ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගමන තවමත් නොවිසඳුනු උභතෝකෝටික ගැටලුවලින් සලකුණු වී ඇත. මුල් බැසගත් විධායක ආධිපත්‍යය, බිඳෙනසුලු මූලික අයිතිවාසිකම්, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ ඉටු නොවූ පොරොන්දු සහ නොවිසඳුනු ජාතික ගැටළුව ඒ අතර ප්‍රධානය. මෙම අභියෝග අසමානතාවයන් ගැඹුරු කොට, ජනවාර්ගික සබඳතා පීඩාවට පත් කර, ප්‍රජාතන්ත්‍රවාදී වගවීම දුර්වල කර ඇත. ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය තාවකාලික දේශපාලන බහුතරයන්ගෙන් වඩා ස්ථිරව සුරක්ෂිත කළ යුතු බවත්, අධිකරණ සමාලෝචනය පාර්ලිමේන්තුවද ඇතුළු සියලු රාජ්‍ය ක්‍රියාවන් දක්වා විහිදිය යුතු බව ලේඛකයා තර්ක කරයි. මෙම දැක්මෙහි කේන්ද්‍රය වන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමයි. එහි බලය සංකේන්ද්‍රණය කිරීම පාර්ලිමේන්තුවට හානි කර ඇති අතර ජනතාවගේ පරමාධිපත්‍යය හීන කර ඇත. සමානාත්මතාවය, සමාජ යුක්තිය සහ මානව ගරුත්වය ආරක්ෂා කරන සහ ස්වාධීන අධිකරණයක් විසින් බලාත්මක කරන නවීන මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් සම්මත කර ගැනීමද ඒ හා සමානව වැදගත් වේ. බලය බෙදා හැරීම කල යුත්තේ කුඩා ජනවර්ගවලට සහනයක් ලෙස නොව, විවිධත්වය තුළ එකමුතුකම සහ වාර්ගික සාමයේ අත්තිවාරම් දැමීම සඳහා ව්‍යවස්ථාමය අවශ්‍යතාවයක් ලෙස ය.
2015-2019 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ මෙහෙයුම් කමිටුවේ සහ අනු කමිටුවල වාර්තා අනුව, එදා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මතවූයේ එය “ප්‍රතිසංස්කරණවාදී” ව්‍යවස්ථාවකට සහ “පරිවර්තනීය” ව්‍යවස්ථාවකට අතරමැදි එකක් වීමට ඉඩ තිබුණි. අනෙක් අතට, 2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්මත වූයේ නම් එය නිසැකවම “පරිවර්තනීය” එකක් වනු ඇත. ශ්‍රී ලංකා ජනරජයට වසර 54ක් පිරෙන මේ අවස්ථාවේදී, තුන්වන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අප ඉල්ලා සිටිය යුතු බවත්, එය හුදෙක් “ප්‍රතිසංස්කරණවාදී” එකක් නොව “පරිවර්තනීය” එකක් විය යුතු බවත් මෙම ලේඛකයා කියා සිටී.
‘අරගලයේ’ වැදගත්කම
2000 සිට මේ දක්වා සිදුවූ දේ බොහෝය. බෙදුම්වාදී යුද්ධය අවසන් වී ඇති නමුත් ජනවාර්ගික ගැටළුව දිගටම පවතී. 2022 අරගලය, ඒකාධිපතිවාදය, දූෂණය, රාජවංශික ස්වරූපයේ පවුල් පාලනය සහ ආර්ථික අක්‍රමිකතාවන්ට එරෙහිව පුරවැසියන් විසින් මෙහෙයවන ලද ඓතිහාසික නැගිටීමක් සනිටුහන් කළ අතර එය රටේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. පොදු අවකාශය නැවත ලබා ගැනීම, වගවීම සඳහා ඇති ඉල්ලීම සහ සාමාන්‍ය පුරවැසියන්ට, විශේෂයෙන් තරුණයින්ට, මුල් බැසගත් දේශපාලන රාජවංශවලට අභියෝග කළ හැකි බවට ප්‍රකාශ කිරීම අරගලය සංකේතවත් කළේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේවාට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද?
ජනවාර්ගික හා පන්ති භේද ඉක්මවා යමින්, සාමාන්‍ය පුරවැසියන් පොදු අවකාශය නැවත ලබා ගනිමින්, මුල් බැසගත් ප්‍රභූන්ගෙන් වගවීම ඉල්ලා සිටි ප්‍රජාතන්ත්‍රවාදී පිබිදීමක් ලෙස අරගලයේ මූලික වැදගත්කම පවතී. එය දූෂණය, ඥාති සංග්‍රහය සහ අසීමිත විධායක බලය ප්‍රතික්ෂේප කිරීම සංකේතවත් කළ අතර, පද්ධතිමය වෙනසක් නැතහොත් “සිස්ටම් චේන්ජ්” එකක් ඇති කිරීම සඳහා බිම් මට්ටමේ, තරුණයින් විසින් මෙහෙයවනු ලබන බලමුලු ගැන්වීමේ හැකියාව තහවුරු කළේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා පදනමක් ලෙස, ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය සහ නීතියේ ආධිපත්‍යය සහතික කිරීමේ, විධායක ආධිපත්‍යය අවසන් කිරීමේ, අධිකරණ ස්වාධීනත්වය සහ ආයතනික වගවීම ඇතිකිරීමේ හදිසි අවශ්‍යතාවය අරගලය අවධාරණය කළේය. පරමාධිපත්‍යය සැබවින්ම ජනතාව කෙරෙහි පවතින බවත්, රාජ්‍ය පාලනය නැවත රාජවංශික හෝ අධිකාරීවාදී පාලනයක් මගින් ඒකාධිකාරී කළ නොහැකි බවත් සහතික කල හැක්කේ ඒ අනුව පමණි. එසේම, අරගලය ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර පෙර නොවූ විරූ සහයෝගීතාවයක් ඇති කළේය. එය වාර්ගික හා ආගමික රේඛා හරහා බැඳීම් ඇති කළ අතර, එහි ප්‍රතිපලයක් ලෙස අද වන විට වාර්ගික හෝ පටු නිකායික වෛරය නැවත ඇති කිරීම භේදකාරී බලවේගයන්ට වඩාත් අපහසු කර ඇත.
අරගලයේ වැදගත් ප්‍රතිඵලයක් වූයේ, රාජවංශික ස්වරූපයේ පාලන අයුක්තිසහගත කිරීම, තරුණයින් සහ පුරවැසි සමාජය ජවසම්පන්න කිරීම, වගවීම සහ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සඳහා වන ඉල්ලීම් මැතිවරණ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම මගින් 2024 මැතිවරණය සෘජුවම හැඩගැස්වීමය. ඡන්දදායකයින් තීරණාත්මක ලෙස අඛණ්ඩතාව ප්‍රතික්ෂේප කර “සිස්ටම් චේන්ජ්” එකක් පොරොන්දු වන නායකත්වයක් සොයන දේශපාලන වාතාවරණයක් නිර්මාණය කළහ.
“ජාතික ජන බලවේගය සිය මැතිවරණ ප්‍රකාශනයෙන් නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට පොරොන්දු විය. විශේෂයෙන්, 2015-19 ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉක්මනින් සම්පූර්ණ කිරීමට එය කැපවීය.”
2024 ජා.ජ.බ. ජයග්‍රහණය
2019 දී, ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන කණ්ඩායම්, තරුණ සංවිධාන, කාන්තා කණ්ඩායම්, වෘත්තීය සමිති සහ සිවිල් සමාජ සංවිධාන ඇතුළු සංවිධාන විස්සකට වැඩි සංඛ්‍යාවක් සමඟ ජාතික ජන බලය පිහිටුවා ගත්තේය. 2019 ජනාධිපතිවරණයේදී සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී එයට හොඳ ප්‍රතිඵල නොලැබුනද, 2022 දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලා ගොස් ඉල්ලා අස්වීමෙන් අවසන් වූ දේශපාලන සංස්ථාපිතයට එරෙහිව ඇති වූ පෙර නොවූ විරූ විරෝධතාවල ප්‍රධාන ප්‍රතිලාභියා එය විය.
2024 ජනාධිපතිවරණයේදී, ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක පළමු වටයේ දී ඡන්දවලින් 42.31% ක් ලබා ගත්තේය. අනෙකුත් අපේක්ෂකයින්ට ප්‍රකාශ කරන ලද චන්ද වල දෙවන සහ තෙවන මනාප ඉහළම අපේක්ෂකයින් දෙදෙනා වන දිසානායක සහ සජබයේ සජිත් ප්‍රේමදාසට දෙවන වටයේදී බෙදා හරින විට, දිසානායක 55.89% ක් ලබා ගත් අතර ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. බලයට පත්වීමත් සමඟ, ජනාධිපති දිසානායක වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. පසුව පැවති මැතිවරණය ඓතිහාසික ප්‍රතිඵලයක් ලබා දුන්නේය. ජාතික ජන බලවේගය ඡන්දවලින් 61.56% ක් සහ ආසන 225 න් 159 ක් ලබා ගනිමින්, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා අවශ්‍ය තීරණාත්මක තුනෙන් දෙකක බහුතරයද ලබා ගත්තේය.
ජාතික ජන බලවේගය සිය මැතිවරණ ප්‍රකාශනයෙන් නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට පොරොන්දු විය. විශේෂයෙන්, 2015-19 ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉක්මනින් සම්පූර්ණ කිරීමට එය කැපවීය. නව ව්‍යවස්ථාවේ ප්‍රධාන ලක්ෂණ වනුයේ විධායක ජනාධිපති ධුරය වෙනුවට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක්, නව මැතිවරණ ක්‍රමයක්, ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් මෙන්ම කාන්තාවන්, ළමුන් සහ ආබාධිතයන්ගේ අයිතිවාසිකම් ඇතුළත් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් සහ “පළාත්, දිස්ත්‍රික්ක සහ පළාත් පාලන ඒකක වෙත දේශපාලන හා පරිපාලන බලය බෙදා හැරීම” ය.
ජාතික ජන බලවේගයේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ සමගි ජන බලවේගය, වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් ඇතුළත්, ආණ්ඩුවේ ස්වරූපය පාර්ලිමේන්තු ක්‍රමයක් බවට පරිවර්තනය කරන සහ තනි රටක් තුළ දහතුන්වන සංශෝධනය මත පදනම්ව උපරිම බලය බෙදා හැරීමක් ලබා දෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට කැපවීම ප්‍රකාශ කළේය.
“සාරාංශයක් ලෙස ගතහොත්, “පද්ධති වෙනසක්” සඳහා වන අරගලයේ හඬ, පරමාධිපත්‍යය සැබවින්ම ජනතාව මත රඳා පවතින සහ අධිකාරීවාදීන් විසින් රාජ්‍ය ආයතන “අල්ලා ගැනීමට” ඉඩ නොදෙන ව්‍යවස්ථාමය රාමුවක් බවට පරිවර්තනය විය යුතුය.”
“සිස්ටම් චේන්ජ්” කරන පරිවර්තනීය ව්‍යවස්ථාවක්
අරගලයෙදී සහ ඉන්පසු නැවතත් 2024 මැතිවරණයේදී අවධාරණය කරන ලද ජනතාවගේ හඬට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද?
සාරාංශයක් ලෙස ගතහොත්, “පද්ධති වෙනසක්” සඳහා වන අරගලයේ හඬ, පරමාධිපත්‍යය සැබවින්ම ජනතාව මත රඳා පවතින සහ අධිකාරීවාදීන් විසින් රාජ්‍ය ආයතන “අල්ලා ගැනීමට” ඉඩ නොදෙන ව්‍යවස්ථාමය රාමුවක් බවට පරිවර්තනය විය යුතුය. සියලු බලය ජනතාවගෙන් ගලා එන බවත්, එම බලය භාරයක් ලෙස, වගවීමෙන් සහ යුක්තියට අනුකූලව ක්‍රියාත්මක වන බවත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තහවුරු කළ යුතුය. පාලනයක් නොමැති අධිකාරි බලයේ, දූෂණයේ සහ රාජවංශික ස්වරූපයේ පාලනයේ අන්තරායන් හඳුනා ගනිමින්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන, විනිවිදභාවය සහතික කරන සහ ආයතනවල ස්වාධීනත්වය ආරක්ෂා කරන ව්‍යවස්ථාමය ව්‍යුහයක් කෙරෙහි පැහැදිලි කැපවීමක් තිබිය යුතුය.
ඉහත සඳහන් දේ සාක්ෂාත් කරගත හැක්කේ හුදෙක් “ප්‍රතිසංස්කරණවාදී ව්‍යවස්ථාවකින්” නොව “පද්ධති වෙනසක්” සඳහා කැපවූ “පරිවර්තනීය ව්‍යවස්ථාවක්” හරහා පමණි. එවැනි ව්‍යවස්ථාවක අත්‍යවශ්‍ය අංගයක් වන්නේ එය ගලේ කෙටූ ලියවිල්ලක් නොව, ගතික, පරිණාමය වන, ආණ්ඩුකරන රාමුවක් බව හඳුනා ගැනීමයි. එසේම එය සමකාලීන යථාර්ථයන්ට ප්‍රතිචාර දක්වන ආකාරයෙන් ව්‍යවස්ථා විධිවිධාන අර්ථකථනය කිරීමට සහ යුක්තිය සහ සමානාත්මතාවය ඉදිරියට ගෙන යාමට අධිකරණවලට හැකියාව ලබා දිය යුතුය. නව ව්‍යවස්ථාව සමාජ යුක්තිය සඳහා ශක්තිමත් කැපවීම මූර්තිමත් කළ යුතුය. දුබල පුරවැසියන් සහ කණ්ඩායම් වලට එරෙහිව කෙරෙන පද්ධතිමය වෙනස්කම් කිරීම අහෝසි කිරීමට සහ ආන්තික ප්‍රජාවන් සඳහා සාධාරණත්වය සහ ගෞරවය සහතික කිරීමට රාජ්‍යයට බලකිරීම අවශ්‍ය වේ. ව්‍යවස්ථාවේ සුජාතභාවය සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය මත ද රඳා පැවතිය යුතුය. ආයතන හැඩගැස්වීමේදී ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඛණ්ඩ සංවර්ධනයට දායකවීමට පුරවැසියන්ට ව්‍යවස්ථාමය අයිතියක් තිබීම වැදගත්ය. සියල්ලටත් වඩා, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ මූලික අයිතිවාසිකම්වලට කැපවී සිටින ජීවමාන මෙවලමක් ලෙස තේරුම් ගත යුතුය. මෙම අර්ථයෙන්, ව්‍යවස්ථාමයවාදයේ අරමුණ වන්නේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම පමණක් නොව, වෙනස්වන සමාජයක යුක්තිය, සමානාත්මතාවය, ඇතුළත් කිරීම සහ අර්ථවත් ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වයක් ප්‍රවර්ධනය කිරීමයි.
සමානාත්මතාවය, සමාජ යුක්තිය සහ මානව ගරුත්වය ඇතුළු සමකාලීන අභියෝගවලට මුහුණ දිය හැකි නවීන, පුළුල්, අයිතිවාසිකම් පරිච්ඡේදයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වේ. අයිතිවාසිකම් හුදෙක් අභිලාෂකාමී නොව සැබෑ සහ බලාත්මක කළ හැකි විය යුතු අතර, ඒවායේ ආරක්ෂාව ස්වාධීන හා නිර්භීත අධිකරණයක් මත රඳා පවතී. ඒ හා සමානව, බලය බෙදා හැරීම දේශපාලන සහනයක් ලෙස නොව, සියලු මට්ටම්වල ජනතාව බලගැන්වීම සඳහා ව්‍යවස්ථාමය අවශ්‍යතාවයක් ලෙස තේරුම් ගත යුතුය. බහුත්වවාදී සමාජයක, විවිධත්වයට ගරු කරමින් ජාතික සමගිය ආරක්ෂා කර ගැනීමට සහ වාර්ගික සාමය සඳහා අඩිතාලම දැමීමට අර්ථවත් බලය බෙදා ගැනීම අත්‍යවශ්‍ය වේ.
ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය සැබවින්ම පරිවර්තනීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුවක මුල්ගල විය යුතුය. ශ්‍රී ලාංකික සන්දර්භය තුළ, කිසිදු රාජ්‍ය ආයතනයකට, පුද්ගලයෙකුට, පවුලකට හෝ දේශපාලන පක්ෂයකට නීතියට ඉහළින් සිටීමට හෝ පුද්ගලික වාසි සඳහා ආයතන හැසිරවීමට නොහැකි බව ව්‍යවස්ථාව ඇඟවිය යුතුය. එබැවින්, සියලු රාජ්‍ය බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාගෙන ඇති බවත් එය මගින් සීමා කර ඇති බවත්, එයට පටහැනි ඕනෑම ක්‍රියාවක් අවලංගු බවත් යන මූලධර්මය පරිවර්තනීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ ඇතුළත්විය යුතුය.
ඉහතකී දෑ සාක්ෂාත් කර ගැනීම සඳහා, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවම වශයෙන්, එහි විධිවිධානවලට අනුකූල නොවන ඕනෑම නීතියක්, අනුනීතියක් හෝ හැසිරීමක් බලරහිත බව තහවුරු කළ යුතු අතර, එමගින් ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය තහවුරු කළ යුතුය. 1947 ව්‍යවස්ථාවෙන් ඉඩදී තිබුණු පරිදි සහ බොහෝ රටවල් ඉඩ දෙන පරිදි නීතියක් සම්මතවූ පසුවද එහි ව්‍යවස්ථානුකූලභාවය සමාලෝචනය කිරීමට අධිකරණයට බලය ඇති බව සහතික කළ යුතුය. 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටතේ මෙන් නොව, පවතින සියලුම නීති, මූලික අයිතිවාසිකම් ඇතුළුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ව අර්ථ නිරූපණය කළ යුතුය. තවද, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක මෙන්ම අනෙකුත් සියලුම ක්‍රියාද අධිකරණ සමාලෝචනයට යටත්ව පැවතිය යුතුය. මූලික අයිතිවාසිකම් අධිකරණ බලය රජයේ සියළු ක්‍රියා – ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ හෝ වෙනත් ආකාරයේ ඒවා වේවා – සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ හැසිරීම් දක්වා ව්‍යාප්ත විය යුතු අතර, එමඟින් ව්‍යවස්ථාමය රාමුව යටතේ පුළුල් වගවීම සහතික විය යුතුය.
“ඒකාධිපති ව්‍යුහයන් බිඳ දමා ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ලබා දීම සඳහා ජාතික ජන බලවේග ආණ්ඩුවට පැහැදිලි ජනවරමක් පවරා තිබුණද, එහි අක්‍රියතාවය එම විශ්වාසය බිඳ දමයි. තවදුරටත් ප්‍රමාද වීමට ඉඩ දිය නොහැක”
අනුලංඝනීය මූලික ව්‍යවස්ථා ව්‍යුහයක්
පාර්ලිමේන්තු මැතිවරණයකින් පසු, පාලක පක්ෂය බොහෝ විට ජනමත විචාරණයක් ජයග්‍රහණය කිරීමේ ඉඩකඩක් පවතී. නමුත් මෙයින් අදහස් කරන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකට සහ ජනයාගෙන් 50% කට ඕනෑම ව්‍යවස්ථාවක් පැනවිය හැකි බවද? උදාහරණයක් ලෙස, ත්‍රස්තවාදීන් යැයි සැක කරන අයට වධහිංසා පැමිණවීමෙන් නිදහස නොමැතිබව ප්‍රකාශ කිරීමට හෝ ශ්‍රී ලංකාව ඒක-පාක්ෂික රාජ්‍යයක් කල හැකිද? ස්ථාපිත ආරක්ෂණ ක්‍රම නොමැති විට, එවැනි භයානක ව්‍යවස්ථාමය වෙනස්කම් වල අවදානම පාලනයකින් තොරව පවතී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරක්ෂිත ක්‍රමවේදයන් ඇතුලත් කිරීමේදී සමබර ප්‍රවේශයක් අනුගමනය කළ යුතුය. අපයෝජනාත්මක සහ අවස්ථාවාදී සංශෝධන වලින් ආරක්ෂා වීමට මූලික මූලධර්ම ආරක්ෂා කරන විධිවිධාන අත්‍යවශ්‍යවේ. එසේම, එවැනි ආරක්ෂණයන් නිරවද්‍යතාවයෙන් හා සංයමයෙන් කෙටුම්පත් කළ යුතුය. ආරක්ෂිත ක්‍රමවේදය ඕනෑවට වඩා පුළුල් ලෙස සකස් කළහොත් එහි ප්‍රතිඵලයක් ලෙස අධික දෘඩතාවයක් ඇතිකර, පරිණාමය වන ප්‍රජාතන්ත්‍රවාදී යථාර්ථයන්ට අනුවර්තනය වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැකියාව සීමා කළ හැකිය.
වඩාත්ම ඵලදායී ආරක්ෂාව ද්විත්ව රාමුවකි. එනම් ව්‍යවස්ථාවේ මූලික අනන්‍යතාවයට සීමා කිරීම සහ ඒ සමඟම එම මූලික මූලධර්මවලට එරෙහිව ව්‍යවස්ථා සංශෝධන පසුව හෝ පරීක්ෂා කිරීමට අධිකරණයට බලය ලබා දීමය. මෙම ප්‍රවේශය, පාලනයේ අනෙකුත් ක්ෂේත්‍රවල නම්‍යශීලීභාවය ආරක්ෂා කරන අතරම, එය වඩාත් අවශ්‍ය වන තැන්වල ස්ථිරභාවයද සහතික කරයි. ශ්‍රී ලංකාව සඳහා කේන්ද්‍රීය පාඩම නම්, ප්‍රජාතන්ත්‍රවාදී අනුවර්තනය වීමට ඉඩ තබමින් ව්‍යවස්ථාමය ස්ථාවරත්වය ඇතිකළ යුතු බවය.
අනාගත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක වෙනස් කළ නොහැකි මූලික ව්‍යුහයක් සාදන මූලික මූලධර්ම මාලාවක් අඩංගු විය යුතු බව ලේඛකයා කියා සිටී. 2024 ජනාධිපතිවරණ ආසන්නයේ දී, ශාස්ත්රාලිකයින් සහ වෘත්තිකයන් කණ්ඩායමක් වන ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය සඳහා වූ සාමූහිකය, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ‘ව්‍යවස්ථාමය මූලධර්ම’ මාලාවක් ඇතුළත් කළ යුතු බවට යෝජනා කළේය. ඒවා ‘ප්‍රජාතන්ත්‍රවාදී ජනරජවාදයේ වෙනස් කළ නොහැකි සහ උල්ලංඝනය කළ නොහැකි වටිනාකම්’ ලෙස විස්තර කළ යුතුය. මෙම මූලධර්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එහි වගන්තිවල අනාගත අධිකරණ අර්ථ නිරූපණය මෙහෙයවන මූලික ව්‍යවස්ථාමය වටිනාකම් මූර්තිමත් කරනු ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී ජනරජවාදයේ සහ සහයෝගීතාවයේ පහත සඳහන් වෙනස් කළ නොහැකි සහ උල්ලංඝනය කළ නොහැකි වටිනාකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හඳුනාගත යුතු බව සාමූහිකය යෝජනා කළේය: මානව ගරුත්වය, සමාජ යුක්තිය, ආර්ථික යුක්තිය, සමානාත්මතාවය සහ මානව හිමිකම් සහ නිදහසේ දියුණුව; වාර්ගික, ස්ත්‍රී පුරුෂ සමාජභාව සහ සමාජ සමානාත්මතාවය; ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ නීතියේ ආධිපත්‍යය; නිතිපතා, අඛණ්ඩව පවත්වන නිදහස් හා සාධාරණ මැතිවරණ සහ බහු-පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය; රාජ්‍ය බලය එක් පුද්ගලයෙකු හෝ ආයතනයක් තුළ සංකේන්ද්‍රණය නොවීම; පාලනයේ සියලු මට්ටම්වල වගවීම, ප්‍රතිචාරාත්මක බව සහ විනිවිදභාවය සහතික කිරීම; සියලු බලධාරීන් මහජන භාරයක් ලෙස බලතල දැරීමේ මූලධර්මයට අනුකූලවීම. ඉහත මූලධර්ම අනුලංඝනීය මූලික ව්‍යවස්ථා ව්‍යුහයක් සඳහා හොඳ පදනමක් බව ලේඛකයා ඉදිරිපත් කරයි.
ඒකාධිපති ව්‍යුහයන් බිඳ දමා ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ලබා දීම සඳහා ජාතික ජන බලවේග ආණ්ඩුවට පැහැදිලි ජනවරමක් පවරා තිබුණද, එහි අක්‍රියතාවය එම විශ්වාසය බිඳ දමයි. තවදුරටත් ප්‍රමාද වීමට ඉඩ දිය නොහැක. මන්ද, ප්‍රතිසංස්කරණ නොමැතිව ගතවන සෑම දිනකම විධායක ආධිපත්‍යය තහවුරුවන අතර ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි මහජන විශ්වාසය බිඳී යන බැවිනි. දැන් අවශ්‍ය වන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, ව්‍යවස්ථාමය ආධිපත්‍යය තහවුරු කිරීම, බලය බෙදා හැරීම ප්‍රවර්ධනය කිරීම සහ සමාජ යුක්තිය සඳහා මග පෑදීම සඳහා තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීමයි. එයින් ස්වෛරීභාවය සැබවින්ම ජනතාවට හිමිවන අතර යුක්තිසහගත, ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක පොරොන්දුව අවසානයේ සාක්ෂාත් වේ.
(ඉදිරියේදී පලකෙරෙන, ලේඛකයාගේ ‘ව්‍යවස්ථා සංවාද’ කෘතියේ උපුටනයන්ගෙන් සකස්කරන ලදී.)

