Tuesday, July 16, 2024

පලාත් පාලන ඡන්දය කල් යයි; මුදල් ලේකම් ව්‍යවස්ථාව කෙළෙසන බවට නිදහස් ජනතා සන්ධානයෙන් ලිපියක්

ප්‍රමාණවත් පරිදි මුදල් ලබා නොදීමෙන් සැලසුම් කළ දිනට මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමසාරිස්වරයා දැනුම් දුන් බව ප්‍රකාශ කරන  නිදහස් ජනතා සන්ධානය  ඉතාම චේතනාන්විතව මෙවර මැතිවරණය කල් දැමීම සඳහා ඔබව පාවිච්චි කරමින් රජයට සම්බන්ධ සියලූ පාර්ශව කටයුතු කරමින් සිටින බව ඉන් හැඟී යන බව ප්‍රකාශ කරයි. ප‍්‍රධාන ගණන් දීමේ නිලධාරියා ලෙස කටයුතු කරන ඔබතුමා මුදල් නිකුත් නොකිරීමෙන් මේ වනවිට තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමේ කාර්යය නිසි ලෙස ඉටුකර ගැනීමට නොහැකිව නතරවී ඇත..ඉතාම චේතනාන්විතව මෙවර මැතිවරණය කල් දැමීම සඳහා ඔබව පාවිච්චි කරමින් රජයට සම්බන්ධ සියලූ පාර්ශව කටයුතු කරමින් සිටින බවත් ප‍්‍රධාන ගණන් දීමේ නිලධාරියා ලෙස කටයුතු කරන ඔබතුමා මුදල් නිකුත් නොකිරීමෙන් මේ වනවිට තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමේ කාර්යය නිසි ලෙස ඉටුකර ගැනීමට නොහැකිව නතරවී ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.

ලිපිය සම්පූර්නයෙන්:

2023-02-17

ලේකම්
මහින්ද සිරිවර්ධන මහතා
මුදල් අමාත්‍යංශය
කොළඹ

ලේකම්තුමනි

2023 පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් නිකුත් නොකිරීම සම්බන්ධවයි…

පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස නිදහස් ජනතා සන්ධානය මාර්තු 09වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ 2023 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පළාත් පාලන ආයතන 207ක් සඳහා අපේක්ෂකයින් 6042 දෙනෙකුගෙන් යුක්තව රට පුරා තරග වැදීමට කටයුතු කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන ප‍්‍රබල දේශපාලන පක්ෂයක් ලෙසිනි. තවද සමස්ථයක් ලෙස රට පුරා අපේක්ෂකයන් 80,000 කට අධික ප‍්‍රමාණයක් ඇප මුදල් තැම්පත් කරමින් මෙම මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටියි.

එවැනි තත්ත්වයක් යටතේ අප කටයුතු කරමින් සිටියදී මැතිවරණ කොමසාරිස්තුමා දන්වා සිටියේ ප‍්‍රමාණවත් පරිදි මුදල් ලබා නොදීමෙන් සැලසුම් කළ දිනට මැතිවරණය පැවැත්වීමට නොහැකි බවයි. එම ප‍්‍රකාශයත් සමග අප හට හැඟීයන්නේ ඉතාම චේතනාන්විතව මෙවර මැතිවරණය කල් දැමීම සඳහා ඔබව පාවිච්චි කරමින් රජයට සම්බන්ධ සියලූ පාර්ශව කටයුතු කරමින් සිටින බවයි. ප‍්‍රධාන ගණන් දීමේ නිලධාරියා ලෙස කටයුතු කරන ඔබතුමා මුදල් නිකුත් නොකිරීමෙන් මේ වනවිට තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමේ කාර්යය නිසි ලෙස ඉටුකර ගැනීමට නොහැකිව නතරවී ඇත.

එය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා සම්ප‍්‍රදාය විරෝධී ක‍්‍රියාවක් ලෙස නිදහස් ජනතා සන්ධානය පිළිකුලෙන් යුතුව හෙළා දකියි.

රටේ පාලන ආකෘතිය අනුව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් ඔබ ව්‍යවස්ථාදායකය සහ විධායකය යන ආයතන දෙකටම වගකිව යුතු වන අතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 104 වගන්තියට අනුව මැතිවරණ පැවැත්වීම සදහා පූර්ණ සහයෝගය ලබාදීමට  ” රජයේ නිලධාරීන් සහ ආයතන වගකීමෙන් බැඳී සිටී..” යන කාරණය ඔබට අවධාරණය කර සිටින්නේ ඉතා වගකීම් සහගතවය. 2023 අයවැයෙන් මැතිවරණ කොමිසම වෙත ලබාදී ඇති මුදල් නිකුත් කිරීමට ඔබ වගකීමෙන් බැඳී සිටින අතර,එම මුදල් හරහා සිදුකරන මැතිවරණ කටයුතු මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතා කැමැත්ත විමසීම සිදුකරනු ලබන බව ඉතා පැහැදිලිය.

තවද, අයවැයෙන් මැතිවරණ කොමිසම සදහා මුදල් වෙන්කිරීම හරහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුලංඝනීයව පවත්වාගෙන යාමට පදනමක් සකස් කරන බවද පැහැදිලි කර ඇත. මැතිවරණ කොමිසම වෙත මුදල් නිකුත් නොකිරීමෙන් ඔබ සිදු කරනුයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව අපි තරයේ විශ්වාස කරන්නෙමු.

2023.02.02 දින ඔබ විසින් නිකුත් කරනු ලැබූ අයවැය චක‍්‍රලේඛ අංක 02/2023 අංක 03 යටතේ,

(උපුටා ගැනීම ) –  ” කල්දැමිය නොහැකි අත්‍යාවශ්‍ය මහජන සේවා පවත්වා ගැනීම සදහා පෞද්ගලික හෝ රාජ්‍ය අංශයේ ආයතන සමග දැනටමත් බැඳීම් ඇතිකරගෙන ඇති සේවාවාන් සම්බන්ධයෙන් සහ එදිනෙදා අත්‍යාවශ්‍ය රාජකාරි කටයුතු සදහා පෞද්ගලික හෝ රාජ්‍ය අංශයේ ණය පදනම මත සේවා ලබාගැනීම සම්බන්ධයෙන් මෙමගින් බාධාවක් ඇති නොවිය යුතුය.”

මෙලෙස ඔබ විසින් අනෙකුත් ආයතන සහ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබුණද එම උපදෙස් ඔබ නොපිළිපැදීම පිළිබඳව අපි දැඩි ලෙස කනගාටුවට පත්වන්නෙමු.

එසේම මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කරමින් ඉදිරිපත්වූ 80,000කට ආසන්න අපේක්ෂකයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සඳහා ඔබද ඝෘජු ලෙස සම්බන්ධවී ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

එමනිසා ඉහත කරුණු සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමුකර කඩිනමින් එය නිවැරදි කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින අතර, එය නිවැරදි නොකරන්නේ නම් ඔබට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කිරීමටත්, අප සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 35 දෙනාම ඔබට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ පෙනී සිටීමට පෙළ ගැසෙන බවත් මෙසේ දන්වා සිටිනු කැමැත්තෙමු.

Archive

Latest news

Related news