Thursday, April 25, 2024

සැහැල්ලු දුම්රිය අවලංගු කර ගෝටා සහ සමාගම රු.කෝටි 1018ක් පාඩු හැටි මෙන්න! අපරාධකරුවන් නිදැල්ලේ!

කොළඹ මාර්ග තදබදය අවම කිරිම හා මගී ජනතාවට වඩාත් යහපත් ප්‍රවාහන සේවාවක ලබා දීමේ අරමුණ ඇතිව ජපන් ණය ආධාර යටතේ  ගිවිසුමක් මත ආරම්භ කරන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගෝඨාභය  රාජපක්ෂ රජය විසින්  ඒක පාර්ශ්විකව අවලංගු කිරිම නිසා ඒ වන තෙක් දරන ලද රුපියල් කෝටි 597. 8ක මුදල අපතේ ගොස් තිබේ.

එම් බව සඳහන් වන්නේ ව්‍යාපෘතිය අවලංගු කිරිම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තු විසින් කරන ලද විශේෂ විගණනයකදී ය. එය පසුගිය නොවැම්බර් මාසයේදී නිකුත් කර තිබේ.

ඉහත වියදමට අමතරව එතෙක් සපයන ලද උපදේශක ගාස්තුද ඇතුළත්ව, කිසිදු පූර්ව සාකච්ඡාවකින් තොරව ව්‍යාපෘතිය අවලංගු කිරිම නිසා සිදුවන අලාභය වෙනුවෙන් ජපන් උපදේශක සමාගම රුපියල් කෝටි 516ක් ඉල්ලා ඇති බවද වාර්තාවේ සඳහන් වේ.

එවිට සමස්ත අලාභය රුපියල් කෝටි 1013ක් බවට පත් වේ.

ජපන් සමාගම විිසින් ඉල්ලා ඇති මුදල නොගෙවන්නේ නම් අනාගතයේ එම සමාගම බේරුම්කරණ නඩුවකට ගිය හොත් සම්පූර්ණ උපදේශන ගාස්තුව හා වන්දි මුදලක් ආදී ලෙස තවත් විශාල මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවද විඟණක වාර්තාවේ එහි සඳහන් වේ.

එබැවින් එම මුදලද ගෙවීමට සිදුවනු ඇත. එම මුදල ගෙවන තුරු ජපන් රජයේ හෝ පුද්ගලික අංශයේ හෝ ආයෝජන මෙරට සිදු නොවනු ඇතැයි තතුදත් ආරංචි මාර්ග පවසති.

එසේම මෙම ව්‍යාපෘතිය ආරම්භයේදීම පෙර ගෙවුම් ගාස්තුවක් ලෙස ජපන් යෙන් 60,080,000 (රුපියල් කෝටි 10.4ක) මුදලක් ව්‍යාපෘතියට යොදවා ඇති බවද ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් වු පසු එම මුදලින් සියයට පනහක් ආපසු ගෙවනු ලබන බවද ව්‍යාපෘතිය අතරමග නැවතීම නිසා එසේ යෙදවූ පෙර ගෙවුම් ගාස්තුව අනර්ථකාරි වියදමක් වී ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එම මුදල වන කෝටි පහද එක් කළ විට සම්පූර්ණ අලාභය කෝටි 1018ක් බවට පත්වේ.

ශ්‍රී ලංකා රජය 2016 දී ජපන් රජයෙන් කළ ඉල්ලීමක් පරිදි මෙම ජපාන ජාත්‍යන්තර සහයෝගිකා ආයතනයෙන් (ජයිකා) මෙම ණය මුදල වසර දොළහක සහන කාලයක් සහිතව වසර හතලිහකදි ගෙවීමට සහන පොලී පදනමක් යටතේ ලබාදී ඇති බවද එසේ තිබියදී ව්‍යාපෘතිය අවලංගු කිරිමට කිසිදු පිළිගත හැකි හේතු දැක්වීමක් සිදුකර නැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙම ව්‍යාපෘතිය අවංගු කර තිබෙන්නේ 2020 වසරේ සැප්තැම්බර් 24 වැනිදා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අනුවය.

මෙම තීරණයේ ප්‍රධන වගකිවයුත්තා වන්නේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වූ සහ මෙම අවලංගු කිරීමට මුල පිරූ ගෝඨාභය රාජපක්ෂය.

මහා භාණ්ඩාගාරය මෙම තීරණයට කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව අනුමැතිය දී තිබේ.

අමාත්‍ය මණ්ඩල සංදේශවලට අදාලව මහා භාණ්ඩාගාරය සිය නිරීක්ෂන ඉදිරිපත් කිරිමේදි එම සංදේශ මගින් අපේක්ෂා කරන තීරණ සඳහා සහයෝගය දැක්වීමෙන් ඔබ්බට සිය ස්වාධීන වෘත්තීමය නිරීක්ෂන ලබාදීමට උපරිම ප්‍රයත්න දැරිය යුතු බවට විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබේ.

මෙම ව්‍යාපෘතිය අවලංගු කරන ලද්දේ කිසිදු සාධාරණ හේතු දැක්වීමකින් තොරවය. එම අවලංගු කිරීමට හේතු වුයේ කොමිස් ලබා ගැනීමට නොහැකි වූ නිසා බවට අනුමත නොකළ වාර්තා ඒ දිනවල පළ විය.  නිසි හේතු දැක්වීමකින් තොරව කරන ලද මෙම අවලංගු කිරීම පිටුපස වෙනත් හෙළි නොවූ හේතුවක් තිබිය යුතුය. රාජපක්ෂවරුන්ගේ සුදු අලි ව්‍යාපෘති සඳහා මුදල් පොම්ප කල චීනය මෙන් ජපානය දේශපාලනඥයින්ට කොමිස් සහ සන්තෝසම් දුන්නේ නැත. චීන සමාගම් බැසිල් රාජපක්ෂගේ බිරිදගේ නමට පවා මුදල් පොම්ප කළ බවට සාක්ෂි ඉදිරිපත් විය.

මෑතදී රනිල් රාජපක්ෂගේ ඇමැතිවරයකු වන නිමල් සිරිපාල ද සිල්වා ජපාන සමාගමකින් අල්ලස් ඉල්ලු බවට වාර්තා වූ අතර ඔහු බේරා ගන්නා ලද්දේ ඔහුගේ ඉල්ලීම මත පත් කළ කොමිසමක් මගිනි.

ගෝඨාභය රාජපක්ෂ සහ සමාගම විසින් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය හිතුවක්කාර ලෙස අවලංගු කර නාස්ති කරන ලද රුපියල් කෝටි 1018 මෙරට ජනතාවගේ මුදල් ය. පොදු අරමුදල් යනු රාජපක්ෂ පවුලේ බූදලයක් නොවේ. එම මුදල් අපතේ යැවීම පැහැදිලි ආර්ථික අපරාධයකි. එම අපරාධය සම්බන්ධයෙන් ගෝඨාභය සහ සමාගම වග කිව යුතුය. ඔවුන්ට විරුද්ධව නඩු පවරා අලාභ පියවා ගැනීමට නීති රීති ශ්‍රී ලංකාවේ නැත.

දණ්ඩ මුක්තිය මෙරට මුහුණ දී සිටින අර්බුදයට ප්‍රධාන හේතුව බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා දක්වා  ඇත්තේ මෙන්න මේ නිසාය.

සුනන්ද දේශප්‍රිය.

 

 

 

Archive

Latest news

Related news