Saturday, October 12, 2024

“අනාගතය අදුරුයි; රුපියල් 390ට ඉහළ යෑම සත්‍ය වනු නිසැකය” – මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන

ආර්ථිකය බංකොළොත් වූ රටේ රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙමින් පැවැති අතරතුර හිටි හැටියේ අධි ප්‍රමාණය වී හදිසියේම යළිත් අවප්‍රමාණය වෙමින් පවතී. මේ ඒ පිළිබඳව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන සමග කළ සාකච්ඡාවකි. ඒ මහතා ඇමෙරිකාව, එංගලන්තය සහ ප්‍රංශය යන රටවල විශ්වවිද්‍යාල තුනකින් බැංකු හා මූල්‍ය කටයුතු පිළිබඳව ආචාර්ය උපාධි තුනක් ලැබූ බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි. ප්‍රායෝගික ආර්ථික විශ්ලේෂකයකු ලෙසද ප්‍රකට ඒ මහතාගේ හඬයි මේ.

ඩොලරයේ වටිනාකම අඩු වී රුපියලේ වටිනාකම ඉහළ ගියේ කෘත්‍රිම ලෙස එය පාලනය කිරීමට තැත් කිරීම නිසාය. ආණ්ඩුවට වුවමනා වී තිබුණේ තම ප්‍රතිපත්ති සාර්ථක බව පෙන්වා රුපියලේ වටිනාකම ද ක්‍රමයෙන් ඉහළ යන බව ලෝකයට ප්‍රදර්ශනය කිරීමටය.

මූලික ආර්ථික සිද්ධාන්තවලට අනුකූල නොවුණත් රුපියලේ වටිනාකම ඉහළ නැංවීමට ආණ්ඩුව කටයුතු කළේ කෘත්‍රිම ලෙසය. එය අවාසිදායක බව මහ බැංකුවට තේරුණේ පසුවය.

භාණ්ඩ ආනයනය කරන පුද්ගලයන්ටත් පිටරටවලින් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා ලබාගන්නා පුද්ගලයන්ටත් වාසි වුණත් රටට ඩොලර් ගෙනෙන අපනයනකරුවන්ට පිටරටවල සේවය කරන ලාංකික ශ්‍රමිකයන්ට ලංකාවට පැමිණෙන සංචාරකයන්ට එය අවාසිය. එවිට අපට ඩොලර් ලැබෙන මාර්ග අවහිර වෙයි. ඒ බව තේරුම්ගත් පසුව මහ බැංකුව කළේ වෙළෙඳ පොළට මැදිහත් වී වෙළෙඳ පොළට වැඩිපුර නිකුත් කර තිබූ ඩොලර් ප්‍රමාණය මිලදී ගැනීමය. එමගින් රුපියලේ වටිනාකම ඉහළයාම වළක්වා රුපියලේ වටිනාකම යළිත් පහත වැටීමට සැලැස් වූයේ මහ බැංකුවය.

මහ බැංකුව මුලදී ප්‍රකාශ කළේ වෙළෙඳ පොළේ අවශ්‍ය තරම් විදේශ විනිමය තිබෙන නිසා ඩොලරයේ වටිනාකම අඩුවන බවය. ඒ කියමනෙහි යම් සත්‍යතාවයක් තිබේ. හේතුව අපේ විදේශ විනිමය වෙළෙඳ පොළ ඉතාමත් කුඩාය. අපේ වෙළෙඳ පොළේ දිනකට ගනුදෙනු වන්නේ අමෙරිකන් ඩොලර් මිලියන 20 ක් තරම් අඩු ප්‍රමාණයකි. ඒ ප්‍රමාණයට වඩා වැඩියෙන් වෙළෙඳ පොළට සැපයුවොත් ඕනෑම භාණ්ඩයක වටිනාකම පහළ වැටෙනවා වගේ ඩොලරයේ වටිනාකමද පහළ වැටෙයි.

එසේ වීමට බලපෑ හේතු කිහිපයකි. ඉන් එකක් මහ බැංකුව ගත් තීන්දුවකි. මෙතෙක් මහ බැංකුව වාණිජ බැංකුවලට නියම කර තිබුණේ ඔවුන් එනම් වාණිජ බැංකු මිලදී ගන්නා ඩොලර් වලින් සියයට 25 ක් මහ බැංකුවට විකිණිය යුතු බවය. මහ බැංකුව එය සියයට 15 දක්වා අඩු කළේ පසුවය. ඒ නිසා බැංකු අතර තවත් සියයට 10 ක් ඉතිරි විය. එය කුඩා වෙළෙඳ පොළක ඇති වූ අතිරික්තයකි. ඒ නිසා ඩොලරයේ වටිනාකම පහළ ගොස් රුපියලේ වටිනාකම ඉහළ යයි.

එමගින් සිදුවූයේ අපට ඩොලර් ලැබුණු ස්ථිර මාර්ග අවහිරවීමය. ඒ බව දැනගත් පසුව මහ බැංකුව වෙළෙඳ පොළට මැදිහත් වී ඩොලර් මිලදීගෙන රුපියලේ වටිනාකම ඉහළයාම වළක්වයි. දැනට ඇමෙරිකන් ඩොලරයක වටිනාකම රුපියල් 315 සිට 325 අතර පවතියි. එහෙත් ෆිච් රේටින්ස් ආයතනයත් ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකුවත් ලංකාවේ ආර්ථිකයේ ශක්තිය ගණන් බලා කියා සිටින්නේ මේ අවුරුද්ද අග වෙද්දී රුපියලේ වටිනාකම පහත වැටී ඇමෙරිකානු ඩොලරයක් මිලදී ගැනීමට රුපියල් 390 ක් පමණ ගෙවීමට සිදුවන බවය. ඒ ආයතනවල පුරෝකථන සත්‍ය වන බව අපේ අත්දැකීමයි.ඔවුන් ඒ පුරෝකථන කරන්නේ ලංකා ආර්ථිකයේ ශක්තිය මතය.

රටක ව්‍යවහාර මුදල් ශක්තිමත් වන්නේ ඒ රටේ ආර්ථිකය ශක්තිමත්වීම, ඒ රට ඩොලර් ලැබෙන ස්ථාවර මාර්ගයකට අවතීර්ණ වීම, ඒ රටෙන් පිටට යන ඩොලර් ප්‍රමාණය අඩුවීම යන හේතු මතය. එහෙත් ඒ හේතු හා කරුණු තුනෙන් එකක්වත් ලංකාව සතුව දැනටත් නොපවතියි. ලංකාවේ ආර්ථික වර්ධනය ඍණය. 2022 දී සියයට 9 කින් ආර්ථිකය හැකිළිණි. 2023 දී සියයට 5 කින් සංකෝචනය වන බවට ඇස්තමේන්තු කර තිබේ.

2024 හා 2025 දී ආර්ථිකය වර්ධනය වන බව මහ බැංකුව කිව්වාට ස්වාධීන විශ්ලේෂකයන් කියන්නේ ලංකාවේ ආර්ථිකය නැවත වරක් සංකෝචනය වන බවය. ආර්ථිකය එසේ හැකිළෙන රටක ශක්තිමත් විනිමය අනුපාතිකයක් පැවතිය නොහැකිය. දෙවැනි කාරණය තවමත් රට ඇතුළට එන ඩොලර් ප්‍රමාණයට වඩා රටින් පිටව යන ඩොලර් ප්‍රමාණය වැඩිය. ඒ නිසා විදේශ විනිමය අපට තවමත් ප්‍රශ්නයකි. ඒ කරුණු මත ඉහත කී ආයතනවල පුරෝකථන සත්‍යය වීමට තිබෙන ඉඩ කඩ ඉහළය.

ඒ ආයතන මීට පෙර කළ පුරෝකතනද නිවැරැදි විය. ලංකා ආණ්ඩුව තම ණය ගෙවීම පැහැර හරින බවට ඔවුහු පුරෝකථනය කළහ. 2022 අප්‍රේල් මාසයේදී ඒ පුරෝකථනය සත්‍යය විය. එසේම ලංකාවට ලැබෙන විදේශ විනිමය පහළ වැටෙන බවට කළ පුරෝකථනයද සත්‍යය විය. ඒ ජාත්‍යන්තර ආයතන කරන පුරෝකථන බොහෝ දුරට සත්‍යය වෙයි. ඔවුන් කරන්නේ කාගේවත් බලපෑමකින් තොරව ස්වාධීන පුරෝකථනය. ඒ නිසා මේ 2023 අවුරුද්ද අග වනවිට ඇමරිකන් ඩොලරයක වටිනාකම රුපියල් 390ක් දක්වා ඉහළ යන බවට ඔවුන් කරන පුරෝකථනයද සත්‍ය වනු නිසැකය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ පුරෝකථන අසත්‍ය වී ස්වාධීන ආර්ථික විශ්ලේෂකයන්ගේ පුරෝකථන සත්‍ය වන්නේ ඇයිදැයි ප්‍රශ්නයකි. මහ බැංකුවක් නිතරම උත්සාහ කරන්නේ තත්ත්වය ඉතා ඉක්මනින් යහපත් වෙනවා කියන්නටය. කොරෝනා වසංගතයට රට ගොදුරු වනවිට රටේ ඇතිවූයේ විශාල ආර්ථික ප්‍රපාතයකි. ඒ අවස්ථාවේදී මහ බැංකුව ප්‍රකාශ කළේ ඉතාමත් ක්ෂණිකව ආර්ථිකය යළිත් යථා තත්ත්වයට පත්වන බවය. මහ බැංකුව කියා සිටියේ ඉංග්‍රීසි V අකුරක හැඩයෙන් ආර්ථිකය යළි නැගිටින බවය. එහෙත් ස්වාධීන අර්ථ ශාස්ත්‍රඥයන් ප්‍රකාශ කළේ ආර්ථිකය යළි නැගිටින්නේ ඉංග්‍රීසි W අකුරක හැඩයෙන් හෝ ඉතා පළල් U අකුරක ස්වරූපයෙන් බවය. ඇත්තටම සත්‍යය වූයේ ස්වාධීන අර්ථ ශාස්ත්‍රඥයන් කියන දේවල්ය. කොරෝනා වසංගතයට රට ගොදුරුවූයේ 2020 මාර්තු මාසයේදීය. දැන් අප සිටින්නේ 2023 මාර්තු මාසයේය.

අවුරුදු තුනක් ගත වෙලත් 2019 පැවැති තත්ත්වයට ගොඩ නැගෙන්නට ආර්ථිකයට නොහැකිවී තිබේ. ඉන් අනාවරණය වන්නේ ස්වාධීන විශ්ලේෂණ සත්‍යය වී මහ බැංකු විශ්ලේෂණ සහ පුරෝකථන සත්‍ය නොවන බවය. එය එසේ වන්නේ රටේ ජනතාව අතර විශ්වාසය ජනිත කිරීම සඳහා මහ බැංකුව නිතර උත්සාහ කරන නිසාය. ඒ සම්බන්ධයෙන් මහ බැංකුවට දොස් කිව නොහැකිය. සත්‍යය කුමක්දැයි කිරා මැන බලා අවබෝධ කරගැනීම ජනතාවගේ වගකීමකි.

මහ බැංකුව නිතරම කටයුතු කරන්නේ රටේ පවතින ආණ්ඩුවට අනර්ථයක් නොවන අයුරිනි. බොහෝවිට රජයට පක්ෂපාතීව කරුණු ඉදිරිපත් කෙරෙන්නේ එබැවිනි. දැනටත් එසේ වෙනවා විය හැකිය. මහ බැංකුව ස්වාධීන කිරීම සඳහා දැන් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙන්නේ එහෙයිනි.

පවතින ආණ්ඩුවේ හොරණෑවක් වීමෙන් වැළකී ස්වාධීනව තමන්ගේ පුරෝකථන හා විශ්ලේෂණ කිරීමට නම් මහ බැංකුව ස්වාධීන ආයතනයක් විය යුතුමය. එහෙත් යෝජිත පනත් කෙටුම්පත සකසා තිබෙන ආකාරයෙන්ම සම්මත වුවහොත් මහ බැංකුව ස්වාධීන නොවෙයි. ඒ කෙටුම්පත එලෙසම සම්මත වුණොත් මහ බැංකුවට දැනට තිබෙන සාපේක්ෂ ස්වාධීනතාවයක් නැති වී එය මුදල් අමාත්‍යවරයාගේ රූකඩයක් බවට පත්වෙයි.

වාණිජ බැංකු මිලදී ගන්නා විදේශ විනිමයෙන් සියයට 25 ක් මහ බැංකුවට විකිණිය යුතු බවට මහ බැංකුව ගෙන තිබූ තීරණය වෙනස් නොකර පවත්වාගෙන ගියා නම් ඩොලරයේ වටිනාකම පහළ නොයයි. ඒ සියයට 25 සීමාව සියයට 15 දක්වා අඩු කිරීමට තරම් සාධාරණ හේතුවක් මහ බැංකුවට නොතිබිණි. රටේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය තවමත් තිබෙන්නේ ඉතාමත් අඩු මට්ටමකය. ඛනිජ තෙල්, ඖෂධ, ගල් අඟුරු, එල්.පී. ගෑස් යනාදිය මිලදී ගැනීමට මහ බැංකුව දැනටත් රජයට විදේශ විනිමය සැපයිය යුතුය.

“මහ බැංකුවේ සංචිත ඩොලර් බිලියන තුනක් දක්වා ඉහළ නැග ඇතැයි කියන කතාව අසත්‍යයකි. ඇත්තටම තිබෙන්නේ බිලියන 2.2ක් තරම් ප්‍රමාණයකි. ඉන් බිලියන 1.5ක්ම මුදල් හුවමාරු ක්‍රමය යටතේ චීනයෙන් ලැබුණු යුවාන් බිලියන 10කි.”

ඊට අමතරව රජයේ ණය ආපසු ගෙවීමටත් විදේශ විනිමය සැපයිය යුතුය. එසේ සැපයීමට තරම් විදේශ විනිමය මහ බැංකුව සතුව නොපවතියි. ඒ නිසා ඉහත කී සියයට 25 සිට සියයට 15 දක්වා අඩු කිරීමේ තීන්දුව සාධාරණය කළ හැකි කිසිම හේතුවක් මේ ආර්ථිකයෙහි නොපවතියි. ඩොලරයේ වටිනාකම අඩු වී රුපියලේ වටිනාකම ඉහළයාම කෘත්‍රිම දෙයක් ලෙස හඳුන්වන්නේ එහෙයිනි.

මහ බැංකුවේ සංචිත ඩොලර් බිලියන තුනක් දක්වා ඉහළ නැග ඇතැයි කියන කතාව අසත්‍යයකි. ඇත්තටම තිබෙන්නේ බිලියන 2.2ක් තරම් ප්‍රමාණයකි. ඉන් බිලියන 1.5ක්ම මුදල් හුවමාරු ක්‍රමය යටතේ චීනයෙන් ලැබුණු යුවාන් බිලියන 10කි. ඒ යුවාන් පාවිච්චි කළ හැක්කේ චීනයෙන් බඩු මිලදී ගැනීමට පමණකි. අනෙක් අතට ඒ යුවාන් පාවිච්චි කළ හැක්කේ ලංකා​ෙව් විදේශ සංචිත ප්‍රමාණය මාස තුනක ආනයන සඳහා ප්‍රමාණවත් වූ පසුවය. එය චීන කොන්දේසියකි. ඒ නිසා ඒ යුවාන් සංචිතවලට එකතු කිරීම නුසුදුසුය. එහෙත් මහ බැංකුව කියන බිලියන 2.2 ට ඒ යුවාන් ද එකතු කර තිබේ.

ඒ චීන යුවාන් බිලියන 10 අඩු කළ විට මහ බැංකුව සතුව තිබෙන සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 700ක් වෙයි. ඒ මිලියන 700 ඇතුළෙහිද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචිත තිබේ. ඒවා අපට පාවිච්චි කළ නොහැකිය. එසේම රත්තරන් සංචිත ද පාවිච්චි කළ නොහැකිය. ඒ අනුව අපට පාවිච්චි කළ හැකි සැබෑ සංචිත ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 500ක් පමණ වෙයි. චීනයෙන් ලැබුණු යුවාන් බිලියන 10 සංචිතවලට ඇතුළත් කිරීම රටේ ජනතාව නොමඟ යැවීමකි. එහෙයින් ඒ වරද නිවැරැදි කළ යුතුය.

“සියල්ලෙන් පෙනී යන්නේ අනාගතය ඉතා අඳුරුසහගත බවය. නැවතත් තෙල් පෝලිම්, ගෑස් පෝලිම් ඇතිවීමේ සම්භාවිතාව ඉහළය.”

දැන් ලංකාව තමන් ගත් විදේශ ණය වාරික හෝ පොලිය නොගෙවයි. ණය වාරික හා පොලිය ගෙවීම යළි ආරම්භ කළ දාක ලංකාව යළික් අමාරුවේ වැටෙයි. දැඩි සීමා කිරීම්වලට යන්නට යළිත් සිදුවෙයි. සලාක ක්‍රමය යටතේ ඉන්ධන සැපයීමට සිදුවෙයි. රටින් භාණ්ඩ ආනයනය කිරීම තවත් සීමා කිරීමට සිදුවෙයි. සලාක හා පාලන ක්‍රම යළි පනවන්නට සිදුවෙයි. සියල්ලෙන් පෙනී යන්නේ අනාගතය ඉතා අඳුරුසහගත බවය. නැවතත් තෙල් පෝලිම්, ගෑස් පෝලිම් ඇතිවීමේ සම්භාවිතාව ඉහළය.

එළැඹෙන මාර්තු 20 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ලංකාවට සහන සලසන සැලැස්මට අනුමැතිය ලැබුණොත් අපටත් රටටත් සුළු සහනයක් සැලසෙයි. එහෙයින් ඒ අනුමැතිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. එහෙත් එපමණකින් රටේ ආර්ථික ප්‍රශ්නවලට පිළියම් නොලැබෙන බව ආණ්ඩු කරන, කරවන කවුරු කවුරුත් අවබෝධ කරගත යුතුය. ආර්ථිකය යළි ශක්තිමත් කළ හැක්කේ නිෂ්පාදන යාන්ත්‍රණවලට ඔක්සිජන් සැපයීමෙනි. එහෙත් ඒ සඳහා වූ වැඩපිළිවෙළක් ආණ්ඩුව පැත්තෙන් තවමත් ඉදිරිපත් වී නැත.”

ලංකාදීප පුවත්පතට ගුණසංහ හේරත් සකස් කළ ලිපියකි.

Archive

Latest news

Related news