Monday, October 2, 2023

රාජපක්ෂ දේශපාලනය විසින් ICCPR පනත මර්දන මෙවළමක් කර ගත් හැටි: ශක්තිකගේ සිට සේපාල දක්වා

ඡායාරූපය: කැලරන්ස් විජේවර්ධන

“අපි රාග වයනවා, අපි බයිලා නටනවා..
හිතුණොත් පෝයදාට සිලුත් ගන්නවා..
දනුත් බෙදනවා, මස් මාළුත් කනවා..
බණත් අහනවා, හිතුණොත් බොරුත් කියනවා…”

මේ සිංහල රසිකයන්ට පොප් සංගීතය හඳුන්වාදුන්, අපේ කණ්ඩායම් සංගීතයේ ප්‍රාරම්භකයා වූ ක්ලැරන්ස් විජේවර්ධනගේ අපූරු ගීතයකි. ඔහු ගායනා කළ ගීත සිය ගණන අතරින් සමාජ යථාර්ථයන් සියුම්ව ස්පර්ශ කළ මේ ගීතයේ පද රචකයා භද්‍රජී මහින්ද ජයතිලක ය. එදා ICCPR පනත ක්‍රියාත්මක වූයේ නම් ක්ලැරන්ස් විජේවර්ධන මෙන්ම භද්‍රජී මහින්ද ජයතිලක ද තවමත් ඇප නොමැතිව රිමාන්ඩ් බන්ධනාගාරයේ ය! බෞද්ධ අයතුල්ලලාගේ පැමිණිල්ලකට පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන සිරගත කරනවා නියතය. ඔවුන් බන්ධනාගාර කල්දේරම් බත් නොකෑවේ එදා ICCPR පනත නම් නීතිය ලංකාවේ දුෂ්ඨ ලෙස අවභාවිතා නොවූ බැවිනි.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යනු කුමක් ද ?

ICCPR හෙවත් International Covenant on Civil and Political Rights යනු කුමක් ද? සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යනු ජීවත්වීමේ අයිතිය, ආගමික නිදහස, භාෂණයේ නිදහස, රැස්වීමේ නිදහස, මැතිවරණ අයිතිවාසිකම් සහ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය ඇතුළු පුද්ගලයන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්වලට ගරු කිරීමට ජාතීන් බැඳී සිටින බහුපාර්ශ්වික ගිවිසුමකි. එය 1966 දෙසැම්බර් 16 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනා අංක 2200A (XXI) විසින් සම්මත කරන ලදී. එය වසර 1976 මාර්තු 23 දින සිට බලාත්මක විය. වසර 2022 ජූනි මස වන විට ජාතික රාජ්‍ය 173ක් මේ ගිවිසුමට එක්ව ඇත. එසේ එක් වූ රාජ්‍යයන් අතරින් චීනය, උතුරු කොරියාව සහ කියුබාව මේ ගිවිසුම සියරටවල ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

වසර විසිහතක් බලාත්මක නොකළ සම්මුතිය

මේ සම්මුතියේ සැබෑ අරමුණ වන්නේ පුරවැසියන්ගේ භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහස ඇතුළු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පුළුල් කිරීම සහ ඒවා ආරක්ෂා කිරීමය. ශ්‍රී ලංකාව වසර 1980 ජුනි 11 වැනි දින සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (lCCPR) ට අත්සන් කළේ ය. එහෙත් අප එය රට තුළ බලාත්මක කරන්නේ වසර 27 කට පසුවය. ඒ වසර 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති (ICCPR) පනත ලෙසයි. පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට හඳුන්වාදුන් මේ පනත මේ වන විට පුරවැසියන් දඩයම් කරන බියකරු, දුෂ්ඨ පනතක් බවට පත්වී ඇත්තේ කෙසේ ද?

ආණ්ඩුව lCCPR පනත අවභාවිතා කරන අන්දම

මේ පනත මර්දනීය සහ දුෂ්ඨ ස්වභාවයට පත්ව ඇත්තේ රාජ්‍ය විසින් එය අවභාවිතා කිරීම හේතුවෙනි. වසර 2007 දරන ICCPR පනතේ 3 (1) වගන්තිය මෙලෙස අවභාවිතා කරයි. එම වගන්තියට අනුව කිසිම තැනැත්තකු යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියා වලට යොමු කිරීම සංයුක්ත වන, ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම් නොකළ යුතු බව දක්වයි. මේ වගන්තිය ලියවී ඇති ආකාරය ප්‍රශස්තය. එහෙත් ආගමික සංස්ථාවක්, ජාතියක් හෝ ජනවාර්ගයක් සම්බන්ධයෙන් සිය නිදහස් අදහස් ප්‍රකාශ කරන පුරවැසියන් මේ 3 (1) වගන්තියට මුවාවී අත්අඩංගුවට, දීර්ඝ කාලයක් රඳවා තබා ගෙන ඔවුන්ගේ මානව හිමිකම් අමුඅමුවේ උල්ලංඝනය කරයි. මෙය පැහැදිලිව lCCPR පනත අවභාවිතා කිරීමකි.

ශක්තික සත්කුමාර දංගෙඩියට ගෙන ගිය චීවරධාරියෝ

වසර 2007 දරන ICCPR පනතේ 3 (1) වගන්තිය මෙලෙස අවභාවිතා කරමින් පළමුවරට අත්අඩංගුවට ගනු ලැබූවේ ශක්තික සත්කුමාර නම් තරුණ ආධුනික කෙටිකතාකරුවෙකි. ඔහු විසින් රචනා කර සිය ෆේස්බුක් පිටුවෙහි වසර 2019 පෙබරවාරියේ පළ කරන ලද ‘අර්ධ‘ නම් කෙටිකතාවක් මගින් බෞද්ධාගමට හා භික්ෂූන්ට අපහාසයක් සිදු වන බවට චීවරධාරීන් පිරිසක් පොල්ගහවෙල පොලිසියට කළ පැමිණිල්ලක් මත වසර 2019 අප්‍රේල් 1 වන දා ඔහුව අත්අඩංගුවට ගැනිණි. මේ චීවරධාරීන් පිරිස එයට පෙර ශක්තික සත්කුමාර සේවය කළ රජයේ ආයතනයට බලහත්කාරයෙන් කඩාවැදී ඔහුට තර්ජනය කළහ. ඔහුව රජයේ රැකියාවෙන් ඉවත් කරන ලෙසට එම ආයතන ප්‍රධානියාට බලපෑම් කළහ. “බෞද්ධ තොරතුරු කේන්ද්‍රය” නමින් චීවරධාරීන් පිරිසක් විසින් පොල්ගහවෙල පවත්වාගෙන යන ආයතනයක් ද ‘අර්ධ‘ කෙටිකතාව සම්බන්ධයෙන් පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපතිට නීතිය කියාදුන් බෞද්ධ අයතුල්ලාවරු

පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපති ශක්තික සත්කුමාරට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ අංක 291බී වගන්තිය යටතේ චෝදනා ගොනු කිරීමට සූදානම් විය. ඒ අවස්ථාවේ අදාළ චීවරධාරීහු එම තීරණයට විරෝධය පලකරමින් ශක්තික සත්කුමාරට එරෙහිව ICCPR පනතේ (3) (1) අනුව චෝදනා ගොනුකළ යුතු බවට පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපතිට තර්ජනය කළහ. නීති උපදෙස් දුන්හ. මේ බෞද්ධ තලෙයිබාන් චීවරධාරීන් ඉදිරියේ බියෙන් තැතිගත් බියගුළු පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපතිවරයා ඔවුන්ගේ ඉල්ලීම අනුව ශක්තික සත්කුමාරට එරෙහිව ICCPR පනතේ (3) (1) අනුව “ආගමික වෛරය සඳහා පෙළඹවීම” චෝදනා ගොනු කළේ ය.

දණ්ඩ නීති සංග්‍රහයේ අංක 291බී වගන්තිය යටතේ ඇප ලබා ගැනීම අහිමි කිරීම 

චීවරධාරීන් ශක්තික සත්කුමාරට එරෙහිව ICCPR පනතේ (3) (1) අනුව චෝදනා ගොනු කරන ලෙසට තර්ජනය කළේ මන්ද? ඔවුන්ට අවශ්‍යව තිබුණේ ශක්තික ගෙන් පලිගැනීමටය. මේ පනත යටතේ චෝදනා ගොනු කළ විට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා ගැනීමට නොහැකි ය. ඒ සඳහා මහාධිකරණයට යා යුතුය. අධිකරණ පද්ධතියේ පවතින ප්‍රමාදයන් හේතුවෙන් ඒ සඳහා මාස ගණනාවක් බලා සිටීමට සිදු වන අතර ඒ කාලය රිමාන්ඩ් බන්ධනාගාරයේ ගෙවා දැමීමට සිදුවෙයි. දණ්ඩ නීති සංග්‍රහයේ අංක 291බී වගන්තිය යටතේ “ආගමික හැගීම් ඇවිස්සීමට හා ආගමික හැගීම්වලට නින්දා කිරීමට ද්වේශ සහගතව කටයුුතු කිරීමේ” චෝදනා ගොනු කළේ නම් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප අයැදුම් කළ හැකිය.

නිදසුනක් ලෙස වසර 2000 දී මංජුල වෙඩිවර්ධන රචනා කළ “මේරි නම් වූ මරියා” කෘතියට එරෙහිව චෝදනා ගොනු කළේ දණ්ඩ නීති සංග්‍රහයේ අංක 291බී වගන්තිය යටතේ බැවින් ඔහුට නඩුව කැඳවූ පළමු දිනයේදී ම ඇප හිමි විය (ඒ වන විට lCCPR පනතක් මෙරට ක්‍රියාත්මක නොවීය).

ඇප අයදුම්පත වෙනුවෙන් දින 126ක් රක්ෂිත බන්ධනාගාරයේ

ශක්තික සත්කුමාරව අත්අඩංගුවට ගනු ලබන්නේ වසර 2019 අප්‍රේල් 1 වනදා ය. එහෙත් ඔහුට ඇප ලබා ගත හැකි වූයේ වසර 2019 අගෝස්තු 5 වන දා කුරුණෑගල මහාධිකරණට ඉදිරිපත් කෙරුණු ඇප අයදුම්පතක් මගිනි. ඒ අනුව ඔහු නිරපරාදේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි කාලය දින 126 කි. එනම් මාස හතරකට අධික කාලයකි. මේ කාලයේ දී ඔහු මෙන්ම කුඩා දරුවන් දෙදෙනෙකු සමඟ ඔහුගේ බිරිඳ ඉතා දුෂ්කර තත්ත්වයකට පත්වූහ. ඔහුට රැකියාවේ නිරතවීමට අවස්ථාව නොලැබිණි.

බෞද්ධ අයතුල්ලාලාට යටවුණු නීතිය

ශක්තික සත්කුමාර සිය “අර්ධ” කෙටි කතාව සිය ෆේස් බුක් පිටුවේ පළ කරන්නේ 2019 පෙබරවාරි මසයේ ය. එහෙත් ඔහුව අත්අඩංගුවට ගනු ලබන්නේ 2019 අප්‍රේල් මස 1 වන දිනය. ඔහුගේ කෙටි කථාව මාස දෙකකට අධික කාලයක් ෆේස් බුක් පිටුවේ පැවැති අතර යම් පිරිසක් එය කියවූහ. එහෙත් ඒ කාලය තුළ එම කෙටි කතාව මගින් බෞද්ධාගමට හා භික්ෂූන්ට අපහාසයක් සිදු වන බවට කිසිවෙක් චෝදා නොකළහ. lCCPR පනතේ (3) (1) වගන්තිය අනුව “ආගමික වෛරය සඳහා පෙළඹවීමක්” එම කෙටිකථාව මගින් සිදුනොවුණි. අවම වශයෙන් කිසියම් හෝ ආගමික ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ නොසන්සුන්තාවයක් ඇති නොවුණි. මේ කෙටිකථාව කථාබහට ලක්වූයේ මෙය සිය බලය ප්‍රදර්ශන කිරීමේ මාර්ගයක් බවට පත් කර ගත් බෞද්ධ තලෙයිබාන් චීවරධාරීන් පිරිසක් නිසාය.

වසර දෙකකට පසු ශක්තික නිදොස් කොට නිදහස්

ශක්තික සත්කුමාරට එරෙහි නඩුව නීතිපති උපදෙස් නොමැති වීම දිගින් දිගටම ප්‍රමාද වූ අතර ඔහුව අත්අඩංගුවට ගෙන වසර දෙකකට පසුව නීතිපති උපදෙස් ලැබී තිබුණේ අදාළ නඩුව පවත්වාගෙන යාමට නඩු නිමිත්තක් නොමැති බවයි. ඒ අනුව ශක්තික සත්කුමාරව නිදොස් කොට නිදහස් කිරීමට පොල්ගහවෙල මහේස්ත්‍රාත්වරිය තීරණය කළාය.

මේ නඩුව ICCPR පනත නින්දා සහගත ලෙස අවභාවිතා කිරිමකි. ආගමික අපහාසය පිළිබඳ චෝදනාවන්ට එරෙහිව ක්‍රියා කිරීමට දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රමාණවත් ප්‍රතිපාදන තිබියදී පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපති ශක්තිකට එරෙහිව ICCPR පනත යටතේ චෝදනා ගොනු කළේ චීවරධාරීන් පිරිසකගේ තර්ජනය හමුවේය. මේ නඩුව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ අවධානයට යොමුවූ අතර හිටපු මානව හිමිකම් කොමසාරිස්වරිය වන මිචෙල් බැචිලේ සිය වාර්ෂික වාර්තාවක මේ නඩුව lCCPR පනත පැහැදිලිව අවභාවිතා කිරිමක් බවට අවධාරනය කළාය.

lCCPR පනත භාවිතා කර පුරවැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම

lCCPR පනත භාවිතා කළ යුත්තේ එහි පූර්විකාවේ පවසන පරිදිම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මේ දක්වා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ලෙස සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සීමා උල්ලංඝනය නොවන පරිදි ය. එහෙත් ශක්තිකට එරෙහි නඩුවේ දී සිදුවූයේ ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමය. නීතිපතිවරයාට මේ නඩුව ඉදිරියට ගෙන යෑමට නිමිත්තක් නොමැති බව අධිකරණයට දැන්වීමට වසර දෙකක් ගිය අතර ඔහුට ඇප ලබා ගැනීමට මාස හතරකට වඩා රක්ෂිත බන්ධනාගාරයේ දුක්විදීමට සිදු විය. මේ කාලසීමාවේ ඔහුට සිය රැකියාව කිරීමට නොහැකිවීම හේතුවෙන් විශාල ආර්ථික හානියකට මුහුණදීමට සිදුවිය. එයට අමතරව ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මුහුණු දීමට සිදුවූ මානසික, ශාරීරික පීඩාවට වන්දි ගෙවන්නේ කවුද? අදටත් මේ නඩු පැවරීම පිළිබඳ වගකීම භාර ගැනීමට කිසිවෙකු නැත.

දෙවන ප්‍රසිද්ධ ගොදුර රම්සි රසීක්

ශ්‍රී ලංකාවේ මුස්ලිම් මූලධර්ම වාදය සහ ජාතිවාදය විවේචනය කිරීමේ ඉතිහාසයක් ඇති රම්සි රසීක් ද lCCPR පනත අවභාවිතා කරමින් අත්අඩංගුවට ගත්තේ ය. ඔහු ෆේස්බුක් ක්‍රියාකාරිකයෙකු වශයෙන් ප්‍රකටය. විශ්‍රාමික රජයේ නිලධාරියකු වන රම්සි 2020 අප්‍රේල් 9 දා රහස් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුනේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව පීඩාවට පත් කරන සකලාකාරයේ ජාතිවාදය පිටු දැකීමට “මතවාදී ජිහාඩයක් (අරගලයක්)” කළ යුතු බවට ඔහු විසින් අප්‍රේල් මස පල කරන ලද ෆේස් බුක් සටහනක් මතය.

මහේස්ත්‍රාත් නියෝග ද බල්ලට දැමූ හැටි

රම්සි රසික් ට ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමට දින 161 එනම් මාස පහට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටීමට සිදු විය. බන්ධනාගාරයේ සිටි කාලයේ දී ඔහු බරපතල ලෙස රෝගී වූ අතර පාදයක ඇඟිල්ලක් ද කපා දමන්නට සිදු විය. රෝගී තත්ත්වයෙන් සිටි රම්සිට අවශ්‍ය වෙෙද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ ද බලධාරීන් ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වා නොමැති බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති ආචාර්ය දීපිකා උඩුගම චෝදනා කළා ය. ICCPR පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම පිළිබඳව ජාත්‍යන්තර විරෝධයක් ද මතු විය. හිටපු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වන මිචෙල් බැචිලේ සිය වාර්ෂික වාර්තාවක රම්සි රසීක්ට එරෙහි නඩුව ද lCCPR පනත පැහැදිලි ලෙස අවභාවිතා කිරිමක් බව පෙන්වා දෙන්නීය.

සේපාල් අමරසිංහව කොටු කිරීම

lCCPR පනත පිළිබඳ නැවත නැවුම් කතිකාවතක් නිර්මාණය වූයේ සේපාල් අමරසිංහ එම පනත යටතේ අත්අඩංගුවට පත්වීමත් සමඟිනි. ඔහු ප්‍රකට යූ ටියුබ් ක්‍රියාකාරිකයෙකි. සේපාල්ගේ ඇතැම් දේශපාලන, සමාජ මතවාදයන් පිළිබඳ අපේ එකඟතාවක් නොමැති වුවද ඔහුට එරෙහිව ද lCCPR පනතේ (3) (1) වගන්තිය යොදා ගත්තේ ඔහුව දේශපාලන වශයෙන් දඩයම් කිරීමට බව පැහැදිලිව කිව හැකිය. සේපාල් පැවසූ වචනයක් අදාළ සන්දර්භයෙන් පිටත අල්ලා ගෙන ඔහුට එරෙහිව චෝදනා එල්ල කළේ ය. එම වචන මගින් ආගමික ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ නොසන්සුන්තාවයක් රට තුළ ඇති නොවුණි. බෞද්ධ ජනතාව අතරින් අති බහුතරය සේපාල්ගේ වචනය පිළිබඳ කිසිදු තැකීමක් නොකළහ.

වසර දහයකට සිරකරන බවට චණ්ඩි කථා

එහෙත් ඔහුගේ යූ ටියුබ් වැඩසටහන් මගින් දැඩි විවේචනයට ලක්ව, ඔහු සමඟ කෝපයෙන් සිටි දේශපාලඥයෝ, මාධ්‍ය හිමිකාරයෝ සහ කුප්‍රකට චීවරධාරීහු මේ අවස්ථාව ප්‍රයෝජනට ගත්හ. සේපාල් අත්අඩංගුවට ගන්නා ලෙසට ඔවුහු බලපෑම් කළහ. ශක්තිකට එරෙහිව පැමිණිලි කළ බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ තලෙයිබාන් චීවරධාරීහු ද සේපාල්ව අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිස්පතිවරයාට ඉල්ලීමක් කළහ. මේ කණ්ඩායම් මහනායක හිමියන් සහ දළදා මාලිගයේ දියවඩනේ නිළමේට ද මේ ප්‍රශ්නයට මැදිහත් වන ලෙසට ඉල්ලීම් කළහ. සේපාල්ට එරෙහිව ද දණ්ඩ නීති සංග්‍රහයේ අංක 291බී වගන්තිය යටතේ චෝදනා ගොනු කළ හැකි වුවද ඒ සඳහා lCCPR පනතේ (3) (1) වගන්තිය යොදා ගත්තේ ඇප ලබා ගැනීම දුෂ්කර කිරීම සඳහා ය. මේ සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තුවේ සහ පිටත අදහස් දැක්වූ දූෂිත දේශපාලඥයෝ සේපාල්ව වසර දහයක් සිරගත කරන බවට පාරම්බෑහ. ජඩ මාධ්‍ය කියා සිටියේ ඩයස්පෝරාව ඔහුට ඩොලර් පොම්ප කරන බවයි. ඔහු පිළිබඳව මාසයකට අධික කාලයක් පරීක්ෂණ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිසිදු නීති විරෝධී ගණුදෙනුවක් සොයා ගැනීමට නොහැකි විය. එම වියරු ප්‍රහාරය පිටුපස තිබුණේ සේපාල්ව නිහඬ කිරීමේ දේශපාලන ක්‍රමන්ත්‍රණයක් බව ඉතා පැහැදිලිය.

සමාජ මාධ්‍යය ක්‍රියාකාරීන් අත්අඩංගුවට

lCCPR පනතේ (3) (1) වගන්තිය අවභාවිතා කරමින් අත්අඩංගුවට ගත් අවස්ථා අතරින් ප්‍රසිද්ධියට පත්වූයේ ශක්තික සත්කුමාර, රම්සි රසීක්, සේපාල් අමරසිංහ ඇතුළු කිහිපයක් පමණි. මේ වගන්තිය භාවිතා කරමින් විශාල පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. එයින් බහුතරය සමාජ මාධ්‍යය භාවිතා කළ පුද්ගලයන්ය. මේ අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ දේශපාලන පලිගැනීම් සහ දඩයම් වශයෙනි. මේ දඩයම මෙහෙයවන්නේ අන්තවාදී බෞද්ධ අයතුල්ලාවරු පිරිසකි. එහි නිළ පෙරමුණ නියෝජනය කරන්නේ ‘බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ’ තලෙයිබාන් චීවරධාරීහු වෙති.

අපට නැති, ඒත් සමන්ත භද්‍ර, දිලිත් ජයවීර, ඩයනා ගමගේලාගේ ICCPR වාසනාව

සේපාල්ට වඩා දළදාවට අපහාස කළ පිටිදූවේ සිරිධම්ම (වර්තමාන සමන්ත භද්‍ර)ට lCCPR පනතේ (3) (1) වගන්තිය යටතේ හෝ දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරුවේ නැත. ගෞතම බුදුරජානන් වහන්සේට අපහාස කළ කුප්‍රකට දිලිත් ජයවීර සහ ඩයනා ගමගේ අදටත් නිරුපද්‍රිතව සිටිති. එහෙත් ශක්තිකට, රම්සිට හෝ සේපාල්ට ඒ “වාසනාව” ලැබුණේ නැත. ඔවුන්ට ඇප අයදුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමට පවා මාස ගණනාවක් රක්ෂිත බන්ධනාගාරයේ සිටීමට සිදුවිය.

මීළඟ ගොදුර ඔබ ද?

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම පවා ශ්‍රී ලංකා ආණ්ඩු lCCPR පනත අවභාවිතා කරන බවට කිහිපවිටක්ම පෙන්වාදුන් අතර එම නඩු පැවරීම් දැඩිව විවේචනය කළේ ය. එබැවින් lCCPR පනත අවභාවිතා කිරීමට නොහැකි ලෙස පනතට සංශෝධන ගෙන එන ලෙසට මෙන්ම මේ පනත අවභාවිතා කිරීම වැළැක්වීමට බලධාරීන්ට බල කළ යුතුය. මේ දඩයම ශක්තික සත්කුමාර, රම්සි රසීක් හෝ සේපාල් අමරසිංහ ගෙන් අවසන් වන්නේ නැත. සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරී, නිදහසේ අදහස් ප්‍රකාශ කරන ඔබ ඔවුන්ගේ මීළඟ ගොදුර විය හැකිය. එබැවින් මේ බෞද්ධ තලෙයිබාන් ත්‍රස්තවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අගය සියළු පුරවැසියන් එක්ව සටන් කළ යුතුය.

-ආනුභාවනන්ද / ලංකාඊනිව්ස්/මාර්තු 2023

Archive

Latest news

Related news