Saturday, April 20, 2024

” ලංකාවේ සාමකාමී විරෝධතාවයන්ට පහර දීම් නීතිය හමුවට ගෙනෙනු; මැතිවරණ නැතිව බැහැ” – ඇමෙරිකාව, බ්‍රිතානයය සහ කැනඩාව කියයි

ඡායාරූපය: සාමකාමී විරෝධතාවයන්ට පොලු මුගුරු, කදුලුගෑස් සහ ජල ප්‍රහාර සඳහා නියෝග දෙන නිලධාරීන් දිනෙක ඊට වගකිව යුතු වනු ඇත.

ශ්‍රී ලංකාව, සාමකාමීව එක් රැස්වීමේ සහ සමාගමයේ  සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කළ යුතු‍ බවත් විරෝධතා හා සම්බන්ධ ඕනෑම ප්‍රචණ්ඩත්වයකට වග වීම තහවුරු කළ යුතු බවත් මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශ කරයි.

ඉන් අදහස් වන්නේ සාමකාමී උද්ඝෝෂණයන්ට එරෙහිව ප්‍රචණ්ඩ බලය පාවිච්චි කරන නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවයි.

මේ අනුව එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද සැලකිල්ල යොමු වනු ඇත.

මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 52 වැනි සැසිවාරය අමතමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එම ප්‍රකාශය කරන ලද්දේ එක්සත් රාජධානියේ  තානාපති සයිමන් මැන්ලි විසිනි.

මානව හිමිකම් කවුන්සිලයේ  ශ්‍රී ලංකා කණ්ඩායමට කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය සමන්විත වේ.

තානාපති සයිමන් මැන්ලි තව දුරටත් මෙසේ ප්‍රකාශ කළේය:

“සාමකාමී විරෝධතාවලට දැඩි ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් අපේ සැලකිල්ල යොමු වී තිබේ. ශ්‍රී ලංකාව සාමකාමීව එක් රැස්වීමේ සහ සමාගමයේ සහ  අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කළ යුතුය. විරෝධතා හා සම්බන්ධ ඕනෑම ප්‍රචණ්ඩත්වයකට වග වීම පැවතිය යුතු යැයි අපි ඉල්ලා සිටිමු. මානව හිමිකම් ආරක්ෂා කිරීම දිරිමත් කිරීමේදී සිවිල් සමාජයට වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට ඇති අතර අනාගත ඕනෑම නීති සම්පාදනය දී සිවිල් සමාජයේ වැදගත් කාර්යය සඳහා අවකාශය ආරක්ෂා කිරීමේ වැදගත්කම අපි අවධාරණය කරමු.

එම ප්‍රකාශය නියමිත කාලයට මැතිවරණ පැවැත්වීමේ වැදගත් කම මෙසේ අවධාරණය කරයි:

“ආයතන සහ පාලන පද්ධති ස්වාධීනත්වය සහතික කිරීම ඇතුළුව, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ සහ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ තීරණාත්මක වැදගත්කම අපි අවධාරණය කරමු. ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය පවත්වා ගැනීම ඉතා වැදගත් වන මැතිවරණ ක්‍රමය ද මෙයට ඇතුළත් ය.”

දිගු කලක සිට පවතින දණ්ඩ මුක්තිය සහ දූෂණයට විසඳුම් ලබා දෙන ලෙස  ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් යහපත් ආර්ථික ප්‍රතිපත්ති සමඟ එක්ව සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සමෘද්ධිය සඳහා වඩාත් හොඳින් සහාය දිය යුතු යහපාලනයක අවශ්‍යතාවය ද  අවධාරණය කරන බවත් එම ප්‍රකාශය මගින් ශ්‍රී ලංකා කණ්ඩායම අවධාරණය කර තිබේ.

සම්පූර්ණ ඉංග්‍රිසි ප්‍රකාශය මෙහි දැක්වේ.

Archive

Latest news

Related news