Thursday, April 25, 2024

විපක්ෂය බෙරිහන් දීම නවතා හූඇන්පී-පොහොට්ටු සොම්බියා අං දෙකෙන් අල්ලා බිමටම පෙරලිය යුතුය! ( අයිලන්ඩ් කතු වැකිය)

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අල්ලේ නටවා පුළුල් විරෝධතා මධ්‍යයේ 66%ක විදුලි ගාස්තු වැඩිවීමක් අනුමත කරවා ගැනීමට රජය සමත් වී ඇත. පක්ෂපාතී මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් කිහිප දෙනෙකු, විදුලි මිල ඉහළ නැංවීමට ඉඩ නොදීමට ඔවුන්ගේ සභාපති ජනක රත්නායක ගත් තීරණය අභිබවා යාමට කටයුතු කර තිබේ. රජයට නව පත් කිරීම් සිදු කිරීමටත්, කොමිෂන් සභාව තම අභිමතය පරිදි නැටවීමට අවශ්‍ය සංඛ්‍යා ලබා ගැනිමටත් හැකියාව ලබාදෙමින් PUCSL සාමාජිකයින් දෙදෙනෙකු පසුගිය දා ඉල්ලා අස් විය. මැතිවරණ කොමිසම (EC) මෙල්ල කිරීම සඳහා රජය එම ක්‍රියා පටිපාටියම අනුගමනය කර ඇතත් එය මෙතෙක් සාර්ථක වී නැත.

 

මැතිවරණ කොමිසමෙහි එක් සාමාජිකයෙකු දැනටමත් ඉල්ලා අස්වී ඇත. තවත් කොමසාරිස්වරුන් තිදෙනෙකුට ඉල්ලා අස්වන ලෙස මරණීය තර්ජන එල්ල කර ඇති අතර  ඔවුන් ඉවත්වුවහොත්  ආණ්ඩුවේ ගුංඩුව ඉටු කිරීමට සූදානම් සමහර නම්‍යශීලී චරිත පත් කර ගත හැකිය. මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගේ මරණ තර්ජන පිළිබඳ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී පොලිසිය සිටින්නේ  බඩ ගා යමිනි. එයම එම තර්ජනයන්ට රජයට හිතවත් කණ්ඩායමක් සම්බන්ධ බවට සාක්ෂියකි. රජයට සම්බන්ධයක් නැති කිසිවකු මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට තර්ජන එල්ල කළේ නම්, නීතියේ දිගු හස්තය ඔහු/ඇය වෙතට වහාම පතිත වන්නට තිබුණි.

මැතිවරණ කොමිසමේ අදාළ සාමාජිකයින් තිදෙනා, ඔවුන්ගේ ගෞරවය රැක ගනිමින්, තර්ජන නොතකා, ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර තිබේ. එමඟින් කොමිෂන් සභාවට ගෝලබාලයන් කිහිප දෙනෙකු පත් කර,  පැවැත් වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් දැමීමට රජයේ සැලැස්ම ව්‍යර්ථ කර ඇත. මේ වන තෙක් සිදුවීම් බොහෝ හොඳය. නමුත් ආණ්ඩුව ලෙහෙසියෙන් පරාජය බාර ගැනීමට ඉඩක් නැත. එය සතු කපටිකම් අවසානයක් නැත.

පොහොට්ටු – යූඇන්පී පාලන තන්ත‍්‍රය විදුලි බිල ඉහල නැංවීමට ගත් තීරණයට රබර් මුද්‍රා තැබීමට මහජන උපයෝගිතා කොමිසම පෙළඹ වූයේ කිසිදු සැඟවීමකින් තොරව කළඑළියේය.

නමුත් පලාත් පාලන  ඡන්ද විමසීම ප‍්‍රමාද කිරීම නොපෙනෙන සේ කිරීමට  එයට අවශ්‍ය ය. මැතිවරණ කඩාකප්පල් කිරීමට එහි උත්සාහයන් බිංදුවට වැටීමේ  හැකියාවක් පවතින බවත්, එවැනි අවස්ථාවක, එම ව්‍යවර්ථ කිරීමේ උත්සාහයන්, විවෘතව කළ හොත්, නියමිත මැතිවරණ තරඟයට පෙර පරාජය පිළිගැනීමක් ලෙස සලකනු ඇති බවත් එය දනී.

ඔවුන් පුංචි ඡන්දය සඳහා සූදානම් වන බව මවා පාමින් ඔවුන්ගේ දෙවන සැලැස්ම  ක්‍රියාවට නංවා ඇත. මුදල් අමාත්‍යාංශයේ ලේකම්, රජයේ මුද්‍රණාලය වැනි රාජ්‍ය නිලධාරීන් ලවා ඔවුන්ගේ ජරා වැඩ කරවති. කිසිදු ශේෂයක් ඉදිරියට ගෙන යාමට නොහැකි වන පරිදි ශුන්‍ය පාදක අයවැය ක්‍රමයක් අනුගමනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුම රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මැතිවරණ කොමිසම සමඟ කටයුතු කිරීමේදී රජය මෙතෙක් තෝරා ගෙන ඇත්තේ යම් සංයමයකින් ක්‍රියා කිරීමටයි. නමුත් ඇවිදින මිනියක්, සොම්බියෙක් ඕනෑම දෙයක් කිරීමට සමත් ය.  අවශ්‍ය වුවහොත්  පොහොට්ටු-යුූඇන්පී ඒකාබද්ධය මැතිවරණයක් වැළැක්වීම සඳහා ඕනෑම දුරකට යාමට පසුබට නොවනු ඇත. මන්ද යත් මැතිවරණය පැවැත්වුව හොත්  ආණ්ඩුව තවදුරටත් මහජන විශ්වාසය භුක්ති නොවිඳින බවත්, එබැවින් බලයේ සිටීමට නීත්‍යානුකූල භාවයක් නොමැති බවත් හෙළි වනු ඇති නිසාය.

මධ්‍ය වාර මැතිවරණයකින් පැරදී  නොන්ඩි ගසමින් ගසමින් යෑමට සිදුවීම වීම තරම් කනස්සල්ලට කරුණක් තවත් නැත.

අලුත්ම වටයේ විදුලි ගාස්තු ඉහළ දැමීම් නිසා සියලු අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවල පිරිවැය අහස උසට ගොස් සාමාන්‍ය මිල මට්ටම නැවතත් ඉහළ නැංවෙනු නියතය.

ඇත්තටම නම්, සති කිහිපයකින් මැතිවරණයක් පැවැත්වීමට අදහස් කරන්නේ නම්, මේ වන විටත් පාරට බැසීමට තරම් වෛරයෙන් පෙළෙන ජනතාවගේ දුක්ඛිත තත්ත්වය උග්‍ර කිරීමට කිසිදු රජයක් එඩිතර නොවනු ඇත.

මහජන උපයෝගිතා කොමිසම පාගා දමා විදුලි මිල ඉහළ දැමූ ආණ්ඩුව  දැන් මැතිවරණ කොමිසම වෙත හැරීමට ඉඩ තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ගෙවල්වලට ගල් ගැසූ, වැඩ වර්ජන මැඬලීමට කම්කරුවන් දස දහස් ගණනක් නෙරපා දැමූ, විරුද්ධ මත මර්දනය කිරීමට අසංඛ්‍යාත විපක්ෂ ක්‍රියාකාරීන්ට පහරදී, වධදී, මරා දැමූ, තම අවශ්‍යතා ඉටුකර ගැනීමට රාජ්‍ය ආයතන හසුරුවමින්,  මහජනයා දඩයම් කළ ඉතිහාසයක් යුඇන්පීයට  තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුද එතරම්ම දුෂ්ඨය. එහි නායකයෝ අගවිනිසුරුවරියක නෙරපා හරිමින්, අධිකරණයට ඇඟිලි ගසා, රාජ්‍ය සේවය තම අතේ ඇති ගිරයක් බවට පත් කර ගෙන, නීතිපති දෙපාර්තමේන්තුව ආණ්ඩුවේ උපාංගයක් කර, දේශපාලන විරුද්ධවාදීන්ට පහර දී මරා දමා, රාජ්‍ය නිලධාරීන් තම ගෝලබාලයන් බවට පත්කර ගෙන සිටිති.

අද එම පක්ෂ දෙක එකතු වී සිටින්නේ තමන්ගේ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට පමණි. ඔවුන්ගේ ඒකාබද්ධ පරිපාලනය, භයංකාරත්වය කැඳවූ ඩීමෝස් සහ ෆෝබෝස් නම් ග්‍රීක අවතාරයන් අතර හෝ ‘මහසෝනා’ සහ ‘රීරි යකා’ අතර හෝ ඇති වූ සන්ධානයක් වැනිය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය විශාල අනතුරක පවතින බවත්, හිට්ලර්ගේ මර්ධනකාරී තෙවැනි රීච්හි ශ‍්‍රී ලාංකීය අනුවාදය වැඩි ඈතක නොවන අනාගතයේදී යථාර්ථයක් බවට පත් නොවන පරිදි ශක්තිමත්ව සහ මූලික කරුණ ලෙස ආරක්ෂා කළ යුතු බව අමුතුවෙන් කිව යුතු නැත.

විපක්‍ෂය බෙරිහන් දීම නවතා ගොනා අං දෙකෙන් අල්ලා  බිමටම පෙරළිය යුතුය.

(දි  අයිලන්ඩ් 17.02.23 දිව කතු වැකියේ සිංහල අනුවාදය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි)

 

Archive

Latest news

Related news