Friday, March 29, 2024

රනිල් රාජපක්ෂගේ පොලිස් රාජ්‍ය සහ වනාතමුල්ලේ දෙදරු මව (25) ඝාතනය!

 එම වෙඩිල්ල හිතා මතා කරන ලද ඝාතනයකි. ( වීඩියෝවෙනි)

සුනන්ද දේශප්‍රිය.

ඊයේ රුයෙහි හෝ අද අළුයම කොළඹ බොරුල්ල වනාත මුල්ල ප්‍රදේශයේ දී හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු විසින් කාන්තාවකට වෙඩි තැබීම පිළිබඳ සිදුවීම දැන් ප්‍රසිද්ධ කරුණකි.

එම වෙඩි තැබීමේ සජීවී දර්ශන පවා සමාජ ජාල වෙබි අඩවි මගින් ප්‍රසිද්ධ කර තිබේ. ( මෙම ලිපියේ අග නිව්ස් 19 අඩවිය විසින් පළ කරන ලද එම වීඩියෝවක් අමුණා ඇත.)

ප්‍රධාන ධාරාවේ යැයි කියවෙන ජනමාධ්‍යයට අනුව මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ සැකකාර පුද්ගලයා පොර බදන විටය.

එනමුත් එම වීඩියෝ දර්ශන පැහැදිලිව පෙන්වන පරිදි ඒම අවස්ථාවෙහි කිසිදු පොර බැදීමක් සිදු නොවන අතර බුද්ධි අංශ සාමාජිකයා සිය ගිනි අවිය සාක්කුවෙන් ඇද එළියට ගන්නේ සැකකරුගේ දෑත් පිටුපසට කර මාංචු දැමීමෙන් පවා පසුය.

ඊට පෙර දර්ශන වලින් පෙන්වන්නේ දම් පැහැති කමීසයක් සහ කොට කළිසමක් හැඳ සිටින හමුදා බුද්ධි අංශ සාමාජිකයා වෙනත් කාන්තාවක් දෙසට ඇගිල්ල දිගු කර තර්ජනය කරන අයුරුය.

මිය ගියේ එම කාන්තාවද යන්න ස්ථිර නැති නමුත් ඇය ස්ථානය මඟ හැර යාමට උත්සාහ දරනු වීඩියෝවේ දැක්වේ.

සැකකරුට මාංචු දැමීමෙන් පසු සිය ගිනි අවිය ඒළියට ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නොවු බව සජිවී දර්ශන මගින් පැහැදිලි වේ.

බුද්ධි අංශ සාමාජිකයා විසින් තබන ලද වෙඩිල්ලෙන් මිය ගියේ 25 හැවිරිදි දෙදරු මවකි.

මෙම සජීවී දර්ශන අපට පෙන්වන්නේ රනිල් රාජපක්ෂගේ පොලිස් රාජ්‍ය ක්‍රියාත්මක වන අන්දමයි. හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ට සිවිල් ඇදුමින් සැරසී කවරකු හෝ අත්අඩංගුවට ගැනීමට සාමාන්‍ය නීතිය යටතේ ඉඩක් නැත. ඔවුන් යා යුත්තේ පොලිස් නිලධාරියකු සමඟය.

මැතිවරණයට මුදල් නැතැයි කියන නමුත් රට පුරාම අති විශාල රහස් ඔත්තු සේවාවක් රනිල් රාජපක්ෂ පවත්වා ගෙග යයි.

මත් ද්‍රව්‍ය අලෙවි කරන්නන් ලෙස අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් ඝාතනය කිරීමට දැන් නිල නොව අවසරයක් මෙරට තිබෙන බව දේශපාලන අංශ පවසති.

පසුගිය ජනවාරි 13වන දා ද එවැනි ඝාතනයක් සිදු විය. සැක පිට අත්අඩංගුවට ගත් වෘත්තීය පුහුණු අධිකාරියේ කළමනාකාර සහායක සමන්ත ප්‍රීති කුමාර  ඝාතනය කිරීම ද ජනමාධ්‍ය මගින් දැක්වුවේ පනින්න හැදූ නිසා මරු මුවට  පත් වූ බවයි.

පුවත්පත් දෙකක් එම ඝාතනය වාර්තා කළේ දෙවිදියකටය.

වසර කිහිපයකට පෙර මෙවැනි අනීතික ඝාතන ගැන ලැයිස්තු පවා සාදා ගෙන ජිනීවා මානිව හිමිකම් කොමිසටම පැමිණි ඇන්ජීඔ් මානව හිමිකම් ක්‍රියාකාරිිනියක් දැන් රනිල් රාජපක්ෂ දේශපාලන තුරුල්ලේ නැළවෙයි. නමුත් ජනයා අනීතිකව ඝාතනය කිරීම නතර වී නැත.

මත් ද්‍රව්‍ය පාවිච්චි කරන්නන් අපරාධකරුවන් ලෙස සලකා  නීති විරෝධී ලෙස ඝාතනය කිරීම, රජයේ ඉහළ පෙළේ සැලැස්මක් විය යුතු බව නිසැකය.  නිල නොවන ආරංචි මාර්ග කියන්නේ මත්ද්‍රව්‍ය  මැඩලීමේ කාරිය රනිල් රාජපක්ෂ විසින් ජෙනරාල් කමල් ගුණරත්නට පවරා  ඇති බවයි.

මෙම අහිංසක මවගේ ඝාතනය ද කාලයේ වැලි තලාවෙන් වැසි ගොස් හමුදා නිලධාරීන් යහතින් ගෙදර යාමට බොහෝ ඉඩ තිබේ.

වීඩියෝව මෙහි නරඹන්න.

https://www.facebook.com/watch/?v=729879192105687&ref=sharing

 

Archive

Latest news

Related news