Saturday, July 27, 2024

පුංචි ඡන්දය කඩාකප්පල් කිරීම කළ කපටිකම ගැන දිනේශ් පාර්ලිමේන්තුවට කී බොරුව! 

පළාත් පාලන මැතිවරණය 2023  සදහා   දේශපාලන පක්ෂවලින් ඇප මුදල් ලබා නොගන්නා ලෙස දැනුම් දෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් හපුහින්නේ විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට/ දිසාපතිවරුන්ට යවන ලද ආන්දෝලනාත්මක ලිපිය සම්බන්ධයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට වැරදි තොරතුරු ලබා දී ඇති බව තොරතුරු දැනගැනීමේ ඉල්ලීමක් මගින් අනාවරණය වී තිබේ.

ජනවාරි 10 වැනි දින නිකුත් කරන ලද හපුහින්න ලිපිය රට තුළ ආන්දෝලනයට තුඩු දුන් අතර බොහෝ දේශපාලන පක්ෂ මෙම පියවර දැඩි ලෙස විවේචනය කළේ එය මැතිවරණයක් නොපැවැත්වීම සඳහා රජය කරන දේශපාලන උපක්‍රමයක් බවට චෝදනා කරමිනි.

මැතිවරණ කොමිසම වහාම හපතැන්නගේ ලිපිය බලරහිත කරමින් චක්‍රලේඛයක් යවන ලදී. අනතුරුව  හපුහින්න කැඳවා  මැතිවරණ කොමිසම ප්‍රශ්න කළ විට ඔහු පවසා ඇත්තේ තමන් එම ලිපිය නිකුත් කළේ කැබිනට් නියෝග අනුව බව ය.

 

ජනවාරි 17 වැනි දින පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රශ්නය මතු වූ විට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන යන අමාත්‍ය ධුර දරන අගමැති දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ තැන්පතු භාර ගැනීම නතර කිරීමට කැබිනට් මණ්ඩලය කිසිඳු තීරණයක් නොගත් බවයි.

අමාත්‍ය මණ්ඩලය එවැනි තීරණයක් නොගත් බවත් කවුරුන් හෝ එසේ ප්‍රකාශ කරන්නේ නම් එය සම්පූර්ණ අසත්‍යයක් බවත් ගුණවර්ධන වැඩිදුරටත් පැවසීය.

ඊට පටහැනිව, තොරතුරු දැනගැනීමේ ඉල්ලීමට අනුව එම ලිපිය කැබිනට් මණ්ඩලයෙන් ලැබුණු උපදෙස් අනුව යවා ඇති බව හෙළිදරව් වී තිබේ. ජනවාරි 9 වැනි දින ගත් කැබිනට් තීරණය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් හපුහින්න වෙත දන්වමින් අමාත්‍ය මණ්ඩල ලේකම් එම්.කොඩිප්පිලි ආරච්චි  ජනවාරි 10 වැනි දින හපුහින්නට ලිපියක් යවා තිබූ බව එමගින් හෙළි වේ.

එදින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙහි අංක 34 දරන අයිතමයට අනුව, පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කොමිෂන් සභාව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාමාජිකයින් සමඟ තමන් පැවැත්වූ රැස්වීම පිළිබඳව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය දැනුවත් කර ඇත.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති අයදුම්පත් කිහිපයක් සලකා බලා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීම, පවතින මූල්ය අවකාශය තුළ සලකා බලන ලෙස රජයට දන්වන ලෙස තමන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට දැනුම් දුන් බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට එහිදී දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයාට ස්වාධීන කොමිෂන් සභාවක සාමාජික සාමාජිකාවන් කැඳවා  උපදෙස් දීමට අයිතියක් නැත. රනලි් රජපක්ෂගේ ක්‍රියාව නීති විරෝධීය.

ජනාධිපතිවරයාගේ එම දැනුම් දීමෙන් අනතුරුව, ඉහත සඳහන් පරිදි ක්‍රියාමාර්ගය පිළිබඳ මැතිවරණ පවත්වන්නේද යන්න පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව රජයට දැනුම් දීමෙන් පසු මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබා දීම පිළිබඳව සලකා බැලීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

එසේම, නාමයෝජනා සඳහා  තැන්පතු භාර නොගන්නා ලෙස උපදෙස් දෙමින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට/දිසාපතිවරුන්ට උපදෙස් දෙන ලෙස හපුහින්නට දැනුම් දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද එදින අමාත්‍ය මණ්ඩල තීරණ පෙන්නුම් කරයි..

හපුහින්න වෙත යොමු ඒම කළ ලිපිය ජනාධිපති ලේකම්, නීතිපති, අග්‍රාමාත්‍ය ලේකම් සහ අධිකරණ අමාත්‍යාංශය වෙත පිටපත් කර තිබී ඇත.

මේ අනුව ඉතා පැහැදිලිව පෙනී යන්නේ මැතිවරණ ක්‍රියාවලියට අත පෙවීමට ජනාධිපති සහ අමාත්‍ය මණ්ඩලය තීරණයක් රැගෙන ඇති බවයි.

එනයින් අගමැති දිනේශ් ගුණවර්ධන පාර්ලිමේන්තුවට බොරු කී බව සක්සුදක් සේ පැහැදිලි වේ.

(තොරතුරු ඉල්ලීමක් මගින් මෙම තොරතුරු ලබා ගෙන ඇත්තේ සිලෝන් ටුඩේ පුවත්පත විසිනි. එහි පළ වූ පුවතක් ද අසුුරුණි)

Archive

Latest news

Related news