Friday, March 29, 2024

රනිල්ගේ ඒකාධිපති වියරුව පරාජය කිරීමට ‍ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක් වෙමු. – රංජිත් හේනායකආරච්චි

සියලුම වර්ගයේ ඒකාධිපතියන් සහ පැසිස්ට්වාදීන් සිතන්නේ එකම ආකාරයකිනි. ඒ ආයුධ බලයෙන්, පොලිසි සහ හමුදා බලයෙන් ජනතාව යටපත් කළ හැකි බවත් බිය ගැන්වීම තුළින් සහ මරා දැමීම් තුළින් ඔවුන්ගේ ආධිපත්‍ය පවත්වා ගත හැකි බවත්ය. මෙය අද  අලුතින් ඇතිවූ දෙයක් නොව, ලෝක ඉතිහාසය පුරා ජනතාවගේ අයිතීන් යටපත් කළ ඒකාධිපතියන් හෝ පැසිස්ට්වාදීන් ක්‍රියාත්මක වූ ආකාරයයි.

ලෝක ඉතිහාසය තුළ, ලෝකයේ කිසිම තැනක සම්පූර්ණයෙන් ජනතාව යටපත් කර සම්පූර්ණයෙන් ජනතාව බිය ගන්වා තම පාලනයන් සදාකල් කරගත් කිසිම ඒකාධිපතියකු හෝ පැසිස්ට්වාදියකු සිට නැත.

නමුත් මෙතෙක් ලෝක ඉතිහාසය තුළ, ලෝකයේ කිසිම තැනක සම්පූර්ණයෙන් ජනතාව යටපත් කර සම්පූර්ණයෙන් ජනතාව බිය ගන්වා තම පාලනයන් සදාකල් කරගත් කිසිම ඒකාධිපතියකු හෝ පැසිස්ට්වාදියකු සිට නැත. සෑම පැසිස්ට්වාදියකු මෙන්ම ඒකාධිපතියකු අවසානයේදී ජනතා නැගිටීම් ඉදිරියේ විනාශ වී ගිය බවට ලෝක ඉතිහාසය තුල ඕනෑවටත් වඩා උදාහරණ තිබේ.

එවැනි ඒකාධිපතියන්  පැන්නීමේදී සමහර රටවල ජනතාව ඔවුන් අල්ලා ලාම්පු කනුවල එල්ලූ අවස්ථා එමටය. පැසිස්ට් වාදයේ පෙරගමන්කරු වූ මුසෝලීනිට ජනතාව දුන් දඬුවම මෙන්ම ඒකාධිපති සදාම් හුසේන් වැන්නන්ට ජනතාව දුන් දඬුවම් ඒකාධිපති වියරුවෙන් පෙලෙන රනිල්ලාට පාඩම් විය යුතුය.

ජන වරමක් නැතිව ජනාධිපති බවට පත්ව ඇති ඒකාධිපතියකු අද ලංකාවෙි ක්‍රියාත්මක වන ආකාරය පෙන්නුම් කරන්නේ ඉදිරි කාලය තුළ ලංකා ජනතාවට අසීරු තත්ත්වයන් තුළ මෙම ඒකාධිපති වියරුව පරාජය කිරීමට සිදුවන බවයි.

ජනාධිපතිවරයා “මම දේශපාලනය කරන්නෑ”  එසේ නැත්නම් පාර්ලිමේන්තුවේදී ජනතා නියෝජිතයකු ට “කට වහපන්, ඔහොම ඉඳ ගනින්” කියන්නේ නම් ඔහු පෙන්නුම් කරන්නේ ඒකාධිපති වියරුවකින් හිස ඉදිමී ඇති මිනිසෙකුගේ තත්ත්වයයි.

මෙවැන්නකුට ජනාධිපති යයි ඇමතීම හැබෑ ජනාධිපතිවරයෙකුට කරන අපහාසයකි.

“ඒකාධිපති වියරුවකින් පමනක් නොව මොහු වැඩවසම් මහන්තත්වයකින්ද හිස පුරවාගත් පසුගාමී ප්‍රතිගාමියකු බව රට මෙතරම් අගාදයකට වැටී ඇති මොහොතේ වැඩකට නැති ජනරජ පෙරහරක් පවත්වමින් කල රාජකීය විගඩමින් පෙන්නුම් කරයි.”

ව්‍යවස්ථානුකූලව ඡන්දයක් පැවැත්විය යුතු අවස්ථාවක එය කල් දමමින්, කල් දැමීමට හේතු නිර්මාණය කරමින්, ඒ මදිවාට පාර්ලිමේන්තුව තුලදී “කල් දාන්ඩ ඡන්දයක් කොහෙද තිබුණෙ” කියමින් ඔහු හැසිරෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය විහිළුවක්  බවට පත් කිරීමට පමණක් නොව රටේ ජනතාව, රටේ ජනතා නියෝජිතයන් තඹ දොයිතුවකට ගණන් නොගන්නා මහන්තත්වයකින් හිස උදුම්මාගෙනය.

මෙම පුද්ගලයාට ආවඩන ලිබරල් යයි කියාගන්නා කොටස් කරන්නේ  “මොහු ධනේශ්වර විප්ලවය කරනවා. රට වැටී ඇති අමාරුවෙන් ගොඩ ගන්නට හැකි එකම පුද්ගලයා මොහුය” ආදී ස්තෝත්‍ර ගායනා කිරීමයි. ඒකාධිපති වියරුවකින් පමනක් නොව මොහු වැඩවසම් මහන්තත්වයකින්ද හිස පුරවාගත් පසුගාමී ප්‍රතිගාමියකු බව රට මෙතරම් අගාදයකට වැටී ඇති මොහොතේ වැඩකට නැති ජනරජ පෙරහරක් පවත්වමින් කල රාජකීය විගඩමින් පෙන්නුම් කරයි.

ඇත්තෙන්ම රට විනාශයට ඇද දැමූ මෙවැන්නන්ට එය තවත් විනාශයට ඇද දමනවා හැරුණු කොට කළ හැකි යමක් නොමැත. කළ යුතු වන්නේ මෙවැන්නන් පලවාහැර ජනතා පරමාධිපත්‍යයට ගැලපෙන ජනතාවට ගරු කරන පාලකයින් පත්කර ගැනීමයි.

මා මීට ප්‍රථමයෙන් ලියූ ලිපියක “එක්ව ගැලවෙමු ද වෙන්ව නැසෙමුද” යන හිසින් ලියනු ලැබුවේ අද ලංකාව පත්වී ඇති මේ තත්ත්වයෙන් ගොඩ යාමට නම් ‍ප්‍රජාතන්ත්‍රවාදී සියලු බලවේගයන් එකට එක්විය යුතු බවයි. එදා එම ලිපිය මා ලියූ අවස්ථාවේදී තිබුණාටත් වඩා අද තත්වය භයානකය.

ඇත්තෙන්ම අද ඒ තත්වය උච්චාවස්ථාවකට ළං වී ඇත.

ඒකාධිපති වියරුවෙන් පෙළෙන ජනාධිපතියා හැසිරෙන ආකාරය සහ ඔහුගේ සමච්චල් සහගත වචන මෙන්ම උඩඟු ලෙස අනෙකුත් දේශපාලන බලවේග සහ ජනතාව දෙස බලන සහ ක්‍රියාත්මක වන ආකාරය පෙන්නුම් කරන්නේ මෙම වියරුව විශාල විනාශයක් කරා රට ගෙන යෑමට හොඳටම ඉඩ ඇති බවයි.

හොර මැර සන්ධානය

ඇත්තෙන්ම ඒකාධිපති වියරුවකින් පෙළෙන බව දැන් පැහැදිලිවම පෙනෙන්නට තිබෙන වික්‍රමසිංහ, පසුගාමී දූෂිත රාජපක්ෂ කල්ලිය සමග සන්ධාන ගතවී ඇත්තේ මොන යම් තත්ත්වයකින් හෝ ඔවුන්ගේ හොරමැරකම් එලිදරව් නොකර වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම වළක්වා ගනිමින් රට තවදුරටත් ඒ අඳුරේම පවත්වා ගැනීමේ අරමුණ ඇතිවයි.

රටෙහි මිනිසුන් මරා දැමීම මොවුනට අලුත් දේවල් නොවේ. එය රනිල්ට හොඳට හුරුය. එය රාජපක්ෂ කල්ලියට හොඳට හුරුය. එසේනම් අද මෙම කූට සන්ධානය සැරසෙන්නේ තවත් වරක් රට ලේ ගංගාවල් වල ගිල්ල වීමටයි. එය වලක්වා ගැනීමේ වගකීම ඇත්තේ ප්‍රගතිශීලී සහ ප්‍රජාතන්ත්‍ර වාදී බලවේග සහ මිනිසුන් අතය. මේ මොහොතේ එම වගකීම මග හැරීම සිය දිවි නසා ගැනීමක් හා සමාන වනු ඇත.

“තනි තනිව ගමන් කළ හොත් ඔවුන් තනි තනිව වැනසී යාමේ අනතුරක් ඇති බව අප තේරුම් ගත යුතුය.”

ප්‍රශ්නය වී ඇත්තේ  තවමත් ‍ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බලවේගයන් මෙම ඒකාධිපති වියරුවට එරෙහිව පෙනී සිටින්නේ තනි තනි ඒකක වශයෙන් විමයි. එක දිනක සමගි ජන බලවේගයද තවත් දිනක ජාතික ජන බලවේගයද තවත් දිනක අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී බලවේගද වෙන්ව යමින් උද්ඝෝෂණ සහ අරගල කරමින් සිටිති. මෙසේ වෙන් වෙන්ව යන තත්ත්වය ඇත්ත වශයෙන්ම සේවය කරන්නේ මෙම ඒකාධිපති වියරුවෙන් පෙළෙන පසුගාමී බලවේගයන්ටය.

ඒ එසේ වෙන්ව ගමන් කරන ඔවුන් එක එකා ගෙන පහරදීම මර්ධනය කිරීම ඔවුනට පහසු නිසාය. ඇත්ත වශයෙන්ම අද විය යුතුව තිබෙන්නේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්, සියලුම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, සියලුම ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලයන් එක සන්ධානයකට එමින් එකම අරමුණකින් මෙම ඒකාධිපති වියරුව පැරදවීම සඳහා එක්ව ගමන් කිරීමයි. තනි තනිව ගමන් කළ හොත් ඔවුන් තනි තනිව වැනසී යාමේ අනතුරක් ඇති බව අප තේරුම් ගත යුතුය.

ඒකාධිපති බලවේගයන්ට හෝ පැසිස්ට්වාදී බලවේගයන්ට එරෙහිව තනි තනි සටන්කර ලොව කිසිම තැනක ජයග්‍රහණය කළ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් නොමැත. එවැනි ඒකාධිපති වියරු පරාජය කළ සෑම තැනකම එය සිදුවී ඇත්තේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී සහ ප්‍රගතිශීලී බලවේගයන් එක මිටකට එකට එක් වීමෙන් කරන සටන් තුළින් පමණි.

අපට ලෝකයෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ තිබේ. පසුගිය වකවානුවේ චෙක් රාජ්‍යයේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් එකට එක්වී ජාතිවාදී පසුගාමී බලවේග පරාජය කරනු ලැබීය. ඒ සඳහා රටේ සිවිල් සමාජ බලවේග සියලුම ‍ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ වලට එකට එක් වන ලෙස එකට එක් වී ප්‍රතිගාමීත්වය ට එරෙහිව සටන් වදින ලෙස බල කළහ. තනිව සටන් කළේ නම් ඔවුන් කිසිවකු ජය නොගන්නා බව පැහැදිලිය. ඉරානයේ සිවිල් සමාජය සියළු මර්දනයන්ට මුහුනදෙමින් මාස ගනනක් තිස්සේ ආගමික පැසිස්ට් වාදයට මුහුන ‌දෙමින් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සටන්වදී. මෙවැනි අරගල ලෝකය පුරා ඇත. අප ඒවායින් ඉගෙනගත යුතුය.

අද ජාතික ජන බලවේගය කළ උද්ඝෝෂණයට තහනම් නියෝග පනවා ප්‍රහාරයක් එල්ල කරන ලදී. දින ගණනකට උඩදී වසන්ත මුදලිගේ ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට ගනු ලැබූවේ ද එවැනි උද්ඝෝෂණයක් අවස්ථාවේය. සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට අත් වූ ඉරණම එයමය.

මෙසේ රට පුරා විවිධ තැන්වල තනි තනිවම උද්ඝෝෂණ වල යෙදෙන කොටස් අත්අඩංගුවට ගැනීමත් ඔවුන් කඩාකප්පල් කාරයෙක් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසීම ඒවාට නායකත්වය දෙන පුද්ගලයින් සිරගත කිරීම හෝ මරා දැමීම දිගින් දිගටම සිදු වනු නොඅනුමානය. එසේනම් දැන්වත් රටෙහි සිවිල් සමාජ බලවේග මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බලවේග පක්ෂ සහ ප්‍රගතිශීලී දේශපාලන බලවේග ද එමෙන්ම ප්‍රගතිශීලී පුද්ගලයින් එකට එක්වීම අත්‍යාවශ්‍යය දෙයකි. වෙනස්කම් ඇතත් මූලික අරමුනින් සහයෝගයෙන් එක්වීම අත්‍යාවශ්‍යය. සහයෝගීතාවය දැක්වීම යනු ජනතාව අතර සෙනෙහස දැක්වීමේ ක්‍රමවේදයයි.

රටෙහි ව්‍යවස්ථාව උල්ලංඝනය කරන විධායකය තමන් විවිධාකාරයෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම ප්‍රශ්නයක් කර නොගන්නා අතර රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන ජනතාවගේ පීඩනය වෙනුවෙන් පෙනී සිටින බලවේගයන් සහ පුද්ගලයන් නීති විරෝධී ආකාරයකින් හැසිරෙන්නේ යයි කියනු ඇත. එසේ කියමින් ඔවුනට තහංචි පමුනුවනු ඇත.

“දැන් විය යුත්තේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එකට එක් වී මෙම ඒකාධිපති වියරුව පරාජය කිරීම සඳහා එක්ව සටන් වැදීමයි. ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය, දෙමළ සන්ධානය, පෙරටුගාමී පක්ෂය සහ මුස්ලිම් පක්ෂ මෙන්ම අනෙකුත් සියලුම ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් එක මිටකට එක්වී මෙම ප්‍රතිගාමීන් පරාද කිරීමට එක්ව සටන් වැදිය යුතුය”

ඇත්ත තත්වය නම් රටෙි ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ආණ්ඩුවට එරෙහි වීම නීති විරෝධී ක්‍රියාවක් නොවීමයි. ආණ්ඩුව ක්‍රියාත්මක වන්නේ ජනතා පරමාධිපත්‍ය ගැන කිසිම තැකීමකින් නොවේ නම්, ජනතාව සහ ජනතා නියෝජිතයින්ට සමච්චල් කරන උද්දච්ච ආකාරයක ආණ්ඩුවක් පවතී නම් එයට එරෙහි වීම එයට එරෙහිව සටන් වැදීම කිසිම ආකාරයකින් නීති විරෝධී දෙයක් නොවේ. ආණ්ඩුව නීති විරෝධී ක්‍රියාවක යෙදෙන්නේ නම් එය ජනතාව අමාරුවේ දමන්නේ නම් එයට එරෙහි වීම ජනතාව සතු අයිතිය සහ වගකීමයි.

දැන් විය යුත්තේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එකට එක් වී මෙම ඒකාධිපති වියරුව පරාජය කිරීම සඳහා එක්ව සටන් වැදීමයි. ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය, දෙමළ සන්ධානය, පෙරටුගාමී පක්ෂය සහ මුස්ලිම් පක්ෂ මෙන්ම අනෙකුත් සියලුම ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් එක මිටකට එක්වී මෙම ප්‍රතිගාමීන් පරාද කිරීමට එක්ව සටන් වැදිය යුතුය.

එක්ව ගැලමෙුදල වෙන්ව වැනසෙමුද යන්න වෙන කවදාටත් වඩා තීව්රව අද අප ඉදිරියේ ඇත.

එක්ව සටන් වදිමු. ඒකාධිපති වියරුව පරදවමු.

රංජිත් හේනායකආරච්චි.

26.02.2023

 

Archive

Latest news

Related news