Friday, April 19, 2024

පාස්කු ප්‍රහාරය: SDIG දේශබන්දුට පොලිස් කොමිසමේ ලේකම් තමරා ඩී. පෙරේරා යැවූ චෝදනා පත්‍රය මෙන්න!

රාජකාරි පැහැර හැරීම් සහ විෂමාචාරයන්හි යෙදීම් සම්බන්ධයෙන් වැරදි එකක් හෝ කිහිපයක් හෝ සියල්ලම හෝ  සිදුකිරීම හේතුකොට ගෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් සේවයෙන් පහ නොකිරීමට හේතු ඇත්නම් දක්වන ලෙස ඔහුගේ චෝදනා පත්‍රයේ දැක්වේ. නිදහසට කරුණු දැක්වීමට දින 30 ක කාලයක් දී ඇත. එම දින 30 අවසන් වන්නේ මේ මැයි මස 24 වෙනිදාට ය.

දේශබන්දු තෙන්නකොන් යනු ප්‍රසිද්ධීයේම රාජපක්ෂරුන්ට කත අදින ඉහළම පෙළේ පොලිස් නිලධාරියෙකි. ඔහු සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජපක්ෂවරුන් බැහැ දිකීමට ගිය අතර මහින්ද රාජපක්ෂගේ මැයි දින වේදිකාවෙහිද රඟනු දැක්ක හැකි විය.

ඔහුට විරුද්ධව ගොල්පේස් අරගලකරුවන්ට රාජපක්ෂ මර හමුදාව විසින් එල්ල  කළ ප්‍රහාරය වැළැක්වීමට නොහැකිවීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී තිබේ.

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්දයෙන් මෙම චෝදනා පත්‍රය නිකුත් කර ඇත්තේ ඉහල පොලිස් නිලධාරීන්ගේ විනය නිලධාරියා වන ජාතික පොලිස් කොමිසමේ ලේකම් තමරා ඩී. පෙරේරා විසින් පොලිස්පති හරහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙත ය.

එසේ නමුත් පාස්කු ප්‍රහාරය නොවැලැක්වීම සම්බන්ධ ප්‍රධානතම පොලිස් නිලධාරියා වන නිලන්ත ජයවර්ධනට එරෙහිව තිවම මෙවැනි පියවරක් ගෙන නැත.

චෝදනා පත්‍රයේ සඳහන් චෝදනාව මෙසේය

රාජකාරිය පැහැර හැරීම

එනම් පොලිස් නිලධාරියෙකු වශයෙන් තමන්ට අයත් රාජකාරියක් වූ යම් කටයුත්තක් අප්‍රමාදව හා අනලස්ව සොයා බැලීම හෝ ඉටු කිරීම පැහැර හැරීම, නැතතහොත් අතපසු කිරීම.

ඔබ ශ්‍රී ලංකා පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති වරයෙකු වශයෙන් 2018-08-08 දින සිට බස්නාහිර පළාත උතුර දිසාව භාර නිලධාරියා ලෙස සේවය කරමින් සිටියදී, ජාතික  තව්හිත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමස් සහරාන් නොහොත් සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයන් විසින් මෙරට තුළ ප්‍රසිද්ධ කතෝලික පල්ලි සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රධාන කොටගෙන මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් පවතිනබ වට ජාතික බුද්ධ අංශ ප්‍රධානී ඒ.එන්. සිසිර මෙන්ඩිස් මහතා විසින් පොලිස්පති වෙත වාර්තා කිරීමෙන් අනතුරුව එම බුද්ධි තොරතුර ඇතුළත් ලිපි කට්ටලය පොලිස්පති විසින් ජ්‍යෙ.නි.පොලිස්පති බස්නාහිර පළාත වෙත යොමු කිරීමෙන් පසු, අදාල තොරතුර ජ්‍යෙ.නි.පොලිස්පති බස්නාහිර පළාත විසින් රාජකාරි උපදෙස් සහිතව S/DIG/WP/3649/2019 යටතේ ඔබ වෙත යොමුකර තිබිය දී ඔබ වෙත ලැබී තිබූ බුද්ධි තොරතුර ඔබ විසින් අධීක්ෂනය කරනු ලබන නිලධරයන් වෙත බැහැර කිරීම සිදුකොට ඒ පිළිබඳව පසු විපරමක් සිදු නොකිරීමෙන්, පොලිස් නිලධාරියෙකු වශයෙන් ඔබ විසින් තමන්ට අයත් රාජකාරියක් වූ යම් කටයුත්තක් අප්‍රමාදව හා අනලස්ව සොයා බැලීම් හෝ ඉටු කිරීම පැහැර  හැරීම නැතහොත් අතපසු කිරීමෙන්, ශ්‍රී ලංකා පොලිස් නියෝග ඒ 7 බී පරිශිෂ්ඨයේ විනය සංග්‍රහයේ 4 ඒ වගන්තිය යටතේ දැක්වෙන “රාජකාරිය පැහැර හැරීම” සහ ආයතන සංග්‍රහයේ XLVIII වැනි පරිච්ඡේදයේ රාජ්‍ය නිලධරයන් විසින් සිදුකළ හැකි වරදවල් සම්බන්ධ පළමු වන උප ලේඛනයේ 15 වැනි වගන්තිය යටතේ දැක්වෙන වරද සිදුකර ඇති බවට චෝදනා කරමි.

මෙම චෝදනා සනාථ කිරීම සඳහා පහත සඳහන් සාක්කිකරුවන් හා ලිපි ලේඛන උපයෝගී කර ගනු ලැබේ.

1. සාක්කිකරුවන් – ( ජ්‍යෙ.නි.පොලිස්පති නන්දන මුණසිංහ ඇතුළු සාක්කිකරුවන් 12 ක් දක්වා තිබේ)
2. ලිපි ලේඛන -( 19 ක් දක්වා ඇත)

ඉහත කී පොලිස් නිලධාරීන් විසින් දෙන ලද ප්‍රකාශ ගණනාවක්ද සාක්ෂි වශයෙන් සටහන් කර තිබේ.

ලංකා ඊ නිව්ස් ලිපියක් ද ජායාරූපද ඇසුරැ කරන ලදී.

Archive

Latest news

Related news