ඡායාරූපය: විරෝධතාකරුවන් ඉලක්ක කර කදුලු ගෑස් විදීම අන්තර් ජාතික වශයෙන් තහනම කර ඇතත් ශ්‍රී ලංකා පොලිසිය එය ගණන් නොගෙන ප්‍රහාර එල්ල කල අවස්ථාවක්.
කඳුළු ගෑස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය තොරතුරු ලබා නොදී විවිධ අංශවලට යොමුකරමින් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් පොලිස්පතිවරයා තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට කැඳවීමට සිදුවන බව තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව අද (14) ප්‍රකාශ කළේය.
තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව අද මේ බව ප්‍රකාශ කළේ ජනමාධ්‍යවේදියකු වන තරිඳු ජයවර්ධන සහ සමාජ හා සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම යොමු කළ තොරතුරු ඉල්ලීමකට අදාල අභියාචනයක් විභාගයට ගත් අවස්ථාවේදීය.
2010 වසරේ සිට 2022 වසර දක්වා ශ්‍රී ලංකා පොලිසිය කඳුළු ගෑස් මිලදී ගැනීම ගැනත්, ඊට අදාල ප්‍රසම්පාදන තොරතුරු ගැනත්, 2022 වසරේ දී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම ගැනත්, කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිත කිරීම ගැනත් මෙම තොරතුරු ඉල්ලීම මගින් තොරතුරු ඉල්ලා තිබේ.
අද මෙම අභියාචනය තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් වන විනිසුරු උපාලි අබේරත්න, විනිසුරු රෝහිනී වල්ගම, ජ්‍යෙෂ්ඨ නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජගත් ලියන ආරච්චි යන මහත්ම මහත්මීන් ඉදිරියේ කැඳවිණි. අභියාචනා විභාගය සඳහා ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් පොලිස් ක්ෂේත්‍ර බලකා මූළස්ථානයේ අණ දෙන නිලධාරී, පොලිස් සැපයුම් කොට්ඨාසයේ වැඩබලන අධ්යක්ෂවරයා සහ පොලිස් නීති කොට්ඨාසයේ නීතිඥවරයකු වන උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු කණ්ඩායමක් පැමිණ සිටියහ. අභියාචකගේ පාර්ශ්වයෙන් අභියාචක තරිඳු ජයවර්ධන, නීතිඥ සුරේන් ඩී පෙරේරා, නීතිඥ මනුෂිකා කුරේ පෙනී සිටි අතර අභියාචනා විභාගය දැක බලා ගැනීම සඳහා සමාජ ක්‍රියාධරයකු සහ සමාජ හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ රොහාන් සිල්වා පියතුමා ඇතුළු පිරිසක් ද පැමිණ සිටියහ.
මීට පෙර අභියාචනය කැඳවූ අවස්ථාවේදී 2010 සිට 2022 දක්වා කඳුළු ගෑස් මිලදී ගැනීම්වලට අදාල ප්‍රසම්පාදන තොරතුරු ලබාදීමට ශ්‍රී ලංකා පොලිසිය එකඟවූ අතර ඊට අදාලව ලියවිලි ගොනුවක් තොරතුරු ඉල්ලුම්කරුට පිටපතක් සහිතව තොරතුරු දැන ගැනීමේ කොමිසමට එවා තිබිණි.
මෙම අභියාචනය අද කැඳවූ අවස්ථාවේ කරුණු දැක්වූ අභියාචක තරිඳු ජයර්ධන ප්‍රකාශ කළේ පොලිසිය ව්‍යාජ සහ නොමග යවන සුළු තොරතුරු ලබාදී ඇති බවයි. අදාල කාලසීමාවේදී පොලිසිය කඳුළු ගැස් උණ්ඩ 25,000ක් මිලදී ගෙන ඇති බවත්, අවස්ථා තුනකදී එම කඳුළු ගෑස් උණ්ඩ මිලදී ගෙන ඇති බවත් එම තොරතුරුවල සඳහන් කර තිබුණද පොලිසිය සැබෑ ලෙස මිලදී ගෙන ඇති අවස්ථා ගණන සහ මිලදී ගෙන ඇති කඳුළු ගෑස් ප්‍රමාණය මීට වඩා වැඩි බව අභියාචක සාක්කි සහිතව පෙන්වා දුන්නේය.
2016 වසරේදී කඳුළු ගෑස් මිලදී ගැනීමට අදාල ප්‍රසම්පාදන ලියැකියැවිලිවල අවසන්වරට 2012 වසරේ කඳුළු ගෑස් මිලදී ගෙන ඇතිබව පෙන්වා දුන් අභියාචක සඳහන් කළේ පොලිසිය මෙම අභියාචනයට අදාලව තොරතුරු ලබා දෙද්දි 2012 වසරේ මිලදී ගැනීම්වලට අදාල තොරතුරු සඟවා ඇතිබව අවධාරණය කළේය.
ඒ සම්බන්ධයෙන් ලේඛන පරීක්ෂා කළ තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන්ගෙන් විමසා සිටියේ එම තොරතුරු ඇතුළත් කර නැතිවිමට හේතුව කුමක්ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් පොලිස් සැපයුම් කොට්ඨාසයේ වැඩබලන අධ්යක්ෂවරයා ප්‍රකාශ කළේ එම අවස්ථාවේ කඳුළු ගෑස් මිලදී ගෙන ඇත්තේ සැපයුම් කොට්ඨාසයෙන් නොවන බැවින් එම තොරතුරු නොමැති බවයි. මීට පෙර අභියාචනයට පැමිණි පොලිස් සැපයුම් කොට්ඨාසයේ අධ්යක්ෂවරයා පැහැදිලි ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා පොලිසියට සියලු මිලදී ගැනීම් කරන්නේ තම කොට්ඨාසය හරහා බව කියා තිබියදී 2012 වසරේ කඳුළු ගෑස් මිලදී ගැනීමට අදාලව තොරතුරු නොමැති බවට මෙම අවස්ථාවේ මෙවැනි ප්‍රකාශයක් කිරීම පරස්පර බවත්, වගකීම් විරහිතව එවැනි ප්‍රකාශ නොකරන ලෙසත් පොලිසියට අවවාද කළේය.
කල් ඉකුත් වූ කඳුළු ගෑස් තොරතුරු සහ 2022 එල්ල කරන ලද කඳුළු ගෑස්වල තොරතුරු පොලිස් සැපයුම් කොට්ඨාසයේ සහ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ නොමැති බව පොලිස් සැපයුම් කොට්ඨාසයේ වැඩබලන අධ්යක්ෂවරයා සහ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණ දෙන නිලධාරියා ප්‍රකාශ කළහ. අභියාචනයට අදාලව තොරතුරු කොමිසම සිතාසි නිකුත් කර ඇත්තේ අදාල කොට්ඨාසවලට නොව පොලිස්පතිවරයාට බවත්, ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයා නියෝජනය කරමින් කොමිසමට පැමිණි නිලධාරීන් එක් එක් අංශයේ තොරතුරු නැතැයි කීම පිළිගත නොහැකි බවත්, තිබෙන තැනින් තොරතුරු ලබාදීම ශ්‍රී ලංකා පොලිසියේ වගකීමක් බවත් තොරතුරු කොමිසම අවධාරණය කළේය.
පොලිස්පතිවරයා නියෝජනය කරමින් පැමිණෙන නිලධාරීන් වගකීම් විරහිතව එක් එක් අංශවල තොරතුරු නැතැයි කියමින් අභියාචකට තොරතුරු තිබෙන ස්ථානය සොයා ගැනීමට සැලැස්වීම ගැන විවිවේචනය කළ තොරතුරු කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් ප්‍රකාශ කළේ මෙලෙස වගකීම් විරහිතව පොලිස්පතිගේ නියෝජිතයන් කටයුතු කරනවා නම් ඉදිරියේ දී පොලිස්පතිවරයා පුද්ගලිකවම කොමිෂන් සභාවට කැඳවීමට සිදුවනු ඇති බවයි.
ඒ ඒ අවස්ථාවල කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධ තොරතුරු පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ලේඛන පවත්වා ගෙන නොයන බව එහි අණ දෙන නිලධාරියා ප්‍රකාශ කළ අතර කොමිසම ඒ සම්බන්ධයෙන් විමතිය පළ කළේය. අදාල තොරතුරු ඇත්තේ ඒ ඒ පොලිස් කොට්ඨාසවල බව පසුව අණ දෙන නිලධාරියා ප්‍රකාශ කළේය. තොරතුරු පනත අනුව පොදු අධිකාරිය සන්තකයේ, පාලනයේ හෝ බාරයේ තිබෙන තොරතුරු ලබා දිය යුතු බවත්, අදාල සියලු කොට්ඨාස ඇත්තේ නම් කළ නිලධාරියා වන පොලිස්පතිවරයා යටතේ බවත් සඳහන් කළ අභියාචක වැඩිදුරටත් ප්‍රකාශ කළේ තොරතුරුවල පාලනය පොලිස්පතිවරයාට ඇති බවයි.
ඒ අනුව තරිඳු ජයවර්ධන විසින් ඉල්ලා ඇති සියලුම තොරතුරු අදාල අංශවලින් කැඳවා ලබා දිය හැකි බව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණ දෙන නිලධාරියා ප්‍රකාශ කළේය. ඒ අනුව සභාපතිවරයා ඊට අදාල නියෝගය සටහන් කරද්දී පොලිස් නීති කොට්ඨාසය නියෝජනය කරමින් පැමිණි පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ කඳුළු ගෑස් එල්ල කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවතින බැවින් එම තොරතුරු මුදා හැරීම ගැටලු සහගත බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් තරිඳු ජයවර්ධන සඳහන් කළේ පොලිසිය සිය අස්ථාවරය අවස්ථා ගණනාකවකී වෙනස් කළ බවයි. ජාතික ආරක්ෂාවට අදාල බැවින් තොරතුරු ලබා දිය නොහැකි බව, තොරතුරු ඒ ඒ කොට්ඨාසවල නැති නිසා ලබාදිය නොහැකි බව, තොරතුරු විනාශ කර ඇති නිසා තොරතුරු ලබා දිය නොහැකි බව ආදී වශයෙන් සිය ස්ථාවරය වෙනස් කර අවසානයේ නඩු පවතින බැවින් ලබාදිය නොහැකි බව ප්‍රකාශ කරන්නේ තොරතුරු ලබාගැනීම වැලැක්වීමට බව ඔහු කීවේය.
ඊට ප්‍රතිචාර දක්වමින් තොරතුරු කොමිෂන් සභාව අවධාරණය කළේ නඩු පවතින පමණින් තොරතුරු ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ නොහැකි බවත්, අදාල තොරතුරු හෙළිදරව් කිරීම මගින් අධිකරණයේ අධිකාරී බලය හා අපක්ෂපාතී බව පවත්වාගෙන යෑමට අගතියක් සිදුවන බව පොදු අධිකරිය සනාථ කළ යුතු බවත් ය. කෙසේ වෙතත් පොලිසිය කිසිම අවස්ථාවක ලිඛිතව එවැනි ස්ථාවරයක් ප්‍රකාශ කර නැති නිසා එය පිලිගත නොහැකි බව කොමිසම සඳහන් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය එකඟ වූ පරිදි දින 10ක් තුල තොරතුරු මුදා හැරීමට අවස්ථාව ලබා දුන් අතර එම තොරතුරු ලැබීමෙන් පසු ලබන ඔක්තෝබර් 06 වැනිදා නැවත අභියාචනය කැඳවීමට නියෝග කළේය.
(තරිඳු ජයවර්ධන විසින් බෙදා ගන්නා ලද සටහනකි.)
මෙයට පෙර මෙම ඉල්ලීම විභාගයට ගත් අවස්ථාවෙහි දී විරෝධතාකරුවන්ට කල් ඉකුත් වූ කඳුළු ගෑස් උණ්ඩ භාවිත කිරීම සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීම ප්‍රතික්ෂේප කිරීමේ පදනම මත ලිඛිතව දැනුම් දෙන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව පොලිසියට නියෝග කර තිබුණි.
කල් ඉකුත් වූ කඳුළු ගෑස් උණ්ඩ සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන කළ තොරතුරු ඉල්ලීමට අනුව එම තොරතුරු ලබා නොදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කර තිබූනි.
ජීවිතය සහ පුද්ගල නිදහස සම්බන්ධ තොරතුරු ඉල්ලීමක් ලෙස ඉදිරිපත් කර තිබූ එවැනි තොරතුරු ඉල්ලීම් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතට අනුව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව නඩු පැවරීමේ තත්ත්වයක් මතුවන බවට කොමිසම අනතුරු හඟවන ලදී.
එම අභියාචනය බණ්ඩාරනායක ජාත්‍යන්තර මණ්ඩප සංකීර්ණයේ පිහිටි කොමිසම හමුවේ විභාගයට ගැනිණි. මේ අතර පොලිසියට ඉහත නියෝගය නිකුත් කෙරිණි. මෙම අභියාචනය RTI කොමසාරිස්වරුන් වන විනිසුරු රෝහිණී වල්ගම, අධිනීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන සහ අධිනීතිඥ ජගත් ලියන ආරච්චි යන මහත්ම මහත්මීන් ඉදිරියේ විභාගයට ගැනිණි.
පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මෙම තොරතුරු ඉල්ලීමට ලිඛිතව ප්‍රතිචාර දක්වමින් පවසා තිබුණේ කල් ඉකුත් වූ බෝම්බ කඳුළු ගෑස් භාවිතා කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය නොහැකි බවයි. ඔහු සඳහන් කර තිබුණේ සෑම වසර පහකටම වරක් පොලිසිය මිලදී ගැනීම් පිළිබඳ
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතට අනුව වසර 12ට අඩු තොරතුරු සුරක්ෂිතව තබාගත යුතු අතර ඒ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව විසින්ම චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එවැනි පසුබිමක මෙසේ පැවසීම තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත උල්ලංඝණය කිරීමකි.
පොලිසිය නීතියට පටහැනිව කටයුතු කළහොත් පොලිසියට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන බවත් වසර දෙකක සිර දඬුවමක් නියම කළ හැකි බවත් කොමිසම අනතුරු ඇඟවීය.
අනෙකුත් තොරතුරු සම්බන්ධයෙන් ලිඛිත පැහැදිලි කිරීමක් ලබන 10 වැනිදාට පෙර ලබාදෙන ලෙසට නියෝග කරමින් කොමිසම අභියාචනා විභාගය සැප්තැම්බර් 14 වැනිදාට කල් තැබීය.