Saturday, April 27, 2024

පුංචි ඡන්දයට ඉක්මන් දිනයක් දෙන්න! – ජාජබ, මැකොට ලියයි

ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ වැදගත්කම මත එය මූලික මිනිස් අයිතිවාසිකම වශයෙන් සලකා ක්‍රියා කොට ඇති බව පෙන්වා දෙමින් පළාත්පාලන මැතිවරණය පැවැත්වීම සඳහා හැකි ඉක්මන් දිනයක් නියම කරන ජාතික ජන බලවේගය ඉල්ලා සිට තිබේ.

ලිපිය:

සභාපතිතුමා,
මැතිවරණ කොමිෂන් සභාව,
මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය
සරණ පාර,
රාජගිරිය.

සභාපතිතුමනි,

වර්ෂ 2023 පළාත් පාලන මැතිවරණය සම්බන්ධවයි

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව වර්ෂ 2022.12.29 දින දී පළාත් පාලන මැතිවරණ ආඥා පනත ප්‍රකාරව, රජයේ අති විශේෂ ගැසට් පත්‍ර 2312/44 ගැසට් පත්‍රය මඟින්, 2023 පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කරන ලද අතර ඉන් අනතුරුව, මැතිවරණ කොමිෂන් සභාවේ නියමය පරිදි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් පළාත් පාලන ආයතන ජන්ද විමසීමේ නාම යෝජනා බාර දීම සහ ඇප මුදල් තැන්පත් කිරීම සඳහා කාල වකවානු ප්‍රකාශයට පත් කරමින් 2023.01.04 වන දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනලදී.

ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාව විසින් 2023 පළාත් පාලන ආයතන ජන්ද විමසීම සඳහා මැතිවරණ දිනය වශයෙන් 2023.03.09 වන දින ප්‍රකාශයට පත්කරන ලද අතර එකී මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා 2023.02.22 වන දින සිට 2023.02.24 වන දින දක්වා කාලය නම් කරන ලදී.

කෙසේ වුවද, මේ ආකාරයට මැතිවරණය සඳහා දින නියම කර තිබියදී, රජයේ මහා භාණ්ඩාගාරය සහ මුදල් අමාත්‍යාංශය ඉහත මැතිවරණය වෙනුවෙන් අවශ්‍ය වන්නා වූ මූල්‍ය ප්‍රතිපාදන නිසි පරිදි සම්පාදනය නොකිරීම මත, මැතිවරණ පත්‍රිකා මුද්‍රණය කිරීම, මැතිවරණ කටයුතුවල ආරක්ෂාව සඳහා අවශ්‍ය වන පොලිස් සේවය ලබාගැනීම ඇතුළුව අනෙකුත් මැතිවරණය සම්බන්ධ කාර්යයන් සිදුකිරීම ගැටලුකාරී වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔබ කොමිසම විසින් ඉහත කී මැතිවරණය නියමිත දින නොපවත්වන බවට නිවේදනය කරන ලදී.

කෙසේවුවද, ඊයේ දින (2023.03.03) ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගන්නා ලද මූලික අයිතිවාසිකම් නඩු අංක SC FR 69/2023දරණ නඩුවේදී අතුරු නියෝගයක් ලබාදෙමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම නඩුවේ පළමු වගඋත්තරකරු වන මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරනු ලබන ගරු ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් 2023 වර්ෂය සඳහා සම්මත කරනු ලැබූ අයවැයේ දී, 2023 පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කරනු ලැබූ මුදල් රඳවා තබා ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත්කොට ඇති අතර එමෙන්ම රජයේ මුද්‍රණාලාධිපතිවරිය වෙත 2023 පළාත් පාලන මැතිවරණය සඳහා 2023 අයවැයේ දී වෙන් කරන ලද මුදල් රඳවා තබා ගැනීමකින් තොරව නිකුත් කරන ලෙසද නියෝග කර ඇත.

ඉහත නියෝග අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ වැදගත්කම මත එය මූලික මිනිස් අයිතිවාසිකම වශයෙන් සලකා ක්‍රියා කොට ඇති බවයි.

කරුණු එසේ හෙයින්, උක්ත ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ප්‍රකාරව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කටයුතු සම්පාදනය කිරීම හැකි ඉක්මනින් සිදු කරන ලෙසටත් එසේම, පළාත්පාලන මැතිවරණය පැවැත්වීම සඳහා හැකි ඉක්මන් දිනයක් නියම කරන ලෙසටත් ඔබ කොමිෂන් සභාවෙන් ඉතා ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි.
මෙයට,
විශ්වාසී,
විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ
ලේකම්,
ජාතික ජන බලවේගය
2023.03.04

Archive

Latest news

Related news