නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර දිසානායක පැවසීය.
දේශපාලන බලය භාවිතා කරමින් ඉඩම් අල්ලා ගැනීම හේතුවෙන් නැගෙනහිර පළාතේ ගැටලු රැසක් මතුව ඇති බව පෙන්වා දුන් ජනාධිපති තවදුරටත් ඊට ඉඩ දිය නොහැකි බවද අවධාරණය කළේය.
ජනාධිපති අනුර දිසානායක මේ බව සඳහන් කළේ අද (22) පස්වරුවේ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති අම්පාර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.
සමුද්‍ර ඛාදනයෙන් දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කළ ජනාධිපති එම වෙරළ තීරය ආරක්ෂා කර ගනිමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා නිසි සැලැස්මක් කඩිනමින් සකස් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ගල්වැටි දැමීම සමුද්‍ර ඛාදනය වළක්වා ගැනීමට ප්‍රායෝගික විසදුමක් නොවන බව වැඩිදුරටත් පෙන්වා දුන් ජනාධිපති අනුර දිසානායක ඔලුවිල් වරාය මෙන්ම ඒ ආශ්‍රිත ධීවර වරාය පිළිබඳවද අවධානය යොමු කරමින් මෙම ගැටලුවට ස්ථීර විසඳුමක් ලබා දිය හැකි විද්‍යාත්මක ක්‍රමවේදයක් පිළිබඳ කඩිනම් අධ්‍යයනයක් සිදු කරන ලෙස උපදෙස් දුන්නේය.
එමෙන්ම, ආකර්ෂණීය වෙරළ තීරයක් වූ නැගෙනහිර වෙරළ තීරය තුළ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ඇති ඉහළ විභවතාව පෙන්වා දුන් ජනාධිපති වෙරළ තීරය ආශ්‍රිත හෝටල් පවත්වාගෙන යාමේදී එක් එක් අයට වෙනස් ආකාරයට සැලකීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීම සම්බන්ධයෙන් තමන් වෙත වාර්තා ලැබී ඇති බවත්, කිසිසේත් එවන් තත්වයක් ඇති වීමට ඉඩ නොතබන ලෙසත් අවධාරණය කළේය.
නැගෙනහිර පළාතේ සිදු කෙරෙන අනවසර ඉඩම් ගොඩකිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කළ ජනාධිපති ඉදිරියේදී ඊට ඉඩ නොතබන ලෙස ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.
යුද ගැටුම් අවසන් වී වසර 16ක් ගතවුවද නැගෙනහිර පළාතේ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමට නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ ජනාධිපති ඒ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කර ඔවුන් නැවත පදිංචි කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසද උපදෙස් දුන්නේය.
සැම වසරක් පාසාම ගල්ඔය පිටාර ගැලීම සහ ඒ අවට සිදුවන ගංවතුර තත්වය හේතුවෙන් අම්පාර, සමන්තුර, කාර්තිව්, අඩ්ඩාලච්චේන, කල්මුණ, අක්කරපත්තු, ඉරක්කාමම්, දමන, නින්දවූර් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව මුහුණ දී සිටින ගැටලු පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර මීට ලබා දිය හැකි ස්ථීර විසඳුමක් පිළිබඳ කඩිනම් අධ්‍යයනයක් සිදු කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ඊට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන වෙන් කර දීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
තිරුක්කෝවිල් වී ගබඩාව ඉදිකිරීමේ කටයුතුවල වත්මන් තත්ත්වය සහ අඩ්ඩාලචේන කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේ කටයුතු පවත්වාගෙන යාම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
නුවරගල පුරාවිද්‍යා රක්ෂිත භූමිය සංරක්ෂණ කිරීම සහ ආරුගම්බේ, පානම සංචාරක ප්‍රදේශ සංවර්ධනයත්, දෙහිඅත්තකණ්ඩිය හේනානිගල දකුණ ආදිවාසී ගම්මාන මූලික කරගත් මාදුරුඔය රක්ෂිතය ආශ්‍රිතව සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් විය.
මීට වසර 05කට පමණ පෙර ජාතික ජල සම්පාදන මණ්ඩලය විසින් ලාහුගල ප්‍රදේශයට පානීය ජලය සැපයීම වෙනුවෙන් හැඩඔය ආශ්‍රිතව ආරම්භ කළ ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම පිළිබඳවද සාකච්ඡාවට ලක් විය.
හිඟුරාන උක් ගොවීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කළ ජනාධිපතිවරයා උක් ගොවීන්, උක් වගාව තුළ ආරක්ෂා කර ගැනීම සමාගම්වල වගකීම බව පෙන්වා දුන් අතර මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කර කඩිනම් විසඳුමකට එළැඹීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
කල්මුණේ නගර සැලසුම් ව්‍යාපෘතිය යටතේ කල්මුණ ප්‍රදේශයේ දැනට වෙන්වු ස්ථානවල පවතින ආයතන සියල්ල එකම ස්ථානයක ස්ථාපිත කිරීම පිළිබඳවද අවධානය යොමු වූ අතර ඊට අදාළ සැලසුම් සකස් කර ඉදිරිපත් කරන ලෙසත්, ඉදිරි අයවැයෙන් ඊට මුදල් වෙන් කර දිය හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය මගින් මීට වසර පහකට හෝ ඊට පෙර ලබා දී ඇති වාණිජ වටිනාකමින් යුත් ව්‍යාපෘති ක්‍රියාත්මක නොකර ඇති ඉඩම් පවරාගෙන සංවර්ධනය කිරීම පිළිබඳවද සාකච්ඡා වූ අතර එම ඉඩම් මහවැලි අධිකරිය මගින් ප්‍රාදේශීය ලේකම් හෝ දිස්ත්‍රික් ලේකම් වෙත පවරාගෙන විධිමත් වැඩසටහනක් යටතේ ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
එමෙන්ම දෙහිඅත්තකණ්ඩිය, මහඔය, පදියතලාව යන ප්‍රදේශයන්හි මාර්ග, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට හා මාර්ග සංවර්ධන අධිකාරියට පවරාගෙන සංවර්ධනය කිරීම පිළිබඳවද සාකච්ඡා විය.
අම්පාර දිස්ත්‍රික්කයේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සහ කලාප අධ්‍යාපන කාර්යාල ආශ්‍රිත ගැටලු පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර අධ්‍යාපන කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි පරිපාලන ව්‍යුහයන් පිහිටුවීම දේශපාලන කාර්යයක් නොව පරිපාලන කාර්යයක් බව අවධාරණය කළ ජනාධිපතිවරයා පරිපාලන ව්‍යුහයන් ජාතීන් අනුව නොව භූමියේ විශාලත්වය, ජනගහනය වැනි පොදු නිර්නායක මත පදනම්ව සකස් වීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
අම්පාර දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් 2026 අයවැයෙන් රුපියල් මිලියන 22,000ක් වෙන් කර තිබෙන අතර ඒ යටතේ ක්‍රියාත්මක මාර්ග, වාරිමාර්ග, පානීය ජල සැපයුම් මෙන්ම නිවාස ව්‍යාපෘතින්හි ප්‍රගතිය විමසු ජනාධිපතිවරයා මෙම මූල්‍ය ප්‍රතිපාදන ආදළ මූල්‍ය වර්ෂය තුළම නිසි ලෙස යොදවමින් ජනතාවට ප්‍රතිලාභ සැලසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවද අවධාරණය කළේය.
එමෙන්ම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ජීවිත හානි සඳහා වන්දි ගෙවීම, වගා හානි සහ සත්ව නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාළව සිදු වූ හානි සඳහා වන්දි ගෙවීම, ධීවර ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් මෙන්ම ජීවනෝපාය සංවර්ධනයට ගෙන ඇති පියවර සහ අර්ධ නිවාස හානි සහ පූර්ණ නිවාස හානි සඳහා වන්දි ගෙවීමත්, නැවත පදිංචි කිරීමේ වැඩසටහන්හි ප්‍රගතියත් මෙහිදී ජනාධිපති වෙන් වෙන්ව විමසා බැලීය.
මෙම ආපදා තත්වයෙන් වැඩිපුරම පීඩාවට පත්ව ඇත්තේ ආර්ථික වශයෙන් පහළ මට්ටමක සිටින ජනතාව බැවින් එම ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකරදීමේ සහ නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
(ලංකා ට්රුත් ඇසුරෙනි)

