Friday, April 26, 2024

ප්‍රසන්න රණවීර වෙත ලිියමි: උඹේ පුතාට එහෙම වෙන්නේ නැහැ!

පසුබිම – රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ පුතා විස්සක පමණ පිරිසක් සමග  පියා යටතේ ඇති කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ ලියාපදිංචි ටොයෝටා 141 වර්ගයේ කළු පැහැති WP KX 8472 දරන මෝටර් රථයෙන් පැමිණ සැප් 26 දා කිරිබත්ගොඩ උපකාරක පංතියක දී පාසල් සිසුන් පිරිසකට ලේ ගලන තුරු පහර දී තිබිණ.

මගේ හිතවත් ප්‍රසන්න,

මං කවදාවත් හිතුවේ නැහැ මට මේ සතියේ උඹට ලියන්න වේවි කියලා, නමුත් ප්‍රවෘත්තිවල උඹේ මූණ දැක්කාම උඹට ලියන්න මට හිතුණා.

උඹ නැවත වරක් අපේ මිරිස් කුඩු කර්මාන්තය නඟා සිටුවීමට උත්සාහ කරනවා කියලා මට හිතුණ නිසා මට උද්යෝගයක් ඇති වුණා. නමුත් මෙවර එම ආරංචිය උඹ ගැන නොව උඹේ පුතා කළ දේ ගැන බව මට පසුව වැටහුණා.

ගම්පහ දිස්ත්‍රික්කයේ ‘ප්‍රසන්න රණ…..’ කෙනෙකුගේ යම් ආකාරයක නොහොබිනා හැසිරීමක් සම්බන්ධයෙන් පුවත් පත්වල පළව ඇති බව ඇසූ විට මට මුලින්ම සිතුණේ ඒ ‍වෙනත් අයෙකු කියලයි. මට නම් වශයෙන් සඳහන් කිරීමට අවශ්‍යතාවයක් නැහැ, නමුත් මගේ ඔළුවට එක පාරටම වැටුණේ ඉඩමක් ගොඩ කරලා දෙන්න ‘කප්පම්’ ඉල්ලා සිටි සද්දන්තයායි.

ඒ වගේම, ගම්පහ දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට තියෙන දක්ෂතාවය මොන තරම් ද කියලත් මට හරි පුදුම හිතුණා. කොහොම හරි මාධ්‍යවලට සිරස්තල හදන අය තෝරා ගැනීමේ විශේෂ හැකියාවක් ඒ අයට තියෙනවා. ඒ ප්‍රසිද්ධිය ජඩ වැඩ කිරීමෙන් ලබන එකක් කියා සමහරුන්ට තර්ක කරන්න පුළුවන්, නමුත් උඹ දේශපාලනඥයෙකු නම්, ප්‍රසිද්ධියක් නැතුව සිටිනවාට වඩා ජඩ වැඩකින් හෝ ප්‍රසිද්ධ වෙන එක නේ ද වඩා හොඳ?

පහු ගිය අතීතය දිහා බැලුවම ගම්පහ ජනතාව තමන්ගේ අසීමිත ප්‍රඥාවෙන් තෝර‍ා ගෙන තියෙන්නේ, උඹවයි, අර අනිත් ‘ප්‍රසන්නයි’, රාජ්‍ය නිලධාරියෙක්ව ගහක බැඳපු මර්වින් වගේ අය තමයි. ඊට පස්සේ ‘පබා’ නිළියයි කරුයි අතර තේරීමක් කළාම ගම්පහ මිනිස්සුන්ගෙන් ‘පබා’ට වැඩි මනාප ලැබුණා!

ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළෙනුත් වි‍ශේෂ වන්නේ කැළණියේ ජනතාවයි. මර්වින් වගේම උඹත් කැළණියේ. කැළණියේ ඡන්ද දායකයන් පාහරමේන්තුවට තෝරා ගැනීමට පෙළඹෙන්නේ, අනුන්ට පහර දී ඔවුන්ගේ ජීවිත කඩාකප්පල් කරන තාලයේ දරුවන් ජාතක කළ මිනිසුන් ද? ප්‍රසන්න, උඹ දැන්වත් මට කියපන්, මර්වින්ගේ පුතා උඹේ පුතාට උපදෙස් දුන්නා ද?

නයා ආ නව කැළණිය

ඇත්තෙන්ම කැළණිය බුදුන් වහන්සේ වැඩම කළ පූජනීය නගරයක් ලෙස හඳුන්වා දුන් කාලයක් තිබුණා. දැන් ජනතාව කැළණිය හඳුන් වන්නේ, නව නායකයකුගේ මතු වීම සනිටුහන් කිරීමටයි කියා පොලිතින් උරයක් ඇඟේ දමා ගත් නාග රාජයෙකු ගඟෙන් මතු වූ නගරය ලෙසයි. අවුරුදු තුනක්වත් යන්න කලින් අප හැමෝම දැන ගත්තා ඒ කතාව ඉවර වුණේ කොහොම ද කියලා. එහෙම නේද?

කොහොම හරි ප්‍රසන්න, උඹේ පුතාට වෙච්ච මේ සිද්දියෙන් පස්සේ උඹ මුළු ලෝකෙටම කියනවා අපට ඇහුණා, උඹට ඕනෑකම තියෙන්නේ පුතා චන්ඩියෙකු නෙමෙයි හොඳ කෙනෙකු විදියට හැදෙන්නයි කියලා. විශේෂයෙන්ම, “ගහේ කටු උල් කරන්න ඕනෑ නැහැ,” යන කියමන දන්නා උඹට පුතා ගැන ඒ වචන ටික ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ලොකු ධෛර්යයක් අවශ්‍ය වෙන්න ඇති.

අවුරුදු හතරකට කලින් ‘අයියෝ සිරිසේන’ ගෙනාපු ව්‍යවස්ථා අර්බුදයේ උච්චතම අවස්ථාවේ දී, පාර්ලිමේන්තුවේ කතානායක පුටුවට හොරෙන් රිංගලා මිරිස් කුඩු ගහපු උඹේ වීඩියෝ දර්ශන බල බලා උඹේ කොල්ලා හැදෙන්න, උස් මහත් වෙන්න ඇති. ඒ නිසා ඉතින් කොල්ලා කරපු වැඩේට ඌට බණින එක සාධාරණ නෑ!

මිරිස් කුඩු කේස්

ඒ මිරිස් කුඩු සිද්‍ධියෙන් පස්සේ හරි උඹ ‘මනුස්සයෙකු’ නොවීම ගැනත් මං උඹට දොස් කියන්නේ නැහැ. උඹට ටික කාලයකට ‍‍‍උඹේ පාහරමේන්තුවට යාම තහනම් වූ බව ඇත්ත නමුත් ඒ සිද්ධිය නිසා මුළු රටටම උඹ ගැන දැන ගන්නට, අසන්නට ලැබුණා. උඹ එදා ඒ විදියට මිරිස් කුඩු නොගැසුවා නම්, උඹ අදත් කවුරුවත් නොදන්නා නිකම්ම නිකම් පසු පෙළ මන්ත්‍රීවරයකු විතරයි.

අයියෝ සිරිසේන විසින් රස්සාවෙන් දොට්ට දමන ලද රනිල් මාමා නැවත අගමැති පුටුවට ඒම වැලැක්වීමට උඹ එදා සිදු කළ ඔය ‘මිරිස් කුඩු’ විගඩම් සියල්ලම අද හාස්‍යජනක වෙලා නේ ද? උඹ අද ඒ රනිල් මාමා ඉදිරියේම රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දුන්නා නේ ද?. අපේ සංචාරක සටන් පාඨයෙන් කියැවෙන ආකාරයට “මේ රට වගේ වෙනත් රටක් නම් ඇත්තේම නැත!”

විශේෂයෙන්ම උඹේ පුතා උඹට වෙන් කළ නිල වාහනයක් පාවිච්චි කළ බවට චෝදනා එල්ල වී ඇති නිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන අතරතුර රස්සාවෙන් අස් වෙන ලෙස උඹෙන් ඉල්ලා සිටින බවට දැන් මතයක් තිබෙනවා. මං හිතන්නේ උඹ ඒ ගැන කරදර වෙන්න ඕනෑ නැහැ, ප්‍රසන්න, ඒ මොකද, මේ රටේ ඉතිහාසයේ සිද්ධ වූ දේවල් නැවත නැවතත් සිද්ධ වෙනවා.

SB ගේ පුතා ඇමති පුතුන්ගේ වල් හැසිරීම්

SB ගේ පුතා ඇමති පුතුන්ගේ වල් හැසිරීම් ප්‍රවණතාවය ආරම්භ කළත් SB තවම බේරී ඉන්නවා. මර්වින්ගේ පුතාගෙ ජරා වැඩ නිසා මර්වින්ට මොකුත් වුණෙත් නැහැ. කෙහෙළියගේ පුතා අඩි 30,000 ක් උඩ ගුවන් යානයක දොරක් අරින්න හැදුවත් කෙහෙළිය අදටත් ඇමතිකමේ ඉන්නවා. අරුන්දිකගේ පුතා උඹේ පුතා වගේම මාර වැඩක් කළාට අරුන්දිකයා තාමත් ඉන්නවා.

ගෝටා මාමාගේ රජ වාසල පිහිනුම් තටාකයේ පිහිනා ගිය අයට හෝ එයාගේ කොඩියක් සරමකට ඇඳ ගත් අයට රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ නිසා උඹේ නිල වාහනය අන් අයට පහර දීමට යොදා ගත් බව කියන උඹේ පුතාට ද එවැනිම ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වේවි කියා සමහරුන් කියනවා. ඒ මොන බොරුවක් ද? මේ පාරාදීසයේ දී නීතිය කිසි විටෙකත් ඒ වගේ නැමෙන්නේ නැහැ!

රනිල් මාමා විනය තකන කෙනෙක් බවත්, රාජකීය අවමංගල්‍ය කටයුතුවලට සහභාගී වී ආපසු එන කොටම ඔහුට උඹේ ඉල්ලා අස්වීමේ ලියුම අවශ්‍ය වන බවත් තවත් සමහරුන් කිව්වා. මං හිතන්නේ ප්‍රසන්න, උඹ ඒ ගැන කරදර විය යුතු නැහැ, ඔහු විනයම තකා ගෙනම ඉන්න කෙනෙකු නම්, මුල දීම ඔහු උඹව රස්සාවකට පත් කරන්නේ නැහැ.

උඹේ විශ්වාසී,

පුංචි පුතා

ප.ලි.: මීළඟ මැතිවරණයේ දීත් ගම්පහ ජනතාව විශේෂ තේරීම් කරන බව නැවත වරක් ඔප්පු කරන බව මට විශ්වාසයි. එපමණක් නොවෙයි, ඔවුන්ට නැවත එසේ කිරීමට අවස්ථාව ලැබේවි. නැහැ, මං උඹ ගැනවත් ‘අනෙක්’ ප්‍රසන්න ගැනවත් නොවෙයි හිතන්නේ – ‘හරීන් නන්දසේනත්’ ගම්පහින් තරගයට දුවනවා කියා මට ආරංචියි!

– 2022 ඔක්තෝබර් 2 වන දින Sunday Times වෙබ් අඩවියේ පළ වූ, ‘A real spicy anecdote’ නම් කොලම සිංහලට පරිවර්තනය කළේ, – ආනන්ද

( LankaeNews)

Archive

Latest news

Related news