Saturday, April 27, 2024

පලාත් පාලන ඡන්දය වෙනුවෙන් 18දා ඉදළ පාර‌ට බහිනවා, තවත් පියවර ගන්නවා – අනුර කුමාර දිසානායක

එක් අයෙකුගේ ඔටුන්න රැකගැනීම වෙනුවෙන් රටක අනාගතයක් අළු දූවිලි වීමට ඉඩදිය නොහැකි බවත් ඡන්දය වැලැක්වීමට ගන්නා ක්‍රියාමාර්ගවලට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදට තුළ ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ, මානවහිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සංවිධාන සමග සාකච්ඡා කිරීම ඔවුන් දැනුවත් කිරීම, ජාත්‍යන්තර වශයෙන් සිටින ශ්‍රී ලාංකිකයන්ගේ මැදිහත්විමෙන් අදාල ජාත්‍යන්තර සංවිධාන තුළ උද්ඝෝෂණ ක්‍රියාමාර්ග දියත් කිරීම, මැතිවරණය කඩාකප්පල් කිරීමට කටයුතු කරන නිලධාරීන්ට සහ දේශපාලකයන්ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගවලට අවතීර්න සහ ලබන 18 වනදා සිට මහජනතාව සමග මහපාරේ උද්ඝෝෂණමය ක්‍රියාමාර්ගවලට අවතීරණ වීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ඉදිරියේදී ජාතික ජන බලවේගය ක්‍රියාත්මක කරන බවත් එහි නායක අනුර දිසානායක අවධාරණය කළේය.

අනුර දිසානායක එහිදී වැඩිදුරටත් දැක්වූ අදහස්,

“මේ පළාත් පාලන මැතිවරණය පසුගිය වසරේ මාර්තු මස පැවැත්වීමට තිබූ මැතිවරණයක්. මේ මාර්තු මාසෙ 20දාට පෙර සියලුම පළාත් පාලන ආයතන යළි පිහිටවිය යුතුව තිබෙනවා. ඒ සඳහා මැතිවරණය පැවැත්වීමේ පූර්ණ බලය තිබෙන්නේ මැතිවරණ කොමිසමට. නාම යෝජනා භාරගෙන මැතිවරණ දිනය ප්‍රකාශ කළාට පසුව 23 දිනය වන විට දින 33ක් ගතවෙලා තිබෙනවා. ඉතිරිවී තිබෙන්නේ දින 11ක් වැනි කෙටි කාලයක්. 22 වෙන විට තැපැල් ඡන්ද විමසීමේ අවස්ථාව ප්‍රකාශයට පත්කොට තිබෙනවා. ආණ්ඩුවට අවශ්‍යව තිබෙනවා මේ තැපැල් ඡන්දය ප්‍රකාශයට පත්කිරීම වැළැක්වීමට. ඒ සඳහා අධිකරණයේ හෝ පාර්ලිමේන්තුවේ අවස්ථාවක් නැහැ.

මැතිවරණ ක්‍රියාදාමය කඩාකප්පල් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මැදිහත් වෙමින් තිබෙනවා. ඔහු මුදල් අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයක් මගින් මුදල් වියදම් කළ යුතු ක්ෂේත්‍ර පිළිබඳ නියෝගයක් භාණ්ඩාගාරයේ ලේකම්වරයාට ලබාදෙනවා. එම ක්ෂේත්‍රයට මැතිවරණය ඇතුළත් කර නැහැ. ඔහු භාණ්ඩාගාර ලේකම්වරයාට නියෝගයක් දෙන්න උත්සාහ කරනවා ඡන්දෙට සල්ලි දෙන්න එපා කියලා.

ඒත් මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශේෂ උත්සාහයක් දරමින් තැපැල් ඡන්ද පැවැත්වීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. තැපැල් ඡන්ද පැවැත්වීම සඳහා ප්‍රධාන වශයෙන් කටයුතු දෙකක් සම්පූර්ණ විය යුතුයි. එක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම. දෙක ඒ මුද්‍රණය කරන තැපැල් ඡන්ද පත්‍රිකා අදාළ මධ්‍යස්ථාන කරා ගෙන යාම. ලක්ෂ හයකට ආසන්න ප්‍රමාණයක් තැපැල් ඡන්ද පත්‍රිකා අවශ්‍යයි. ලක්ෂ තුනකට වඩා වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කර අවසන්. මුද්‍රණ දෙපාර්තමේන්තුව සතුව ඡන්ද දෙකකට අවශ්‍ය වෙන ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න කඩදාසි තිබෙනවා. ඡන්ද දෙකකට අදාළ මුද්‍රණ කටයුතු කිරීමට අවශ්‍ය වෙන තීන්ත තිබෙනවා. මුද්‍රණ දෙපාර්තමේන්තුවට අතිරේක පිරිවැයක් දැරීමට සිදුවන්නේ නැහැ. ගෙවන්න වෙන්නේ සේවකයන්ගේ පඩි නඩි හා අතිකාල ගෙවීම් පමණයි. මුද්‍රණ දෙපාර්තමේන්තුව මේ කාර්ය කරගෙන යමින් තිබුණා.

හදිසියේ ජනාධිපතිවරයා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් මුද්‍රණාලයාධිපතිනි ගංගානි මහත්මිය, නීතිපතිවරයා, භාණ්ඩාගාරයේ ලේකම්වරයා ඇතුළුව රැස්වීමක් කැඳවා තිබෙනවා. ඒ රැස්වීමේදී ඔහු නියෝගයක් දෙනවා, ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අත්හිටුවන ලෙසට. ඊට අනුරූපීව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය පෙරේදා (13) ලිපියක් යවනවා, මැතිවරණ කොමිසම් සභාවේ සභාපති වෙත. ඇය එහි කියනවා, “උක්ත මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ පෙත්සමක් විභාග වන බැවින්, එහි අවසන් විනිශ්චයක් ලබාදී නොමැති හෙයින් උක්ත ඡන්ද පත්‍රිකා මුද්‍රණය හා ඒ සම්බන්ධයෙන් යන පිරිවැය දැරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී ඇත.” කියලා.

අධිකරණයේ විභාග වී තිබෙන නඩුවක් මත මුද්‍රණාලයේ කටයුතු අඩපණ විය නොහැකියි. අධිකරණය විනිශ්චයක් දුන්නාට පසුවයි එය නීතියක් බවට පත්වෙන්නේ. ලංකාවේ හැම මැතිවරණයකට කවුරු හෝ නඩුවක් දැමුවහොත් මුද්‍රණාලයෙන් නඩුවක් තිබෙන නිසා ඡන්ද පත්‍රිකා ගහන්න නොහැකි බව ප්‍රකාශ කරනවා නම් ගැටලුවක්. මේ හිතාමතාම රනිල් වික්‍රමසිංහගේ බලපෑම නිසාම රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් ගනු ලැබූ අනීතික ක්‍රියාදාමයක්. ඒ වගේම භාණ්ඩාගාර ලේකම්වරයා බැඳී සිටින්නේ රජයේ මුදල්වලට. රජයේ මුදල්වල මූලික වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවට.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත් පාර්ලිමේන්තුවට පැවරී තිබෙන ප්‍රධානම දේ තමයි මූල්‍ය බලය. භාණ්ඩාගාරවරයාට හෝ මුදල් අමාත්‍යවරයාට හෝ කැබිනට් මණ්ඩලයට අපේ රටේ මුදල් පිළිබඳ බලයක් නැහැ. පසුගිය අයවැයෙන් මැතිවරණය සඳහා පාර්ලිමේන්තුවෙන් මුදල් වෙන්කර තිබෙනවා. දැන් භාණ්ඩාගාර ලේකම්වරයාගේ වගකීම තමයි ඒ ප්‍රතිපාදන නිසි පරිදි අදාළ වැය ශීර්ෂයන්ට අනුව ලබාදීම.

භාණ්ඩාගාර ලේකම්වරයාගේ වගවීම තිබෙන්නේ එතනට. දැන් ඔහු මුදල් ලබා නොදෙන තත්වයක් ඇතිකොට තිබෙනවා. මේ මුළුමනින්ම ජනාධිපතිවරයා තමන්ගේ බලය අනිසි ලෙස උපයෝගී කර ගනිමින් රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කිරීම මගින් මෙම මැතිවරණය කඩාකප්පල් කිරීම සඳහා දරන ප්‍රයත්නයක්. එහෙම ප්‍රයත්නයකට අපි ඉඩ දිය යුතුද?

එක මේ මැතිවරණය වසරකට වඩා ප්‍රමාද වෙලා තිබෙනවා. ඒ අනුව මැතිවරණය පැවැත්විය යුතුයි. දෙවනුව අපේ රටේ පාර්ලිමේන්තුවෙත් විධායකයේත් විකෘති ජනවරමක් තිබෙන්නේ. වර්තමාන ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට එන්නවත් මේ රටේ ජනතාව ජනවරමක් දුන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ බලය තිබ්බත් ඒ බලය සී සීකඩ විසිරී තිබෙන්නේ. ගොඩක් අය එළියේ. ජනවරම ලැබුණු මහින්ද රාජපක්ෂ එළියේ. මේ විකෘති ජනවරමක් නැති පාලනයක් තිබෙන්නේ. රටේ ජනතාවගේ කැමැත්ත මැනීමේ නිශ්චිත අවශ්‍යතාවයක් මේ රටට තිබෙනවා.

රටේ ජනතාවගේ ජන මතය අවශ්‍ය වන්නේ මේ වගේ වෙලාවක. ව්‍යවස්ථානුකූලවත් ඡන්දය ඇවිත් තිබෙනවා. රටේ පවතින කැළඹිලි අනුව ජනතාවගේ මතය කුමක්ද කියා දැනගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් පුරවැසියන්ට තිබෙනවා. මේ වෙලාවේ නොපවත්වන ඡන්ද මොකටද?

ආණ්ඩුව විසින් ගෙනඑන ප්‍රධාන තර්කය තමයි මුදල් නැති බව පැවසීම. තිබෙන්නේ සීමිත මුදල් ප්‍රමාණයක් නම් ප්‍රමුඛතාවය අනුව වැය කළ යුත්තේ මොන මොන ඒවාටද යන්න තීරණය කිරීමට තමයි පාර්ලිමේන්තුව, භාණ්ඩාගාරය ඉන්නේ. භාණ්ඩාගාරයේ ගිණුම පවත්වාගෙන යන්නේ බැංකු අයිරාවෙන්. ලංකා බැංකුවෙන් පවත්වාගෙන යන භාණ්ඩාගාරයේ ගිණුමේ ධන ශේෂයක් තිබුණේ නැහැ. හැමදාම තිබුණේ ඍණ. හැමදාමත් කළේ ප්‍රමුඛතාවය අනුව.

ප්‍රජාතන්ත්‍රවාදය තමයි ජනතාවගේ කැමැත්ත. ජනතා කැමැත්ත නැති පාලනයකට මුදල් වියදම් කිරීමේ බලයක් නැහැ. මේ ජනතාවගේ මුදල්, ජනතාව වෙනුවෙන් වැය කළ යුතුයි. ඒ අර්ථයෙන් වුවද මේ ජනවරම විමසිය යුතුයි. නමුත් දැන් ආණ්ඩුව කඩාකප්පල්කාරීව කටයුතු කරමින් ඉන්නවා.

ආණ්ඩුව ගත් පළමුවෙනි කඩාකප්පල්කාරී ක්‍රියාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්, නීල් හපුහින්න මගින් ගත් ක්‍රියාමාර්ගය. දිසාපතිවරුන්ට ඇප මුදල් භාර නොගන්නා ලෙස දන්වමින් ව්‍යවස්ථා විරෝධී ලිපියක් යැව්වා. එවැනි කැබිනට් තීරණයක් ගත් බව පවසමින් කැබිනට් ලේකම්වරයා නීල් හපුහින්නට ලියුමක් යවා තිබෙනවා. මම පාර්ලිමේන්තුවේදී විමසා සිටියා මෙවැනි තීරණයක් ගත්තාද යන්න. අගමැතිවරයා ප්‍රකාශ කළා එවැනි තීරණයක් නොගත් බව. තමන්ගේ කැත වුවමනාවන් සඳහා නිලධාරීන් පාවිච්චි කර ගන්නවා. අවස්ථාව ලද පළමුවැනි මොහොතේදීම පාවා දෙනවා. අපි නීල් හපුහින්නට විරුද්ධව අපි නඩුවක් ගොනු කරනවා.

මේ අවස්ථාවේදීත් ඡන්දය පැවැත්වීම කඩාකප්පල් කිරීම සඳහා ජනාධිපතිවරයා තමන්ගේ සැඟවුණු හස්තය යොදා මුද්‍රණාලයාධිපතිනිය සහ භාණ්ඩාගාර ලේකම්වරයා යොදා ගෙන තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 වගන්තියේ විස්තර ගණනාවක් තිබෙනවා. කොමිසමට තිබෙන බලයත් කොමිසම විසින් ලබාදෙන නියෝගත් මේ නිලධාරීන් ක්‍රියාත්මක කළ යුතු බව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වෙනවා.

“ඡන්ද විමසීමක් හෝ ජනමත විචාරණයක් පැවැත්වීමට අදාළ සියලුම නීති බලාත්මක කිරීම, සුරක්ෂිත කිරීම, කොමිෂන් සභාවේ කාර්යය විය යුතු අතර, එසේ ඒ නීති බලාත්මක කිරීම සුරක්ෂිත කිරීමේලා කොමිෂන් සභාවේ සහයෝගය දැක්වීම ඒ නීති බලාත්මක කිරීම බාරව සිටින සියලුම බලධරයන්ගේ කාර්යය විය යුත්තේය”

කොමිෂන් සභාව කියනවා, ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර දෙන්න. බලධරයන්ගේ කාර්යය විය යුත්තේ ඒ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර, ලබාදීම. කොමිෂන් සභාව කියනවා ඡන්දය සඳහා අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබාදෙන්න. පොලිස් අමාත්‍යවරයාගේ කාර්යය තමයි එම කාර්යය සම්පාදනය කිරීම. කොමිසමෙන් භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් ඉල්ලා සිටිනවා අයවැය ලේඛනයේ සම්මත කර ඇති පරිදි මේ මුදල් ලබාදෙන්න. එය ලබාදීම භාණ්ඩාගාර ලේකම්වරයාගේ වගකීම. ඒ කාර්යය ඉටු නොකරනවා නම්,

“යම් ඡන්ද විමසීමක් පැවැත්වීමට හෝ ජනමත විචාරණයක් පැවැත්වීමට අදාළ යම් නීතියක් බලාත්මක කිරීම සහතික කිරීම පිණිස කොමිෂන් සභාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රතික්ෂේප කරන හෝ අපොහොසත් වන ඕනෑම ආයතනයක්” වරද කරුවෙක් කිරීමට පුළුවන්. ඒ නඩුවේදී “ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ අවුරුදු තුනක් නොඉක්මවන බන්ධනාගාර ගත කිරීමට හෝ එකී දඩය හා බන්ධනාගාර ගතකිරීම යන දඬුවම් දෙකටම යටත් විය යුත්තේය.” මේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ අනුව සාපරාධී පැහැර හැරීම් ලෙස නඩුවක් පැවරීමට හැකියාව තිබෙනවා.

මෑත කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදීපු ඉතාමත් වැදගත් තීන්දුවක් තිබෙනවා. හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරත්, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුත්, බුද්ධි අංශයේ ප්‍රධානී නිලන්ත ඇතුළු කණ්ඩායම වෙනුවෙන් දෙන ලද තීන්දු. එම නිලධාරීන්ට පැවරී තිබෙන වගකීම ඉටුකිරීමට අසමත් වීම. ජනතාවට ඔවුන්ගේ තිබෙන වගවීම අත්හැරීම. ඒ අනුව තමයි, තමන්ගේ පුද්ගලික මුදලින් මිලියන 75, මිලියන 50 වන්දි ගෙවන්න තීරණය කර තිබෙන්නේ. ඒක මත අපරාධ පිළිබඳ නඩුවක් යන්න පුළුවන්. මූලික අයිතිවාසිකම් නඩුවකින් සාපරාධී ලෙස වගකීම් පැහැර හැරීම ලෙස, නඩුවක් ගොනු කළ හැකියි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටත් මේ තීන්දුව ලබාදී තිබෙනවා. තමන්ගේ වගවීම් පැහැර හැරීම නිසා. බිලියන 100ක දඩයක් ඔහුට නියම කර තිබෙනවා.

ජනතාවට තිබෙන වගවීම් පිළිබඳ නිලධාරීන්ගේ තිබෙන බැඳීම. ජනතා බදු මුදලින් වැටුප් ගෙවමින්, වාහන – ඉන්ධන සපයමින්, දුරකථන ලබාදෙමින්, නිවාස ලබාදෙමින්, ගෞරවය හා වටිනාකම ලබාදෙන්නේ ජනතාව වෙනුවෙන් වගකීම් ඉටුකිරීමටයි. ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ වගවීම් ඉටුකිරීමට අසමත් නම්, ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව සහ අයිතියක් ජනතාවට තිබෙනවා.

ජනාධිපතිවරයාගේ වගවීම තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරක්ෂිත කිරීමටයි. ජනාධිපතිවරයා හිතාමතා මැතිවරණය කඩාකප්පල් කිරීමට කටයුතු කරමින් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ තමන් දිනන කොට ඡන්දය පවත්වන එකත්, තමන් පරදින විට ඡන්ද නොපවත්වන එකත් නොවෙයි. ජනාධිපතිවරයාගේ බැඳීම තිබෙන්නේ මහජනයාට හෝ ආර්ථිකයට හෝ ප්‍රජාතන්ත්‍රවාදයට නොවෙයි. ඔහුගේ බැඳීම තිබෙන්නේ ඔහුව පුටුවේ වාඩි කළ අය වෙනුවෙන් හා ඔහුට ඡන්දය දුන් 134ටත් පමණයි.

ඒ අයගේ මනදොළ සැපිරීම සඳහා අමාත්‍ය ධුර ලබාදෙමින් වරප්‍රසාද ලබාදෙමින් තිබෙනවා. ඡන්දය නොපැවැත්වීමට ප්‍රධානම හේතුව වන්නේ 134දෙනාගේ හඬට ඇහුම්කන් දීම හා ඒ අයගේ බලවත් වුවමනාව. රනිල්ගේ වුවමනාවත් 134 වුවමනාවත් එකට සමපාත වෙලා තිබෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිවරණය කඩාකප්පල්කාරී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකට අවතීර්ණ වෙලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි අවම හෝ විශ්වාසයක් තිබෙනවා නම් එය බිඳවට්ටමින් තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා අවස්ථා තුනකදී ප්‍රකාශ කර තිබුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාමාර්ගය ඉදිරියට යන්න නම්, ජනතාවගේ ජන වරම තිබිය යුතුයි කියලා. තනි මිනිහෙක් තමන්ගේ ඔටුන්න ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රටකුත් සමාජයකුත් ආර්ථිකයකුත් අනාගතයකුත් දූවිලි අළු බවට පත්කරමින් තිබෙනවා. මේකට අපි කිසි කෙනෙක් යටත් විය යුතු නැහැ. යටත් වීමට ඉඩදිය යුතුත් නැහැ.”

ඔහු  අදහස් පළ කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (15) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි

-ලංකා ට්රුත්.

Archive

Latest news

Related news