාඨයෙන් තවදුරටත් ජනතාව මුලා කරන්න උත්සාහ ගන්නවා.
රටේ ආර්ථිකය නංවාලීම සඳහා ගන්නා සෑම පියවරකදීම ඔවුන් ඉදිරියට දැම්මේ, මේ සටන් පාඨයයි. පනස් ගණන්වලදීත් රට විකුණනවා කියමින් ජනතාව නොමඟ යැව්වා. හැට ගණන් වලදීත් රට විකුණනවා යැයි කියමින් ජනතාව මුලාවට පත් කළා. හැත්තෑ ගණන් වල දීත් රට විකුණනවා යැයි කියමින් ජනතාව තුළ අනියත බියක් මැව්වා. අසූ ගණන්වලදීත් රට විකුණනවා යැයි කියමින් ජනතාව භීතියට පත් කළා. එදා සිට අද දක්වාම මේ කණ්ඩායම් කළේ රට විකුණන සටන් පාඨය ඉදිරියට ගනිමින් ආර්ථික ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කිරීමට උත්සාහ දැරීමයි.
මෙවැනි සටන් පාඨවලින් ඔබ තවදුරටත් රැවටෙන්නේ නැති බව අප දන්නවා. අප සියලු දෙනා වෙහෙස විය යුත්තේ, කැපවිය යුත්තේ රට ඉහළට ඔසවා තැබීමටයි. 2048 වන විට ලෝකයේ පුර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත් වීමේ අපේ ඉලක්කය ඉටු කර ගැනීමටයි. නවීන ලෝකයට හා නවීන තාක්ෂණයට ගැළපෙන පරිදි අපේ ආර්ථිකය හැඩගස්වා ගත්තේ නැත්නම් අපට යන්නට සිදු වෙන්නේ ආපස්සටයි. එවැනි අවගමනක ප්‍රතිඵලය වෙන්නේ රට ආර්ථික යටත් විජිතයක් බවට පත්වීමයි.
අපි ඉදිරියට යමු ! තරගකාරී ලෝකයට මුහුණ දියහැකි අන්දමට අපේ ආර්ථිකය හැඩ ගස්වා ගනිමු. රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රමානුකූලව සිදු කරමු.
ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා අප සිදු කරන්නේ වැරදි ප්‍රතිපත්ති, දුර්වල වැඩසටහන්, අසාර්ථක ව්‍යාපෘති, ක්‍රමවත් මාවතකට ගැනීමයි. බංකොළොත් රටක් යළි ගොඩනැගීම පැරණි සම්ප්‍රදායික ක්‍රමවේදවලින් සිදු කළ නොහැකියි. අපි අලුතින් සිතා අලුත් ගමනක් ආරම්භ කළ යුතු වෙනවා.
ආර්ථික ප්‍රතිසංස්කරණ ඔස්සේ ලැබෙන ප්‍රතිඵල මොනවාද?
ඔබේ ජීවන බර අඩු වෙනවා. ජීවන මට්ටම ඉහළ යනවා. එය වරදක් ද? එය රට විකිණීමක්ද?
ඉතා කුඩා මට්ටමේ සිට මහා පරිමාණ මට්ටම දක්වා ශක්තිමත් වර්ධනයක් සහිත ව්‍යාපාර ඇති කරලීම සඳහා නව අවස්ථාවන් නිර්මාණය වෙනවා. එය වරදක් ද? එය රට විකිණීමක් ද?
රටේ දිළිඳුම සහ අසරණම ජන කොටස් ආරක්ෂා කරමින් ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය සහන සහ පහසුකම් සැලසෙනවා. එය වරදක් ද? එය රට විකිණීමක් ද
රාජ්‍ය, මේ ව්‍යවසායන්ගෙන් රුපියල් මිලියන ගණනක් වන පාඩු පියවා ගැනීම සඳහා ජනතාවට බර පැටවීමේ සම්ප්‍රදාය අවසන් වෙනවා. එය වරදක් ද? එය රට විකිණීමක් ද?
විනිවිද පෙනෙන ආකාරයට වගවීමෙන් සහ වගකීමෙන් කටයුතු කිරීමේ පිළිවෙතක් සැකසෙනවා. එය වරදක් ද? එය රට විකිණීමක් ද?
ලෝකයේ වඩාත්ම වේගවත් වර්ධනයක් සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත් වෙනවා. එය වරදක් ද? එය රට විකිණීමක් ද?
තිරසර දියුණුවක් සහ සාර්ථකත්වයක් අපේ රටට අත්පත් කරදීම සඳහා අපි මේ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරනවා. මෙම ප්‍රතිසංස්කරණ ඔස්සේ ශ්‍රී ලංකාවේ නවීකරණය වේගවත් හා අර්ථවත් කිරීමටත්, අපේ වෙළෙඳපොළ පුළුල් කර ගැනීමටත්, ජාත්‍යන්තර ප්‍රජාව සංවර්ධන ව්‍යායාම සඳහා වැඩි වැඩියෙන් දායක කර ගැනීමටත් අවකාශ සැලසෙනවා.
මේ ගමන ලෙහෙසි පහසු ගමනක් නොවන බව අප දන්නවා. බොහෝ අභියෝගයන්ට තවදුරටත් මුහුණ දීමට සිදුවන බවත් අප දන්නවා. නමුත් අප ඒ සියලු අභියෝග ජය ගැනීමට කටයුතු කරනවා. හැම විටම රටට යහපත් දේ සිදු කිරීමට අපේ රජය කැපවී සිටිනවා.
මීට වසරකට පමණ පෙරාතුව රට ඇද වැටී තිබුණු තත්ත්වයට අපේ මාතෘ භූමිය යළි ඇද දැමීමට අප කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ. එදා රට වැසියන් මුහුණ දුන් තත්ත්වය අද සමහරුන්ට අමතකයි. රටේ ආර්ථිකය සියයට 7.8කින් හැකිළුණා. විදේශ විනිමය සංචිත අන්තිම අඩියට වැටුණා. ලෝකයේ වැඩිම උද්ධමනයක් ඇති රටවල් අතරට අපි එක් වුණා. විදේශ ණය ගෙවාගන්න බැරි වුණා. රට බංකොළොත් වුණා. ආහාර හිඟ වුණා. තෙල් සහ ගෑස් ලබා ගැනීමට දින ගණන් පෝලිම් වල ඉන්න සිදු වුණා. පොහොර නැති වීම නිසා ගොවිතැන් පාළු වුණා. අස්වනු නැති වුණා. ගොවීන් අසරණ වුණා. ව්‍යාපාර කඩා වැටුණා. රැකියා ආදායම් මාර්ග නැති වුණා.
රෝහල්වල බෙහෙත් හිඟ වුණා. පාසල් වැහුණා. පැය 10 ක – 12 ක විදුලි බල කප්පාදුව ඇති වුණා. ජනතාවට ජීවත්වීමට තිබූ සියලු ඉඩකඩ හැකිළී ගියා. රටම උඩු යටිකුරු වුණා. ජනතාව පාරට වැටුණා.
දුක් පීඩාවන් විඳ දරා ගැනීමට නොහැකි තැන ජනතාව නොසන්සුන් වුණා. අරගල කරන්නට පටන් ගත්තා. මම අගමැති හැටියට මේ රටේ ආර්ථිකය බාරගත්තේ එවන් දුෂ්කර පසුබිමකයි. මට තිබුණේ එකම එක ශක්තියක් පමණයි. ඒ මාගේ මාතෘ භූමිය මේ අසීරු වැල් පාලමෙන් ආරක්ෂිතව එගොඩ කරන්නට හැකි බවට මා තුළ වූ විශ්වාසය හා අධිෂ්ඨානය පමණයි.
අප මුලින්ම රට ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළා. දැඩි මූල්‍ය පාලනයකට රට යටත් කළා. මේ අර්බුදයෙන් ගොඩ ඒමට තිබෙන එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම බව අප කල්තියා දැන සිටියා. ඒ නිසා අප ඔවුන් සමඟ සාකච්ඡා ආරම්භ කළා. දීර්ඝ සාකච්ඡා වට ගණනාවකින් පසු විස්තීරණ ණය පහසුකම අපට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වුණා. ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු වෙනත් මූල්‍ය ආයතන සමග එක්ව රටට ණය ආධාර ලබා ගැනීමේ වැඩසටහන් ආරම්භ කළා.
මෙහිදී අපේ අසල්වැසි ඉන්දියාව අපට විශාල වශයෙන් උදව් උපකාර කළා. බංග්ලාදේශය සහාය වුණා. ජපානය මානුෂීය ආධාර ලබා දුන්නා. චීනය, ඉන්දියාව සහ ජපානය වැනි අපේ ප්‍රධාන ණය හිමියන් මෙන්ම පැරිස් සමාජය ද අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වුණා. මේ සියලු රටවල්වලටත්, ආයතනවලටත්, ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන් මම මාගේ කෘතඥතාවය පළ කර සිටිනවා.
රාජ්‍ය වියදම් කපා හැරීම නිසා විශාල මුදලක් ඉතිරි කර ගැනීමට අපට පුළුවන් වුණා. අපේ විදේශ ශ්‍රමිකයින් රට ගොඩනැංවීමේ ව්‍යායාමයට උපරිමයෙන් දායක වෙනවා. 2022 හා සසදන විට මේ වසරේ මුල් කාර්තුවේ විදේශීය ශ්‍රමිකයන් එවන මුදල් සියයට 80.6 කින් ඉහළ නැංවී තිබෙනවා. නව බදු ප්‍රතිපත්ති නිසා 2023 පළමු කාර්තුවේ රුපියල් බිලියන 210ක අතිරේක ආදායමක් ලබා තිබෙනවා.
වෙහෙසීමේ, කැපවීමේ සහ ඉලක්ක ගත නිවැරදි ගමනක් යෑමේ ප්‍රතිඵල අද අප සැම භුක්ති විඳිනවා. සියයට 70ක් දක්වා ඉහළ නැග තිබුණු උද්ධමනය දැන් සියයට 25.2ක් දක්වා පහළ වැටිලා. මේ නිසා ජීවන බර ක්‍රම ක්‍රමයෙන් සැහැල්ලු වෙමින් පවතිනවා. මුළුමහත් සමාජයටම මේ සහනය දැනෙන්න පටන් අරන් තිබෙනවා.
මෙතැන් සිට අප ඉදිරියට ගමන් කරන්නට බලාපොරොත්තු වන ආකාරය ගැන මම ඔබට පැහැදිලි කිරීමට කැමතියි. අපේ ඊළඟ ක්‍රියා පිළිවෙත, එහෙමත් නැත්නම් මාර්ග සිතියම සඳහා අපි ප්‍රධාන කරුණු හතරක් පදනම් කර ගන්නවා. තවත් විදියකට කිව්වොත් අපේ අනාගතය අප ගොඩ නංවන්නේ ප්‍රධාන කුලුනු හතරක් මතයි.
පළමුවැනි කුලුන – රාජ්‍ය මූල්‍ය හා ප්‍රතිසංස්කරණ
රාජ්‍ය මූල්‍ය හා මූල්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප එකඟත්වයකට පැමිණියා. එම එකඟත්වය සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අප ලබා ගත්තා.
බදු ප්‍රතිපත්තිය, ආදායම් පරිපාලනය සහ වියදම් කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි ප්‍රතිසංස්කරණ අප ආරම්භ කර තිබෙනවා. ඒ ප්‍රතිසංස්කරණ අප ඉදිරියට ගෙන යනවා. රාජ්‍ය ණය දීර්ඝ කාලීනව තිරසාර මට්ටමක පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු අප හඳුන්වා දෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව
විශ්වාසය තහවුරු වන ආකාරයට නව ආර්ථික ප්‍රතිපත්ති අප හඳුන්වා දෙනවා.
ආර්ථිකය ස්ථාවර කරලීමේ අරමුණින් අපි 2022 මැයි මාසයේ සිට වියදම් සීමා කිරීමේ චක්‍රලේඛ ගණනාවක් ක්‍රියාත්මක කළා.
අනවශ්‍ය වියදම් තවදුරටත් අඩු කිරීමට අප පියවර ගන්නවා. හැකි සෑම අවස්ථාවකදීම රාජ්‍ය වියදම් උපරිමයෙන් සීමා කළ යුතු බව අප නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
1) අනවශ්‍ය වියදම් නවතා දැමීම.
2) වියදම් අවම කරගැනීමට හැකිවන පරිදි රාජ්‍ය ක්‍රියාකාරකම් සරල කිරීම.
3) වියදම් අවම කර ගත හැකි වන පරිදි රාජ්‍ය ක්‍රියාකාරකම් සැලසුම් කිරීම.
4) වියදම් අවම කර ගැනීම සඳහාත්, ගුණාත්මක සේවාවන් සැපයීම සඳහාත් ස්වයංක්‍රීය සහ ඩිජිටල් ක්‍රමවේද අනුගමනය කිරීම කෙරෙහි මූලික වශයෙන් අපගේ අවධානය යොමු වෙනවා.
දෙවැනි කුලුන – ආයෝජන ප්‍රවර්ධනය
රටක ආර්ථිකය ඉහළ නැංවීම සඳහා ආයෝජන ප්‍රවර්ධනය අතිශය වැදගත් සාධකයක්. ආර්ථික වර්ධනයක් කරා අප යන ගමන වඩාත් ශක්තිමත් කර ගත හැකි වන්නේ රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය අතර ඇති කරගන්නා අන්‍යෝන්‍ය සහයෝගය මතයි.
දකුණු කොරියාව සහ සිංගප්පූරුව මෙන් අප රට ද අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් බවට පත්කරලීම අපේ අභිලාෂයයි.
ඒ වගේම පුනර්ජනනීය බලශක්ති, හරිත හයිඩ්‍රජන් සහ ඩිජිටල්කරණය වැනි නවීන සහ තිරසර ප්‍රයත්නයන් කරා යොමුවීමට ද අප බලාපොරොත්තු වෙනවා. මේ සඳහා යහපත් ආදර්ශ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙන් අපට දැකබලා ගන්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය පූර්ණ පරිවර්තනයකට ලක් කිරීමේ ක්‍රියාදාමයේ දී එවැනි නවීන තාක්ෂණයන් හා තිරසර ප්‍රයත්නයන් ද වැදගත් වෙනවා.
මෙවැනි නවීන තාක්ෂණික සහ තිරසර ප්‍රයත්නයන් ක්‍රියාත්මක කරලීම සඳහා තම තමන්ගේ ව්‍යාපාරික යෝජනා ඉදිරිපත් කරන ලෙස අප පුද්ගලික අංශයෙන් ඉල්ලා සිටිනවා. මෙම යෝජනා කැඳවීම ජනමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කොට විවෘත හා විධිමත් ආකාරයෙන් සිදු කරනවා.
එම යෝජනා තෝරා ගැනෙන්නේ ආයෝජන ධාරිතාව, රැකියා උත්පාදනය, අපනයන දායකත්වය සහ ආර්ථික දායකත්වය යන නිර්ණායක හතර පදනම් කරගෙනයි.
මෙම යෝජනා ක්‍රියාත්මක කරලීමේ පිළිවෙත සැකසීම උදෙසා අප අලුත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා.
ඒ ක්‍රමවේදය අප හඳුන්වන්නේ “සංගායනා ක්‍රමවේද” යනුවෙන්.
රාජ්‍ය අංශය සහ පුද්ගලික අංශය අතර සහයෝගීතාවය ශක්තිමත් කරලීමේ අරමුණ ඇතිව සැකසෙන මෙම වැඩපිළිවෙළ සඳහා ඒ ඒ ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥ දැනුම ඇති පිරිස්, රාජ්‍ය නිලධාරීන්, යෝජනාවට හෝ ව්‍යාපෘතියට අදාළ රේඛීය අමාත්‍යාංශ බලධාරීන් හා පෞද්ගලික අංශයේ නියෝජිතයින් එක්කර ගැනෙනවා.
සති 6ක කාලයක් පුරා එක දිගට ඔවුන් මේ යෝජනා සහ ව්‍යාපෘති පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරනවා. පුද්ගලික අංශයේ නියෝජිතයන්ට කන් දෙමින් ඔවුන්ගේ ආයෝජන සඳහා ඇති සියලු බාධක ඉවත් කරලීම සඳහා කණ්ඩායම් වශයෙන් සාමූහිකව ක්‍රියා කිරීමට මෙහිදී සැලසුම් සකස් කරනවා. ව්‍යාපෘති ක්‍රියාත්මක කරලීමේ සැලසුම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් ඔවුන්ගේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය සියලු පහසුකම් සංවිධානය කිරීමට පියවර ගන්නවා.
සංගායනා ක්‍රියාවලියට එක්වන රජයේ පාර්ශ්වකරුවන් පූර්ණ කාලීනව මෙම සති හය තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කරලීම පිළිබඳව අවධානය යොමු කරනවා.
සංගායනා ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා රජයේ කැපවීම සහතික කරමින් මමත්, කැබිනට් අමාත්‍යවරුනුත් මේ අවස්ථාවන්ට සහභාගීවීමට බලාපොරොත්තු වෙනවා.
සංගායනා ක්‍රියාවලියෙන්, අපි ප්‍රධාන අරමුණු තුනක් මුදුන්පත් කරගැනීමට බලාපොරොත්තු වෙනවා.
1) අනුමත කරන ලද ව්‍යාපාරික යෝජනා සහ ව්‍යාපෘති ඔස්සේ අපේ ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත් කරලීම වේගවත් කිරීම.
2) නව රැකියා අවස්ථා නිර්මාණයකරලීම.
3) ව්‍යාපෘතිවලට ඇති බාධා ඉවත්කරලීම සඳහා සැකසෙන නිදහස් ක්‍රමවේදයන් ඔස්සේ අනාගත ව්‍යාපෘතීන් ක්‍රියාත්මකකරලීම වඩාත් පහසු වන පරිදි රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම.
ශ්‍රී ලංකාවේ වෙළෙඳ පිළිවෙත් සකස් වී ඇත්තේ දැඩි ආරක්ෂණවාදී වැටකඩුලු ඔස්සේයි. දැන් මේ සියල්ල නිදහස් කිරීමට සුදුසු කාලයයි. බොහෝ පිළිවෙත් සකස්වී ඇත්තේ ආයෝජකයන් අධෛර්යට පත් කිරීමටයි. උදාසීන කරවීමටයි. මේ තත්ත්වය අප වෙනස් කරනවා. ඒ හරහා ආයෝජකයන්ට ආකර්ෂණීය රටක් නිර්මාණය කරනවා.
තුන්වෙනි කුලුන – සමාජ ආරක්ෂණ ජාලය
සමාජ ආරක්ෂණය සඳහා ද අපි සංගායනා ක්‍රියාවලිය අනුගමනය කරනවා. මෙම සමාජ ආරක්ෂණ සංගායනා ක්‍රියාවලිය සඳහා රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, නියෝජිත ආයතන, සිවිල් සමාජ නියෝජිතයන් සහ විෂය කරුණු පිළිබඳ ප්‍රාමාණික උගතුන් සම්බන්ධ කරගැනීමට අප බලාපොරොත්තු වෙනවා.
වසර ගණනාවක් තිස්සේ මේ රටේ ජනතාව ප්‍රධාන ඉල්ලීම් තුනක් අපෙන් ඉල්ලා සිටියා. ඒ
1) සමාජයේ දිළිඳු හා අසරණ කොටස් ආරක්ෂා කර ගැනීම.
2) දූෂණය මැඩලීම.
3) රජයේ ක්‍රියාමාර්ග හා පිළිවෙත් පිළිබඳව නිරන්තරව මහජන අදහස් විමසීම.
යන කරුණු ත්‍රිත්වයයි. මේ ජනතා ඉල්ලීම් සපුරාලීමට අප කටයුතු කරනවා.
මෙහිදී සමාජයේ අන්ත අසරණ දිළිඳු කොටස්වලට නිසි සමාජ ආරක්ෂණයක් සිදු වේද, යන්න සොයා බලන අතර ඔවුන්ට අවශ්‍ය සහාය හා සහන ලබාදීමට කටයුතු කරනවා.
නියාමන, ප්‍රසම්පාදන සහ දේශපාලන යන සියලු අංශයන් හි දූෂණ සම්පූර්ණයෙන්ම අත්හිටුවීම සඳහාත්, ඩිජිටල්කරණය සහ වගවීම පදනම් කරගත් රාජ්‍ය යාන්ත්‍රණයකින් දූෂණ විරෝධී පිළිවෙත් ක්‍රියාත්මක කරලීම සඳහාත් විශේෂ කාර්ය සාධන බළකායක් ස්ථාපිත කරනවා.
හතරවැනි කුලුන – රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ
වර්තමානයේ ආර්ථිකයේ ක්ෂේත්‍ර 33ක රාජ්‍ය ව්‍යවසායන් 430ක් ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 6ක ප්‍රමාණයක් මේවායේ සේවය කරනවා.
රාජ්‍ය අංශයට ඒකාධිකාරී වෙළෙඳපොළක් ලබා දීමේ ප්‍රතිඵලය වී තිබෙන්නේ පුද්ගලික ආයෝජන අ‍ධෛර්යට පත්වීමයි. මිල නියම කිරීම, අකාර්යක්ෂම කළමනාකාරීත්වය සහ දුර්වල මූල්‍ය මෙහෙයුම් නිසා මෙම ව්‍යවසායකයන් නිරතුරුවම පාඩු ලබනවා. මේ ආයතන රජයේ බදු මුදල් මත යැපෙන යාචක ආයතන බවට පත්ව තිබෙනවා.
2021 වසරේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් එයාර් ලයින් යන ආයතනවල මෙහෙයුම් අලාභය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.6ක්. මේ ණය බර මිලියන විසි දෙකක් වූ ජනතාවගේ කරපිටට දිගින් දිගටම පැටවීම අසාධාරණයි.
ජනතාවගේ බදු මුදල් විශාල ප්‍රමාණයක් මේ අසාර්ථක ව්‍යවසායන් නඩත්තු කිරීම සඳහා යෙදවීමට සිදුව තිබෙනවා. මේ ආයතන ආණ්ඩුවටත් බරක්. රටටත් බරක්. ජනතාවටත් බරක්. එම නිසා මේවා සාර්ථක කර ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හා ප්‍රතිව්‍යුහගත කිරීම් අප නොපමාව කළ යුතුයි.
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලස්මක් සකස් කිරීම අප දැනටමත් ආරම්භ කර තිබෙනවා. මෙම සැලැස්ම ඔස්සේ සාර්ථකත්වය ලබාගන්නට මෙම ව්‍යවසායන්ට හැකි වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම රාජ්‍ය ව්‍යවසායන්හි ප්‍රධාන නිලධාරීන් ඔවුන්ගේ කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට කැපවී කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඔවුන්ට ලබාදෙන වාර්ෂික ඉලක්ක සපුරාලීමට අපොහොසත් වුවහොත් ඔවුන් වෙනුවට වඩාත් යෝග්‍ය පුද්ගලයින්ට එම වගකීම් භාර දීමට අප පසුබට වන්නේ නෑ.
මහජන දායකත්වය
සංගායනා ක්‍රියාවලියට අප ජනතා දායකත්වය ලබා ගැනීමට ද ක්‍රියා කරනවා. සති 6ක කාලය තුළ සිදු කෙරුණු සාකච්ඡා, විශ්ලේෂණ සහ නිගමන ඔස්සේ විවිධ ව්‍යාපෘති පිළිබඳව සකස් කෙරුණු සැලසුම් නියම කරන ලද මහජන දිනයකදී ජනතාවට ප්‍රසිද්ධ කරනවා. ඒ සියලු සැලසුම් ජනතාව හමුවේ තබනවා. එමගින් ජනතාවට තම අදහස් හා ප්‍රතිචාර දක්වන්නට අවකාශ සලසනවා.
සංගායනා ක්‍රියාවලිය ඔස්සේ සකස් කෙරුණු සැලසුම් ක්‍රියාවට නංවන්නේ ජනතා අදහස්වලින් තවදුරටත් පෝෂණය කිරීමෙන් පසුවයි.
ඒ වගේම අපේ මේ ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ පිළිබඳව සියලු තොරතුරු ජනතාව හමුවට ඉදිරිපත් කරන්නට මම පියවර ගන්නවා. ජනාධිපතිවරයා සිය වාර්ෂික වාර්තාවක් ලෙස එම කාර්යය සිදු කළ යුතු බව මම යෝජනා කරනවා.
අපේ මාර්ග සිතියම ක්‍රියාවට නැංවීමේදී සමාජයේ සියලු පාර්ශ්වයන්ගේ අදහස්වලින් එය පෝෂණය කර ගැනීම වැදගත් බව අපේ පිළිගැනීමයි. සංගායනා ක්‍රියාවලියේදීත්, මහජන දිනයේදීත් අප සිදු කරන්නේ එම ක්‍රියාවලිය යි.
අප බලාපොරොත්තු වන්නේ මෙම වසරේ දෙවන කාර්තුව අවසන් වීමට පෙරාතුව සංගායනා ක්‍රියාවලිය ආරම්භ කිරීමටයි. තුන්වන කාර්තුවේ දී සංගායනා ක්‍රියාවලිය සහ වර්තමානයේ ආර්ථිකයට සම්බන්ධ විශේෂ කාර්ය සාධන බලකායන් හි ක්‍රියාකාරකම් ද විවෘත සහ විනිවිද පෙනෙන ආකාරයෙන් ජනතාව හමුවේ තබනවා. ඒ සියල්ලෙන් අනතුරුව ජාතික ප්‍රතිසංවිධාන සැලැස්ම මෙම වසරේ අවසන් කාර්තුවේ දී එළි දක්වන්නට අප බලාපොරොත්තු වෙනවා.
සැලසුම් හා පිළිවෙත් ක්‍රියාත්මක කරලීමේ ප්‍රගතිය ජනතාවට ඩිජිටල් මාධ්‍ය ඔස්සේ දැක බලා ගැනීමේ අවකාශ සැලසෙනවා. ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටලු සහ බාධක අවධාරණය කර පෙන්වීමේ ක්‍රමවේදයක් ද එහි අඩංගුයි. ඒ අනුව බාධා හා ගැටලු හඳුනා ගැනීමටත්, ඒවා කඩිනමින් විසඳා ගැනීමටත් අවකාශ උදා කරගන්න පුළුවන්.
මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සම්බන්ධීකරණ කටයුතු සඳහා රාජ්‍ය සහ පුද්ගලික යන දෙඅංශයේම ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත ජනාධිපති විමසුම් කාර්යාංශයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නවා. රේඛීය අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණ කාර්යයන් ඔවුන් වෙතින් සිදු වෙනවා.
අනාගතය ගොඩ නැංවීම
මේ ප්‍රතිසංස්කරණ මුළු මහත් ජනතාවට ම එක ලෙස ප්‍රතිලාභ සැලසෙන වැඩපිළිවෙළක්. ඔබ ඇතුළු මුළු රටම මේ වැඩපිළිවෙළ මගින් දියුණු වෙනවා. ඔබගේත්, මුළු රටේම ජනතාවගේත් ජීවන තත්ත්වය මෙමඟින් ඉහළ නැංවෙනවා.
මෙය සමාජයේ එක් කොටසක් පමණක් ඉලක්ක කර ගත් වැඩපිළිවෙතක් නොවේ. මුළු රටම ඉලක්ක කරගත් වැඩසටහනක්.
තරුණ තරුණියන්ගේ ශ්‍රම සහභාගිත්වය ඉහළ නැංවීමේ අවස්ථා ඇති කරලීම ඔස්සේ ශ්‍රී ලංකාවේ අපනයන සඳහා ජාත්‍යන්තර තරගකාරීත්වය ඉහළ නැංවීමටත්, අප රටේ මානව ප්‍රාග්ධන සංවර්ධනය පුළුල් කිරීමටත් හැකියාව ලැබෙන්නේ එවිටයි.
ඉදිරි අවුරුදු පහ තුළ අපි ආර්ථිකය පූර්ණ වශයෙන් ස්ථාවර කරනවා. ඊළඟ අවුරුදු විසිපහ තුළ ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත්වෙනවා. ඒ තමයි අපේ අරමුණ. මුල් අවුරුදු පහෙන් පසු රට නඟාසිටුවීමේ වැඩපිළිවෙළ බාර වෙන්නේ ඊළඟ පරම්පරාවටයි. අප ඒ සඳහා තරුණ තරුණියන් සූදානම් කරනවා. පෙළ ගස්වනවා. එනම් අභියෝගයන්ට මුහුණ දෙමින්, 2048 වෙද්දී අපේ මාතෘ භූමිය පුර්ණ සංවර්ධිත රටක් බවට පත් කිරීමට තරුණ තරුණියන් උර දෙන බව මට විශ්වාසයි. රටේ වගකීම් භාරගෙන ඒ ඉලක්කය ළඟා කර ගන්නා බව මට විශ්වාසයි.
මේ වැඩපිළිවෙළ ඔබ අප සැමගේම අනාගතය ගොඩනංවෙන වැඩ පිළිවෙළයි. අපේ අනාගත පරම්පරාවේ අනාගතය යහපත් කරන වැඩපිළිවෙළයි.ඒ නිසා මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට උපරිම දායකත්වය ලබාදෙන මෙන් මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.
“2048 සංවර්ධිත රටක්” එයයි අපේ ඉලක්කය. අපේ අරගලය මේ ඉලක්කයට ළඟා වීමටයි. අපි එකට එක්ව අපේ අනාගතය ගොඩ නංවමු. යහපත් හෙට දවසක් නිර්මාණය කරගනිමු. ඒ කාර්යයට එක් වෙන ඔබ සැමට ස්තුතියි.

Archive

Latest news

Related news