Tuesday, May 28, 2024

හිට්ලර්ගේ සිට සන්දීය ක්‍රමය දක්වා නොදැන කරන දේශපාලන කතා ගැන කෙටි විපරමක් – රංජිත් හේනායකආරච්චි

සිරකරුවන් සතුව තිබූ පාවහන්, ආබාධිත පුද්ගලයන්ගේ උපාංග, හිසකෙස්, කඳවුර තුළ දී ලබාගත් ඡායාරූප (Pic by; History/ Edit; RoarMedia)

යම් යම් අවස්ථාවලදී   අප රට සමහර දේශපාලනඥයින් කරන ප්‍රකාශ සහ විටින් විට කරන ඔවුන්ගේ කියමන්වලින් පෙනෙන්නේ ඔවුන් හරි හැටි නොදන්නා  දේ ගැන කතා කරන බවයි. එසේ නැත්නම් බොහෝ විට ඔවුන් කතා කරන කරුණු වටහාගෙන ඇති ප්‍රමාණය අප්‍රමාණවත් බවයි.

එමෙන්ම බොහෝ දේශපාලනඥයින් හෝ දේශපාලන පක්ෂ පවා ලෝකයෙහි දේශපාලනය සහ දේශපාලන ක්‍රමවේද සහ දර්ශන ගැන කතා කිරීමේදීත් පෙන්නුම් කරන්නේ ඔවුන් එහි මතුපිට මිස එම නියම අර්ථය වටහා ගෙන නොමැති බවයි.

“ඒ සඳහා දිය හැකි මැත උදාහරණය කිහිපයක් නම් වෛද්‍ය සාෆි විසින් වඳ සැත්කම් කරන ලද්දේ යැයි ගොතන ලද මුසාව, කොවිඩ් වයිරසය පැරද වීමට ගෙන ආ ව්‍යාජ ධම්මික පැනිය සහ කැළණි ගගෙන් මතු වී ප්ලාස්ටික් බෝතලයකට ගොඩ වූ අද්භුත නාගයා පිළිබඳ කතාය.”

මේ කාරණය වැදගත් වන්නේ දේශපාලනඥයින් කරන කියන කතා සමාජයේ බහුතර පිරිස් හෝ වඩා නිවැරදිව කියන්නේ නම් ඒකී දේශපාලන නායක නායිකාවන්ගේ අනුගාමිකයින්, එලෙසින්ම පිලිගැනීම මගින් කොතරම් අවැඩක් සිදුව ඇත්තේ දැයි සළකා බලන විටය.

ඒ සඳහා දිය හැකි මැත උදාහරණය කිහිපයක් නම් වෛද්‍ය සාෆි විසින් වඳ සැත්කම් කරන ලද්දේ යැයි ගොතන ලද මුසාව, කොවිඩ් වයිරසය පැරද වීමට ගෙන ආ ව්‍යාජ ධම්මික පැනිය සහ කැළණි ගගෙන් මතු වී ප්ලාස්ටික් බෝතලයකට ගොඩ වූ අද්භුත නාගයා පිළිබඳ කතාය.

ලංකාවේ දේශපාලන අර්බූදයන්හි  කේන්ද්‍රීය ප්‍රශ්නයක් වන ජාතික ගැට‍ළුව සම්බන්ධයෙන් ද භාවිත වන, දැන් යළිත් දේශපාලන සාකච්ඡාවට පැමිණ ඇති  සන්ධීය දේශපාලන ක්‍රමය යන යෙදුම දෙස බලමු.

මෙරට දේශපාලනඥයින් සහ දේශපාලන පක්ෂ බහුතරයක් සන්ධීය ක්‍රමය යන දේශපාලන ක්‍රමය ගැන සිතා සිටින්නේ සන්ධීය වීම යනු බෙදීමක් ලෙසයි. අඩුම තරමින් ඔවුන් තමන් පාවිච්චි කරන භාෂාවේ වචනාර්ථය වත් හරි හැටි මේ කාරණයේ දී වටහා ගෙන නොමැති බවක් පෙනේ. සන්ධීය ක්‍රමය ගැන කතා කිරීමට ඔවුනට අවශ්‍ය නම්, හැදෑරීමට අවශ්‍ය නම්, දේශපාලනඥයින්ට ලෝකය පුරා ඕනෑවටත් වඩා උදාහරණ තිබේ. සන්ධීය රටවල් එකට එක් වී පවතිනවා මිස බෙදී වෙන් වී නොයන බව එම උදාහරණයෙන් ගෙන් පැහැදිලිව පෙනී යා යුතුය. මාධ්‍යයෙන් හෝ වෙන යම් ප්‍රකාශන මාධ්‍යයකින් අදහස් ඉදිරිපත් කිරීමේදී සෑම විටම ඔවුන් හඬ නගන්නේ සන්ධීය ක්‍රමය ගෙනාවොත් රට බෙදෙනවා යයි කියායි. මෙයින් ඔවුන් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ නොදැනුවත්භාවය මිස වෙනත් යමක් නොවේ. එසේ නැත්නම් ඔවුන් දැන දැන වංචාවක් කිරීමකි.

“මේ බොහෝ දෙනෙකු හිට්ලර් යනු නීතිය ක්‍රියාත්මක කරවන කෙලින් වැඩ කරන මිනිසෙකු බව තමන්ගේ ඔළුවල මවා ගෙන ඇත. හිට්ලර් යනු මිලියන ගණන් මිනිසුන් සැලැස්මකට අනුව ඝාතනය කිරීම සඳහා ඝාතක පැක්ටරි ගොඩනැගූ අමිනිස්, මිනිස් ඝාතකයෙකි.”

එමෙන්ම පසුගිය වකවානුවේ ලංකා දේශපාලනයේ අපට නිතර අසන්නට ලැබුණු වචනයක් නම් “හිට්ලර් වගේ රට පාලනය කිරීම”, එසේ නැත්නම් “හිට්ලර් කෙනෙක් වීම” වැනි කියමන් ය. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී තමන් හිට්ලර් වගේ යයි ප්‍රකාශ කළේය. ඇත්තෙන්ම මෙවැනි මුග්ධ කියමනක් මින් පෙර කිසිම රටක  හිට්ලර් හැර අන් දේශපාලන නායකයකු හෝ නායිකාවක හෝ කර නොමැත.

මේ බොහෝ දෙනෙකු හිට්ලර් යනු නීතිය ක්‍රියාත්මක කරවන කෙලින් වැඩ කරන මිනිසෙකු බව තමන්ගේ ඔළුවල මවා ගෙන ඇත. හිට්ලර් යනු මිලියන ගණන් මිනිසුන් සැලැස්මකට අනුව ඝාතනය කිරීම සඳහා ඝාතක පැක්ටරි ගොඩනැගූ අමිනිස්, මිනිස් ඝාතකයෙකි. එලෙස දසලක්ෂ ගණන් ඝාතනය කරමින් ලෝකය තමන්ගේ ජනවර්ගයට යටත් කර ගැනීමේ පිපාසයකින් පෙළුණු මෙතෙක් ලෝක ඉතිහාසයේ දකින්නට සිටින අධම මිනිසෙකි.

එවැනි ඝාතකයකු  ලංකාවේ දේශපාලකයන් හෝ සමහර විට සංඝයා පවා කෙලින් වැඩ කරන, හොඳ නීතියට අනුකූලව ක්‍රියාත්මක වන පුද්ගලයකු යැයි මවා ගෙන තිබීම ම මොවුන්ගේ නොදැනුවත් භාවය පෙන්නුම් කිරීමකි. අඩු වශයෙන් මොවුන් මෑත යුගයේ සිදු වූ මෙම ඉතිහාසය, මෙම අන්ද දේශපාලන දූපතෙන් එළියට ගොස් හැදෑරීම වැදගත් වනු ඇත.

ජවිපෙ, ඔබත් එහෙමද?

ඊයේ පෙරේදා දිනක ජවිපෙ මුල් පෙළ නායකයකු වන සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කරමින් “වෙඬරුවේ හාමුදුරුවෝ හිට්ලර් ගැන කිව්ව කතාවට අපි එදා විරුද්ධ වුණා. ඒ උනාට ඔහු කියූ කාරණය ඇත්ත. ඒ කියන්නේ මේ රට හදන්න විනයගරුක පාලකයෙකු ඕන. මේ රට හදන්න නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. හොරු අල්ලන්න ඕනේ. දඬුවම් දෙන්න ඕනේ. අපට නීතිය ක්‍රියාත්මක කරවන කෙලින් වැඩ කරන තත්ත්වයක් අවශ්‍යයයි” පවසා තිබේ. වෙඬරුවේ හාමුදුරුවන්ගේ ඒ මෝඩ කතාව එසේ නැත්නම් ඒ කෲර කතාව නිවැරදියයි හඳුන්නෙත්ති කියන්නේ තමන්ගේ දේශපාලන දැක්මේ ඇති විශාල හිඩසක් නිසා බව ඉතා පැහැදිලිය. හඳුන්නෙත්තිට අනුවද හිට්ලර් යනු විනය ගරුක නීතියට වැඩ කරන්නෙකි.

දේශපාලන බලය ඉල්ලා සිටින වාමාශික දේශපාලන පක්ෂ  නායකයින් පවා මෙවැනි ප්‍රකාශ කිරීමේදී යමක් කමක් හාදාරා කතා නොකරන්නේ මන්ද? ඒ මහා ජනයා යනු තමන්ට කැමැති පරිදි දැක්ක විය හැකි ගව රංචුවක් යැයි සිතා සිටින නිසා නොවේද? හිට්ලර් ගැන හරි හැටි නොදන්නා දේශපාලනඥයකු වේවා භික්ෂුවක වේවා යළි දේශපාලනයේ අයනු ආයනු කියවීමට යා යුතුය.

අපි නිදහස සමරන්නෙමු. අප නිවහල් නිදහස් ජාතියක් යයි අපම පවසන්නෙමු. නමුත් ඇත්ත තත්වය අප නිදහස සහ නිවහල්බව යන වචනයන්හි අරුතවත් නොදන්නා මිනිසුන් බව නොවේද?

මේ ලිපියෙහි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට ඉඩක් නැතත් නව ලිබරල්වාදය, ලිබරල්වාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොව සමාජවාදය යන්නෙක් අදහස් කරන්නේ කුමක්දැයි නිරවුල්ව පහදා දිය හැකි දේශපාලනඥයින් සිටී දැයි නිකමට හෝ සිතා බලන්න.

නිවහල් මිනිසුන් නම් අප ලෝකයෙන් හිඟා කමින් ජීවත් විය යුතු නැත. කෝටි ගණනින් ලෝකයේ රටවල් වලට ණය වී ලොවෙන් හිඟා කා එදා වේල සරි කර ගන්නා සමාජයක් වන අප නිදහස් නිවහල් බව ගැන කතා කරන්නේ අපි අපිවම රවටා ගැනීමටයයි මට සිතේ.

බොරු කියමින් බොරුව තුළ ජීවත් වීමට හුරු වී ඇති අප ඒ බොරු පදනම් මත මහා වගාඩම්බරයකින් විගඩම් කරමින් ඒ තුළ වින්දනයක් ලබන රටකි. ලෝකයට ණය වී බංකොලොත් වී ඇති රටක් නිදහස් දිනය සමරන්නේ ලෝකයට පෙනෙන්නට බව අපේ රටේ නායකයා ම පවසයි. අපේ රටේ මිනිසුන් කෙසේ වෙතත් අපේ රටේ දේශපාලනඥයන්ට සහ නායකයින් නම් ලැජ්ජාවක් කියා දෙයක් දන්නේ වත් නැති බව මෙවැනි කතා බහ මගින්  පෙන්නුම් කරයි. මේ අපි නිවහල් නිදහස් මිනිසුන් ලෙස අප අපවම නම් කර ගන්නා ආකාරයයි.

“නිදහස නො සැමරුව හොත් ලොව මිනිසුන් හිනා වනු ඇතයි කීම සිය පුහු අභිමානය පිණිස මිලියන ගණන් වැය කිරීමේ අපරාධය වසං කිරීමට ගෙතූ තවත් බොරුවක්   මිස වෙනත් දෙයක් නොවේ. එය ද ජනයා යනු දැක්ක විය හැකි ගව රුළක් යැයි සිතීමේ තවත් අවස්ථාවකි.”

පසුගිය 04 දා  නිදහස සැමරූ වගට හඬ නැගුණි. ඉන් අදහස් කැරුණේ  යුද්ධ ටැංකි, පොලිස් බැරියර්, කුළු පොලු සහ රයිෆල් සහිත විශේෂ හමුදා කණ්ඩායම් ආරක්ෂාවට යොදා දේශපාලන පන්තියේ ඉහළම කණ්ඩායම් එකට එකතු වීමකි. ගෝල්පේස් හි ආරක්ෂා වළලු මැද පොදි බැඳ ඔවුන් තමන්ගේ  නිදහස සැමරීමකි. සාමාන්‍ය ජනතාවට එම ප්‍රදේශවලට ඇතුලුවීම තහනම් කිරීමකි. නිදහස ගැන තම අදහස ඉදිරිපත් කරන කෙල්ලෙකුට වත් කොල්ලෙකුට වත් එම ප්‍රදේශයට ඇතුළුවීම තහනම් කිරීමකි. ඒ රටේ මිනිසුනට ඇති නිදහසයි. පොළවේ ඇති නිදහසේ යථාර්ථය එයයි.

ලෝකයටම ණය වී ඇති රටකට, එදා වේල සොයා ගැනීමට මිලියන ගණන් ජනයා දස වධ විදින රටකට, දස දහස් ගණනින් මිනිසුන් අතුරුදහන් කළ රටකට, රටේ එක් ප්‍රදේශයක ජනතාවගේ ඉඩම් හමුදා අතට ගෙන පවතින රටකට, වසර ගණනාවක් තිස්සේ දේශපාලන සිරකරුවන් චෝදනා නැතිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන තිබෙන රටකට සැමරීමට නිදහසක් ඇද්ද? නිදහස යන වචනයේ අරුතවත් අපි නොදන්නෙමුද? ඉතින් එවැනි රටක නිදහස සැමරීම ගැන දුක් වීම හැරුණු කොට වෙනත් කළ හැකි දෙයක් ඇත්ද?

අප නිදහස නො සැමරුවේ නම් ලෝකය අපට හිනා වනු ඇති යනුවෙන් රටෙහි නායකයා ප්‍රකාශ කළේ සමාජයෙහි සමච්චලයට ලක් වෙමිනි. නිදහස නො සැමරුව හොත් ලොව මිනිසුන් හිනා වනු ඇතයි කීම සිය පුහු අභිමානය පිණිස මිලියන ගණන් වැය කිරීමේ අපරාධය වසං කිරීමට ගෙතූ තවත් බොරුවක්   මිස වෙනත් දෙයක් නොවේ. එය ද ජනයා යනු දැක්ක විය හැකි ගව රුළක් යැයි සිතීමේ තවත් අවස්ථාවකි.

“නිදහස් දිනය” සැමරුවේ නැත්නම් ලෝකය අප රට ගැන මොනවා නොසිතනු ඇත්දැයි කී ඒ නායකයාම,  හරිටම මසක් ගත වන විට පැවැත්වීමට නියමිත පලාත් පාලන ඡන්දය කල් දැමීමට වළිකෑමේදීත්, අනීතිකව සාමකාමී විරෝධතාකරුවනට පහර දීමේදීත්, එක්සත් ජාතින්ගේ සංවිධානයට පිටු පෑමේදීත් ලෝකය ගැන සිතන්නේ නැත.

නිදහස කෙසේ වෙතත් අප ජීවත් වන්නේ ලැජ්ජාවක් නැති නායකයින් ගොන්නක් සිටින රටක බව නම් සැබෑය.

ජනයා සෑම විටම රැවටිය නොහැකිය. දේශපාලනඥයින්ට තමන් ගැන ආපසු හැරී බැලිමට දවසක් එළඹෙනු ඇත. ඒ සඳහා අවශ්‍ය වන්නේ දැනුවත් සමාජයකි. එය අද මෙරට ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සහ ජනයා හමුවේ ඇති අභීයෝගයයි.

රංජිත් හේනායකආරච්චි.

Archive

Latest news

Related news