බාලවයස්කාර දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ මුදලට චේතනාන්විතව ම තම දියණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වින්දිත දැරියගේ මව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු සියපත් සසිඳු වික්‍රමරත්න 22දා නියෝග කළේ ය.
ඒ අනුව සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ඊට අමතරව මුදලින් රුපියල් ලක්ෂයක ඇපයක් ද නියම කළේ ය. සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට විදේශගත වීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් ද නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට ද සැකකාර හිමියන්ට තරයේ අවවාද කෙරිණි.
ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහගේ උපදෙස් මත එම අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂ නීනීඥ සජීවනී අබේකෝන් අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ, මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට “කෙවිටක් අරගෙන පොලිසිය පසුපස යාමට ජාතික ළමාරක්ෂක අධිකාරියට සිදුවූ” බව ය.
සැකකාර පල්ලේගම හේමරතන හිමියන් “තමන්ව දූෂණය කළ” බවට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පිළිගත හැකි සාක්ෂි සහිතව දැරිය ප්‍රකාශ කර ඇති තත්ත්වයක පොලිසිය සැකකාර හිමියන් රැඳී සිටින විහාරස්ථානයට ගොස් ප්‍රකාශ ලබාගෙන උන්වහන්සේ මුදාහැර ඇති බව ද නීතීඥවරිය පැවසුවා ය.
දැරිය සහ හිමිනම අතර දුරකතන සංවාද 84ක්
සැකකාර හිමිනම විසින් තමා අපයෝජනයට ලක් කරන ලද බව කියන ස්ථානය අදාළ ආවාස ගෙයෙහි වමට දකුණට හැරී ගොස් දැරිය නිශ්චිතව පෙන්වා දී ඇති බවත්, අදාළ කාමරය තුළ තිබූ භාණ්ඩ දැරිය එලෙස ම හඳුනා ගත් බවත් අවධාරණය කළ නීතීඥ සජීවනී අබේකෝන් අනාවරණය කළේ, සැකකාර හිමිනම දැරිය සමග ලිංගිකව එක්වීමෙන් පසුව ශුක්‍රාණු පිස දැමූ පාපිස්සක් වැනි යමක් ද දැරිය පෙන්වූ බව ය.
දැරිය ඇතැම් අවස්ථාවල දින තුනෙන් තුනට ගෙන්වාගෙන අපයෝජනයට ලක් කර ඇති බවට තහවුරු වී ඇති බව ද කියා සිටි නීතිඥවරිය, දැරියට දීර්ඝ කාලීන ලිංගික ප්‍රවේශයක් සිදුකර ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරී චමින්ද රාජකරුණා දැරිය පිළිබඳව පැවැත්වූ ස්වකීය අධිකරණ පරීක්ෂණයේදී තහවුරු කරගෙන ඇති බව ද අවධාරණය කළා ය.
සැකකාර හිමිනම සහ දැරිය අතර, දුරකතන සංවාද 84ක් සිදුව ඇති බව දුරකතන විශ්ලේෂණ වාර්තා මගින් දැනටමත් තහවුරු වී ඇති බව ද කියා සිටි නීතීඥ සජීවනී අබේකෝන් ප්‍රශ්න කළේ, ආගමික බලයෙන්, දේශපාලන බලයෙන් සහ ධන බලයෙන් සපිරි මෙවැනි ප්‍රබල හිමිනමකට දුරකතන ඇමතුම් ලබා ගැනීමට තමන් සමග සාමාන්‍ය ජනතාවට හැකියාවක් පවතින්නේ දැයි ප්‍රශ්න කළා ය.
සැකකාර හිමිනම දැරිය අපයෝජනයට ලක් කිරීමෙන් අනතුරුව රුධිරය සහිත දැරියගේ යට ඇඳුම් වළ දමා තිබියදී සොයා ගත් බව ද ප්‍රකාශ කළ නීතීඥවරිය පැවසුවේ, මෙතරම් ප්‍රබල සාක්ෂි තිබියදී පොලිසිය සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීම කල් මරමින් උන්වහන්සේට නිදැල්ලේ වැඩ සිටීමට ඉඩ ප්‍රස්ථාව ලබා දී සිටි බව ද පැවසුවා ය. මෙම සිද්ධියට අදාළ විමර්ශනවලදී පොලිසිය මේ දක්වා දැරියගේ වීඩියෝ සාක්ෂි පවා ලබාගෙන නැති බව ද කියා සිටි නීතිඥවරිය මෙම සිද්ධියට අදාළ සමස්ත විමර්ශන ක්‍රියාවලියේදී පොලිසිය නීතිය අපගමනය කරමින් නීතියට පයින් ගසා ඇති බවත් පැවසීය. සැකකාර හිමිනම මෙම අපරාධය සිදුකළ බවට පැහැදිලි සාක්ෂි තිබියදීත් උන්වහන්සේ අත්අඩංගුවට නොගන්නේ මන්දැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ද විමසීම් කළ ද, ඔහු ද ඊට නිසි පිළිතුරක් ලබා නොදෙමින් කල් මරමින් සිටි බව ද සඳහන් කළා ය.
සැකකාර හිමිනමට පවතින මුදල් බලය, ආගමික බලය, නිල බලය පදනම් කරගෙන මෙම සිද්ධියට අදාළ විමර්ශන දියාරු කිරීමට පොලිසිය මේ මොහොතේත් කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළ නීතීඥවරිය, රාගය, ද්වේශය, මෝහය තුරන් කරන බවට පැවිදි දිවියට පිවිසි සැකකාර හිමිනම රාගය, ද්වේශය සහ මෝහයෙන් මුසපත්ව බුදු දහමට එරෙහිව ක්‍රියා කොට ඇති බව ද කියා සිටියා ය.
බුදුන් වහන්සේ සුනීත, සෝපාක වැනි අයට මහා කරුණාවෙන් සැලකුව ද මෙම සැකකාර හිමිනම වින්දිත බාලවයස්කාර දැරියට සලකා ඇත්තේ කෙසේ ද? යන්න පිළිබඳව මෙම සිද්ධි දාමය තුළින් මනාව පැහැදිලි වන බව ද සඳහන් කළ නීතීඥවරිය, සැකකාර හිමිනම අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය වරෙන්තු නිකුත් කළ විගස මීට පෙර නොතිබූ හදිසි අසනීප තත්ත්වයක් පැන නැගී ඇති බව ද නීතීඥවරිය ප්‍රකාශ කළා ය.
සැකකාර හිමිනමට විශේෂ අසනීප තත්ත්වයක් නොමැති බවත් උන්වහන්සේට ඇත්තේ, වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයන්ට වැළඳෙන නිදන්ගත රෝග බවත් ඇය පැවසීය. වින්දිත දැරිය සිය පෙම්වතා සමග අත්අඩංගුවට පත් නොවූයේ නම් මෙම අපරාධය තවමත් රහසක් බවට පත්වන්නට ඉඩ තිබූ බව ද නීතිඥවරිය සඳහන් කළා ය. සැකකාර හිමිනමට පවතින ආගමික සහ සමාජ බලය මත බොහෝමයක් මාධ්‍ය ආයතන මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව ද ඇය කීවා ය.
ආගමික නායකයින්ට දණ්ඩනීති සංග්‍රහය බලපාන්නේ නැද්දැයි තවදුරටත් ප්‍රශ්න කළ නීතීඥ සජීවනී අබේකෝන්, මෙම සිද්ධියේදී පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමේදී නිසි නීතිමය ක්‍රමවේදය යටතේ කරුණු වාර්තා කර නොමැති බව ද පැවසුවා ය.
දැරියගේ මව තම බාලවයස්කාර දියණිය “දූෂණය කිරීම” සඳහා සැකකාර හිමිනමට මුදලට අලෙවි කළේ නම් දැරිය “දූෂණය කිරීමට” සැකකාර හිමිනම මුදලට ලබා ගැනීම වරදක් බව ද කියා සිටි නීතීඥවරිය, එහෙත් එවැන්නක් පිළිබඳව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර නොමැති බව දැනුම් දුන්නා ය.
පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ, 1995 අංක 22 දරන දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනතේ 365 (ආ) (2) (ආ) වගන්තිය ප්‍රකාරව බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජන සිදුකිරීම සහ 1995 අංක 22 දරන දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනතේ 364 (2)(ඉ) වගන්තිය ප්‍රකාරව බාලවයස්කාර දැරියකට ස්ත්‍රී දූෂණයක් සිදුකිරීමේ චෝදනා යටතේ ය. මේ අතර, බාලවයස්කාර වින්දිත දැරියට මවට එරෙහිව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට ඇත්තේ, 2006 අංක 16 දරන දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනතේ 360 (ඇ)(1)(අ) වගන්තිය ප්‍රකාරව තැනැත්තන් වෙළෙඳාම් කිරීම සහ පළමු සැකකාර පල්ලේගම හේමරත්න හිමියන්ට ඉහත චෝදනා සදහා ආධාර අනුබල දීම යටතේ ය.
(බීබීසී සිංහල වෙබ් අඩවියෙහි පඵ කරන ලද ලිපියකින් උපුටා ගන්නා ලදී)

