Tuesday, April 23, 2024

 මිනීමැරීමට තැත්කිරීමට අධාර අනුබල දුන් බවට දේශබන්දු, ජොන්ස්ටන් ඇතුලු රාජපක්ෂ මැරයන් අධිකරණයට!

ඡායාරූපය: එන පොට දැනගත් නිසාදෝ දේශබන්දු අව්රුදු අරගෙන ගෝටාබැහැ දැක්කේ දවස් දෙක තුනකට පෙරය.
තරිඳු ජයවර්ධන විසිනි.
(medialk.com) ගාලු මුවදොර පැවැති ගෝඨාගෝගම සහ අරලියගහ මැදුර අසල පැවති මයිනා ගෝගම නම් සාමකාමී විරෝධතාවන්ට 2022 මැයි මස 09 වැනිදා පහරදීම සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ බී 22046/22 දරණ නඩුවට අදාලව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 33 දෙනකු සැකකරුවන් ලෙස නම් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත උපදෙස් ලබා දුන්නේය.
දණ්ඩ නීති සංග්‍රහයේ 314, 316, 343 සහ 300 දරණ චෝදනා යටතේ 32 නකු සැකකරුවන් ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.   මෙම සැකකරුවන්ට මෙම වරදවල් සිදු කිරීමට ඉඩ හැරීම මගින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දණ්ඩ නීති සංග්‍රහයේ 100 යටතේ ගැණෙන වරදක් සිදු කර ඇති බවට සාක්කි ඇති බවද නීතිපතිවරයා දැනුම් දී ඇත.
තවත් නොදන්නා පිරිසක් සමග නීති විරෝධී ජනරාශියක සාමාජිකයන් වෙමින්  මිනී මැරීමට තැත් කිරීම, කැමැත්තෙන් තුවාල සිදු කිරීම, කැමැත්තෙන්ම බරපතල තුවාල සිදු කිරීම, සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනාවලට නඩු පැවරීම සඳහා ප්‍රමාණවත් සාක්කි ඇතැයි නීතිපතිවරයා තීරණය කළ පිරිස මෙසේය.
ලියනාරච්චිගේ නිශාන්ත මෙන්ඩිස්, සුභාෂ් ජයශාන්ත ප්‍රනාන්දු, අමල් පුෂ්පකුමාර ද සිල්වා, මිලාන් සජිත් ජයතිලක, සනත් නිශාන්ත පෙරේරා, සුරේස් ප්‍රියසාත් නොහොත් ඩෑන් ප්‍රියසාත්, සමන්ලාල් ප්‍රනාන්දු, සමීර චතුරංග ආරියරත්න, ගම්ලත් ජයන්ත රෝහණ, ලියනගේ ගීතක පෙරේරා, බන්දුල විජේකුමාර, පුෂ්පලාල් කුමාරසිරි, අමිතානන්ද අබේවික්‍රම, මිනී ප්‍රශාන්ති ෆොන්සේකා නොහොත් වැල්ලේ රමණි, අසංක නායක විජේසිංහ නොහොත් සතා නාලක නොහොත් අරාබි වසන්ත, අරුණ ප්‍රියෂාන්ත, තෙල්ගේ ආරියදාස පීරිස්, නරේන්ද්‍ර දුලිප් ප්‍රනාන්දු, කහඳගමගේ මහින්දරත්න, නිශාන්ත චමින් උපතිස්ස ජයසිංහ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සජිත් සාරංග, තුසිත සම්පත් නානායක්කාර, ප්‍රදීප් ශ්‍රියන්ත ප්‍රනාන්දු, ශානක ඇන්තනි ප්‍රනාන්දු, ප්‍රියනාත් මැකෙන්සි ප්‍රනාන්දු, ගයාන් පුෂ්පකුමාර පීරිස්, ප්‍රගීත් සුජීව බණ්ඩාර, ලලිත් උදේශ් මද්දුභානු
ඊට අමතරව මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් කර සිටි පහත සඳහන් පුද්ගලයන් හතර දෙනාට එරෙහිව ප්‍රමාණවත් සාක්කි නොමැති බැවින් ඔවුන් මුදා හැරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ද  නීතිපතිවරයා දැනුම් දී තිබේ.
හේවාදේවගේ මංජුල ප්‍රසන්න, රමේෂ් භානුක ප්‍රනාන්දු, චමත් තිවංක, ඉනෝක නිශාන්ත් ද මෙල්
මීට පෙර නම් සඳහන් කර ඇති 32 සහ දේශබන්දු තෙන්නකෝන් හැරුණු විට මීට පෙර විදෙස් ගමන් තහනම් ලබා ගත් සෙසු පිරිසගේ එම තහනම ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද නීතිපතිවරයා දැනුම්දී ඇත.
නීතිපති සංජය රාජරත්නම් මහතාගේ අත්සනින් යොමු කළ මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ සැකකරුවකු ලෙස නම් කර අධිකරණයට දැනුම් දෙන ලෙසයි. අනතුරුව සැකකරුවකු ලෙස ඔහුගෙන් ප්‍රකාශ ලබාගෙන ඒ අනුව කටයුතු කරන ලෙස ද නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉහත සඳහන් කරන ලද සැකකරුවන් 32 නා විසින් කරන ලද ඉහත සදහන් කරන ලද වැරදි සිදුකිරීම නොවැලැක්වීම/නොසලකා හැරීම සිදු කර ඇති බවට සාක්කිවලින් ගම්‍යවන වන හෙයින් ඔහුට එරෙහිව එම චෝදනාවලට අදාලව අනුබල දීමේ වරද සිදු කර ඇති බව නීතිපතිවරයා සඳහන් කර ඇත.
ගෝඨා ගෝගම සහ මහිනාගෝගම සාමකාමී විරෝධතාවලට 2022 මැයි මස 09 වැනිදා සිදුකළ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලැබූ අතර දේපොළ රැසක්ද විනාශ කෙරිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මිලාන් ජයතිලක ඇතුළු පිරිසක් දැනටමත් සැකකරුවන් ලෙස නම් කර තිබෙන අතර දේශබන්දු තෙන්නකොන් මහතාට ද සැකකරුවකු කිරීමට සාක්කි ඇති බවට මීට පෙර නීතිපති දෙපාර්තමේන්තුව දන්වා තිබුණද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු සැකකරුවකු ලෙස නම් කළේ නැත.
එසේම ඔහු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සිටීමෙන් විමර්ශනයට බාධා විය හැකි බවට ද විවිධ පාර්ශ්ව චෝදනා කළ අතර නීතිපතිවරයාද ඒ බව දැනුම් දුන්නද ඔහු ස්ථාන මාරු කිරීමක් හෝ සිදු කෙරුණේ නැත.
කෙසේ වෙතත් නීතිපති දෙපාර්තමේන්තුව අද සෘජුවම දේශබන්දු තෙන්නකෝන් ද සැකකරුවකු ලෙස නම් කරන ලෙස දැනුම්දී ඇති බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එය නොතකා හැරීමේ අවස්ථාව අවම බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

මීඩියාඩොට්එල්කේ අඩවියෙනි.

Archive

Latest news

Related news