Friday, March 29, 2024

රෝයල්-තෝමියන් දේශපාලනයට නොපෙනෙන මෙරට ගිල ගනිමින් පවතින සමාජීය ඛේදවාචකය – සුනන්ද දේශප්‍රිය

රෝයල් -තෝමියන් ක්‍රිකට් තරඟය මෙරට විනාශ මුඛයට ඇද ගෙන ගිය දේශපාලන පංතියේ ජොලිම ජොලි අවස්ථාවකි. රනිල් රාජපක්ෂද දිනෙශ් ගුණවර්ධනද හර්ෂ ද සිල්වාද ශිරන්ති සහ නාමල් රාජපක්ෂද දයාසිරි ජයසේකර ද වැන්නෝ එම ජොලියට එක්වගි ගයමින් නැටවෙනු රටම දුටහ.

පංතියේ දරුවන්ටත් චූන්!

විරෝධය පෑමට විදී බසින තරුණ ප්‍රජාව එළවා එළවා පහර දෙන මෙම දේශපාලන පංතිය, ස්වකීය පංතියේ රෝයල් -තෝමියන් දරුවන්ට මහ මඟ බී ගෙන නැටීමට පමණක් නොව බාලිකා විදුහල් වලට  පැන චූන් ගැනීමට  අවස්ථාව සළසති.

‍මෙම දේශපාලන පංතිය මෙරට අද මුහුණ දෙන සමාජ, ආර්ථික සහ දේශපාලන ඛේදවාචකයට සහමුලින්ම වගකිය යුතු වුවත්, උනට ඒ පෙනේනේ නැත. උන් සතුව ඊට විසඳුමක් ද නැත.

බියකරු යථාර්තය

පසුගිය දා අප දුටු එම ජොලිය පිටුපස ඇත්තේ මෙරට මුහුණ දී සිටින බියකරු යථාර්තයයි.

කරුණු දෙස බලමු.

නගින බහින රනිල්ගේ රුපියල

රුපියල ඉහළ යන බවටත් රනිල් රාජපක්ෂ වැඩ්ඩෙක් බවටත් නැගූ උම්බෑ නාදය, ඊට වඩා වේගයෙන් පහළ ගියේ මේ ජොලියට දින දෙකක් තිබියදීය. 2023 අග වන විට ඩොලරයක් මිලදී ගැනීමට රුපියල් 400ක් පමණ අවශ්‍ය වනු ඇති බවට පුරෝකථනය වී තිබේ. දැන් ප්‍රේත වන්දි භට්ටයෝ නිහඩය.

සියළුම රාජපක්ෂවරුන්ගේ කෝකටත් තෛලය බවට පත්ව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය වාර්තාවන්හි මෙරට ආර්ථිකය 2023 වර්ශයේදී ද 3%කින් හැකිළෙන බව කියන නමුත් රනිල් රාජපක්ෂ රටට කියන්නේ ජාමූඅ ණය ලැබුණූ විගස රට ගොඩ යන බවය.

ආතක් පාතක් නැතිවූ රාජපක්ෂ පවුල විසින් ඡන්ද 20,000ක් පමණක් ගත්  රනිල් ජනාධිපති පුටුවේ හිඳුවා දැන්  මාස 08කි.

පාරිභෝගික විශ්වාසය බිංදුවේ

IHP ජනමත සමීක්ෂණයකට අනුව මෙරට පාරිභෝගික විශ්වාසය රනිල් රාජපක්ෂගේ අ‌ට මාසය තුල දිගටම පහළ ගොස් තිබේ. මෙරට ඇති දැඩි අශුභවාදී පාරිභෝගික අවිශවාසය පෙබරවාරි මාසයේ දී ද අඛණ්ඩව නරක අතට හැරුණි.  ඊට හේතුව අනාගතය පිළිබඳ අපේක්ෂාවන් පහත වැටීමය. එම සමික්ෂනය සඳහන් කරන්නේ එමගින් ජාතික ආර්ථිකයේ දිගුකාලීන අනාගතය පිළිබඳ මහජන අදහස්වල සැලකිය යුතු පරිහානියක් නියෝජනය කරන බවයි.

එනවට වඩා රට යන ලංකාව

2022 වසරෙහි රටට පැමිණි සංචාරකයින් ගණන ඉක්මවා යමින් ලක්ෂ 11ක් ලාංකිකයින් විදෙස් ගත වුහ.  එමගින් ඉහත කී කරුණ තවත් තහවුරු වෙයි. එම ගණනින් රැකියා සඳහා ගියේ ඉන් 27%. පමණි. ඒ බහුතරය අඩු පඩියට මැද පෙරදිග ගිය ස්ත්‍රී ශ්‍රමිකාවන්ය.

මෙසේ රට හැර ගිය වෘත්තිකයින් අතර වෛද්‍යවරු 2000කට වැඩිය. ඒ තරමටම රනිල් රාජපක්ෂ රට ගොඩ දා තිබේ.

පාසල් දරු පරම්පාරවක් අතරමං වීම

මෙරට පහළ පාසල් පංතිවල දරුවන්ගේ  සියයට 13 ක් එක වේලක් නොගන්නා උදේ ආහාරය හෝ දිවා ආහාරය නොගනී. ඒ බව හෙළි වන්නේ එවැනි දරුවන් 16,000ක් අතර කරන ලද සමීක්ෂනයකිනි. සමහර දරුවන් සිය දුගී බව ප්‍රකාශ කිරීමට දක්වන අකමැත්ත ගණනයට ගත් විට මෙම ප්‍රමාණය තවත් ඉහළ යනු ඇත.

කොවිඩ් වසංගතය අවධියෙහි මෙරට 01 ශ්‍රේණියේ සිටි සිසු-සිසුවියන්ගෙන් සියයට 90 කට වැඩි පිරිසකට සාක්ෂරතාව සහ සංඛ්‍යාත්මක තෘප්තිමත් මට්ටමක් ලබා ගැනීමට නොහැකි වී තිබේ. මේ බව හෙළි වී ඇත්තේ ද ඉහත සඳහන් කළ සමීක්ෂණයෙනි.  එම අධ්‍යනය පෙන්වා දෙන්නේ එම  දරුවන්ගෙන් සියයට 73 ක සවන් දීමේ අවබෝධය

එම දරුවන්ගෙන් සියයට 80 කට එම වයසේ සිසු-සිසුවියන්ගෙන් අපේක්ෂා කරන වාචික කුසලතා නොමැත.. සියයට 63කට සෑහීමකට පත් විය හැකි කියවීමේ අවබෝධයක් නොමැත.  සියයට 66කට ඔවුන්ගේ වයස සහ අධ්‍යාපන මට්ටම අනුව ලිවීමේ හැකියාවක් නොමැත.

මෙම අභාග්‍ය සම්පන්න තත්වයට කිසිදු පිළියමක් යෙදීමට අද රනිල් රාජපක්ෂ  නායකත්වය දෙන රෝයල්-තෝමියන් දේශපාලන පංතිය අසමත් වී තිබේ. මේ කාළකන්නි දේශපාලනඥයින් බහුතර ජනයාගේ පරම්පරාවකම අධ්‍යාපනය විනාශ කරමින් සුදු කෙළිති.

කොවිඩ් වසංගතයට ගොදුරු වූ  අන් සියලු රටවල් මෙම තත්වයට පිළියම් යොදමින් සිටිති.

රනිල් රාජපක්ෂ පාලනය, ආර්ථික අර්බුදය විසින් ඇති කරන ලද සමාජීය අර්බුදය තුට්ටුවකට වත් ගණන් ගන්නේ නැත.

පැය හතරකට වරක් සිය දිවි නසා ගැනීමක්

අද මෙරට  සෑම පැය හතරකට වරක් සිය දිවි නසා ගැනීමක් සිදු වන අතර ඉන් බහුතරයක් පිරිමිය. 2022 වසරේදී පිරිමින් 2,833 ක් සහ කාන්තාවන් 574 ක් සියදිවි නසා ගෙන තිබේ.  අද මෙම තත්වය නිසැකවම ඊට වැඩිය.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන්ගේ සිය දිවි නසා ගැනීම් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සිය දිවි නසා ගැනීම් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ.

මූල්‍ය ප්‍රශ්න, සබඳතා ප්‍රශ්න, මත්පැන් පානය, පවුල් ප්‍රශ්න, පහරදීම් සහ විවිධ රෝග සිය දිවි නසා ගැනීමට ප්‍රධාන හේතු වේ. සියදිවි නසා ගැනීම් ප්‍රධාන වශයෙන් වාර්තා වන්නේ වයෝවෘද්ධ පිරිමි, LGBTQI+ ප්‍රජාව, තරුණ-තරුණියන් අතරිනි.

සති දෙක තුනක ඛේදවාචක වාර්තාව

පවතින සමාජීය අර්බූදයේ  තීවරතාවය පෙන්නුම් කරමින් ගෘහාශ්‍රිත සහ පුද්ගලික බලපෑම් හේතුවෙන් අසරණ බවට පත් මව්වරුන් තමන්ගේ හා දරුවන්ගේ ජීවිතය නැති කර ගැනීමට උත්සාහ කිරීම් ගණනාවක්ම පසුගිය සති කිහිපය තුළ වාර්තා විය.

මේ වනාහී  සාගරයෙහි පාවෙන අයිස් කන්දක මතුපිටට පෙනෙන කුඩා ගැටිත්ත පමණි.

දරු දෙදෙනා සමඟ

පෙබරවාරි 26 වෙනිදා 31 හැවිරිදි මවක් තම දරුවන් දෙදෙනා පාලම මත තබා බෙන්තොට පාලමෙන් ගඟ ට පැන්නේය. ඇය බෙන්තොට පාලමෙන් පැන ඇත්තේ වැඩිමල් දරුවාට තමන් මිය ගිය හොත් බාල දරුවා සමඟ පනින ලෙස පවසමිනි. බෝට්ටුකරුවෙකු විසින් බේරා ගන්නා ලදුව ඇය බලපිටිය රෝහලට ඇතුළත් කර කරන ලදී.

පසුගිය මාර්තු 04 වැනිදා 20 හැවිරිදි මවක් තම සැමියා සමඟ ඇති කර ගත් ආරවුලක් මත උඩප්පුව ප්‍රදේශයේදී අවුරුදු එකහමාරක් වයසැති තම දරුවා ඉස්සන් ටැංකියකට දැමීය. දරුවා බේරා ගත් අතර මව අත්අඩංගුවට ගෙන අධිකරණයට හරහා මාර්තු 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

බෙහෙත් නැති නිසා ලිදට 

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි තවත් මවක් පසුගිය මාර්තු 6 වැනිදා තම ආබාධ සහිත දරුවන් දෙදෙනකු සමඟ ළිඳකට පැන්නේය. ඒ පිරිමි දරුවන් දෙදෙනාගේ ප්‍රතිකාර වියදම් මෙන්ම ජීවන වියදම් ද දරා ගැනීමට නොහැකි බව පවසමිනි. 21 හැවිරිදි දරුවා මියගිය අතර, ඇය සහ ශ්‍රවණාබාධිත 9 හැවිරිදි පුත්‍රයා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කරන ලදී.

මුලු පවුලක්ම වන්දි ගෙවීම

මාර්තු 7 වැනිදා උදෑසන වවුනියාව ගුඩ්ෂෙඩ් පාරේ නිවසක තිබී දෙමාපියන්ගේ සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනාගේ මළ සිරුරු සොයා ගන්නා ලදී. පියා අන්තර්ජාලය ඔස්සේ වීසා ලබා ගැනීම සඳහා සම්බන්ධීකරණ සේවා සපයමින් සිට ඇති අතර මව ගුරුවරියක ලෙස කටයුතු කරමින් සිටිය දී ණය වී ඇත. ණය ගෙවීමට නොහැකි වීම හේතුවෙන් පියා සිය පවුල ඝාතනය කර සිය දිවි හානි කර ගෙන ඇති  විශ්වාස කෙරේ.

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සභාපතිනී සුරංජනී වික්‍රමරත්න පවසන්නේ  පසුගිය වසරේ සිට ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින අතර බොහෝ පුද්ගලයින් පීඩාවට පත්ව ඇති අතර ඔවුන් ණය වී හෝ ඔවුන්ගේ මූල්‍ය කළමනාකරණය කළ නොහැකි බැවින් සහන ඉල්ලා කරන ඇමතුම් විශාල ලෙස වැඩි වී ඇති බවයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය සිරි හෙට්ටිගේ පවසන්නේ මෙම සිදුවීම් “පෙර නොවූ විරූ අර්බුදයේ” එක් ප්‍රකාශනයක් පමණක් බවය.

මදුරු නාශක නැතිව ‍කවදාටත් වඩා පැතිරෙන  ඩෙංගු

ගෙවී ගිය වසර පහ තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මෙම වසරේදී ය. රසායනික ද්‍රව්‍ය හිඟය ද ඊට හේතුවකි. “මිනිස්සු කියන්නේ මදුරුවන් බෝවෙන තැන් එළි කරනවාට වඩා සල්ලි ගැන කරදර වෙන්න තියෙනවා” කියා යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධානී උපුල් රෝහණ  පවසා තිබේ. රසායනාගාර පරීක්ෂණ ප්‍රමාද වන අතර රෝගීන්ගේ තොරතුරු රෝහල්වලින් නිකුත් කිරීම ද ප්‍රමාද වන අතර  රෝගය ඉක්මණින් පැතිර යාමට එය හේතුවක් බවට පත්ව තිබේ.

රටපුරාම රෝහල් මුහුණ දෙන ඖෂධ සහ ශල්‍ය උපකරණ හිගය විසඳීමට මුදල් නැතැයි කරන රනිල් රාජපක්ෂගේ සුන්දර ලේකම් සාගල රත්නායක මසකට ලක්ෂ හතරකට ආසන්න වැටුපක් ගනී.

සුන්දර ලේකම්ට මසකට ලක්ෂ හතරක්

රනිල් රාජපක්ෂගේ දුසිම් දෙකක් පමණ වන ගජ මිතුරු සහ කටුකන උපදේශකයින් සඳහා මසකට මිලියන ගනන් වැය කෙරේ.

මේ සියල්ල සිදු වන්නේ අධිකරණය විසින් කප්පම්කරුවකු ලෙසත් මිනීමරුවකු ලෙසත් තීරණය කරන ලද  පුද්ගලයින් ආණ්ඩු කරන රටක ය.

බටලන්දේ ඝාතකයා

එහි ඉහළින්ම සිටින්නේ පැහැර ගත් තරුණ තරුණියන්ට දස වධ දී ඝාතනය කළ බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් නඩු පැවරිය යුතු බවට විනිසුරුවරයන් තිදෙනෙකු විසින් නිර්දේශ කරන ලද  රනිල් රාජපක්ෂ ය.

(මෙහි සඳහන් සියලු කරුණූ වාර්තා ගත ඒවාය)

Archive

Latest news

Related news