Tuesday, April 23, 2024

රනිල් රාජපක්ෂ ජිනීවාහි නිරුවතින් ඇවිදියි. – සුනන්ද දේශප්‍රිය

රනිල් රාජපක්ෂ බවට පත් රනිල් වික්‍රමසිංහගේ මනෝකාය මෙම 12වන සඳුදා සිට ස්විස්ටර්ලන්තයේ ජිනීවාහී හෙළුවැල්ලෙන් ඇවිදිනු දකින්නට තිබේ. ඔහුගේ මනෝකාය  විළි ලැජ්ජාවකින් තොරව බිම දිගා වී නිරුවතින් උඩුබැලි අතට වැටී සිටිනු  දැක ගැනීමට නම් ජනප්‍රවාද ගත කොලු පැටියාගේ ඇත්ත ඇති සැටියෙන් දකින ඇස් තිබිය යුතුය.

ජිනිවා නුවරට පැමිණ සිටින ගෝටාගේ නීතිඥයා වන අලි සබ්රිට සහ නමින් සහ ගතින්ද රාජපක්ෂ වහලකු වන ඩීල්දාසට  මෙම මනෝකායට ඇදුමක් ඇන්දවීමට දරන තැත පවා දැනට ම ලොප් වී තිබේ.

රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය සහ මංගල සමරවීර විදේශ අමාත්‍ය ධුරය දැරූ 2015 සැප්තැම්බරයේ දී ලංකාණ්ඩුවේ ද සම අනුග්‍රහයෙන්  යුතුව මානව හිමිකම් කවුන්සිලයේදී  යෝජනාවක් සම්මත කරන ලදී. මංගල සමරවීර එම යෝජනාව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සඳහන් කළේය.

දැන් මංගල සමරවීර කොවිඩ් වසංගතයට ගොදුරු  වී මිය ගොස් ඇති අතර රනිල් වික්‍රමසිංහ රාජපක්ෂවරුන් විසින් බෞතීස්ම කරන ලදුව රනිල් රාජපක්ෂ බවට රූපාන්තරණය වී තිබේ.  රාජපක්ෂ වාදය යනු දූෂණය, භීෂණය, වාර්ගික පීඩනය සහ ජාතිවාදය මතින් බලය ගොඩ නගා ගත් පවුලක දේශපාලනයයි. දැන් රනිල් රාජපක්ෂ පෙනී සිටින්නේ එම දේශපාලනය වෙනුවෙනි. ඔහුගේ අගමැති, ජිනීවාහිදී ඔහුට බැට දුන් දිනේශ්ය. දැන් ඔහු දිනේශ්ගේ යටත් වැසියකු වැන්න! 

එම යෝජනාව මගින්, “මානව හිමිකම් උල්ළංඝනය කිරීම් සහ අපයෝජනයන් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා විශේෂ උපදේශකයෙකු සහිත අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට” ශ්‍රී ලංකාව කැපවිය. තවද එම යෝජනාව “විශ්වාසනීය අධිකරණ ක්‍රියාවලියක් තුළ අවංක හා අපක්ෂපාතී පුද්ගලයන් විසින් මෙහෙයවන ස්වාධීන අධිකරණ හා අභිචෝදක ආයතන ඇති කරන බවට සහතික වීම සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය හා වෙනත් විදේශීය විනිසුරුවරුන්ගෙන්, විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්, බලය ලත් අභිචෝදකයක් හා විමර්ශකයන්ගෙන් සමන්විත විශේෂ උපදේශක කාර්යාලයක් ඇතුළු ශ්‍රී ලංකා අධිකරණ යන්ත්‍රණයක සහභාගිත්වය මේ සම්බන්ධයෙන් තවදුරටත් වැදගත් වන බවට සහතික කිරීමට කැමැත්තෙමු.” යැයි සඳහන් කළේය.

එම අවස්ථාවෙහි අගමැති රනිල් වික්‍රමසිංහ “පොදු රාජ්‍ය මණ්ඩලයීය හා වෙනත් විදේශීය විනිසුරුවරුන්ගෙන්, විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්, බලය ලත් අභිචෝදකයක් හා විමර්ශකයන්ගෙන් සමන්විත විශේෂ උපදේශක කාර්යාලයක්” පිහිටුවීම යන්න සළකන ලද්දේ ශ්‍රී ලංකාවෙහි නීතිමය රාමුව තුළ ඉටු කළ හැකි කාරණයක් ලෙසය.

මෙම යෝජනාව කෙටුම්පත් කරන ලද අවස්ථාවෙහි ජිනීවා නුවරට පැමිණ සිටි එවකට විදේශ අමාත්‍ය වූ මංගල සමරවීර කෙලින්ම උපදෙස් ගත්තේ එවකට අගමැති වූ රනිල් වික්‍රමසිංහ ගෙනි. එම යෝජනාව මගින් අදහස් කරන ලද්දේ යුද සමයේ සිට නොවිසඳී පවත්නා දරුණු ඝනයේ මානව හිමිකම් කෙළෙසීම් සඳහා නිසි පිළියම් ලබා දීමත් යුත්කිය මත පදනම් වූ  වාර්ගික සංහිදියාවක් ඇති කිරීමත්ය.

ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණීමෙන් පසු කරන ලද ප්‍රථම කාර්යයක් වූයේ එම සමස්ත යෝජනාවෙහි සම අනුග්‍රාහකත්වයෙන් ඉල්ලා අස්වීමයි. එම අවස්ථාවෙහි රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙහි සිටියේ නැත.

එම යෝජනාවෙන් ඉල්ලා අස්වෙමින් දැන් රනිල් රාජපක්ෂගේ අගමැති ද එදා ගෝටා ගේ විදේශ ඇමැති ද වූ දිනේශ් ගුණවර්ධන මෙසේ කීවේය:

“මෙම 30/1 යෝජනාව පමණක් නොව, මෑත කාලයේ දී ත්‍රස්තවාදය පරාජය කළ එකම ජාතික ආරක්ෂක ආයතනය විය හැකි වීරෝදාර ශ්‍රී ලාංකික ආරක්ෂක හමුදාවන්ට අසාධාරණ ලෙස අපවාද නැඟීමට ද යොදා ගත්, බොහෝ දෝෂ සහිත, ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ විමර්ශන වාර්තාව පසුගිය රජය (එනම් රනිල් වික්‍රමසිංහ රජය) විසින් “අගය කොට සලකමින් සටහන් කොට” තිබේ.

රටේ කීර්ති නාමයට සිදුවූ හානිය සම්බන්ධයෙන් ගත් කල, එය ශ්‍රී ලාංකිකයින්ට ජාත්‍යන්තර ක්‍රමය කෙරෙහි ඇති විශ්වාසය සහ සමස්තයක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව තුළ ශ්‍රී ලංකාව පිළිබඳව පවතින විශ්වසනීයත්වය ද සෝදාපාළුවට ලක් කොට ඇත. මෙම වගකීම් විරහිත ක්‍රියාව දිගුකාලීනව පෝෂණය වූ කලාපීය සබඳතා සහ නොබැඳි මෙන්ම දකුණු ආසියානු සහයෝගීතාවයට ද හානි කළේය.”

දැන් මංගල සමරවීර කොවිඩ් වසංගතයට ගොදුරු  වී මිය ගොස් ඇති අතර රනිල් වික්‍රමසිංහ රාජපක්ෂවරුන් විසින් බෞතීස්ම කරන ලදුව රනිල් රාජපක්ෂ බවට රූපාන්තරණය වී තිබේ.  රාජපක්ෂ වාදය යනු දූෂණය, භීෂණය, වාර්ගික පීඩනය සහ ජාතිවාදය මතින් බලය ගොඩ නගා ගත් පවුලක දේශපාලනයයි. දැන් රනිල් රාජපක්ෂ පෙනී සිටින්නේ එම දේශපාලනය වෙනුවෙනි. ඔහුගේ අගමැති, ජිනීවාහිදී ඔහුට බැට දුන් දිනේශ්ය. දැන් ඔහු දිනේශ්ගේ යටත් වැසියකු වැන්න!

සියයට 02ක් ජන්ද ගත් රනිල් රාජපක්ෂට තමන්ටම කියා දේශපාලන බලයක් නැත. ඔහු වාරු වී සිටින්නේ  රාජපක්ෂවරුන්ගේ දේශපාලන බලය මතය. “දොඩම් ගොඩ බදා ගන්නා සේ සර්ව පාක්ෂික මඟුල් කතා කර කර ඉන්නේ නැතිව ඔහු ජනාධිපති බවට පත් කළ පොදු ජන පෙරමුණේ 134 අතරින් රාජ්‍ය ඇමැතිවරු පත් කරන” ලෙස ඔහුට අවසන් අවවාදය දුන්නේ රාජපක්ෂ ළමයා වන නාමල් රාජපක්ෂ විසිනි. ඉන් දෙසතියක් යෑමට පෙර රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනෙකුම පත් කරන ලද්දේ රාජපක්ෂවරුන්ගේ ලැයිස්තු අනුවය.

රනිල් රාජපක්ෂට රාජ්‍ය බුද්ධි සේවා හෝ හමුදා ප්‍රධානීන් අතර බලයක් ද නැත. ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ ජාතික බුද්ධි සේවා ප්‍රධානී සුරේශ් සලේ ගෝටාගේ මිනිසුන්ය. ඇත්ත පොලිස්පති වන දේශබන්දු තෙන්නකෝන් ද රාජපක්ෂලාගේ මිනිසෙකි. ඔහුගේ විදේශ ඇමැති ගෝටාගේ නීතිඥයාය. ඔහුගේ පොලිස් ඇමැති ගෝටාගේ අතවැසියෙකි.

රනිල් රාජපක්ෂට සිටින්නේ ඔහුගේ ටොයි බලකාය සහ ඇන්ජීඕ නඩයක් පමණි. ඔවුන්ගෙන් සිය දෙනෙකුට වඩා දැනටමත් යැපෙන්නේ මෙරට ජනයාගේ බදු මුදලිනි. තමන්ට බැල මෙහෙවර කිරීම වෙනුවෙන් රාජපක්ෂවරුන් ඔහුට දී ඇති සහනය නම් ඔහුගේ ටොයි බලකායට මහජන බදු මුදලින් සැප ලබා දීමට ඇති අයිතියයි.

දැන් රනිල් රාජපක්ෂ කොතරම් දාසයකු වී ඇත් ද යත්,  තම නායකත්වය යටතේ 2015 සැප්තැම්බරයේදී සම්මත කරන ලද මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට පවා විරුද්ධය.

ඔහුගේ සහ ගෝටාගේ විදේශ ඇමැති වන අලි සබ්රි පසුගියදා මේසේ කීවේය: (මානව හිමිකම් කෙලෙසීම් සොයා බලන) බාහිර යාන්ත්‍රණයකට, සාක්ෂි රැස් කිරීමේ බාහිර යාන්ත්‍රණයකට, රටින් පිටත පුරවැසියන්ට චෝදනා කිරීමට, නඩු විභාග කිරීමට දෙමුහුන් විනිසුරුවරුන් පැමිණීමට රජයට එකඟ විය නොහැකියි. මේ ඔක්කොම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. ඒ නිසා අපට ඒකට එකඟ වෙන්න බැහැ.”

ශ්‍රී ලංකා ආණ්ඩුව 2015 යොජනාවෙහි එකඟවූ මූලික කරුණූ ඉටු නොකිරීම නිසා 2021 නව යෝජනාවක් මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කෙලෙසීම් ගැන සාක්ෂි එක් රැස් කිරීමේ යාන්ත්‍රණයක්, මහ කොමසාරිස්වරියගේ කාර්යාලය යටතේ පිහිටුවීමට තීරණය කළේය. දැන් රනිල් රාජපක්ෂගේ කාර්යාලය එයටත් විරුද්ධය.

මානව හිමිකම් විශ්වමය අයිතියකි. ඒවා කඩ කිරීමද විශ්වමය අපරාධයකි. ලොව පුරා මානව හිමිකම් කෙළෙසන ලද රාජ්‍ය නායක නායිකාවන්ට සහ යුද නිලධාරීන්ට එරෙහිව නඩු පවරා දඩුවම් කරනු ලබන්නේ එනිසාය. ඊට කියන්නේ විශ්වමය අධිකරණ බලය කියාය. බලයෙන් පහු කෙරුණූ ඒකාධිපති නායක නායිකාවන් උගන්ඩාව සහ සවුදි අරාබිය වැනි නීතියේ ආධිපත්‍යක් නැති, අත්තනෝමතික පාලනයන් සහිත රටවල සැඟවී ජීවත් වන්නේ ද එනිසාය. ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුව හෝ තායිලන්තය හෝ දීර්ඝ කාලීන වීසා නොදුන්නේ ද එම නිසාය. ඔහුට පලා ගිය ලංකාවටම ඒමට සිදු වූයේද එනිසාය.

ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් දැනටමත් ජර්මනියෙහි එක් ලාංකිකයකුට දඩුවම් ලබා දී තිබේ. ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ඇමරිකාවෙහි නඩු දෙකක් පවරා තිබේ. චිලි රට වැනසූ ඒකාධිපති පිනෝචේ එංගලන්තයේදී අත්අඩඟුවට ගත්තේ ඒ අනුවය. රුවන්ඩා ජන ඝාතනයට මඟ පෙන්වමින් එය මෙහෙය  වූ ගුවන් විදුලි සේවාවේ හිමිකරු   පෙලිකන් කබුගා 2020 මැය මාසයේදී පැරිසියෙහි සැඟව සිටියදී අත් අඩංඟුවට ගත්තේ මෙම විශ්වමය අධිකරණ නීතිය යටතේය.  ජර්මනියේ යුදෙව් ජන ඝාතනයට සම්බන්ධ නාසි ආපරාධකරුවන් ලතින් ඇමෙරිකාවෙහිදී අත් අඩංඟුවට ගැනුණේ ඒ අනුවය.

රනිල් රාජපක්ෂගේ ආණ්ඩුවට අනුව මේ සියල්ල වැරදි ක්‍රියාය. අලි සබ්රිගේ අපූරු තර්කයට අනුව ගෝඨාභයට ඇමෙරිකාවෙහිදී නඩු පැවරීම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට විරුද්ධය. ප්‍රභකරන් නොමැරී කවර හෝ රටක  ජීවත් වූයේ නම් අලි සබ්රිගේ තර්කය ඔහුට ද අදාළ වෙයි.

රනිල් රාජපක්ෂ ජනාධිපති දැන් තොතරම් රූපාන්තරණය වී ඇත් ද යත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය 2022 ජූලි 18 වන දින, ශ්‍රී ලංකා රජය, සාක්ෂි රැස් කිරීමේ යාන්ත්‍රණයක් පිළිබඳ සොයා බැලීමේ කාර්යය භාර කණ්ඩායමක සංචාරයක් සඳහා කළ ඉල්ලීම ඔහුගේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කළේය.‍

අරගලයට සම්බන්ධ පිරිස් ත්‍රස්තවාදීන් ලෙස හැදින්වීමේ රනිල් රාජපක්ෂගේ සහ ටොයි බලකායේ කුටෝපාය අනුව මේ සැරසෙන්නේ කුමකටදැයි සිතා ගැනීම දුෂ්කර නැත. මෙම සියලු දුෂ්ඨකම් මගින් සිදු වන්නේ ශ්‍රී ලංකාව තව තවත් අන්තර් ජාතික වශයෙන් හුදකලාවීමය.

පසුගිය දා ලෝක ආහාර සංවිධානය මන්ද පෝෂණයෙන් පෙළෙන මෙරට දරුවන් වෙනුවෙන් ආධාර රැස් කිරීම පිනිස පාසල් දරුවන්ගේ වීඩියෝවක් තැනීමට අවසර ඉල්ලා සිටියේය. රනිල් රාජපක්ෂගේ ත්‍රී වීල් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් ඊට අවසර දුන්නේ නැත. ඔහු කීවේ මෙර දරුවන් විකිනීමට තමන් අවසර නොදෙන බවයි. මෙම අඥාන ක්‍රියාව උපහාසයට පත් කළ දි අයිලන්ඩ් කතුවරයා ලීවේ “ එසේ නම් බර රන් මාල සහ මුදු පළදින මැති ඇමැතියන්ගේ ඡායාරූප පෙන්වා මෙරට දරුවන්ගේ මන්ද පෝෂණයට හේතුව” එය බව ලොවට පෙන්වීමට ලෝක ආහාර සංවිධානය ක්‍රියා කළ යුතු බවයි.

නමුත් ඊට ටික දිනකට පසු මෙරටට පැමිණි ඇමෙරිකානු යූඑස්එයිඩ් ප්‍රධානී සමන්තා පවර්ට නිදහසේ  ඕනෑම තැනක ජනයාගේ දුක්ගැනවිලි වීඩියෝ කර ගැනීමට රනිල් රාපක්ෂ ඉඩ දුන්නේය. ඒ සමහර විට ඇයගේ සාක්කුවේ ගොවි ජනායාට දීමට යැයි ගෙනා ඩොලර් මිලියන 40 නිසා විය හැකිය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ කරන ලද සිය ශපථ කිරීම් අනුව ශ්‍රී ලංකාව වසර 13ක් පුරා කටයුතු කර නැත. දැන්  රනිල් රාජපක්ෂ ඒ වෙනුවට ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා යැයි පුළුල් නීතිමය රාමුවක් හඳුන්වා දීම සඳහා කමිටුවක් පත් කර තිබේ. ත්‍රස්තවාදයට සහ අන්තවාදී ප්‍රචණ්ඩත්වයට අනුකූලව රෙගුලාසි හඳුන්වාදීම ද මෙම යෝජනාවට ඇතුළත් ය.

අරගලයට සම්බන්ධ පිරිස් ත්‍රස්තවාදීන් ලෙස හැදින්වීමේ රනිල් රාජපක්ෂගේ සහ ටොයි බලකායේ කුටෝපාය අනුව මේ සැරසෙන්නේ කුමකටදැයි සිතා ගැනීම දුෂ්කර නැත. මෙම සියලු දුෂ්ඨකම් මගින් සිදු වන්නේ ශ්‍රී ලංකාව තව තවත් අන්තර් ජාතික වශයෙන් හුදකලාවීමය.

ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ගෙනෙන ලද යෝජනාවක් ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූයේ එකම එක් වරක් පමණි. ඒ දයාන් ජයතිලක තානාපතිව සිටි 2009 මැයි මාසයේදී ය.  යුරෝපා සංගමය විසින් ගෙන එන ලද යෝජනාව පරාජය කරමින් ලංකාණ්ඩුවේ විරුද්ධ යෝජනාව ජය ගත්තේ ඉන්දියාවේ සහය මුල් කර ගෙනය. එම යෝජනාව මගින් බලය බෙදීමේ 13වන ව්‍යවස්ථා සංසෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ලංකාණ්ඩුව එකඟ විය. ඉන් පසු ලංකාණ්ඩුවේ සම අනුග්‍රහයෙන් ඉහත කී 30/1 යෝජනාව සම්මත විය. මෙම යෝජනා දෙක මගින්ම පොරොන්දු වූ මූලික පියවර කිසිවක් ලංකාණ්ඩුව ඉටු කළේ නැත.

දැන් රනිල් රාජපක්ෂ සැරසෙන්නේ තමන්ම එකඟ වූ යෝජනාවට පවා විරුද්ධ වීමටයි. මන්ද යත් එදා සිටි රනිල් වික්‍රමසිංහ වෙනුවට දැන් රට කරවන්නේ දාසයකු වන රනිල් රාජපක්ෂ විසින් නිසාය.

තමන් නායකත්වය දී සම අනුග්‍රාහකත්වයෙන් සම්මත කරන ලද යෝජනාවෙන් ගෝඨාභය ඉවත්වීම, ආපසු හැරවීමට දැන් රනිල් රාජපක්ෂට නොහැක.  ඉජු ඉජු යැයි කියන විට රාජපක්ෂ අඟුපිලට ගොඩ වීමට ඇති අවස්ථාව රනිල් රාජපක්ෂට එමගින් මඟ හැරෙන නිසාය.

ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය අභියස පතබෑවී ඇති රනිල් වික්‍රමසිංහගේ ඕජස් ගලන මනෝකාය රැගෙන යෑමට ඔහුගේ ටොයි බලකායෙන් හෝ ඇන්ජීඕ නඩයෙන් කවරකු හෝ පැමිණෙනු ඇතැයි ජීනීවා අහස  එල්ලය ගැනිමට මෙන්  අකුණූ ගසමින් බලා සිටී.

මන්ද යත් ගෝටා සබ්රී හෝ ඩීල් දාස හෝ එය රැගෙන යනු වෙනුවට රෑ ජාමයක පැමිණ ඒ මත හුජ්ජ කරනු දුටුවේ යැයි කියැවෙන නිසාය.

Archive

Latest news

Related news