Tuesday, May 7, 2024

කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ කෘර අමානුෂික සහ අවමන් සහගත හැසිරීම ගැන නීතිඥ සංගමයට ලිපියක්

1) ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා,
සභාපති,
ශ්‍රී ලංකා නීතිඥ සංගමය.

2) විධායක කමිටුව,
තරුණ නීතිඥ සංගමය.

කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ හැසිරීම සම්බන්ධවයි

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටුවේ තීරණයක් මත සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන සහ සංගමයේ භාණ්ඩාගාරික නිරෝෂ් මෛත්‍රී යන දෙදෙනා අයුතු අවහිරයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට කොටුව පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේ ස්ථානාධිපතිවරයා විසින් තරිඳු ජයවර්ධන හට කෘර අමානුෂික සහ අවමන් සහගත ලෙස සලකා තිබේ.

මේ සියල්ල සිදුවී තිබුණේ තරිඳු ජයවර්ධනගේ නීතිඥ සහාය ගිය නීතිඥ තරිඳු රත්නායක මහතා ද ඉදිරියේදීය. පොලිස් ස්ථානාධිපතිවරයා සිය නිල කාමරයේ දොර වසා දැමීමට නියෝග කර තරිඳු ජයවර්ධන සහ නීතිඥ තරිඳු රත්නායක සුළු වේලාවක් අයුතු ලෙස සිර කර තබා ගැනීමට ද කටයුතු කර තිබිණි.

නීතිඥ තරිඳු රත්නායක යනු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මෙන්ම තරුණ නීතිඥ සංගමයේ ද සාමාජිකයෙකි.

එම අවස්ථාවේදී අප සංගමයේ සභාපතිවරයා මෙන්ම නීතිඥවරයා ද දැඩි අපහසුතාවට පත්වූ බව අපි විශ්වාස කරමු. මෙය සුළුවෙන් තැකිය නොහැකි බරපතල තත්ත්වයකි. පොලිසියට ලැබෙන සෑම පැමිණිල්ලක්ම බාර ගැනීම ප්‍රමුඛ කාර්යයක් වන අතර, එම පැමිණිල්ල විමර්ශනය කිරීමට එම පොලිසියට හැකියාවක් නැතිනම් පැමිණිල්ල ලියාගැනීමෙන් පසු ගොනු සකස් කර උසස් නිලධාරීන්ට යොමු කළ යුතුය. එසේ තිබියදී නීතිඥවරයාගේ සහ අප සංගමයේ සභාපතිගේ කරුණු පැහැදිලි කිරීම පිළිනොගෙන පැමිණිල්ල භාර නොගෙන, පැමිණිල්ල දැමීමට ගිය පුද්ගලයාටම නීතිඥවරයා ද ඉදිරිපිටදීම අඩත්තේට්ටම් කිරීම කොන්දේසි විරහිතව හෙළා දැකිය යුතු තත්ත්වයකි.

පුරවැසියෙකු සාමාන්‍යයෙන් නීතිඥවරයකු සමඟ පොලිසියට යන්නේ නීතිඥවරයා සිටින නිසා තමන්ට රැකවරණයක් ඇතැයි යන විශ්වාසයෙනි. නීතිඥවරයකු නොමැතිව යන අවස්ථාවල පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට පුරවැසියන්ට මුහුණ දෙන්නට සිදුවූ අවස්ථා රැසක් තිබේ. නීතිඥවරයකු සමඟ පොලිසියට ගිය අවස්ථාවකත්, එම නීතිඥවරයාට ද අයුතු සිර කර තැබීමක් කර ඔහු ඉදිරියේ ඔහුගේ සේවාදායකයාට කෘර අමානුෂික සහ අවමන් සහගත ලෙස සලක්නේ නම් සහ ඔහු අත ඇති දේපොළ පැහැර ගන්නට පොලිසිය තැත් කරන්නේ නම් එය රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මෙන්ම නීතිඥවරුන්ගේ ගෞරවය සම්බන්ධයෙන් ද බරපතල කාරණයකි.

එසේ හෙයින් මේ සම්බන්ධයෙන් කඩිනම් මැදිහත්වීමක් සිදු කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් සහ තරුණ නීතිඥ සංගමයෙන් ඉල්ලා සිටිමු.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට යොමු කරන ලද පැමිණිල්ල මේ සමඟ ඇත.

ස්තුතියි.
මෙයට,
විශ්වාසී,

එම් එෆ් එම් ෆසීර්
ලේකම්
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

Archive

Latest news

Related news