Tuesday, April 16, 2024

විරෝධය පෑමේ ළමා අයිතිය කෙළෙසන රනිල් රාජපක්ෂ මර්දන නියෝගය සහ මානව හිමිකම්

සුනන්ද දේශප්‍රිය.

සාමකාමී විරෝධතාවයන්ට ළමයින් සහභාගි වීම තහනම් කරන නීති සකස් කරන ලෙස පිං ජනාධිපති රනිල් රාජපක්ෂ උපදෙස් දී තිබේ.

මෙම උපදේශය දී ඇත්තේ පසුගිය  09 දින ගාලු මුවදොර පිටියේ  පැවති සාමකාමී විරෝධතාවය අවස්ථාවෙහි පොලිසිය දරුවන් දෙදෙනෙකුට සළකන ලද අමානුෂික අන්දම පිළිබඳව සමාජයෙහි පුළුල් කතා බහක් ගොඩ නැගී තිබෙන පසුබිම තුළය.

“පසුගිය ඔක්තෝම්බර් 09 වන දින සිදු වූ නීති විරෝධී සිදුවීම දෙස බලා සිටි පොලිස් නිලධාරීන් ඇතුළු සිද්ධියට සම්බන්ධ ඇතැම් පොලිස් නිලධාරීන්ගේ නින්දිත හැසිරීම අපි තරයේ හෙළා දකිමු.” යනුවෙන් මෙරට වෛද්‍ය වෘත්තිකයෝ සියයකට වඩා ප්‍රකාශයක් කරමින් කියා සිටියහ.

මින් පසු මාපියන් දරුවන් රැගෙන විරෝධතාවයන්ට පැමිණිය හොත් එය නවත්වන ලෙසද රනිල් රාජපක්ෂ එම කතාවෙහිම පොලිසියට උපදෙස්  දෙනු දක්නට ලැබේ.

මෙය සහමුලින්ම ව්‍යවස්ථා  සහ මානව හිමිකම් ප්‍රඥප්තීන්ට විරුද්ධ මර්දනකාරී නියෝගයකි.

පසුගය 09 දින විරෝධතාවය අවස්ථාවෙහි දුෂ්ඨ ලෙස හැසිරුණු පොලිස් නිලධාරීන්ට අවවාද කරනු වෙනුවට රනිල් රාජපක්ෂ එම කතාවෙන් කරන්නේ පොලිස් දුෂ්ඨත්වයට උඩගෙඩි දීමකි.

සාමකාමී විරෝධතාකරුවන් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසීමට උත්සාහ කළ රනිල් රාජපක්ෂ දැන් තටමන්නේ විරෝධතාවයන්ට සහභාගි වන මාපියන් ද ත්‍රස්තවාදීන් යැයි කීමටටය.

පසුගිය 09දා විරෝධතාවයට සහභාගි වූ මාපියන් අතර දක්නට ලැබුණේ දරුවන් දෙදෙනෙකු පමණි. රනිල් රාජපක්ෂට අනුව එම දරුවන් දෙදෙනා රැගෙනවිත් ඇත්තේ “ මිනිස් පළිහක්” ලෙස භාවිතා කිරීමටය. ඔහු මෙය සමාන කරන්නේ එල්ටීටීඊ සංවිධානයට ළමා සොල්දාදුවන් යොදා ගැනීමටය. රනිල් රාජපක්ෂගේම වචනයෙන් කියන්නේ නම් එම “දරුවන් දෙදෙනා, ප්‍රභාකරන් මෙන් මිනිස් පළිහක් ලෙස යොදා ගැනීමටය”.

මෙම වර්ගීකරණය රනිල් රාජපක්ෂගේ දුෂ්ඨ මර්දනකාරී මනසෙහි අපූරු පිළිඹිමුවකි. ප්‍රථමයෙන්  සාමකාමී මහජන විරෝධතාවයන් ඔහුට පෙනෙන්නේ සන්නද්ධ යුද්ධයක් ලෙස බවයි. දෙවනුව නිරායුද සාමකාමී නීත්‍යනූකූල විරෝධතාවයකට එක්වන දරුවන්  ත්‍රස්තවාදී ව්‍යාපාරයක කොටස්කරුවන් ලෙස පින්තාරු කිරීමට ඔහු දක්වන භයානක සැළැස්මයි.

මෙම ප්‍රකාශයේ උත්ප්‍රාසය වන්නේ රනිල් රාජපක්ෂගේ ආණ්ඩුවෙහි, බලහත්කාරයෙන් දරුවන් යුද්ධයට බඳවා ගැනීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවා නම් කර ඇති පිල්ලේයාන් නම් හිටපු කොටි නායකයා  ද සිටීමයි. ඔහුටත් වඩා දරුණු ලෙස බලහත්කාරයෙන් ළමා සොල්දුදුවන් බඳවා ගත් කරුණා අම්මාන් ද අර රනිල් රාජපක්ෂගේ දේශපාලන සගයෙකි.

ළමා සොල්දාදුවන් බලයෙන් බඳවා ගැනීම සහ යුද්ධයට යැවීම සම්බන්ධයෙන් මෙම දෙදෙනාට ම එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගෙන නැතිවා පමණක් නොව දේශපාලන වරදාන පවා භුක්ති විදීමට සලස්වා තිබේ.

එපමණක් ද නොවේ. රනිල් රාජපක්ෂ ප්‍රභාකරන් පිළිබඳ මෙම ප්‍රකාශය කරන්නේ, ප්‍රභාකරන් සමඟ ඉතාම මිතුරු සබඳතාවයක් පැවැත් වූ එරික් සෝලහයිම් නම් දේශපාලඥයා සිය උපදේශකයකු ලෙස පත් කර ගැනීමෙන් පසු දා ය.

දරුවන් සමඟ උද්ඝෝෂණයන්ට එන මාපියන්ට ඉඩ නොදෙන ලෙස රනිල් රාජපක්ෂගේ නියෝගය මෙරට පමණක් නොව ලොව පුරාම යුක්තිය සහ සාධාරණත්වය පිණිස අරගලයන්ට සහභාගි වන ජනයාට ද, දරුවන්ට ද විරුද්ධ සාහසික ප්‍රකාශයකි.

රනිල් රාජපක්ෂගේ මෙම ස්ථාවරය අනුව ලොව පරසිදු ළමා උද්ඝෝෂකයින් වන මලාලා යූසුෆ් සහ ග්‍රේතා තුන්බර්ග් ද ත්‍රස්තවාදීන්  විය යුතුය.

නිදහස, ජීවිතය සහ යුක්තිය යන තේමාවෙන්  ඉරානයෙහි අද පවතින  ස්ත්‍රී අරගලය තුළ පාසල් දරුවන් පවා වීදි බැස තිබේ. ලෝකයෙහි පැවැති සෑම නිදහස් අරගලයකම ළමයින් විසින් ඉටු කර ලද විශිෂ්ඨ සේවාවන් තිබේ.

ඇමෙරිකාවෙහි “කලු ජීවිත ද වටී” Black Lives Matter නමින් කැරෙන නොනවතින අරගලය තුළ දරුවන්ගේ සහභාගිත්වය ගැන රනිල් රාජපක්ෂ ( හෝ ඔහුගේ ඇන්ජීඕ සෙට් එක) කියන්නේ කුමක්ද?

මින් පසු මෙරට දී  මා පියන් සමඟ විරෝධතාවයන්ට එක්වන දරුවන්ට එල්ල වන සෑම පොලිස් දුෂ්ඨත්වයකම වගකීම එම නියෝගය මගින් රනිල් රාජපක්ෂ වෙත පැවරෙනු ඇත.

රනිල් රාජපක්ෂ නොදැන සිටියද ලොව පුරාම දරුවන්ට විරෝධය පෑමට ඇති අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පිළිගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධනයේ ලේඛන ගණනාවක් මගින් දරුවනට විරෝධය පෑමට ඇති අයිතිය පිළිගෙන ඇති අතර මා පියන් සමඟ විරෝධතාවයන්ට සහභාගි වීමේ අයිතිය මෙසේ පිළිගනී:

දරුවන් තම දෙමාපියන් සමඟ සාමකාමී රැස්වීමකට සහභාගී වීම:

බොහෝ අවස්ථාවලදී දරුවන් තම දෙමාපියන් හෝ වෙනත් වැඩිහිටියන් විසින් විරෝධතා දැක්වීමට රැගෙන එනු ලැබේ. සමහර අවස්ථා වලදී මෙය සිදුවන්නේ දෙමව්පියන් රැක බලා ගන්නෙකු වන අතර දරුවා වෙනත් කෙනෙකුගේ රැකවරණයේ තැබීමට විකල්පයක් නොමැති බැවිනි. වෙනත් අවස්ථාවල දී මාපියන් මෙය සලකන්නේ දරුවාගේ සිවිල් දැනුවත්භාවය වර්ධනය කිරීමේ කොටසක් ලෙස ය. මේ සම්බන්ධයෙන්, අවධාරණය කළ යුතු වැදගත් ලක්ෂණ පහත පරිදි වේ:

 දරුවන්ට තම දෙමාපියන් හෝ වෙනත් වැඩිහිටියන් සමඟ සාමකාමී එක්රැස්වීම් වලට සහභාගි වීමට අයිතියක් ඇත.

එවැනි අවස්ථාවලදී  දෙමාපියන්ට  එරෙහිව රජය නිෂේධාත්මක හෝ දණ්ඩනීය ප්‍රවේශයක් නොගත යුතුය.

එවැනි අවස්ථාවන්හිදී දරුවන්ගේ රැකවරණය සහ ආරක්ෂාව පිළිබඳ වගකීම දෙමාපියන් දරන නමුත්, දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජයට ධනාත්මක යුතුකමක් ඇත.

ළමයින් රැස්වීමට පැමිණ සිටිය හැකි බව රජය දැනුවත්ව ක්‍රියා කළ යුතු අතර, නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලින් මෙන්ම සභාවට සහභාගී වන අනෙකුත් සහභාගිවන්නන්ගෙන් සිදුවන හානියකින් ඔවුන් ආරක්ෂා කළ යුතුය.

සාමකාමී රැස්වීම යනු වෙනසක් ඇති කිරීමේ මාධ්‍යයකි.

ඇත්ත වශයෙන්ම, ළමා අයිතිවාසිකම් ප්‍රඥප්ති කමිටුව විසින් රාජ්‍ය පාර්ශ්වයන්ගේ සමාලෝචන අතරතුරදී, දරුවන්ට ඇසුරු කිරීමට, අදහස් ප්‍රකාශ කිරීමට සහ සාමකාමී රැස්වීම් ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමට අයිතිය ඇති බව රාජ්‍යයන්ට පෙන්වා දී ඇත.”

මෙම පිළිගැනීම් ඉවතලන රනිල් රාජපක්ෂගේ ප්‍රකාශය,  අහම්භ කතාවක් නොව ඔහු විසින් දියත් කර ඇති මර්දනයේ තවත් දිගුවක් පමණි.

දැනටමත්, මානව හිමිකම් සම්මතයන් පයට පාගා දමමින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විරෝධතාකරුවන් රඳවා තැබීමට පියවර ගෙන ඇති රනිල් රාජපක්ෂ දිගින් දිගටම ක්‍රියා කරමින් සිටින්නේ අනීතික පියවර මගින් මෙරට ජනයාගේ අයිතීන් මර්දනය කිරීමටය.

පසුගිය සැප්තැම්බර් 23දා සහමුලින්ම නීති විරෝධී ලෙස කොළඹ මැද අධි ආරක්ෂක කලාපයක් ප්‍රකාශයට පත් කළ රනිල් රාජපක්ෂට, මහජන මතය හමුවෙහි එය හකුලා ගැනීමට සිදු විය.

ඉන් අනතුරුව රනිල් රාජපක්ෂගේ අධිකරණ ඇමැතිවරයා, අත්තනෝමතික බලතල සහිත පුනරුත්ථාපන පනත් කෙටුම් පතක් ගැසට් කළේය. එය ද දැන් අන්තර් ජාතික වශයෙන් මෙන්ම දේශීය වශයෙන්ද හෙළා දැකීමට ලක්ව තිබේ.

ඊට අමතරව රනිල් රාජපක්ෂගේ මීළඟ කුරුමානම වන්නේ ලබන මාර්තු මාසයට නියමිත පළාත් පාලන මැතිවරණ කල් දැමීමයි. රනිල් රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතියක් වන ජන සභා මුවාවෙන් මෙම මැතිවරණ කල් දැමීමට ඇති සූදානම දැනටම පෙනේනට තිබේ.

රනිල් රාජපක්ෂගේ ළමා අයිතීන් විරෝධී නියෝගය, දැනටමත් නීතිය අතට ගෙන කිසිදු විසංවාදී අදහසකට ඉඩ නොදී අනීතික මර්දනයක් මුදා හරිමින් සිටින පොලිසියට තවත් ඉඩ සැළසීමකි.

පසුගිය දින කිහිපය පුරා පොලිසියේ දුෂ්ඨ හැසිරීම පොලිස් ඇමැති ටිරන් අලස් පිටින් යැවීමට රනිල් රාජපක්ෂ හෙංචයියන් දරන තැත මෙම ප්‍රකාශය මගින් පුපුරා ගොස් තිබේ. මන්ද යත් එම දුෂ්ඨ ක්‍රියාව ඔහු විසින් අනුමත කරනවා පමණක් නොව ඒ සඳහා නීති පැනවීමට ද ක්‍රියා කරන බව ප්‍රකාශ කිරීමෙනි.

12.10.10

Archive

Latest news

Related news