Tuesday, July 16, 2024

මේ බල්ලා බැඳ දමව්! – සුනන්ද දේශප්‍රිය

පුස්තකාල ඡායාරූපයකි.

මට මතක හැටියට ඉහත කී “මේ බල්ලා බැඳ දමව්!” යන හෙඩිම තිබුණේ සිරා කතෘත්වය දැරූ සමයේ ඇත්ත පත්තරයකය. ඒ ගින්දර මෙන් හෙඩින් දැමූ කාලයයි.

එම හෙඩිම ආයෙත්!

ඉන් දශක ගණනාවකට පසුත් එම හෙඩිම අපට සිහි වන්නේ නම් ඉන් අදහස් වන්නේ ලංකාව අද රනිල් රාජපක්ෂ යටතේ මුහුණ දී සිටින වින්නැහියයි.

රනිල් රාජපක්ෂට එක්කෝ බල තණ්හාව ඔලුවට ගසා ඔල්මාදයක් සෑදී ඇත. නැත්නම් ඔහුගේ වයර් සම්පූර්ණයෙන්ම පැටලී තිබේ. එය රටට මහම විපතකි.

ටයි කෝට් අදින “වහල් හිමියා”

ඊයේ එනම් 23 දා ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ ලෙස සැළකෙන මහජන මංත්‍රීවරුන්ගෙන් සැදුම් ලත් පාර්ලිමේන්තුවෙහි ඔහුගේ හැසිරීම නීචය. තුච්චය. නින්දිතය.

ටයි කෝටිකාර ඔහු විපක්ෂ පාර්ලිමෙන්තු මංත්‍රීවරයකුට මෙසේ කීවේය: “ කට වහගනින්. ඉඳ ගනින්. මමයි උඹ දේශපාලනයට ගෙනාවේ.”

හරියට වහල් හිමියකු වහලකුට අණ කරන පරිද්දෙනි.

රාජපක්ෂ පවුලේ දංකුඩ කෑ ඇබිත්තයා

රනිල් රාජපක්ෂ මහජන ඡන්දයෙන් පත් වූ මංත්‍රීවරයකුවත් නොවේ. ඔහුට විධායක ජනාධිපති තනතුර ලැබුණේ රාජපක්ෂ පවුල, පවුලෙන් පිට වෙනත් ජනාධිපතිවරයකු නම් කිරීමට  අකමැති වූ නිසා අහම්බෙනි. රනිල් රාජපක්ෂ ඒ වන විටත් රාජපක්ෂ පවුලේ දංකුඩ කන ඇබිත්තයකු බවට පත්ව තිබුණි.

ගෝඨාභය රාජපක්ෂ විසින්, ව්‍යවස්ථා සභාව වෙනුවට පිහිටුවන ලද පාර්ලිමේන්තු කමිටුව මගින් නිසි ලෙස වසර පහකට පත් කරන ලද මැතිවරණ කොමිසම, රනිල් රාජපක්ෂ හැදින්වූයේ “තාවකාලික කොමිසමක්” ලෙසය. තමා එපා කියද්දී පලාත් පාලන මැතිවරණය කැඳවූ බවට ඔහු මැතිවරණ කොමිසමට බලු බැනුම් බැන්නේය. තමා මැතිවරණ කොමිසම කැඳවා ප්‍රශ්න කළ බවත් නීතිපතිට සටහන් ගැනීමට කියා මැතිවරණය නොපවත්වන ලෙස උපදෙස් දුන් බවත් බයක් සැකක් නැතිව කීවේය.

මේ සහමුලින්ම ව්‍යවස්ථා විරෝධි ලෙස තමා ස්වාධීන කොමිෂන් සභාවකට බලපෑම් කළ බව පිළිගැනීමකි. රනිල් රාජපක්ෂට නීතියක් නැත.

පලාත් පාලන මැතිවරණය කැඳවන ලද්දේ නීති විරෝධී ලෙස බවත් ඊට  කොමිසමේ සම්පූර්ණ අනුමැතියක් නොතිබුණූ බවත් රනිල් රාජපක්ෂ තවදුරටත් කීවේය.

එසේ නමුත් මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියේ පලාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පළ කර ඇති චක්‍රලේඛන ගණනාවකටම එහි කොමසාරිස්වරුන් හතර දෙනාම සහ කොමසාරිස්වරිය අත්සන් කොට තිබේ. ආරම්භයේදී කොමිසම තුළ බෙදීමත් තිබූ බවට බොරු පුවත පැලකරන ලද්දේද රනිල් රාජපක්ෂ සහ සහ ඔහුගේ ගොබල්ස්ලා විසිනි.

සරම කඩා ගත් හන්දියේ තුට්ටු දෙකේ චණ්ඩියා

ජනාධිපතිවරයකු ලෙස නොව සරම කඩා ගත් හන්දියේ තුට්ටු දෙකේ චන්ඩියකු ලෙස පාර්ලිමේන්තුවෙහි හැසිරෙමින් රනිල් රාජපක්ෂ තවදුරටත් ප්‍රකාශ කළේ, කල් දැමීමට මැතිවරණයක් නැති බවත්, ඒ බව මැතිවරණ කොමසාරිස් ශ්‍රේෂ්ඨාධිකරණයට කියා ඇති බවත් මැතිවරණය කැදවූවේ නීති විරෝධී ලෙස බවත්ය. මෙය අමූලික බොරුවකි.

මැතිවරණයක් නිසි ලෙස කැඳවා නොතිබූණේ නම්, ඔහුගේ පක්ෂය පලාත් පාලන මැතිවරණය සඳහා නාම යොජනා දුන්නේ ඇයි දැයි යන ප්‍රශ්නයට රනිල් රාජපක්ෂ නිරුත්තර විය.

මුදල් තිබුණත් ඡන්දෙ  නෑලු!

මේ කඩදාසි ඒකාධිපතියා කොතරම් පිම්බී ඇත්ද යත්,  මුදල් තිබුණත් මැතිවරණයක් පවත්වන්නේ නැති බවට උඩුබුරුලෑවේය.

කොතරම් සාහසික ප්‍රජාතන්ත්‍ර විරෝධී හෑල්ලක්ද? එවැනි කතා අසා ගෙන  අප දෑත් බැඳ ගෙන සිටිය යුතුද?

ඊට දින දෙකකට පෙර පලාත් පාලන ඡන්දය පැවැත්වීමට මුදල් නැති බව කියමින්, ඊළඟ වාක්‍යයේදී අග විනිසුරු ඇතුලු සමස්ත අධිකරණ පද්දතියටම අනතුරු හැඟවීමක් කළේ ද රනිල් රාජපක්ෂමය. රනිල් රාජපක්ෂ කීවේ අග විනිසුරු ඇතුලු ( මෙරට සිටින) සියලුම විනිසුරන් සහ විනිසුරුවරියන්ට වුවත් ආර්ථික ප්‍රශ්ණ විසදීමට බැරි බවය. එමගින් රනිල් රාජපක්ෂ වක්‍ර ලෙස කියා සිටියේ පලාත් පාලන මැතිවරණයට මුදල් ලබා දීමට අධීකරණ නියෝගයක් මගින් නොහැකි බව විය හැකිය.

ජේආර් මුත්තාගේ කතාව

අහම්බෙන් ලද විධායක ජනාධිපති ක්‍රමයේ බලතල රනිල් රාජපක්ෂ පාවිච්චි කරන්නේ “ මට  විධායක බලයෙන් බැරි ගැහැනියක පිරිමියකු කිරීමට පමණය” කී ජේආර් මුත්තා ලෙසිනි. අවසානයේදී ජේආර් ජයවර්ධනට බලය අතහැරීමට සිදු වූයේ අතිශය අප්‍රසාදයට පත් දේශපාලනඥයකු ලෙසය.

රනිල් රාජපක්ෂගේ සෑබෑ දේශපාලනය දින දෙකකට පෙර රොටරි සමාජයේ දී කළ අඩහැරපෑමෙන් නියමට පෙනුනි.

ඔහු මෙසේ කීවේය: “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පූර්ව කොන්දේසියක් ලෙස ආර්ථික ප්‍රකෘතිය සහ ස්ථාවරත්වය අවශ්‍ය ය. එයට තවත් පූර්ව කොන්දේසියක් ලෙස, ‘නීතිය සහ සාමය’  සදහා ‘මහජන සාමය’ අවශ්‍ය වේ. මෙම අත්‍යවශ්‍ය සංරචක නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදය අරාජිකත්වයකින් ප්‍රතිස්ථාපනය වනු ඇත.” තමා මෙයට ඉඩ  නොදෙන බවත් රනිල් රාජපක්ෂ අවසානයට කීවේය.

පොර කුකුල්ලු දෙන්නා

ඔට්ටු අල්ලන ලද පොර පිටියක කා ගන්නා පොර කුකුළන් දෙදෙනෙකු බවට පත්ව ඇති සජිත් ප්‍රේමදාසට සහ අනුර කුමාර දිසානායකට මෙම භයානක තර්ජනය ඇසෙන්නේ නැත. මන්ද යත් පාක්ෂිකයින් දෙන ඔල්වරසන් මගින් දෙදෙනාම ගිණිකන වැටි ඇති නිසාය. එය ඇසුනද ඇසෙනු ඇත්තේ අපට තවත් ඡන්ද ටිකක් ලබා ගැනීමේ  ගායනාවක් ලෙස විය හැකිය.

රනිල් රාජපක්ෂ, තමා විරෝධතා මර්දනය කරන බවත් ඡන්ද නොතබන බවත් කියා ඇත්තේ ජනයා සහ සියලු ස්වාධීන ආයතන  බිය ගැන්වීම පිනිසය. ඔහු වහෙන් ඔරෝ බසින් කියන්නේ  මැතිවරණය පවත්වන ලෙස අධිකරණය නියෝග කළත් තමා එය පැවැත්වීමට ඉඩ නොදෙන බවයි.

මේ කොළඹ සුකිරි බටිල්ලන්ගේ මහත්මා දේශපාලනඥයාය.

සර්ව බලධාරී විධායක ජනාධිපතිවරයකු, සිහි විකල්ලෙන් වේවා, ඒකාධිපති තර්ජනයක්  කරන විට එයට මුහුණ දීමට අධිකරණ ක්‍රියාමාර්ග පමණක් ප්‍රමාණවත් නොමැති බව මෙරට දේශපාලන සහ සිවිල් සමාජයට දැන්වත් වැටහිය යුතුය.

අධිකරණයට යෑම මදි

අධිකරණ ක්‍රියාමාර්ග වැදගත්ය. ඊටත් වඩා මහාජන බලුමුළු ගැන්වීම් අත්‍යවශ්‍යය.

අප මතක තබා ගත යුත්තේ රනිල් රාජපක්ෂ අධිකරණයට කළ වක්‍ර අනතුරු හැඟවීමට වඩා භයානක අනතුරු හැඟවීම්  ඔහු  විපාක්ෂික දේශපාලන පක්ෂ වලට කරමින් සිටින බවයි. එකම දින කොළඹ සජබ විසින්ද කුරුණෑගල ජාජබ විසින්ද පැවැත් වූ සැළකිය යුතු මහාජන සහභාගිත්වයකින් යුතු විරෝධතාවයන්ට රනිල් රාජපක්ෂ සැලකූවේ නෑසූ විරූ මර්දනයකිනි. ජනපති බලතල ලැබී  ගොල්පේස් අරගලය යුද හමුදා ලවා මර්දනය කරන ලද අවස්ථාවෙහි සිට අද දක්වා සෑම විරෝධතාවයකටම රනිල් රාජපක්ෂගේ එකම පිලිතුර වී ඇත්තේ මර්දනයයි.

මර්දනය නැති දවසක් නෑ

දකුණෙහි වේවා උතුරෙහි වේවා පොලිසිය ලවා සාමකාමී සහ යුක්ති යුක්ත අරගලයක් මර්දනය නොකරන දවසක් අද මෙරට නැත.

එබැවින් අද අවශ්‍ය කරන්නේ පොඩි පොඩි තැන තැන කැරෙන උද්ඝෝෂන පමණක්ම නොවේ. එවැනි අවස්ථා බොහෝ යිට රනිල් රාජපක්ෂට සිය මර්දනකාරී උල්දත් විලිස්සීමට ලබා දෙන අවස්ථා බවට පත් වේ.

අරගලය 2

රනිල් රාජපක්ෂගේ දේශපාලන වියරුව පරාජය කළ හැක්කේ ගොල්පේස් අරගලය වැනි මර්දනය කළ නොහැකි  තරමේ දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා බලුමුලු ගැන්වීමෙන් පමණය.

ඒ අතරම අප අමතක නොකළ යුතු ගොල්පේස් අරගලයෙන් උගත් පාඩමක් තිබේ. එනම් නායකත්වය සහ අරමුණු පිළිබඳ පාඩමයි.

අමතක නොකළ යුුතු විධායක ක්‍රමය

පලාත් පාලන ඡන්දය පමණක් එවැනි බලුමුළු ගැන්වීමකට ප්‍රමාණවත් නැත. රනිල් රාජපක්ෂගේ වියරු නාඩගමෙහි වේදිකාව වන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අද සියල්ලටම ඉහලින් තැබිය යුතු ඉල්ලීමයි. එම ඉල්ලීම මෙරට සියලු විපාක්ෂික බලවේග එක් කල හැකි මහා පොදු සාධකයක් ද විය හැකිය.

ප්‍රතිපත්තිමය පදනමක් සහිත, විනිවිද පෙනෙන සාමූහික නායකත්වයක් ද අවශ්‍යය. අද එය මතුවිය හැක්කේ දේශපාලන පක්ෂ අතරින් පමණි.

රනිල්ට රෑට පේන මර දූවරු

කෙසේ හෝ පලාත් පාලන ඡන්දය ලබා ගැනීමට මෙරට ජනයා සමත්වුව හොත් එහි ප්‍රතිපලය රනිල් රාජපක්ෂගේ මළ බෙර හඩ බවට පත් වනු  නොඅනුමානය. ඊට පසුදා ඔහු දේශපාලන වශයෙන් තොලොංචි වනු ඇත. ඔහු වියරුවෙන් ලතෝණි දෙන්නේ  රාත්‍රීන්හි පැමිණ අවසාන රතියට කැඳවන  මර දූවරුන් දවල් කාලයෙහි සුදු හැඳගත් උපදේශකයින් ලෙසින් පාදූර්භූත වන නිසා විය හැකිය.

අනෙක් අතට රනිල් රාජපක්ෂ තවමත් රාජපක්ෂ පවුලේ  පමණක් නොව ලන්සලාගේද, ජොනීලාගේද රත්තරන්ලාගේද කී නොකී දූෂිත මැර දේශපාලනඥයින්ගේ ආරක්ෂකයා බවද අමතක නොකළ යුතුය.

සජබ – ජාජබ වෙත 

රනිල් රාජපක්ෂගේ කුරුමානම ජනාධිපතිවරණයයි. නමුත් මෙරටට තවත් විධායක ජනාධිපතිවරයකු අවශය නැත.  එවැවින් සජබ සහ ජාජබ යන ප්‍රධාන විපාක්ෂික බලවේග දෙකෙහිම සිටින යහපත් දේශපාලනයක් අපෙක්ෂා කරන සියල්ලන්ගේම වගකීම වන්නේ, එම සටන් පාඨය බලසතු කිරීමයි. මෙරට වෙනසක් අපේක්ෂා කරන සුවහසක් ජනයා අරගලයට කැඳවිය හැකි ප්‍රධාන සටන් පාඨය වනු ඇත්තේ රනිල් රාජපක්ෂ ද විධායක ජනාධිපති ක්‍රමයද තුරන් කිරීමයි.

තව විධායක ජනපතියෙක් එපා

මෙරටට රනිල් රාජපක්ෂගේ විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය නැති පරිදිම අනුර කුමාර දිසානායකගේ හෝ සජිත් ප්‍රේමදාසගේ විධායක ජනාධිපති ක්‍රමයක් ද අවශ්‍ය නැත.

එළඹෙන රනිල් රාජපක්ෂ විරෝධී මහාජන නැගීටීම් තුල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සහ සර්ව පාර්ෂික තාවකාලික ආණ්ඩුවක සටන් පාඨය ඉස්මතු කිරීමට මෙරට සිවිල් සහ දේශපාලන සමාජය කොතරම් සමත් වන්නේද යන්න, අද තීරණාත්මකය. එය එක්සත්ව පහර දීම සඳහා පදනමක් ද සකස් කරයි.

රනිල් රාජපක්ෂගේ මර්දනකාරී සහ මැතිවරණ කල් දැමීමේ වියරුව දැන් තනි තනි සටන වලින් පරාජය කළ නොහැක. එසේ නමුත් වතුර නැටිමට පෙර තැන තැන මතුවන බුබුලු දැමීම් වන එවැනි බලමුලු ගැන්වීම් වර්ධනය කිරීමද අත්‍යවශ්‍යය.

රනිල් රාජපක්ෂ ගෙදර යවමු!

මාර්තු 09දා වන විට එක්සත්ව පහර දීම කරා යෑමට සාමූහික හඩගෑමක් කිරීමට හැකි වුව හොත්, මෙරට ඇති වූ අද්විතීය ආදරයේ අරගලය යළි පිබිදවිමට හැකි වන්නට බොහෝ දුරටම ඉඩ තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය කරා පෙරට. වෙන්ම ගමන් කරමු. එක්ව පහර දෙමු!

24.02.2023

Archive

Latest news

Related news