Friday, June 21, 2024

අරගලය නිසා ඇති වූ අනුරාගයෙන් පොදුජන ආමන්ත්‍රණයට ලං වූ කලාවක් – සුජිත් රත්නායක

අර්බුදය සහ අරගලය“ කලා ප්‍රදර්ශනය ගැන කලාකරු ප්‍රකාශය

සාහිත්‍යය, වේදිකා නාට්‍ය, සංගීතය, නර්තනය, සිනමාව ආදී  අනෙකුත් කලා ක්ෂේත්‍රයන් එක්ක ගත් විට  දෘෂ්‍ය කලා සංස්කෘතියට අදාළ යෙදුම්, පුද්ගල අන්‍යයතාවන්, ගුරුකුල, සම්ප්‍රදා, සංධිස්ථාන, ප්‍රවණතා, අනූපම ප්‍රවිෂ්ට, කලාගාර සංස්කෘතිය, කලා ප්‍රදර්ශන අභිරක්ෂණ මාදිලි හා ක්‍රියාවලි  ( curating ), දෘෂ්‍ය කලාවේ වාණිජ මාදිලි හා ඓන්ද්‍රීය භාවිතාවන්, මාෆියාවන්, ව්‍යාජයන්, සංවිධානගත ප්‍රොපර්ගැන්ඩා……ආදී පරාසය ගැන ලාංකේය සමාජයට ඇත්තේ අල්ප වූ අවබෝධයක්  බව මගේ අද්දැකීමයි. මේ තත්වයේ පසුවන රසිකයකුගෙන් තම කෘති සම්බන්ධව ලැබෙන ප්‍රතිචාරයට මගේ කැමැත්තක් නැත. මේ තත්වය තුළ මගේ කලා කෘතියකින් ලබා දෙන සෞන්දර්ය අද්දැකීම දොඩම් වගේ රසයක් කියා හිතුවොත් රසිකයා එය බාර ගෙන ඇත්තේ අන්නාසි හැටියටනම් මට එම තත්වය ව්‍යාකූල ය. එම තත්වය සමාජ යථාර්ථයක් බවට පත් වූ අපේ රට තුළ මේ යථාර්ථය  මග හැර කලාව පමණක් කරගෙන යාමට තීරණය කිරීමට මම අපොහොසත් වීමි. එහෙයින් මම නිරන්තරවම දෘෂ්‍ය කලාවත්, මගේ කලා භාවිතයත්, දෘෂ්‍ය කලා සංස්කෘතියට අදාල මේ යථාර්ථය විනිවිද ලාංකේය දෘෂ්‍ය කලා කෙතේ ව්‍යාකූලත්වය ලිහීමට කටයුතු කිරීමට අප්‍රමාණව මහන්සි උනෙමි. එය මගේ පුද්ගලික ප්‍රශන්යක් හැටියට දෘෂ්‍ය කලා සමාජයේ අති බහුතරයක් බාර ගත් අතර ඊට වෙනස්ව එය බාර ගනු ලැබූයේ වැඩි වශයෙන් දෘෂ්‍ය කලා සමාජයෙන් පිටස්තර පුද්ගලයින් ය.   මා හිතන ආකාරයට ලාංකේය දෘෂ්‍ය කලා කෙතේ ව්‍යාකූලත්වය නිර්මාණය කර ඇත්තේ දෘෂ්‍ය කලාකරුවන් ම විසිනි. තම කෘති තුළ තිබෙන දේ, තමන් ඉන්ස්පයර් වූ ඇත්ත, සංදර්භය, කෘතියට අදාල යුක්ති යුක්තතාව මේ සියල්ල සගවා කෘතිය තුළ නැති දෙයක් භාෂා ප්‍රෙයා්ග මගින් උත්කර්ශයට නැංවීමට හැකි වීම දෘෂ්‍ය කලාවට ආවේණික දෘෂ්‍ය කලාව  තුළ ඇති පහසු තත්වයකි.

තම අත් අකුරු තමන්ගේ ම අනන්‍යතාව වන තරමට අපේ රටේ චිත්‍ර කලාවේ නියලෙන බොහෝ කලාකරුවන්ගේ චිත්‍රණය සිය අත් අකුරු වල ජීව ගුණය සමග නොපෑහෙන බව මගේ අද්දැකීමයි. ඇගිලි තුඩු වලින් අත ගාලා බැලූ විට ඇගිලි තුඩු වලට දැනෙන තරම් සමහරෙකුගේ අත් අකුරු දැඩි ය. රළුය.   බෝල් පොයින්ට් පෑනකින් කඩදාසියක සිය අත් අකුරු සටහන් කරන  විට අනිච්ඡානුගව පෑන  ඇතුලට තෙරපී රළු සහ දැඩි වේෂයක් සහිත අත් අකුරු අනන්‍යතාවක් ඇති අයකු චිත්‍රණයේදී අත පණ නැති කොට බුරුල් සහ බෙලහීන ව පින්සල හසුරුවා   චිත්‍රණයේදී කරනු ලබන සිය පින්තාරුමය කෙටුම්පත්කරණය  තමන්ගේ ම අනන්‍යතාව නැතිනම් ස්ටයිල් එක  හැටියට සමාජයට හුවා දැක්වීම අතර පරස්පරය නිරීක්ෂණය කිරීමේ සියුම් අභ්‍යාසයකින් ද ලංකාවේ දෘෂ්‍ය කලාවේ මේ තත්වය තේරුම් ගත හැකිය කියා මම සිතමි.

ඒ වගේ ම තමන් නියලෙන කලා ෂානරය කුමක් උවත් ලාංකේය දෘෂ්‍ය කලා ක්ෂේත්‍රය තුළ ලංකාවේ අග නගරය වන කොළඹ හෝ කොළඹට තදාසන්න පදිංචිකරුවන් වීම, ඉංග්‍රීසි කතා කිරීමට හැකි වීම, විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරයකු වීම, ක්ෂේත්‍රෙය් ජ්‍යෙෂ්ඨයන් වීම, පුරුෂයන් වීම, ව්‍යාපාර හිමිකාරීත්වයක් තිබීම, සිවිල් සමාජයේ දැන ඇදුණුම්කම් තිබීම, පුරා විද්‍යාව – ඉතිහාසය – සෞන්දර්යවේදය – මානව විද්‍යාව -දර්ශනය  යන විෂයයන් පිළිබද දැනුමින් සන්නද්ධ වීම වැනි කාරණා අද වන විට ලංකාවේ දෘෂ්‍ය කලාවේ අධිපතිවාදය බවට පත්ව ඇත. මා ගතහොත් දැනටමත්  කොළඹ අගනගරය පිළිබද අද්දැකීම් ඇතත් මාගේ ස්ථිර පදිංචි ලිපිනය වන්නේ කොළඹින් ඈත පිටිසර වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්න ය. මා ඉපදුණේ ද රන්න හිදී ය.   කලාගාර ක්‍රියාමය හිමිකම, අභිරක්ෂණය, ප්‍රකාශන හිමිකාරීත්වය, කලා ව්‍යාපෘති සම්පාදනය, පුරා විද්‍යාව – ඉතිහාසය – කලා ඉතිහාසය – කලා විචාරය – කලා ප්‍රදර්ශන අභිරක්ෂණය යන දෘෂ්‍ය කලාවට බලපාන පුලුල් විෂය පරාසයක   නියලෙන  පිරිස් 90 දශකයේදී දෘෂ්‍ය කලාවට අවතීර්ණ වූ අතර ඔවුන් එම ක්ෂේත්‍ර අවභාවිතා කරමින් ඔවුන්ව ස්ථානගත කරමින්,     ලාංකේය බොරු කලා ඉතිහාසයක්  ප්‍රතිෂ්ඨාපනය කළ අතර එය ලාංකේය දෘෂ්‍ය කලා කෙතේ ව්‍යාකූලතාවට ප්‍රධාන හේතුව බව මගේ විශ්වාසය ය. කාලරේඛීයව ගත් විට මෙහිදී බන්ධුල පීරිස්, සරත් සූරසේන, ශාන්ත කේ. හේරත්, සස්කියා පින්ටලොන්,  සරත් චන්ද්‍රජීව, සංජීව කුමාර, සුජීවා කුමාරී, දුමිත් කුලසේකර, මනෝරංජන හේරත්…….සහ තවත් පිරිසක් තරම් වන දේශීය සංදර්භයක සංධිස්ථානගත සෞන්දර්ය ප්‍රවිෂ්ට ගණනාවක් ඔවුනගේ කලා ඉතිහාසකරණයෙන් පිටමං කළ අතර මා ඇතුළු චන්ද්‍රගුප්ත තේනුවර, කිංස්ලි ගුණතිලක, තිස්ස ද අල්විස්, රොහාන් අමරසිංහ,චමරි තපස්වරගේ, උපාලි ආනන්ද, චාන්දනී සෙනරත් යාපා …….. සහ තවත් සුවිශාල    පිරිසක් ඔවුනගේ පිරමිඩයකට බහාලී ය. මෙය ඇකඩමියේ වලංගුභාවය හා ආශීර්වාදය ලබා ගනිමින් කූට ලෙස කරන ලද අල්ලා ගත නොහැකි ( අසන්තතික ) සමාජ පලි ගැනීමේ අශ්ලීල හිංසන ක්‍රියාදාමයක් බව මගේ හැගීම ය. සැබෑවට සිදු නොවූ නමුත් 90 වේ ප්‍රවණතාව යනුවෙන් නාමකරණය කරන ලද ප්‍රවණතාවක් වෙනුවෙන් කතෘත්වය හා අවස්ථා ලබා ගැනීම වෙනුවෙන් එය පුරෝකථනය කරන ලද සහ ප්‍රොපර්ගැන්ඩාගත කරන ලද මෙහෙයුමකි.   ලාංකේය දෘෂ්‍ය  කලා ඉතිහාසය තුළ පංගුකාරයින් වීමනේ විදේශීය ආකර්ශනයට ලක් වන අතර එය යාව ජීව වෙළෙද පොළක් ද වේ.

පොදු සමාජ පර්යාය ( Social order )  බිද හෙළූ  මේ ලාංකේය දෘෂ්‍ය කලා සංස්කෘතියෙන් මා පිටමං වූ දෘෂ්‍ය කලාකරුවෙකි. මගේ රසික සමාජය සැළකිය යුතු ප්‍රමාණයකින් සෑදී ඇත්තේ ස්වදේශික සාහිත්‍යය, වේදිකා නාට්‍යය, නර්තනය, සංගීතය, සිනමාව, වමේ දේශපාලනය වැනි ක්ෂේත්‍ර වල මිතුරු සමාජයක් තුළ ය. ලංකාවේ දෘෂ්‍ය කලාවට අදාළ රාජ්‍ය සහ විකල්ප බලතන්ත්‍රයන්ගේ නිරන්තර ප්‍රතික්ෂේපවීමට මා ලක් වන අතර  ලංකාවේ මොඩර්න් සහ සමකාලීන කලා කෞතුකාගාරයේ  මාගේ  කලා කෘති ඇතුලත්ව නැත.  නමුත් මුලු ජීවිත කාලය පුරාවට ම එක ම එක ඒක පුද්ගල කලා ප්‍රදර්ශනයක් කළ අයගේ ද ව්‍යාපාරිකයින්ගේ ද කථිකාචාර්යවරුන්ගේද , මහාචාර්යවරුන්ගේ ද සමාජයට අභිමුඛ නොවන ඔවුන්ගේ අතවැසි ශිෂ්‍ය-ශිෂයාවන්ගේ ද රාජ්‍ය නොවන සංවිධාන වල හිමිකාරීත්වය දරණ සහ ඔවුන්ගේ සේවකයින්ගේ ද  කෘති එහි  ඇත.

ලංකාවේ දෘෂ්‍ය කලාවේ සැබෑ ස්වරූපය තේරුම් ගැනීමට 2022 වර්ෂයේ උද්ගත වූ ආර්ථික හා දේශපාලන අර්බුදයට එරෙහිව සිදු වූ ජන අරගලය තුළ හා එයට සමගාමීව කළ දෘෂ්‍ය කලාවේ භාවිතය පරීක්ෂා කිරීමෙන් ද හොදටම තේරුම් ගැනීමට හැකි ය.

2022 දී ලංකාවේ ඇති වූ දරුණු ආර්ථික අර්බුදය හුදෙක් ආර්ථික අර්බුදයක් හැටියට නොව දේශපාලන අර්බුදයක් හැටියට පොදු ජනතාව තේරුම් ගන්න විය. රට බංකොලොත් වූයේ ජනාධිපතිගේ සිට ආණ්ඩුවේ පාර්ලිමේන්තු නියෝජිතයින් විසින් රටේ මුදල් කොල්ල කෑ නිසා බව අති බහුතරයකගේ මතය වූ අතර ඒ වගේම දේශපාලනයේ ඥාති සංග්‍රහ වෙතටද ජනතාවගේ අවධානය ලක් විය. සිය ඡන්දයෙන් ම පාලකයින් තෝරා පත් කර යවන ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් ද මෙය තේරුම් ගත් අතර ඒ අනුව ඔවුන්ද 2022 ආර්ථික හා දේශපාලන අර්බුදය ඉදිරියේ දූෂිත පාලනයට එරෙහිව අරගලය තෝරා ගත්හ.

යම් රටක පුරවැසියන් දූෂිත පාලකයින් පත් කර ගනු ලබන්නේනම් ඔවුන්ද දූෂිත බව මගේ හැගීමයි. මේ දූෂණ චක්‍රය තුළ ඔවුන්ද කොටස්කරුවන් වන නිසා ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් දූෂිතයින් පත් කර ගැනීම ඔවුනගේ සාමාන්‍ය ඇබ්බැහියයි. පුරවැසියන් විසින් පත් කර යවන පාර්ලිමේන්තු නියෝජිතයින් වී.අයි.පී ලේබලයෙන් බලවත් වී ජනතාවට ම අත්තනෝමතික ලෙස බලය පෙන්වන ලංකාව වගේ පසුගාමී රටක අන් කවරදාකවත් නැති විදියට අලුත් පරම්පරාව මේ පාලකයින්ට එරෙහිව නොබියව පාලකයින්ව හාස්‍යයටත්, අවත්කසේරුවටත් ලක් කළ අතර එම තත්වය 2022 අරගලයේ ගාමක බලය උනැයි කියා මට සිතේ.

අතුරුදහන් කිරීම, බිය වැද්දීම, තර්ජනය කිරීම, මරා දැමීම,  සංවිධානගත ප්‍රචණ්ඩත්වය, අත්තනෝමතිකව සිරගත කිරීම, රාජ්‍ය ආයතන අවභාවිතා කිරීම, මුදල් වංචා කිරීම, අල්ලස් ගැනීම හා අල්ලස් දීම, අප්‍රමාණ කොමිස් ගැනීම, ලිංගික අල්ලස් ගැනීම, ස්ත්‍රී දූෂණය, ළමා අපචාර හා දූෂණය, ඥාතීන්ට විශේෂ කොට සැළකීම, ආගම්වාදය, ජාතිවාදය,  අවස්ථාවාදය, පාසල් අතර භේද, බොරු කීම, අභූත චෝදනා ගොනු කිරීම, හොරකම් කිරීම, කප්පම් ගැනීම, සුදුස්සන් පාගා දැමීම, දේශපාලන පත්වීම් හා ස්ථාන මාරු ලබා දීම, හැම දෙයක්ම වානිජකරණය වීම, වංගු ආර්ථිකය, සිය දිවි නසා ගැනීම, මානසික රෝගී තත්වයට පත් වීම…….මේ ආදී වශයෙන් අගතිගාමී ජන ජීවිතයක් පිණිස වන සමාජ යථාර්ථයක් එන්න එන්නම ලංකාව තුළ  නිර්මාණය වූ අතර මේ තත්වයන් අභිමුඛව මේ කැත සමාජ හා දේශපාලන සම්ප්‍රදායට එරෙහිව සමාජ පර්යායගත,  ප්‍රගතිශීලී, මානවවාදී සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මානයන්හි පිහිටා වැඩ කළ උගතුන්, කලාකරුවන්,  මාධ්‍යෙව්දීන්, සමාජ ව්‍යාපාර මේ ආදී කිසිවෙකුගේ මැදිහත් වීමක් ගැන වගේ වගක් නැතුව සිටි පොදු ජනයාට උක්ත දරුණු ආර්ථික අර්බුදය නිසා සිහිය පැමිණි අතර ඒ අනුව එන්න එන්නම අරගලය කෙමෙන් කෙමෙන් වැඩෙන්න විය. විවිධ කලාකරුවන් මේ අරගලයට සම්මාදම් වූ අතර  විරාජ් ලියනආරච්චි, අජිත් කුමාරසිරි, නාමිණී පංචාලා,  ජෙහාන් අප්පුහාමි, සිළුමිණි අලගියවන්න, අමිල් ගල්අංග, මිහිරි ප්‍රියංගනී යාපා, අජන්ත අලහකෝන්, අසංක සායක්කාර  ආදී පිරිසක් සමග ඒ අනුව අරගලය වෙනුවෙන් කලාත්මක අංග හා මාද බද්ධ වීමට තීරණය කළෙමි. නිරූපණාත්මක කලා භාවිතයන්, සංගීතමය නිර්මාණ, ගැයුම්, සටන් පාඨ හා උද්ධෘත උපුටා කළ බැනර් ප්‍රදර්ශනය මගින් අප වීදි කලා සටන් මාදිලියක් ක්‍රියාවේ යෙද වූ අතර එහිදී මවිසින් කරේ බොඩි ආර්ට් සහ බැනර් පින්තාරු කිරීම ය.  අරගලය වෙනුවෙන් අඛණ්ඩව කරගෙන  ගිය මේ වීදි කලා අරගල මාදිලියෙන්  මා සමු ගෙන අනතුරුව ගෝල්ෆේස් බිම තුළ අප්‍රේල් 9 දින කූඩාරම් අටවාගෙන පදිංචි වීමෙන් පසු අරගලය තුළ මගේ කලා භාවිතය සංකීර්ණ හා පුලුල් පරාසයකට පැතිරිණ.

ගෝල්ෆේස් අරගල බිමේ “චිත්‍රාගාරය“ හැටියට අරගලය වෙනුවෙන් මගේ මූලිකත්වයෙන් දෘෂ්‍ය කලා කේන්ද්‍රයක් හැටියට බිහි කළ එම කේන්ද්‍රය පසුව  විවිධ යාලු හිතමිත්‍රාදීන්ගේ අප්‍රතිහත  සහයෝගයෙන් තව දුරටත් සංවිධිත කර ගැනීමට අපට හැකි විය. අපගේ චිත්‍රාගාරය මා ඇතුළු නොනිල ක්‍රියාකාරී  කමිටුවක් මෙන් ම යාලු හිතමිත්‍රාදී රෑනකින් සමන්විත විය. සුජීව සෙනරත්, ගාමිණී ජයවික්‍රම, නිස්මං රණසිංහ,  සුමේධ හේවාවිතාරණ, ආර්. නලින්, ජානකී මුණසිංහ, දිමුතු ගලප්පත්ති, චාරුක සුරවීර, සංජය ඈපා සෙනෙවිරත්න, නදීෂා තරංගනී,ශ්‍රීමාල් දසනායක, උපේක්ෂා නුවන්ශ්‍රීනී, ශ්‍රීමාල් සමරසිංහ, විමුක්ති සහන්, ජානක තිලකරත්න, වසන්ත රත්නායක, අචින්ත මෙන්ඩිස්, සුරාජ් අසංක , ක්‍රිශාන්ත ජයතුංග, පුබුදු ප්‍රනාන්දු, සරත් ප්‍රේමතිලක, ජගත් කුලරත්න, සුරීන් මෙන්ඩිස්, යමුනා කුමාරී, අජිත් සෙනෙවිරත්න,  ආචාර්ය සුනිල් රණසිංහ, දොන් මායා, ජගත් කුලරත්න, රසික කොටුදුරුගේ,  දුමින්ද, ලසන්ත යන අය කැපිී පෙනුණ සාමාජිකයෝ ය.

ආරක්ෂාව, පොදු බව, අභ්‍යන්තර විනය, අරගලය වෙනුවෙන් දෘෂ්ටිවාදී එකගතාවන් පිළිබද අප සැළකිළිමත් වූ අතර අපගේ චිත්‍රාගාරය අරගල බිම තුළ ගැටුම් ඇති කර නොගෙන අරගලය වෙනුවෙන් ඉමහත් දායකත්වයක් සැපයීමට සමත් විය.  පොලීසියේ අණුදැනුම හා වක්‍ර සහාය ඇතිව කිසියම් මැර කණ්ඩායමක්  2022 මැයි 9 වෙනිදා අපගේ චිත්‍රාගාරය මුලුමනින්ම දවා අළු කළ අතර ඒ අතර මගේත් චිත්‍රාගාරය තුළ නිම වූ සැළකිය යුතු ප්‍රමාණයක චිත්‍ර ද ඒ අනුව ගිනිබත් විය.

ජූලි 21 දින  කල් ඇතිව මා ඇතුළු චිත්‍රාගාරය වටා එකතු වූ සියල්ලෝ ම අරගල බිමෙන්  සමු ගත් අතර ඊට අරගල බිමේ සමහරෙකුගෙන්  අප්‍රසාදය ද පළ විය. අරගලයේ ආදීනව පොදු ජනයාගේ මැදිහත් වීමෙන් ලංකාවේ ප්‍රධානත ම රාජ්‍යතාන්ත්‍රික මරමස්ථාන වන ජනාධිපති නිළ නිවාසය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය නිළ නිවාසය සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය යන පරිශ්‍ර පොදු ජනයා විසින් අත්පත් කර ගත් අතර ජනාධිපතිවරයාට ද පලා යන්නට සිදු වීම අරගලයේ ජයග්‍රහණයයි. තව දුරටත් අරගලයේ ඉදිරිය ගැන චිත්‍රාගාරයේ අපි හැටියට දකිනු ලැබූයේ  එම ආකෘතියෙන් වෙනස්ව වෙනත් ආකෘති තුළින් අරගලය ඉදිරියට ගෙන යා යුතු බව මිස ගෝල්ෆේස් බිම තුළ රැදී සිටීම නොවේ.   මෙම උච්චස්ථානයෙන් පසුව තව දුරටත් අරගල බිම තුළ රැදී සිටීම ගාමකත්වයක් නැති විපරීත තත්වයක් වන නිසාත්, මෙම උච්චස්ථානයෙන් උද්දාමයට පත් බොහෝ  අගතිගාමී පිරිස් තව දුරටත් මහජන විරෝධය සහ අරගලය් ආශ්චර්යය ගර්හාවට ලක් කරන සංදර්භයකය.

අනපේක්ෂිත ලෙස ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ දූෂිතයින් විසින් පත් කර ගත් අතර ආණ්ඩුවේ සංයුතිය සුළු සුළු වෙනස්කම් සහිතව සංශෝධනය උනත් ආණ්ඩුව කරගෙන ගිය අයම නැවත ආණ්ඩුව හැටියට පත් වූ අතර අනතුරුව ඔවුන් පොලීසිය යොදවා අරගලයේ ක්‍රියාකාරීන් මර්දනය කරන්නට ගත්හ. ඒ අනුව දූෂිත පොලීසිය විසින් ක්‍රියාකාරීන් මර්දනය කිරීමේ අපභ්‍රංස තත්වය තුළ ඔවුනගේ මර්දනයට ඉලක්ක වන   කිසිදු එළිමහන් උද්ඝෝෂණයකට චිත්‍රාගාරය හැටියට අප සහභාගි නොවුණෙමු. එහෙත් අපට ප්‍රතිප්‍රහාරයක් පිළිබද හැගීමක් තිබිණ.  මගේ ‘‘අර්බුදය සහ අරගලය‘‘ කලා ප්‍රදර්ශනය එම ප්‍රති ප්‍රහාරයයි. මර්දනය කළ නොහැකි ආකෘති හරහා  දෘෂ්‍ය කලාව මගින් මේ ප්‍රතිප්‍රහාරය සිදු කෙරේ.

මේ ප්‍රදර්ශනයේ මගේ කලා භාවිතය තුළ සුපුරුදු ලීලාවට වඩා වෙනසක් මම දකිමි. එය අරගලය නිසා ඇති වූ අනුරාගයෙන් පොදුජන ආමන්ත්‍රණයට ලං වූ කලාවකැයි කියා මට හිතේ. සත්‍ය ලෙස ම ගෝල්ෆේස් අරගල බිමේ දින 150 ක තරම් කාලයක් නේවාසිකව ගත කළ දුෂ්කර ජීවිතය නිසා අප එකිනෙකා අතර ඇති උන අන්‍යෝන්‍ය විශ්වාසය හා ආදරය නිසා මේ තත්වය ඇති වුනා විය හැකි ය.

මා සිතන ආකාරයට කලාවේ ආකෘති වෙනස් වෙන්නේ වාස්තවිකයට යටත්ව ඊට සමරූපීයව ය. සමහරවිට මෙවර මගේ කලා භාවිතය මගේ කලා භාවිතයේ අපගමනයක් ද විය හැකි ය. ලංකාවේ දෘෂ්‍ය කලාව තුළ වාස්තවිකයට මුහුණ නොදී පසුව එය තමන්ගේ ම වූ අද්දැකීම ලෙස තරගකාරීව කලාව මගින් උත්කර්ෂයට නැංවීම ලංකාවේ අපි දන්නා දෙයකි. 83 කලු ජූලිය, 88-89 භීෂණය සහ එල්.ටී.ටී.ඊ. ය සමග යුද්ධය යන සංසිද්ධි වලට අදාළ කලාවේ කතෘත්වය ද 90 වේ ප්‍රවණතාවයි කියන පුරෝකථනය කරන ලද පිරමිඩාකාර ප්‍රවණතාවට ඒ අනුව පවරා ගන්නා ලද සංසිද්ධි වේ. මෙවර ආර්ථික හා දේශපාලන අර්බුදයත් එය මුල් කරගෙන පැවති අරගලයට අදාලවද එම තත්වය ම නැවත ප්‍රදර්ශනය විය. අරගලයට සම්මාදම් නොවී අරගලය පසුබිමේ තබා සෙල්ෆි ගසා ගන්නා ලද 90 වේ ප්‍රවණතාවේ පිරිස් ද වෙනත් පිරිස්ද මේ පශ්චාත් තරගය තුළ කරලියට පැමිණියහ. සත්‍ය ලෙස ම ලංකාවේ දෘෂ්‍ය කලාකරුවන් අතර සිය අත්සන ප්‍රකට කළ අය අතුරින් අරගල බිමෙහි රැදී අරගලය වෙනුවෙන් ම කලා කෘති සහ කලාත්මක වැඩ වලින් දායක වූයේ විමුක්ති සහන්, සාලින්ද රොෂාන්, සුරීන් මෙන්ඩිස්, තිළිණ සම්පත්, මධුසංක ද මැල් සහ මා  වැනි  ඉතාම සුළුතරයකි. අරගල බිමේ නොරැදුණත් අරගලයේ ගාමකත්වය වෙනුවෙන් සිය කලා කෘති වලින් ඉතාම ප්‍රබල ප්‍රකාශන ආරකින් කලා කෘති කළ අය අතර ඉනේජ් ඩිල්ෂාන් ප්‍රනාන්දු ප්‍රබලම කලාකරුවා ය. ඩිල්ෂාන් විවිධ දේශපාලන බලපුලුවන්කාර පුද්ගලයින්ගේ අඛණ්ඩ තර්ජනයට ද ලක් විය.  ( අප හැරුණු විට කලා ප්‍රදර්ශන නොපවත්වන එහෙත් කලාත්මක කුසලතාවෙන් හෙබි දෘෂ්‍ය කලා සමාජයේ අවධානයට ලක් නොවූ සැළකිය යුතු අන්දමේ තරුණ පිරිස් මේ අරගලය වෙනුවෙන් ගෝල්ෆේස් බිමේ රැදී දෘෂය කලා කටයුතු කළහ.)   අරගලයක් වෙනුවෙන් කරන කලාත්මක වැඩ නිසා සිය බුරුෂුවා රසික සමාජය තුළ කලාකරුවා වන තමන්ගේ අත්සන පහළට වැටීම වගේ ම සිය රටේ පොදුජනයා සමග උරෙනුර ගැටී එකට ජීවත් වීමට තිබෙන සිය අකමැත්ත හෝ නොහැකියාව නිසා අරගලය වෙනුවෙන් දෘෂ්‍ය කලාකරුවන් සීමාසහිත උන බව මට සිතේ. අරගලය තුළ නමක් දිනා ගත් දෘෂ්‍ය කලාකරුවන් අතිශය අල්ප උනත් අනෙකුත් කලා ක්ෂේත්‍ර වල විවිධ පිරිස් විවිධ මාදිලි මගින් අරගලයට සම්මාදම් විය. අරගල බිමේ ස්ථාපිත කරන ලද “එළිමහන් රගහල‘‘ තුළ නාට්‍ය රග දැක් වූ අතර එයත් සිනමා කෘති පෙන් වූ ‘‘ටියර් ගෑස්‘‘ සිනමා හට් එකත් අපගේ චිත්‍රාගාරය හැරුණු විට අරගලය වෙනුවෙන් විශාල මෙහෙවරක් කරන ලද කලා මධ්‍යස්ථාන දෙකක් වේ. එක පැත්තකින් අපගේ චිත්‍රාගාරය සහ චිත්‍ර මැරයින් විසින් ගිනිබත් කිරීමත් අපගේ චිත්‍රාගාරයට ආබද්ධව පවත්වාගෙන ආ  කලාගාරයේ චිත්‍ර මැදියම් රැයත් පහු වෙන තෙක් වැල නොකැඩී පොදු ජනයා නැරඹීම එය එතෙක් නොදුටු විරූ තත්වය නිසාත් මට ලංකාවේ දෘෂ්‍ය කලා රසිකයා පිළිබදව තිබුණ ඇල්මැරුණ හැගීම වෙනස් වූ බවද මම සිහිපත් කළ යුතුය.  මේ කලා ප්‍රදර්ශනයේ කලා කෘති මට අරගලයෙන් වියුක්තව නොහිතන්න දැඩි බලපෑමක් කරේ මුලික වශයෙන් එම අද්දැකීම් ද්විත්වය ය.

මේ ප්‍රදර්ශනය ගෝල්ෆේස් අරගල බිමේ චිත්‍රාගාරය විසින් ඉදිරිපත් කරන අතර එය කියුරේට් කරනු ලබන්නේ ප්‍රදර්ශන කමිටුවක් විසිනි. ගෝල්ෆේස් අරගල බිමේ චිත්‍රාගාරයේ සාමාජිකයින් කිහිප දෙනෙක් සහ ඔවුන්ගේ ආරාධනය ඇතිව ආරාධිත සාමාජිකයින්ගෙන් ද කමිටුව සමන්විත වේ. මේ ප්‍රදර්ශනය ඉදිරිපත් කරන ගෝල්ෆේස් අරගලබිමේ චිත්‍රාගාරයටත්, ප්‍රදර්ශන කමිටුවටත්, නන් අයුරින් සහාය දැක් වූ සියල්ලටත් මගේ ආදරය සහ ගෞරවය පිරි නැමේ. අරගලයට ජය වේවා!

-සුජිත් රත්නායක
2022 පෙබරවාරි

Archive

Latest news

Related news