Saturday, April 20, 2024

medialk.com වෙබ් අඩවිය ආරක්ෂක හේතූන් උඩ යැයි ලියාපදිංචි නොකිරීම  මාධ්‍ය නිදහස කෙළෙසීමක් – මා.හි.කො

තරිඳු ජයවර්ධන සංස්කරණය කරන medialk.com අඩවිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි කියා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියා පදිංචි නොකිරීම  භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කඩ  කිරීමක් ලෙස මානව හිමිකම් කොමිසම තීරණය කර තිබේ.

තරිඳු ජයවර්ධන තරුණ ජනමාධ්‍යවේදී සංගමයේ ක්‍රියාකාරියකු සහ සහ මානව හිමිකම් ආරක්ෂකයකු ද වේ. ඔහු වෙසෙසින්ම තොරතුරු අයිතිය සහතික කිරීමේ ක්‍රියාධරයකු වශයෙන් කැපී පෙනන කාර්ය භාරයක් ඉටු කරයි.

මෙම තීරණය දක්වා ඇත්තේ තරිඳු ජයවර්ධන විසින් මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ය.

පසුගිය ජනවාර් 31වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෙම තීරණය ප්‍රසිද්ධ කර තිබේ.

2019 වසරෙහිදී සිය වෙබ් අඩවිය ලියා පදිංචි කරන ලෙස තරිඳු ජයවර්ධන විසින් කරන ලද ඉල්ලීම ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ එයට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී නැති බව කියමිනි.

මෙම ප්‍රතික්ෂේප කිරීම කරන ලද්දේ තනිකරම රාජපක්ෂ හෙංචයියකු වන මොහාන් සමරනායක ප්‍රවෘත්ති අධ්‍යක්ෂක වශයෙන් සිටි අවධියේය.

මෙම තීරණය ගන්නා ලද කමිටුවේ තීන්දුව නීතියක් හෝ නියෝගයක් නොවන බැවින් එය ව්‍යවස්ථාව මගින් තහවරු කර ඇති ප්‍රකාශනයේ නිදහස කෙලෙසීමක් බව මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරයි.

සිය පැමිණිල්ල මගින් තරිඳු ජයවර්ධන කියා සිටියේ, යම් යම්  පුවත් පත් සාකච්ඡා ආවරණය කිරීමට රාජ්‍ය හැඳුනුම්පත අනිවාර්ය කර ඇති බැවින් තම වෙබ් අඩවියට හැදිනුම් පත් නොකිරීම මගින් තොරතුරු දැන ගැනීමේ අයිතිය සහ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝනය වන බවය.

එබැවින් සිය වෙබ් අඩවියේ කාර්ය මණ්ඩලයට මාධ්‍ය හැඳුනුම් පත් ලබා දෙන ලෙස නියෝග කරන ලෙස පැමිණිල්ල මගින් ඉල්ලා සිට තිබේ.

ජනමාධ්‍ය ආයතන සඳහා මාධ්‍ය හැඳුනුම් පත් ලබා ගැනීමට නම් අමාත්‍යාංශයේ ලියා පදිංචිය තිබිය යුතුය. එම ලියා පදිංචිය දෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණ හොත් පමණය. එසේ ලියා පදිංචිය ලබා ගැනීමෙන් පසුත් වසරකට රුපියල් 25,000ක් ගෙවිය යුතුය.

මෙම අයුතු අසාධාරණ නීති පනවන ලද්දේ 2011 නොවැම්බර් 05වන දින දරන වක්‍රලේඛයක් මගින් රාජපක්ෂ රජය විසිනි. රනිල්-සිරිිසේන රජය මෙන්ම රනිල් රාජපක්ෂ රජය ද එම නීති පවත්වා ගෙන යයි.

ජනමාධ්‍ය ඇමතිව සිටි මංගල සමරවීර හෝ මෙම නීති ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගත්තේ නැත.

medialk.com අඩවිය ලියා පදිංචි නොකරන ලද්දේ තරිඳු ජයවර්ධනගෙන් පළි ගැනීමට විය යුතු බව පෙනෙන්නේ එංගලන්තය මුල් කර ගත් දෙමළ සහ සිංහල භාෂා වෙබ් අඩවි වලට පවා ලියා පදිංචිය දී ඇති බැවිනි.

සංවර්ධිත ප්‍රජාතන්ත්‍රවාදී රටවල මාධ්‍ය හැදිනුම් පත නිකුත් කරන්නේ ජනමාධ්‍ය ආයතනය හෝ ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිති මගිනි. රජය විසින් මාධ්‍ය හැදිනුම් පත නිකුත් කිරීම මාධ්‍ය නිදහස පාලනය කිරීමට දරන ප්‍රයත්නයකි.

මානව හිමිකම් කොමිසමේ සම්පූර්ණ තීන්දුව පීඩීඑෆ් ගොනුවක් ලෙස කියවන්න:HRC recommendation re medialk.com

Archive

Latest news

Related news