Friday, March 29, 2024

22වන සංසෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පුදුම සහගතයි; 19යත් කපලා; ආණ්ඩුව හරි නම් ජනමත විචාරණකට යා යුතුයි – ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න

ඔබට පෙනෙන විදියට, මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ තිබෙන වැදගත් කාරණා මොනවාද?

19 වැනි සංශෝධනයට අදාළව 2015දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවත් එක්ක එකට තියලා බැලුවාම, මේ තීන්දුවේ ප්‍රධාන කාරණා තුනක් මම දකිනවා.

එකක් තමයි, 19හි තිබුණා ජනාධිපතිට බලය නැහැයි කියලා, අගමැතිව ධුරයෙන් ඉවත් කරන්න. ඒ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට විතරයි.

නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙවර තීන්දුවෙන් කියනවා, ඕනෑම වෙලාවක ජනාධිපතිවරයාට අගමැති ඉවත් කිරීමේ බලය තිබිය යුතුයි කියලා.

දෙවැන්න, 19 සංශෝධනය යටතේ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු සහ කැබිනට් නොවන ඇමතිවරු පත්කරන්නේ අගමැතිගේ උපදෙස් අනුව ජනාධිපති විසින්.

නමුත් මෙවර තීන්දුවෙන් කියා තිබෙනවා, එය එසේ කිරීමට නොහැකියි, ඕනෑ නම් අගමැතිවරයාගේ අදහස් විමසා කළ හැකියි, නමුත් අගමැතිවරයාගේ උපදෙස් මත කළ නොහැකියි කියලා.

තුන්වැනි එක තමයි, 19 සංශෝධනය යටතේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ස්වාධීන කොමිෂන් සභාවලට නම් කරනු ලබන සාමාජිකයන් සති දෙකක කාලයක් තුළදී යම් හේතුවක් මත ජනාධිපතිවරයා විසින් පත්කළේ නැතිනම්, එම නම්කළ පුද්ගලයන්, සති දෙකේ කාලය ඉවර වෙනකොට පත්කළා ලෙස සැලකෙනවා.

මෙවර තීන්දුවේ තියෙන්නේ එහෙම කරන්න බැහැයි කියලා. ඒ කියන්නේ, පත්කිරීම ජනාධිපති විසින්ම කළ යුතුයි, පත් කළා ලෙස සැලකෙනවාය කියන්න බැහැ.

මා හිතන විදියට, ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ තීරණ තුනෙන්ම සිදුවන්නේ ජනාධිපති ක්‍රමය තවත් ශක්තිමත් කිරීමක්.

ඒ කියන්නේ, මේ නඩු තීන්දුව පිළිබඳව ඔබ පුදුම වෙනවාද?

මම හුඟාක්ම පුදුම වෙනවා. ඒ වගේම පුදුම වෙන්නේත් නැහැ. සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද 21 වන සංශෝධනය පිළිබඳ නඩු තීරණයේදීත් මෙවැනි දේවල් පිළිබඳ සේයාවන් තිබුණා. නමුත් මේ තරම් දුරට විධායක ජනාධිපති ධුරය ශක්තිමත් වෙන ආකාරයට ප්‍රකාශයක් කෙරේවි කියලා මම හිතුවේ නැහැ. 2015දී 19 වැනි සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ඉදිරිගාමී නඩු තීන්දුවක් හැටියටයි මම සලකන්නේ. ජනමත විචාරණයක් නැතිව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පවා ඉඩක් එයින් විවර වුණා. ඒ අවස්ථාවේදි ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ, ජනාධිපතිවරයාට යම් භූමිකාවක් තිබිය යුතු නමුත්, හැම වෙලාවේදීම ‘ක්‍රියාව’ ඔහුගේ ‘තීරණයක් මතම’ විය යුතුයි කියලා අනිවාර්ය නැති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ, එය ජනාධිපතිවරයාගේ ‘ක්‍රියාව’ හෝ ‘නැතිනම් ඔහුගේ තීරණය’ විය යුතුයි කියලා.

ඒ කියන්නේ තීරණය කිරිම ඔහුගේ වුණත්, ඔහුගේ නොවුණත්, ක්‍රියාව කෙරෙන්නේ ඔහුගෙන් නම්, ඒ කියන්නේ ‘ක්‍රියාව’ ඔහු මගහැර කෙරෙන්නේ නැතිනම්, ප්‍රශ්නයක් නෑ කියලායි. උදාහරණයක් වශයෙන් ඇමතිවරුන් පත්කිරීම ගත හැකියි. 19 යටතේ ඇමතිවරු පත්කරන්නේ අගමැතිවරයාගේ උපදෙස් පිට ජනාධිපතිවරයා විසින්. එවිට එම පත්කිරීමේ ක්‍රියාවලියෙන් ජනාධිපතිවරයා ඉවත් කරලා නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා, ඒක ප්‍රශ්නයක් නැහැ කියලා.

නමුත් 19 කෙටුම්පතේ තිබුණා ඇමතිවරුන්ගේ විෂයන් මාරු කරන්න අගමැතිවරයාට පුළුවන් කියලා. එතැනදී ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා, ඒකට ඉඩ දෙන්න බැහැ කියලා. මක් නිසාද, ජනාධිපතිවරයාට එතැන කිසි භූමිකාවක් නැහැ. එතැනදී තීරණය ගන්නේත් අගමැතිවරයා, විෂයන් මාරුකරනවා කියන ක්‍රියාව කරන්නේත් අගමැතිවරයා.

ඒ නිසා මං හිතන විදියට 19ට ආදළ තීන්දුව ඉදිරිගාමී නඩු තීන්දුවක්. නමුත් 21 වැනි සංශෝධනයේදී අපි දැක්කා ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වඩා වෙනස් මතයක් දරනවා. ඒකෙම දිගුවක් හැටියට තමයි මම දකින්නේ 22 වැනි සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ තීන්දුව. නමුත් මේ තරම් දුරට යයි කියලා නම් මම හිතුවේ නැහැ.

එතකොට අගමැතිවරයා ඉවත් කිරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය කියන දේ ගැන මොකක්ද හිතන්නේ? අගමැතිවරයා කියන්නේ පාර්ලිමේන්තුව විසින් තෝරා පත්කරන කෙනෙක්. ව්‍යවස්ථාවේ එම අදාළ වගන්තියට අනුව අගමැතිවරයා කියන්නේ කවුද?

‘ජනාධිපතිවරයාගේ මතය අනුව, පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ලෙස පත්කරනු ඇත්තේය.’ උපරිම විශ්වාසය තියෙන එක්කෙනයිනේ ඉන්න පුළුවන් පාර්ලිමේන්තුව ඇතුළේ. ඒ පුද්ගලයාව පත්කරන්න ඕනෑ.

එහෙනම් ඉතින් අගමැතිවරයා පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට දීලා තියෙන්නේ ඇයි?

ඒකට හේතුවක් තියෙනවා. මහමැතිවරණ ප්‍රතිඵල පිටවී අවසන් වීමත් සමග එවකට ඉන්න අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ගෙදර යනවා. ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය එතැනින් නවතිනවා. මහමැතිවරණයයි අලුත් පාර්ලිමේන්තුව රැස්වීමයි අතර සුමාන දෙකක්-දෙකහමාරක කාලයක් තියෙනවා හැම තිස්සේම. ඒ අතරතුර හිඩැසක් තියෙනවා. ඒ හිඩැස පුරවන්න ඉතාම ඉක්මනින් අගමැති හා ඇමතිවරු පත්කළ යුතුයි.

මෙතැනදී තමන්ට වුවමනා කෙනෙක් පත්කරන්න ජනාධිපතිට බැහැ. බොහොම පැහැදිලියි උපරිම විශ්වාසය තිබෙන මන්ත්‍රීවරයාව තමයි පත්කරන්න ඕනෑ. ඉතින්, එලෙස පත්වන පුද්ගලයා තමාට හිතුණ වෙලාවක ඉවත් කරන්න ජනාධිපතිට බලය තිබිය යුතුද? එහෙම තියෙනවා නම් එය අත්තනෝමතික බලයක්. 22 සංශෝධනය පිළිබඳ නඩුවේදී මේ ප්‍රශ්නය මතුවුණා.

නඩු තීන්දුවේ 29 වැනි පිටුවේ මේ ගැන තියෙනවා. එහිදී නීතිපතිවරයා කියා සිටියා, ‘ජනාධිපතිවරයාගේ මතය අනුව තවදුරටත් පාර්ලිමේන්තුවේ අගමැතිවරයාට විශ්වාසය නැහැයි කියලා හිතලා, ඔහු ඉවත් කරන්න බලය තියෙනවා නම්, ඒක අත්තනෝමතික බලයක්’ කියලා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා, අගමැතිවරයා ඉවත් කිරීමට තිබෙන අවස්ථාව, පාර්ලිමේන්තුවේ විශ්වාසය නැති අවස්ථාවට පමණක් සීමා කළ නොහැකියි කියලා. ඒ කියන්නේ, පාර්ලිමේන්තුවේ විශ්වාසය තිබෙන අගමැතිවරයෙක් පවා ඉවත් කිරීමට බලයක් ජනාධිපතිවරයාට තිබෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා යැයි ගම්‍ය වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ඊළඟට කියනවා, එම නිසා අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිට තියෙන බලය අයින් කිරීම ජනාධිපතිවරයාගේ බලතල ඛාදනය කිරීමක්ය, එම නිසා ඒකටත් ජනමත විචාරණයක් අවශ්‍යය කියලා.

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පිළිබඳව ගෞරවයෙන් මම මතුකරන ප්‍රශ්නය තමයි, අගමැතිවරයා ඇත්ත වශයෙන්ම පත්කෙරුවේ කවුද කියන එක. ජනතාව විසින් පත්කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව, ඒ පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය තියෙන මන්ත්‍රීවරයා අගමැති වෙනවා. මේ නිසා, අගමැතිවරයාට පාර්ලිමේන්තුව හරහා ජනවරමක් ලැබෙනවා.

ඇමෙරිකාවේ ඇමති මණ්ඩලය තෝරන්නේ පාර්ලිමේන්තුවෙන් පිට. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ හෝ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ කෙනකුට ඇමතිකමක් හම්බවුණොත්, ඔහු හෝ ඇය ඉවත් වෙන්න ඕනෑ ඒ මන්ත්‍රී මණ්ඩලයෙන්. ඒ නිසා තමයි හිලරි ක්ලින්ටන් සෙනෙට් එකෙන් ඉවත් වෙලා රාජ්‍ය ලේකම් හැටියට පත්වුණේ.

අපේ එහෙම නෙවෙයි, අපේ අගමැති සහ ඇමතිවරුන් ඉන්නේ පාර්ලිමේන්තුව තුළයි. පාර්ලිමේන්තුවෙනුයි තෝරන්නේ. මම මතුකරන ප්‍රශ්නය, අගමැතිවරයාව නම් කිරීම විධායක බලයේ අත්‍යවශ්‍ය කොටසක්ද? කියන එකයි. ඒක විධායකයේ බලයක් නෙවෙයි. එතැනදී ජනාධිපතිවරයාට තියෙන්නේ ඉතාමත්ම සීමා සහිත භූමිකාවක්. ඔහු බලනවා කාවද පත්කළ යුත්තේ කියලා. කාටද තිබෙන්නේ උපරිම විශ්වාසය කියලා. ඒ මොහොතේ එය නිර්ණය කිරීමේ බලය විතරයි ජනාධිපතිට තියෙන්නේ.

අගමැතිවරයා ඉවත් කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. කොහොමද.., රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රතික්‍ෂෙප කිරීමෙන්, එහෙම නැත්නම් අයවැය ලේඛනය පරාජය කිරීමෙන් හෝ විශ්වාස භංග යෝජනාවක් සම්මත කිරීමෙන්. එම නිසා අගමැතිවරයා පත්කිරීම හෝ ඉවත් කිරීම විධායක බලයට අයිති නැහැ. ඒක විධායක බලයේ අත්‍යවශ්‍ය අංගයක් නොවන බවයි මා නැවතත් කියා සිටින්නේ.

මම කියන්නේ මේ කාරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද බරපතළ දෝෂයක් ලෙස. ඒ වගේම අනිත් අතට 2015දී 19 වැනි සංශෝධනය ගැන නඩු තීන්දුව ඊට වඩා හුඟාක් ඉදිරිගාමී බවයි මම නැවත කියා සිටින්නේ.

නමුත් ජනාධිපතිවරයා පත්කළත් පාර්ලිමේන්තුවට පුළුවන් නේද ඒ අගමැතිවරයාව පාර්ලිමේන්තුවේදී පරදවන්න? එහෙම නැත්නම් ජනාධිපතිගේ එම තීරණයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න පුළුවන් නේද?

ඒවා උත්තර නෙවෙයි. මොකද ඒවා කරන්න ඉඩ දුන්නාම තමයි, එක එක උප්පරවැට්ටි දාන්න පුළුවන් වෙන්නේ. ඒ වෙලාවට නොයෙකුත් දේශපාලන උප්පරවැට්ටි දාන්නට ජනාධිපතිවරයාට අවස්ථාව ලැබෙනවා. අපි දැක්කානේ ඒ වගේ අවස්ථාවක් 2018දී. අගමැතිව ඉවත් කරන්න බලයක් නොතිබෙද්දී, රනිල් වික්‍රමසිංහව ඉවත් කෙරුවා. එහෙම කරලා සිරිසේන ජනාධිපතිවරයා උත්සාහ කළා, යහපාලන ආණ්ඩුවේ හිටපු මන්ත්‍රීවරු රාජපක්‍ෂලාගේ සහායට අරගෙන මහින්ද රාජපක්‍ෂ අගමැතිට පක්‍ෂ බහුතරයක් හදාගන්න. අපි දැක්කා මොන තරම් බරපතළ ලෙස දේශපාලන උප්පරවැට්ටි දැම්මාද ඒ වෙලාවේදී කියලා.

මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දෙන්න පොරොන්දු වුණා. සමහර මන්ත්‍රීවරුන්ම ඒ බව ප්‍රසිද්ධියේ කිව්වා. ඇයි එහෙනම් එවැනි දේශපාලන උප්පරවැට්ටිවලට අපි ඉඩක් තියන්නේ?

අනිත් එක, 19 වැනි සංශෝධනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩ දුන්නා ජනමත විචාරණයක් නැතිව තුනෙන් දෙකෙන් විතරක් සම්මත කරන්න, ඇමතිවරුන් ජනාධිපතිවරයා විසින් පත්කළ යුත්තේ අගමැතිවරයාගේ උපදෙස් පිටය කියන කාරණය. එනම්, විධායක ක්‍රියාව එක්කෝ ජනාධිපතිවරයාගේ ක්‍රියාව විය යුතුයි, නැතිනම් තීරණය විය යුතුයි කියන ස්ථාවරය මත. එතැනදී ඇමතිවරුන් කවුද කියලා තීරණය කිරීම අගමැතිවරයාගේ තීරණය වුණත්, පත්කිරීම ජනාධිපතිගේ ක්‍රියාව නිසා ඒකට ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩ දුන්නා. නමුත් මෙවර ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා එහෙම කරන්නත් බෑ කියලා.

2001දී ගෙනා 17 වැනි සංශෝධනයත් බලමු. 17 වැනි සංශෝධනයේ තිබුණා,ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්කිරීම, අලුතෙන් පිහිටුවන්න හදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නාමයෝජනා මත මිස ජනාධිපතිට තනිවම කරන්න බැහැ කියලා. ඒ වගේම, උපරිමාධිකරණ විනිසුරුවරු, නීතිපති ආදි උසස් නිලවලට පත්කරන කොට ජනාධිපති යෝජනා කරන නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කළ යුතුයි. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙලාවේ කිව්වේ, මෙය ජනාධිපතිවරයාගේ බලය යම් සීමාවක් කිරීමක් පමණයි කියලා. සම්පූර්ණයෙන් ඛාදනය කිරීමක් නෙවෙයි කියලා.

නමුත් මෙවර ශ්‍රේෂ්ඨාධිකරණය වෙනස් ස්ථාවරයක් අරගෙන තිබෙනවා. ඒ අනුව මෙවර කියා තිබෙනවා, ඇමතිවරුන් පත්කිරීම අගමැතිවරයාගේ උපදෙස් පිට නෙවෙයි, අගමැතිවරයා සමග සාකච්ඡා කරලා කළ හැකි නමුත්, පත්කිරීම ජනාධිපති කළ යුතුයි කියලා.

මේ වගේ එක නරක අවස්ථාවක් තමයි, 2003 චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය විරුද්ධ පක්‍ෂයේ ඉඳගෙන ඉන්න මන්ත්‍රීවරුන් තුන් දෙනෙක්ව ඇමති ධුරවලට පත්කිරීම. දිමු ජයරත්න, මංගල සහ ලක්‍ෂ්මන් කදිරගාමර්ව. එය දිගටම රැගෙන යා යුතු හොඳ උදාහරණයක් නෙවෙයි. එසේ නොවිය යුතුයි.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ පාලනය ගෙන යන්නේ ජනාධිපතිවරයා නෙවෙයි. අපේ ව්‍යවස්ථාව අනුව රටේ පාලනය සහ ආණ්ඩුවේ විධානය අයිති වෙන්නේ කැබිනට් මණ්ඩලයට. එනිසා ඒ ඇමති මණ්ඩලයට ඇතුළු වෙන්න කවුද කියන එක ඉතාම වැදගත්. ඒක ජනාධිපතිට ඕනෑ කෙනකුට දෙන එක වැරදියි. මේකට අනුව, විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කිරීම පවා කරන්න බැරිවෙනවා, ජනමත විචාරණයකින් තොරව.

ඒ වගේම, ව්‍යවස්ථා සංශෝධනයක් ඕනෑවට වඩා නම්‍ය නොවිය යුතුයි. ඒ වගේම ඕනෑවට වඩා අනම්‍යත් නොවිය යුතුයි. 2015දී 19 වැනි සංශෝධනය සම්බන්ධ නඩු තීන්දුවෙන් ව්‍යවස්ථාව සංශෝධනය නම්‍ය වන විදියට අර්ථ නිරූපණයක් දුන්නා ශ්‍රේෂ්ඨාධිකරණය. නමුත් සමගි ජන බලවේග යේ 21වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේදීඒ තත්වය ආපස්සට ගියා. 22 පිළිබඳ තීන්දුවෙන් එය ඊටත් වඩා දෘඪ කරලා තිබෙනවා. ඒක හොඳ නැහැ.

ජනතාවගේ අවශ්‍යතාව අනුව ව්‍යවස්ථාව වෙනස් කිරීමට තිබෙන අවකාශය ඇහිරෙන තරමට, ව්‍යවස්ථාව ගැන ජනතාවට තිබෙන විශ්වාසය නැතිවෙනවා. එවිට සමහරු එයින් ප්‍රයෝජන අරගෙන, ව්‍යවස්ථාවට පිටින් වැඩ කරන්න පටන් ගන්නවා. ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරන්න පටන් ගන්නවා. 1972 සියලු දෙනාගේම සහභාගිත්වයෙන් පටන් ගත්ත ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය, පසුව සමගි පෙරමුණේ විතරක් වැඩක් බවට පත්කරගැනීම නිසා, ඒ ව්‍යවස්ථාවට ලැබුණේ අවුරුදු හයක පමණ ආයු කාලයක් විතරයි.

එයින් පස්සේ 1978 දී දැඩි ව්‍යවස්ථාවක් ගෙනෙන්නට අවස්ථාව ලැබුණෙත් ඒ නිසා.

හොඳයි දැන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබී තිබෙනවා. ආණ්ඩුව මොකක් කරාවිද? ආණ්ඩුවට මොනවාද තියෙන තෝරාගැනීම්?

මේක සජබ පනත් කෙටුම්පත වගේ නෙවෙයි, මේක ආණ්ඩුවේම පනත් කෙටුම්පතක්. එනිසා ආණ්ඩුව කළ යුත්තේ මේක තුනෙන් දෙකකින් සම්මත කරලා ජනමත විචාරණයකට ගොස් ජනයාගේ අවසරය ලබාගැනීමයි. එනිසා ආණ්ඩුවට අපි බලකළ යුතුයි ජනමත විචාරණය තියන්න කියලා. ආර්ථික ප්‍රශ්න තියෙනවා කියලා මේක කල් දාන්න බැහැ. ඕනෑ නං හොඳ තත්වයක් ඇතිවෙනකං පනත් කෙටුම්පත සම්මත කිරීම කෙටි කාලයකට කල් දමන්න පුළුවන්.

නැවත වරක් කිව්වොත්, 19 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මීට වඩා ඉදිරිගාමී තීන්දුවක් ලෙස මම දකිනවා. මේක බරපතළ ලෙස දෝෂ සහිත නඩු තීන්දුවක් හැටියට තමයි මම දකින්නේ. ඒකට සාපේක්‍ෂව මේක පසුගාමීයි. ඉදිරියේ අවස්ථාවක කවදා හරි, අර 19 වැනි සංශෝධනයේදී ගත්ත ස්ථාවරයට ආපසු ඒමට ශ්‍රේෂ්ඨාධිකරණයට අවස්ථාව ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.

(ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න සාකච්ඡා කොට අනිද්දා පුවත්පතට කේ.ඩබ්. ජනරංජන විසින් ලියන ලද ලිපියකි)

Archive

Latest news

Related news