Tuesday, April 23, 2024

ජොන්ස්ටන්ගේ හෙංචා කුරුණෑගල තුෂාර සංජීව, චෝදනා 18කින් 11කට වරදකරු වේ!

2022.12.31 දින සිට ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහා නගර සභාවේ නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස් වූවා සේ සලකනු ලැබ ඇතැයි ද ඔහුට විරුද්ධව නගන ලද චෝදනා 18න් 11කටම වැරදිකරු බව ද හිටපු මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක ඒක පුද්ගල කොමිසම වාර්තා කර තිබේ.

තුෂාර සංජීවගේ මයිලයකට වත් අත තැබීමට තමන් ඉඩ නොදෙන බව කුරුනෑගල පොහොට්ටු ලොක්කා වන ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රසිද්ධියේම කියා සිට තිබුණි.

නගරාධිපතිවරයාට එරෙහිව ලැබී තිබූ පැමිණිලි සැලකිල්ලට ගෙන වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් හිඑම පරීක්ෂණ කොමිසමේ කටයුතු  ආරම්භ කරනු ලැබුවේ 2022.12.09 වන දින සිටය .

මෙම කොමිසම හමුවේ වයඹ පළාතේ හිටපු ආණ්ඩුකාරවරුන් වන පේෂල ජයරත්න සහ ඒ.ජේ.එම්.මුසම්මිල්ද සාක්ෂි ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ මෙසේ සඳහන් වේ.

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ඇ ව්‍යවස්ථාවෙන් සහ 1989 අංක 12 දරන පළාත් සභා(ආනුෂංගික විධිවිධාන) පනතේ 2(1)(අ) වගන්තිය සමග කියවිය යුතු 252 අධිකාරය වන මහා නගර සභා ආඥාපනතේ 277(1අ) වගන්තියෙන් වයඹ පළාතේ ආණ්ඩුකාරවර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ වන මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, තුෂාර සංජීව විතාරණ යන අය කුරුණෑගල මහා නගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී, 252 වන අධිකාරය වන මහා නගර සභා ආඥාපනතේ 277(1) වගන්තියේ සඳහන් වැරදි කිසිවක් සිදු කර ඇත් දැයි පරීක්ෂා කර බලා වාර්තා කිරීම පිණිස අංක 2305/12 සහ 2022.11.09 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශෙෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කළ නියමය මගින් පත් කරන ලද ඒක පුද්ගල පරීක්ෂණ කොමිෂන් සභාව විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණයේ දී ඉහත කී තුෂාර සංජීව විතාරණ යන අයට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා 18කින් චෝදනා 11කට වරදකරු බව තීරණය කර ඇති බව මා වෙත වාර්තා කර ඇත.

එසේම, එකී පරීක්ෂණ කොමිෂන් සභාව විසින් ස්වකීය පරීක්ෂණය කරගෙන යන අතරතුර එකී මහා නගර සභා ආඥාපනතේ 215අ වගන්තියේ සහ අංක 2199/15 හා 2020.10.29 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශෙෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති 2020 මහා නගර සභා අයවැය සම්පාදනය හා බලාත්මක කිරීමේ නියෝගවල විධිවිධාන ක්‍රියාත්මක වීම හේතු කොට ගෙන, එකී තුෂාර සංජීව විතාරණ යන අය 2022.12.31 දින සිට ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහා නගර සභාවේ නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස් වූවා සේ සලකනු ලැබ ඇත.

තව ද, එකී වාර්තාවේ සඳහන් චෝදනා හා නිගමන පිළිබඳ සියලු ලේඛන මා විසින් නිසි ලෙස පරීක්ෂා කර අධ්‍යයනය
කිරීමෙන් අනතුරුව එකී තුෂාර සංජීව විතාරණ යන අය කුරුණෑගල මහා නගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී, 252 අධිකාරය වූ මහා නගර සභා ආඥාපනතේ 277(1) වගන්තියේ සඳහන් වරදවල් එකක් හෝ කිහිපයක් සිදු කර ඇති බවට තීරණය කිරීමට ප්‍රමාණවත් කරුණු ඇති බවට මා සෑහීමට පත් වී ඇත.”

මෙයට පෙර පුරාවස්තුවක් ලෙස නම් කරනු ලැබ  තිබූ කුරුණෑගල නගර මධ්‍යයේ දෙවැනි බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය පිහිටා  කඩා ඩොසර් කිරීම සම්බන්ධයෙන් තුෂාර සංජීවට එරෙහිව පියවර ගැනීමට ඉඩ නොතබන බවට එවකට ඇමතිවරයකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු තර්ජනය කර තිබුණි. එය කඩා විනශ කරනු ලැබුවේ 2020 ජූලි මාසයේදීය. තවමත් එම ක්‍රියාව සම්බන්ධයෙන් තුෂාර සංජීවට විරුද්ධව පියවරක් ගෙන නැත.
මෙම දෙවන බුවනෙකබාහු රජුගේ මෙම රාජ සභා මණ්ඩපය ඉදි කරන පද්දේ වර්ෂ 1293 සහ වර්ෂ 1302 අතර කාලසීමාව තුල ඉදි කළ බව කියැවේ.
මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  විසින් කමිටුවක්ද පත් කරන ලද නමුත් එහි වාර්තාවදතවමත් හමස් පෙට්ටියේ දමා තිබේ.
මෙම රාජසභා ගොඩනැගිල්ල පුරාවිද්‍යා පනත යටතේ පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබියදී එය කඩා ඉවත් කිරීම තුළින් පුරාවිද්‍යා පනත යටතේ වරදකි.
දේශපාලන බලපෑම් හේතුවෙන් පොලීසිය විසින් මේ සම්බන්ධයෙන්  පරීක්ෂණ පවත්වා නොමැත.
පොහොට්ටු දේශපාලනඥයකු වන තුෂාර සංජීව එකළ සිටියේ නීතියට උඩිනි.

Archive

Latest news

Related news