Saturday, April 27, 2024

චෙක් රටෙහි සිවිල් සමාජය දක්ෂිණාංශය පරදා ජය ගත් හැටි! – රංජිත් හේනායකආරච්චි.

ඡායාරූපය: නව ජනාධිපති පේත්‍ර පවෙල් හිටපු ‌යුද හමුදාපති වන ජෙනරල්වරයෙකි.

චෙක් දේශයෙහි  තුල සිවිල් දේසපාලන බලවේග පෙලගැසෙන අයුරු මධ්‍ය වාර්තා කරනු දුටු මගේ මනසට නැගී ආවේ “ප්‍රාග් වසන්තය”යි. ඒ මගේ දේශපාලන දිවිය ආරම්භවන 1968 වසරයි.

එදා “ප්‍රාග් වසන්තය” අපට ආස්වදයක් ලබාදුනි. නමුත් සෝවියට් බලපෑමට එරෙහිව ඩුබ්ෂෙක්ලාගේ නායකත්වයෙන් නැගී සිටි ජනතා බලය, රුසියන් යුදටැංකිවලට යටකර විනාශ කරන අයුර ගැන අපි එදා කනගාටුවෙන් කියවූවෙමු. ගුවන්විදුලියෙන් අසා සිටියෙමු. නමුත් එරට සිවිල් ජනයා 1989 දී එම ඒකධෙිපති ක්‍රමය පෙරලා දැමූ බව අපි දන්නෙමු.

මෙම ජනවාරි අග චෙක් රටේ ජනාධිපතිවරණයේදී පේත්‍ර පාවෙල් විසින් දක්ෂිණාංශික ජනප්‍රියවාදී අන්ද්‍රේ බාර්බිස් පරදවා ලද පැහැදිලි ජයග්‍රහණය චෙක් රටෙහි දේසපාලනයට අලුත්ම පිටුවක් පෙරළයි.

දශක ගණනාවක අවුල්කාරී, අන්තවාදී, දක්ෂිණාංශික සහ ජනප්‍රියවාදී දේශපාලනයකට පසුව පාවෙල් ජයග්‍රහණය කරනු ලබන්නේ එදා 1989 නොවෙම්බරයේ ජනතාව නැගි සිට ඉල්ලා සිටි එරට සිවිල් සමාජය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා කල දේශපාලන ‍ ඉල්ලීම්  බලගන්වා ගැනීම දෙසටයි.

ජනප්‍රියවාදී, දක්ෂිණාංශික අන්තවාදී, දේශපාලනයක් පරදවා මෙසේ ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයකට ඉඩ ලැබෙන්නේ සහ මග පෑදෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී උවමනාවන් සඳහා පෙනී සිටින සියලුම දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් ඔවුන්ගේ විවිධත්වය, ඔවුන් අතර ඇති වෙනස්කම්, පැත්තකට දමා එක මිටකට එකට එකතු වී මේ හේතුව නිසාවෙනි.

පළමුවෙන්ම එම බල ගැන්වීම ක්‍රියාත්මක වීම ඇරඹෙන්නේ  2021 හේමන්තයේ පාර්ලිමේන්තු මැතිවරනයේදී කණ්ඩායම් පහක එකතුවකින් ජයග්‍රහණය කර ආණ්ඩුවක් පිහිටුවීමෙනි.

එහිම දිගුවක් ලෙස අද වන විට ‌ පේත්‍ර  පවෙල්  Petr Pavel  සියයට 58ක ඡන්ද බලයක් ලබමින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරයි. ඔහුගේ මෙම ජයග්‍රහණයට හේතුවන්නේ දූෂිත ජනප්‍රියවාදී දේසපාලනය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් වෙත යුරෝපය සමඟ එකට වැඩ කිරීම ගැන පාවෙල්ගේ සහතික වීම ද නිසාය.

මෙම ජයග්‍රහණය සඳහා භූමිය සකස් වීමේ විශාල වැඩ කොටසක් සකස් කරනු ලබන්නේ පූර්ණ සැළැස්මකින් ක්‍රියාත්මක වන සිවිල් සමාජ ව්‍යාපාරයයි.

විශේෂයෙන්ම ‍”ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මිලියනයක් අවස්ථා“Million Moments for Democracy” නමින් හැඳින්වුණ සිවිල් සමාජ බලවේගය දිගින් දිගටම ලක්ෂ ගණනින් ජනයා ‍ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මහමග පෙළපාලිවලට ගෙන ආවා පමණක් නොව ඔවුන්ගේ ප්‍රධාන බලපෑමක් වූයේ “සියලු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බලවේග එක තැනකට” එක් වීම සඳහා කළ බලපෑමයි.

“සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ජනප්‍රියවාදී දූශිත දේශපාලන බලවේගවලට එරෙහිව එකට එක් වෙයව්” යන්න මෙම පෙළපාලිවල ප්‍රධාන සටන් පාඨය වූවා පමණක් නොව එය කොතරම් සක්තිමත් සිවිල් හඬක් ලෙස මතුවූවාද යත් දේශපාලන බලවේග වලට ඇහුම්කන් දෙන්නට සිදුවිය.

මෙම චෙක් රටෙහි සිදු වූ සවිල් සමාජ බලපෑම එරට ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය සඳහා බලපෑවා පමණක් නොව, දක්ෂිණාංශික අන්තවාදය, ජනප්‍රියවාදය, අන්තවාදී ‍ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලනයක් පවතින සියළුම රටවලට එවායෙහි පවතින අන්තවාදී මතවාද සහ දේශපාලන වෙනස් කිරීමට සිවිල් සමාජයකට කල හැකි බලපෑම ගැන ආදර්ශයක් ද සපයයි.

නමුත් දශක ගණනක් තිස්සේ චෙක් රජය තම දූෂිත ක්‍රමය තුලසිර ගත කර ගෙන සිටි අන්තවාදීන් විසින් රාජ්‍ය ආයතන, අධිකරණ පද්ධතිය, නිලධර ස්ථරය වැනි ප්‍රධාන ස්ථාන සියල්ලකම පාහේ ඔවුන්ගේ හෙන්චයියන් යොදවා තිබෙන බව පැහැදිලිය.

එනිසා මෙම අන්තවාදීන් දේශපාලන තලයේදී පරාජය කරන ලද නමුත්  ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක් සඳහා භූමිය තාමත් සකස් වී නොමැත. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ට  තව දීර්ඝ ගමනක් තිබේ.

දශක ගණනක් දූෂිත අන්තවාදීන් අත පැවති රටක්, ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් හතර අතට බෙදී තිබූ රටක්, ඉන් මුදවා ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක් වෙත ගෙන යාමට සිවිල් සමාජයකට හැකි වූයේ කෙසේද යන්න විසීම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ලෝකයට වැදගත් බව මගේ වැටහීමයි.

මෙම සීතල ජනවාරිය තමන්ට වසන්තයක් කර ගනිමින් ජයග්‍රහණය දක්වා ගමන් කර වීමට ප්‍රාග් නුවර පාරවල් දිගට පෙළපාලි ගිය සිවිල් සමාජ බලවේගය විසින් ගායනා කරනු ලැබුවේ we shall over come යන ගීතයේ  තනුව අනුකරණය කර චෙක් භාෂාවෙන් ගැයෙන “අපේ ඉලක්කය අත ලඟයි, මම දනිමි එය “ යන්න ය.

එදා 1989 එවකට පැවති ඒකාධිපති රාජ්‍ය පෙරළා දැමීමට වීදි බට සිවිල් ජනයා ද මෙම ගීතය ගායනා කරනු ලැබීය. මෙදා 2019  “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මිලියනයක් අවස්ථා” නමින් සිවිල් සමාජ බලවේගයක් ලෙස ලක්ෂ ගණන් වීදි අරක් ගත් ජනයා දශක ගණනක් දූෂිත අන්තවාදීන් අත පැවති රටක් ඉන් මුදවාගැනීමේ තීරනාත්මක කාර්‍යයකට අතගසමින් තමන්ගේ සටන් පාඨය ලෙස සියළුම ප්‍රජාතන්ත්‍ර පක්ෂ වලට “එකට එක්යෙව්” බලකිරීම ඇරඹීය. එහි ප්‍රතිපලය ලෙස 2021 හේමන්තයේ පාර්ලිමේන්තු මැතිවරණයේදී  පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ පහේ එකතුව ජයග්‍රහණය කරවනු ලැබීය.

පේට්‍ර පවෙල්ගේ ජයග්‍රහණය චෙක් රටේ බොහෝ දෙනාට දේශපාලන වෙනසක් සඳහා බලාපොරොත්තු ගෙන එයි.  ජනප්‍රියවාදීන්, අන්තවාදීන් දිගින් දිගටම ප්‍රචාරය කරනු ලැබුවේ ඔහු බලයට පත් වූව හොත් ඒ සමඟ යුද්ධයක් ඇති විය හැකි බවයි.

ඉන් අදහස් කරන ලද්දේ  ඔහු යුරෝපා සංගමයේ දේශපාලනය සමග අනුගත වීම තුළ යුක්‍රේනයේ යුද්ධය දී රුසියාවට එරෙහිව යුද්ධයට පැටලෙණු ඇති බවය.

රටෙහි සියළුම ජනමාධ්‍ය ආයතන තම අත පැවති අන්ද්‍රේ බාර්බිස් එරට සිටින පස්වන ධනහිමියායි. ඔවුන් කොතරම් දූෂිත මාධ්‍ය සටනක් පාවෙල්ට එරෙහිව ගෙන ගියා වුවත් මෙතෙක් පැවති සියලුම ජනාධිපතිවරණ වල දීට වඩා මෙම ජනාධිපතිවරණයට 70% වැඩි ප්‍රමාණයක් ඡන්දය දීමට පැමිණි අතර එයින් පෙනෙන්නේ චෙක් රටේ ජනතාවට මෙම ඡන්දය කොතරම් වැදගත් වූවාද යන්නයි.

ඇත්තෙන්ම රටෙහි සියලු  ජනමාධ්‍ය ප්‍රචාරයන් පැරදවීමට සිවිල් සමාජයේ හඬ එනම් “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මිලියනයක් අවස්ථා” ව්‍යාපාරය සමත් විය. අවසානයෙහි රටෙහි ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය දෙසට තම කැමැත්ත පළ කළේය.

විවිදත්වය එකට එක්ව වැඩකිරීම ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවට සහ නිහතමානී දේශපාලනයකට අපව හුරු කරයි. සහයෝගීතාවය යනු ජනතාව අතර සෙනෙහස දැක්වීමේ ක්‍රමවේදයයි.

02.02.2023

Archive

Latest news

Related news