පාස්කු ඉරිදා ප්‍රහාරයන් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරන නඩු විභාගයට එවකට ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන මෙන්ම එවකට රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනද සිය නිර්දෝශී බව පෙන්වීමට දිව්රුම් පෙත්සම් ලබා දුන්නේය.
ප්‍රහාරය තොරතුරු මුලින්ම ලැබුණේ නිලන්ත ජයවර්ධනටය යන්න දැන් සුප්‍රසිද්ධ කරුණි .
එසේ නමුත් ඔහු සිය දිව්රුම් පෙත්සම මගින් කියා සිටියේ තමන් එම තොරතුර තමා ජනාධිපති සිරිසේනට ලබා නොදුන් බවත් තමා ජනපති සමඟ තොරතුරු බොදා නොගත් බවය. මෙම කතාවේ ඇත්ත නැත්ත සනාථ කිරීමට තිබූ සිය ජංගම දුරකථනයෙහි සියලු දත්ත නිලන්ත ජයවර්ධන මකා දැම්මේය. සිරිසේනද එකල පාවිච්චි කළ ජංගම දුරකතනය දැන් සොයා ගැනීමටවත් බැරි වන බවට කැට තැබිය හැකිය.
එසේ නමුත් පොලිසියේ ඉහළ පොලිස් නිලධාරීන් අතර තිබූ කටකතාවක් වූයේ සිරිසේන සහ නිලන්ත “තාත්තයි සහ පුතායි” වගේ කියාය.
එසේ තිබියදීත් ජනාධිපති සිරිසේනට එම තොරතුර නොදුන් බවට නිලන්ත ජයවර්ධන කියන්නේ ඇයි, සිරිසේන එයම ප්‍රතිරාව කරන්නේ ඇයි?
ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් මතු කරන ප්‍රශ්න විමසා බලන විට පෙනෙන්නේ මෙම කතාව පිළිගැනීමට උගත් විනිශ්චයකාරවරුන් පවා මැලි වූ බවයි. එමෙන්ම පාස්කු ප්‍රහාරය නො වැළැක්වීම ගැන පිළිතුරු නැති ප්‍රශ්න ඉතිරි වී ඇති බවයි.
(මෙම ලේඛකයා දිගින් දිගටම කරුණු ඇතිව ඉදිරිපත් කරන ලද ස්ථාවරය එයයි)
මේ බලන්න. නඩු තීන්දුවේ 82 වන පිටුවෙහි මෙසේ සඳහන් වේ:
“මේ සියල්ල පසුබිමේ වැදගත් ප්‍රශ්නයක් පැන නගී. සහරාන් සහ ඔහුගේ වරදකාර සගයන් සිටින ස්ථානය රටේ ආරක්ෂක අංශ දැන සිටියේ නම්, ඔවුන්ගේ භීෂණ පාලනය මුදා හැරීමට පෙර මෙම දඩයම්කරුවන් අත්අඩංගුවට නොගත්තේ මන්ද යන ප්‍රශ්නය විශාල ලෙස මතුවේ.”
“රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස නිලන්ත ජයවර්ධන මහතාට තම අමාත්‍යාංශයේ ඉහළම විධායක නිලධාරියා වන ජනාධිපති ද වූ ඇමැතිවරයා හමුවෙහි කට පියාගෙනම සිටිය හැකිද?”
ශ්‍රේෂ්ඨාධිකරණය, තම දෙදෙනා අතර සන්නිවේදනයක් නොතිබුණ බවට සිරිසේන- නිලන්ත ගයන තනුව පිළිගත්තේ නැත.
ශ්‍රේෂඨාධිකරණය ඇසු ප්‍රශ්නය
නඩු තීන්දුවෙහි 85 වන පිටුවෙහි ඒ බව දැක්වෙන්නේ මෙසේය.
“නිලන්ත ජයවර්ධන සහ හිටපු ජනාධිපතිවරයා බුද්ධි අංශ සම්බන්ධයෙන් ඔවුන් අතර කවර හෝ සන්නිවේදනයක් නො තිබුණ බව මෙම අධිකරණය හමුවේ කියා සිටියද නිලන්ත ජයවර්ධන රටේ ජනාධිපතිවරයා සමඟ සෘජු සන්නිවේදනයක් පවත්වා නොතිබුණාක් නොවේ.”
“ජනාධිපතිවරයාට වාර්තා කිරීමට තමා බැඳී නැති බව ඔහුට (නිලන්ත ජයවර්ධනට) මෙම අධිකරණයට ප්‍රකාශ කළ හැකිද? ඔහුගේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සාධාරණ ලෙස ඔහුට සහාය දිය හැකිද? රටේ ජනාධිපතිවරයා සමඟ තමා සබඳතා නොපැවැත් වූ බවට ඔහු (නිලන්ත ජයවර්ධන) කළ ප්‍රකාශය විශ්වාස කිරීමට මෙම අධිකරණයට හැකිද?”
දෙදෙනාම වෙහෙස වී කී එකම කතාව
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සිරිසේන සහ නිලන්ත අතර සමීප සන්නිවේදනයක් නොතිබුණේය යන ප්‍රකාශ දීර්ඝ වශයෙන් විමසා බලයි (86වන පිටුව):
“නිලන්ත ජයවර්ධනගේ දිවුරුම් ප්‍රකාශයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ අදාළ අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ අමාත්‍ය ධුරය දැරූ එවකට රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සම්බන්ධයක් නැති බව පෙන්වීමට ප්‍රසිද්ධියේම උත්සාහ කිරීමය.”
“ඔහුගේ (නිලන්ත ජයවර්ධනගේ) දිවුරුම් ප්‍රකාශයේ සමහර ප්‍රකාශයන් ඔහු ආරක්ෂක අමාත්‍යවරයා සමඟ පවත්වාගෙන ගිය බව කියන දුරස්ථ සබඳතාවක් ප්‍රකාශ කිරීමට උත්සාහ කරයි. නිලන්ත ජයවර්ධන ජනාධිපතිවරයා වෙත වාර්තා කිරීමට අවශ්‍ය නොවන බවට කළ ප්‍රකාශය තදින් පිළිගැනීමේදී හිටපු ජනාධිපතිවරයා ද මෙම ප්‍රවේශම් සහගත ප්‍රවේශය අනුගමනය කරයි.”
“එකිනෙකාගේ කාර්යයන් එකිනෙකට වෙනස් සහ රහසිගත ලෙස සැලකීමට දිවුරුම් ප්‍රකාශ දෙකෙහිම වෙහෙසකාරී ලෙස උත්සාහ ගෙන ඇත.”
“අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු ප්‍රධානියකු අතර ඔවුන් අතේ දුරින් එකිනෙකා සමඟ ගනුදෙනු කරනවා වැනි සබඳතාවක් පැවති බව දිවුරුම් ප්‍රකාශ දෙකෙන්ම තහවුරු කිරීමට උත්සාහ කරයි. නිලන්ත ජයවර්ධන මහතා විසින් රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී අත සෝදා ගැනීමේ හැසිරීම පිළිබඳ ආකල්පයක් ඔහු විසින් දිවුරුම් ප්‍රකාශයේ ප්‍රකාශ දෙකකින් ඉදිරිපත් කර ඇති අතර ඒවා පහත සඳහන් පරිදි වේ:”
“ආරක්ෂාවට අදාළ ක්‍රියාවට නැගිය හැකි තොරතුරු සම්බන්ධයෙන් මා විසින් සෘජුවම අතිගරු ජනාධිපතිතුමාට සහ/හෝ අග්‍රාමාත්‍යවරයා වෙත වාර්තා කිරීමට හෝ, සෘජුවම අතිගරු ජනාධිපතිතුමා සහ/හෝ අග්‍රාමාත්‍යවරයා සමඟ බෙදා ගැනීමට මා හට උපදෙස් ලබා දී නොමැති බව හෝ උපදෙස් ලබා දී නොමැති බව ද එලෙස බලාපොරොත්තු නොවූ බව ද ප්‍රකාශ කරමි ප්‍රකාශ කරමි.”
“ඒ නිසා, ඒ වන විටත් පොලිස්පතිවරයාට සහ ජාතික බුද්ධි ප්‍රධානී වෙත වෙත යොමු කර තිබු අවසානයේ 2019 අප්‍රේල් 21 වැනිදා සිදු වූ, විය හැකි බෝම්බ ප්‍රහාරයක් පිළිබඳ එම ක්‍රියවට නැගිය හැකි හැකි එම තොරතුරු අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමඟ බෙදා ගැනීමට මම රාජකාරීමය ලෙස බැදී නොසිටින බවත් සන්නිවේදනය නොකළ බව මම ප්‍රකාශ කරමි.”
“මෙය කිසියම් අමාත්‍යවරයෙකුගේ අධීක්ෂණයකින් සහ පාලනයකින් ඈත්වීමේ අනුමත කළ නොහැකි උත්සාහයක් බව අපගේ අදහසයි. නිලන්ත ජයවර්ධනගේ සහ හිටපු ජනාධිපතිවරයාගේ දිවුරුම් ප්‍රකාශය දෙකම නිලන්ත ජයවර්ධන සිය අමාත්‍යවරයාට වගවීම සම්බන්ධයෙන් ද එම භාෂාවම ප්‍රතිරාවය කරයි. නිලන්ත ජයවර්ධන ආරක්ෂක අමාත්‍යංශයේ යටතේ වෙනම දෙපාර්තමේන්තුවක ප්‍රධානි තනතුරක බව මතක තබා ගත යුතුය.”
එසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය එම සමාවට කාරණය පිළිගන්නේ නැත. ජාතික ආරක්ෂක ප්‍රධානියාගෙන් තොරතුරු ලබා ගැනීම ආරක්ෂක ඇමතිවරයා වහයෙන් ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථානුකූල වගකීම වූ අතර ඔහුට තොරතුරු ලබා දීමට රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා බැදී තිබුණි.
නඩු තීන්දුව 86 සහ 87වන පිටුවල මෙසේ සඳහන් කරන්නේ ඒනිසාය.
“රාජ්‍ය ඔත්තු සේවය (SIS) ආරක්‍ෂක අමාත්‍යවරයා යටතේ සෑම විටම හා වෙනම දෙපාර්තමේන්තුවක් ලෙස පවතින බව හිටපු ජනාධිපතිවරයා විසින් ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් තමන්ටම බලතල සහ කාර්යයන් පවරන ලද ගැසට් තුනෙන්ම මනාව පැහැදිලි වේ.”
“කෙටියෙන් කිවහොත්, රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වෙන වෙනම සහ වෙනස් දෙපාර්තමේන්තු ලෙස විස්තර කර ඇත. අංක 2096/17 සහ 2103/33 දරන ගැසට් පත්‍රයේ 12 සහ 14 අයිතම බලන්න.”
“මෙම ව්‍යවස්ථාමය විධිවිධානය මගින් අමාත්‍යවරයා තම අමාත්‍යාංශයේ එකිනෙකට වෙනස් සහ වෙනම දෙපාර්තමේන්තු භාරව සිටින අතර ධුරාවලියේ අග්‍රස්ථානයේ සිටී. මෙම තත්ත්වය තුළ හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් දෙපාර්තමේන්තුව අතර වෙනසක් ඇති කිරීම ව්‍යවස්ථාපිත මූලධර්මයට පටහැනිය.”
“තමාට වාර්තා කිරීමට බැඳී සිටින්නේ පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා මිස රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දිවුරුම් ප්‍රකාශයෙන් ප්‍රකාශ කරන විට එය ව්‍යවස්ථාවට පටහැනිය.”
සිරිසේනගේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව අභූතය!
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු කිහිපයක් සම්බන්ධීකරණ හා සමාන්තර තලයකට පත් කර ඇති විට තම දෙපාර්තමේන්තුවේ යම් ප්‍රධානියෙකු තමා වෙත වාර්තා කිරීමට බැඳී නොසිටින බවට හිටපු ජනාධිපතිවරයා අභූත ආස්ථානයක් ඉදිරිපත් කිරීම ව්‍යවස්ථා සැලැස්මට පටහැනිය.”
සිරිසේනගේ ප්‍රකාශය පුදුම සහගත බවත් නිලන්ත ජයවර්ධනගේ ප්‍රකාශය කෘතීම සහ ප්‍රතිවිරෝධී බවත් නඩු තීන්දුව සඳහන් කරයි.
“රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා ඉවත් කර පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා පමණක් ඔහුගේ යටතට ඇතුළත් කිරීමට ඇති නැඹුරුව, ඔහුගේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් දෙදෙනෙකුට අසමාන සහ නීති විරෝධී ලෙස සැලකීමකට සමාන වන බැවින් එය පුදුම සහගත මෙන්ම ව්‍යවස්ථා විරෝධී ය. අදාළ අවස්ථාවේ ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනාධිපතිවරයාට වාර්තා කිරීමට තමා බැඳී නොසිටි බව නිලන්ත ජයවර්ධන කීම කෘතිම සහ ප්‍රතිවිරෝධී බවක් පෙන්වයි.”
දෙන්නා පමණක් දන්නා හේතුවක්!
“මෙම දෙදෙනා කරන්නේ දීර්ග කාලයක් පැවැති ව්‍යවස්ථාපිත මුලධර්මයක් වැරදියට ප්‍රකාශ කිරීමක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි. එපමණක් නොව ඔවුන් දෙදෙනා කරන්නේ කල්පිත සහ කෘතිම වෙනසක් මවා පෑමකි. මෙම නැති වෙනසක් මවා පෙන්වීමට සිරිසේන සහ නිලන්ත තීරණය කර ඇත්තේ ඔවුන් පමණක් හොදින් දන්නා හේතුවක් නිසාය.” ((87වන පිටුව):
“නිලන්ත ජයවර්ධන රටේ ජනාධිපතිවරයාව සිටි ආරක්ෂක අමාත්‍යවරයාට වාර්තා කිරීමට බැඳී සිටි බවට අපි කියා සිටිමු. එබැවින්, මෛත්‍රීපාල සිරිසේන සහ නිලන්ත ජයවර්ධන යන දෙදෙනාගේම දිවුරුම් ප්‍රකාශවල ප්‍රකාශයන්, අමාත්‍යවරයකු යටතේ ඔහු භාරව සිටින දෙපාර්තමේන්තු සහ ආයතන සමාන දුරස්ථභාවයකින් හා සම්බන්ධීකරණකි පැවතිය යුතු බවට වන දිගුකාලීන ව්‍යවස්ථාපිත මූලධර්මය වැරදියට ප්‍රකාශ කිරීමකි.
ඒබැවින් මෛත්‍රීපාල සිරිසේන සහ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා සහ ඔවුන්ගේ දිවුරුම් ප්‍රකාශවල කරන කල්පිත වෙනස්කම් කෘත්‍රිම ඒවා වන අතර ඒවාට නීතිමය හෝ ව්‍යවස්ථාමය පදනමක් නොමැත. දිවුරුම් ප්‍රකාශ දෙකෙහි මෙම බොරු වෙනසක් ප්‍රකාශ කිරීමට තෝරා ගෙන ඇත්තේ ඔවුන් පමණක් හොඳින්ම දන්නා හේතූන් මතය.
නිලන්තට සිරිසේන දුන් කටකළියාව
සිරිසේන නිලන්ත ජයවර්ධනට කටකලියාවක් ලබා දී තිබේ යැයි සඳහන් කරන නඩු තීන්දුව ඊට හේතුව දන්නේ සිරිසේනම පමණක් යැයිද කියයි!. (86වන පිටුව)
“…මෛත්‍රිපාල සිරිසේන ව්‍යවස්ථා විරෝධී සහ නීති විරෝධී කටකලියාවක් තමා හොඳින්ම දන්නා හේතූන් මත (මෛත්‍රීපාල සිරිසේන) මෙම නිලධාරියාට (එනම් නිලන්ත ජයවර්ධනට) ලබා දෙන බැවින් රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂක පවා ඔහුට තොරතුරු දැනුම් නොදුන්නේ නම්, ජනාධිපතිවරයාට ජාතික ආරක්ෂාව පිළිබඳ තොරතුරු ලැබුණේ කෙසේද යන ප්‍රශ්නය පැන නගී.”
මෛත්‍රීපාල සිරිසේන පවසන පරිදි 2019 අප්‍රේල් 21 වැනිදා බෝම්බ පිපිරවීමේ සැලසුම පිළිබඳව දැනුවත් නොකළේ නම්, එවකට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන පැහැදිලි කිරීමක් කැඳවා වහා පියවර ගත යුතුව තිබුණි.
නමුත් සිරිසේන පියවර ගත්තේ පොලිස්පතිට සහ ආරක්ෂක ලේකම්ට විරුද්ධව පමණ ය.
නිලන්ත ජයවරධන තමා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කිරීමට සාක්ෂි දීමට පැමිණි බව පළි ගැනීම් කොමිසමට කීවේය. ගෝඨාභය රාජපක්ෂ සහ නිලන්ත ජයවර්ධන සමීපතමයින්ය.
එසේ නම් සිරිසේන නිලන්ත ජයවර්ධන ආරක්ෂා කරන්නේ ඇයි ද යන ප්‍රශ්නයට පිළිතුර වන්නේ තමා පාස්කු ප්‍රහාර පිළිබඳ තොරතුරු කල් තියා දැන ගෙන සිටි බව වසන් කිරීමට බවයි. දැන දැනම පියවර නොගැනීම සම්බන්ධයෙන් දඬුවම් විදීමෙන් ගැලවීමටයි.
එසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඉතා පැහැදිලිව ප්‍රහාරය වැළැක්වීමට තිබූ අවස්ථාව පැහැර හැරීම සම්බන්ධයෙන් මූලික වරදකරු බවට පත් කර තිබේ.
(ඉංග්‍රිසි බසින් ඇති නඩු තීන්දුවෙහි සිංහල පරිවර්ථනය ලේඛකයා විසිනි. නිල පර්වර්ථනයක් නොවන බව සලකන්න)