Saturday, April 20, 2024

පුංචි ජන්දය කල් දැමීම අසාධාරණ සහ අත්තනෝමතික ක්‍රියාවක් – ලංකා සභාව

පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කළ අරමුදල් රඳවා තබාගැනීමට රජය ගෙන ඇති තීන්දුව දීර්ඝ කාලීන විපාක ඇති කරන අසාධාරණ සහ අත්තනෝමතික ක්‍රියාවක් බවත් නිදහස් දිනය වෙනුවෙන් රාජ්‍ය මුදලින් මහා ප්‍රසංගයකට අනුග්‍රහය දැක්වූ ආණ්ඩුවකට මැතිවරණය සඳහා වෙන්කළ මුදල් රඳවා ගැනීමට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නැති බවත් ‘ලංකා සභාව’ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ ලංකා සභාවේ සභාපති කොළඹ රදගුරුහිමි දුෂාන්ත රුද්‍රිගු සහ කුරුණෑගල පාලක රදගුරු ජනරාල් හිමි කීර්තිසිරි ප්‍රනාන්දු යන පියතුමන්ලාගේ අස්සනෙනි.

බාහිර ණය හිමියන්ට ණය පැහැර හරිමින් බාහිර ලෝකයට වගකීම් පැහැර ඇති ආණ්ඩුවක් මැතිවරණයක් පැවැත්වීමට අරමුදලක් නොමැති යැයි ප්‍රකාශ කරන්නේ නම් එවැනි ආණ්ඩුවකට තව දුරටත් බලයේ රැදී සිටීමට නෛතික බලයක් නොමැති බවත් පාර්ලිමේන්තුව සම්මත කළ අයවැය අනුව නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සියලුම රාජ්‍ය ආයතනවලට අවශ්‍ය සම්පත් සැපයීමට කඩිනමින් කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද සදහන් කරයි.

නියමිත කාලයේදී නියෝජිතයන් පත්කරගැනීමට පුරවැසියන්ට අවස්ථාව දීම ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක ලක්‍ෂණය බවත් ජනතාවගේ එම අවස්ථාව පැහැර හැරීමෙන් ඒකාධිපතිත්වයට යටත්ව ඇති යැයි සනාථ වන බවත් ‘ලංකා සභාව’ අවධාරණය කරයි.

විරෝධතා විසුරුවා හැරීමට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර සමඟ දහස් ගණන් පොලිස් නිලධාරීන් යෙදවීම විසඳුම නොවන බවත් යථාර්ථයට අන්දව බලයේ සිටින තෙක් ආණ්ඩුවට ආර්ථික ව්‍යාකූලත්වයෙන් මුදවා ගැනීමට අවශ්‍ය අංශවල සහයෝගය ලබාගත නොහැකි බවත් ‘ලංකා සභාව’ අවධාරණය කරයි.

ඉදිරියේ ඇති වන දේශපාලනික සහ ආර්ථිකමය අභියෝගවලට මුහුණ දීමට අවශ්‍ය වන්නේ රටෙහි එකමුතුව සහ ප්‍රජාතන්ත්‍රවාදය බවත් එම සභාව වැඩි දුරටත් සඳහන් කරයි.

(ලංකා ට්රුත්)

Archive

Latest news

Related news